තැන තැන මතුව යට යන සමූහ මිනීවළවල් සහ යුක්තිය..!

-කේ. සංජීව-

මේවනවිට දැනගන්නට තිබෙන්නේ මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනීවළ කැනීම මුදල් නොලැබී යාම නිසා නතරව ඇති බවක් ය. මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය වෙත පසුගිය මාර්තු 4දා මේ පිළිබඳව දැනුන්දී ඇතැයි මුලතිව් දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී.එස්. නිරංජන් බීබීසී සිංහල වෙබ් අඩවියට ප්‍රකාශ කළ බව එම වෙබ් අඩවිය වාර්තා කර ඇත.

එම වාර්තාවට අනුව මෙම සමූහ මිනී වළ කැනීම්වල සිව්වන අදියර ආරම්භ කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය තවමත් අවශ්‍ය මුදල් ප්‍රථිපාදන සලසා නැත. මිනීවළ කැනීම් අදියර තුනක් මේවනවිට සිදුව ඇති අතර තුන්වන අදියරේදී මිනිස් සිරුරුවල පූර්ණ අස්ථි කූඩු 40ක කොටස් මතුකරගෙන ඇති බව වාර්තා වෙයි. පසුගිය 2023 ජුනි 29 වැනිදා ජල සම්පාදන මණ්ඩල සේවකයින් පිරිසක් ජලනළ එලීමක් සඳහා පොළව කනින අවස්ථාවක මුල්ම මිනිස් අස්ථි කොටස් හමුවුණ අතර පසුව මෙම අස්ථි හමුවූ ස්ථානයේ කැනීම් කටයුතු 2023 ජුලි 06 වැනිදා ආරම්භ කරන්නට කටයුතු කළේය. ඒ මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේය.

මෙම සමූහ මිනිවළෙන් ගොඩගත් මිනිස් අස්ථි කොටස් පිළිබඳව පූර්ණ විමර්ශනයක් තවමත් සිදුකර නැතිබව මුලතිව් රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය කනකසභාපති වාසුදේව බීබීසී සිංහල වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කර ඇත. කෙසේවුණත් මෙහි සත්‍ය තත්ත්වය අනාවරණය කරගැනීම සඳහා පුරාවිද්‍යා මහාචාර්‍ය රාජ් සෝමදේව මහතා ප්‍රමුඛව කණ්ඩායමක් කටයුතු කරමින් සිටියි.

මෙම මිනීවළ තුළින් හමුවී ඇති මිනිස් අස්ථි කොටස් විසිරී තිබෙන ආකාරය අනුව එය මියගිය මිනිසුන් නිසි අවමඟුල් චාරිත්‍රයකට අනුව භූමදානය කළ ස්ථානයක් නොවෙන බව නිරීක්ෂණය වන්නේ යැයි මහාචාර්‍ය රාජ් සෝමදේව මහතාගේ මතයයි. සමූහ මිනිවළ තුළින් දැනට මිනිස් සිරුරු 40ක සංඛ්‍යාවක් ගොඩගෙන ඇත. මේවනවිට මීටර 14ක් දිග, මීටර තුනක් පළල අඟලක් ලෙස මතුපිට පස් ඉවත්කර ඇති අතර තවදුරටත් පොළව කනින්නට නියමිතව ඇති බවත් වාර්තා වෙයි.

මෙසේ පොළව කනින විට මතු කරගත් මිනිස් අස්ථි සැකිලි අතරින් පතුරම් උණ්ඩ කොටස්, එල්ටීටීඊ සංවිධානය සිය සාමාජිකයන් හඳුනාගැනීම වෙනුවෙන් පළඳන ලද අංක තහඩු, සයනයිඩ් කරල්, කාන්තා යටඇඳුම්, ආරක්ෂක හමුදාවන් භාවිතාකරන කැලෑ ඇඳුම් ආදී උපකරණ රැසක් හමුව ඇත. ඒ අනුව මෙම සමූහ මිනීවළේ ඉතිහාසය යුද්ධ කාලයට ගමන් කිරීම වළකනු බැරිය.  

එනිසාම මෙම සමූහ මිනීවළ මතුවීමත් සමග මුලතිව් දිස්ත්‍රික් අතුරුදන්වූවන්ගේ ඥාතීන් පවසන්නේ මෙහි නිදනු ඇත්තේ අතුරුදන් තම දරුවන් බව‍ය. යුද්ධය අවසන්වීමත් සමග හමුදාව භාරයට පත්කළ තම දරුවන්ට සිදුවූවේ කුමක්ද යන්න ප්‍රශ්න කරන එම දෙමාපියන්, සැකකරන්නේ එසේ භාරදුන් පසු අතුරුදන් වූ තම දරුවන්ගේ සිරුරු මෙම ස්ථානයේ ඇති බවයි.

ඒ අනුව මෙම ස්ථානය කැනීම් අවසන් කර මේ මිනිසුන්ගේ සාධාරණ සැකයට පිළිතුරක් සැපයීම කළ යුතුය. මෙහි සත්‍ය කුමක්ද යන්න සොයාගත යුතුය. ඉන්පසුව එය මෙම ජනතාවට අනාවරණය කළ යුතුය. එහෙත් එවැන්නක් සිදුවෙන බවක් නොපෙනෙයි. මුදල් නැහැ යැයි කියමින් ආණ්ඩුව මෙම සත්‍ය වසාදැමීම සඳහා කටයුතු කරමින් සිටියි.
සිංහල දෙමළ ජාතික ප්‍රශ්නය විසඳා සංහිඳියාව ගොඩනැගීම පැත්තෙන් ගත්විට එය බරපතළ තත්ත්වයක් ය.

කාලයෙන් කාලයට උතුරුනැගෙන හිර ප්‍රශ්නයට විසඳුම් ලෙස එක එක විසඳුම් යෝජනාවෙයි. සත්‍ය සෙවීම සඳහා කොමිසම් පිහිටුවීම, සංහිඳියාව වෙනුවෙන් කාර්‍යාලයන් පිහිටුවීම ඒ අතර සිදුවෙයි. එහෙත් ඒ කිසි දෙයක් ස්ථිරසාර නැති බව පෙනෙයි. එයට හේතුව කුමක්ද? මුලතිව් මේ සමූහ මිනීවළේ කතාවත් එහිම දිඟුවක් ය.

ලංකාවේ සමූහ මිනී වළවල් කැනීමේ ඉතිහාසය පිරික්සීමේදී සූරියකන්ද සමූහ මිනීවළ කැනීම, මාතලේ සමූහ මිනීවළ කැනීම, යාපනය චෙම්මනෙයි සමූහ මිනීවළ කැනීම, මන්නාරම තිරුකේදීශ්වරන් සමූහ මිනීවළ කැනීම, මන්නාරම සතොස වෙළඳසැල් භූමියේ සමූහ මිනීවළ කැනීම ආදී සිදුවීම් බොහෝ ප්‍රමානයක් එකපෙළට මතක් කළ හැකිය. මේ කිසිඳු ස්ථානයක නිධන්ගතව පැවති සත්‍ය සොයාගත්තාද? නැත. ඒ අනුව, ඒ හරහා එම ස්ථානවල මිහිදන්ව නිදන මිනිසුන්ට යුක්තිය ඉටුකළාද යන ප්‍රශ්නය පැනනඟී. මේ කිසිඳු කැනීමක් සාර්ථකව අවසන් කරන්නට බලධාරීන් සමත්ව නැත. එය යුක්තිය පිළිබඳ නොවිසඳුන බරපතළ ප්‍රශ්නයක් ය. 

19 Mar 2024