You are currently viewing කෙහෙළියට ඇප නෑ ..!

කෙහෙළියට ඇප නෑ ..!

-කේ. සංජීව-

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මිලදී ගැනීමට අදාළ විමර්ෂනවලදී සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඇප ඉල්ලීම පසුගිය මාර්තු 14 දා මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ප්‍රතික්ෂේප කළාය. එහිදී මහේස්ත්‍රාත්වරිය හිටපු අමාත්‍යවරයා සමග තවත් හයදෙනෙකුට අදාළ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශ කර ඇත්තේ රජයේ මුදල් සාපරාදී සාවද්‍ය පරිහරණය යන චෝදනාව මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන බවය. ඒ අනුව සැකකරුවන්ට එල්ල වී ඇති චෝදනා පොදු දේපළ පනතට අදාළ බව අධිකරණය පිළිගනු ලබන බවය.

මෙම තත්ත්වය යටතේ මෙම සැකකරුවන් පොදු දේපළ පනත යටතේ මෙම විමර්ෂනයට අදාළ නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන බව මෙහිදී ඇප ප්‍රතික්ෂේප කිරීමේ නියෝග ලබාදෙමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ප්‍රකාශ කර ඇත.

රක්ෂිත බන්ධනාගාර ගත සැකකරුවකු ඉහත පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කළ විට ඔහු ඇපමත මුදා හැරීමට නම් අධිකරණය වෙත සුවිශේෂි කරුණු ඉදිරිපත් කිරීම සිදු කළ යුතු බව සඳහන් කරන විනිසුරුතුමිය එහෙත් පසුගිය නඩු වාරයේදී ඇප ලබාදීමට තරම් සුවිශේෂ කරුණු අධිකරණයට ඉදිරිපත් නොවුණු බව තම තීන්දුවෙන් ප්‍රකාශයට පත් කර ඇත. මේ අනුව මෙම පැමිණිල්ල මාර්තු 28 වැනි දින නැවත කැඳවෙනු ඇත.

මේ අතර මෙම සිදුවීමට අදාළව පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගන්නට කටයුතු කළේය. ඔහු වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන මහතා ය. මෙම පුද්ගලයා විදෙස් රටක සිට නැවත දිවයිනට පැමිණෙන විට කටුනායක ගුවන්තොටුපළ පරීශ්‍රයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන් භාරයට ගෙන ඇත. ඒ අනුව වෛද්‍ය තුසිත සුදර්ශන මහතාද මාර්තු මස 28 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන්නට අධිකරණය කටයුතු කර ඇත.

පරීක්ෂණ මෙසේ සක්‍රීයව ඉදිරියට ගියත් මෙම සිදුවීම පිටුපස සිටින ප්‍රධාන පුද්ගලයෙක් වන ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා වන වෛද්‍ය විජිත් ගුණසේකර මහතා තවමත් අත්අඩංගුවට ගන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හැකියාවක් ලැබී නැත. ඒ මෙම සිදුවීමට අදාළව සියලු තොරතුරු වාර්තා වී තිබියදීය.