You are currently viewing ළමයි අව්වේ තියන්න එපා හැබැයි ක්‍රීඩා තරග තියන්න..!

ළමයි අව්වේ තියන්න එපා හැබැයි ක්‍රීඩා තරග තියන්න..!

කේ. සංජීව

මේ දවස්වල තියෙන්නේ උණුසුම් කාලගුණයක්. මේ කාලගුණ තත්ත්වය අස්සේ කොහොමද එදිනෙදා ජීවිතය පවත්වාගෙන යන්න ඕනෑ කියන දේ ගැන කතාකරන වෛද්‍යවරුන් කියන්නේ පුලුවන් තරම් පිරිසිදු ජලය පානය කරන්න කියලා. හිරු රශ්මියෙන් වැළකීම වෙනුවෙන් සන් ක්‍රීම් වගේ දෙයක් සම මත ආලේප කරගන්න කියලා. උෂ්ණත්වය පිටවෙන්නේ නැති ඇඳුම් අඳින්න එපා කියලත් වෛද්‍යවරුන් ප්‍රකාශ කරනවා.

මේ වෛද්‍ය මතයන් සැලකිල්ලට අරගෙන පාසල් ක්‍රීඩා උත්සව පවත්වන්න ඕනෑ කොහොමද කියන එක ගැන අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා 2023 අවුරුද්දේ. ඒත් මේ කිසි දෙයක් සැලකිල්ලට ගන්නේ නැතිව තවමත් ක්‍රීඩා උත්සව පවත්වමින් තිබෙනවා.

මේ විදිහට අධික උණුසුම ගැන හිතන්නේ නැතුව පාසල් ක්‍රීඩා උත්සව තිබ්බහම මොනාද වෙන්න පුලුවන්? මේ ඒ ගැන කතාවක්..!

විදූෂන්ගේ කතාව

16 හැවිරිදි ජෙයකුමාර් විදූෂන්ට මැරතන් තරග කියලා කියන්නේ අරුම දෙයක් නෙවෙයි. තාත්තා (එල්.ජෙයකුමාර්) කියන විදිහට කොල්ලා පොඩි කාලේ ඉදලා මැරතන් දුවන්න රුසියා. විදූෂන් මැරතන් දුවලා දිනලත් තියෙනවා. විදූෂන් ඉගනගත්තේ තිරුක්කෝවිල් මෙතෝදිස්ත මිෂන් දෙමළ මහා විද්‍යාලයේ. තිරුක්කෝවිල් කියලා කියන්නේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිලේ ඉදලා කිලෝමීටර් 35ක් විතර උතුරට ගියාම මුණගැහෙන දුෂ්කර ප්‍රදේශයක්. තිරුක්කෝවිල් කියලා කියන්නේ දෙවියන්ගේ කෝවිල කියන එක. ප්‍රදේශයේ නම ඒක උනාට දෙවියෙක් කියලා එකෙක් නෑ කියලා මේ කතාව කියවනකොට ඔබට තේරෙයි.

ජෙයකුමාර් විදූෂන් පසුගිය මාර්තු 11 වෙනිදා උදේ ගෙදරින් ආවේ කෑම එකවත් බඩට දාගන්නේ නැතිව. ඒකට හේතුව පාසල් නිවාසාන්තර තරගවලට අදාළ මැරතන් තරගය ඒ දවසේ උදෙන්ම තියන්න පාසල් බලධාරීන් තීරණය කර තිබීම. ඉතිං විදූෂන් පාසලට ඇවිත් කිලෝමීටර් 8ක් දුර මැරතන් තරගය දිව්වා. තරගය පටන් අරගෙන තිබුණේ උදේ 6.45ට. තිරුක්කෝවිල් ඔරලෝසු කණුව ළඟින් පටන්ගත්ත තරගය කලුදාවලි පුල්ලයාර් කෝවිල ළඟට ගිහිං ආපස්සට තිරුක්කෝවිල් ඔරලෝසු කණුව ළඟට දුවලා නිමා කරන්න ඕනෑ. තරගයේ දුර කිලෝමීටර් 8ක්. මේදුර දුවලා ඉවර වෙනකොට පැය දෙකක්වත් යන්න ඇති.

මේක බොහෝම උණුසුම් කාස්ටක කාලයක්. මේ කාලේ පාසල් ළමයින් කොහොමද කටයුතු කරන්න ඕනෑ කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය තමන්ගේ නිර්දේශයන් ඉදිරිපත් කරලා තියෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයත් 2023 චක්‍රලේඛ්‍යක් මගින් මේවගේ දැඩි උණුසුමක් පවතින කාලෙක ශිෂ්‍යන් තරග වගේ ක්‍රියාකාරකම් වලට යොදාගන්නවානම් ඒක කරන්න ඕනෑ කොහොමද කියලා, කියලා තියෙනවා.

මේ කතා කොහොම වුණත් තරගයේ අවසන් කිලෝමීටර් භාගයට ආවට පස්සේ විදූෂන් කියලා තියෙනවා තමන්ගේ ඇගට අමාරුවක් දැනෙනවා රෝහලට යන්න ඕනෑ කියලා. එහෙම කිව්වට පස්සේ විදූෂන් තිරුක්කෝවිල් මූලික රෝහලට ඇතුල් කරනවා. රෝහලේදි තමන්ගේ නම පවා කියපු විදූෂන්ට ටිකක් වෙලා යනකොට අමාරු වෙනවා.

ගිලන් රථයේ ප්‍රමාදය

තිරුක්කෝවිල් මූලික රෝහල කියන්නේ එච්චර පහසුකම් නැති පළාත් ආණ්ඩුව වුණත් නොසලකා හැරලා වගේ තියෙන ඉස්පිරිතාලයක්. මේ සිද්ධිය ගැන අහන්න රෝහලේ සේවකයෙක්ට කතාකළාම ඔහු මෙහෙම කිව්වා. ‘ඉස්පිරිතාලේ තියෙන ගිලන් රථය හොඳ එකක් නෙවෙයි ඒකේ යන රෝගියෙක්ට අඛණ්ඩ ඔක්සිජන් සැපයුමක් දෙන්න පහසුකම් නෑ. ඉතිං අක්කරෙයිපත්තුවෙන් ගිලන් රථයක් ගෙන්නගෙන තමයි ඔය මැරුණ ළමයා යැව්වේ. ඒක එන්නත් පැය දෙකක් විතර ගියා‘

මේ කියන විදිහට ගිලන් රථය එන්න ගිය පැය දෙකක කාලය විදූෂන්ගේ ජීවිතයේ ඉරණම තීරණය කළ පැය දෙක වෙන්නට ඇති. කොහොමහරි උදේ කෑම එකත් නොකා පාසලට ආපු විදූෂන් අක්කරෙයිපත්තුව රෝහලට ගෙනියන අතරතුරේදි මරණයට පත්වුණා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. ඒ නිසා මේ මරණයට ‘මේ ප්‍රමාදය‘ ප්‍රධාන හේතුවක් කියලා අපිට හිතන්න පුලුවන්.

විදූෂන්ගේ මරණය ගැන පශ්චාත් මරණ පරීක්ෂණය අම්පාර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ සි.ටී. මහනාම පසුගිය මාර්තු 12 දවසේ පවත්වලා මරණය පිළිබඳ විවෘත තීන්දුවක් තමයි ප්‍රකාශයට පත් කළේ. මියගිය විදූෂන්ගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයාට යවලා ඔහුගේ තීරණය අනුව මේ මරණයට හේතුව කුමක්ද කියලා තීන්දුව ප්‍රකාශයට පත්වෙන්නට නියමිතයි. තීන්දුව කොහොමවුණත් අධික දාහය නිසා විදූෂන්ගේ ශරීරය විජලනයට ලක්වීම මේ මරණයට ආසන්නතම හේතුව වෙන්න පුලුවන් කියලා තමයි තිරුක්කෝවිල් රෝහලේ ප්‍රකාශකයෙක් කීවේ.

ලොකු ඉස්කෝලවල මැරතන් පසුපස්සේ දුවන ගිලන් රථ ගැන ටිකක් හිතන්න. 1990 සුවසැරිය ගැන හිතන්න. මේ කිසි දෙයක් තිබුණේ නැද්ද? නැගෙනහිර පළාත් බලධාරීන් නම් කියන්නේ පාසල මේ තරගය පවත්වන්නට ප්‍රථම තරගයට සහභාගීවන සිසුන් වෛද්‍ය පරීක්ෂණයකට ලක්කරලා නිසි පරිදි තමයි වැඩ කරලා තියෙනවා කියලා. ඒ නිසා ඔවුන් නිවරැදියි කියලා පෙනෙනවා කියලා.

අපි චක්‍රලේඛ යවලා තියෙන්නේ

මේ ගැන නැගෙනහිර පළාත් අධ්‍යාපන ලේකම් ගිතාංජන දිසානායක බීබීසී සිංහල වෙබ් අඩවියට මෙහෙම ප්‍රකාශයක් කරලා තිබුණා. ‘අපි චක්‍රලේඛ යවල තියෙන්නේ, අව්වේ දරුවන් තියන්න එපා කියලා විතරයි. ක්‍රීඩා තරග පවත්වන එපා කියලා නැහැ. තිරුක්කෝවිල් මෙතෝදිස්ත මිෂන් විදුහලේ මෙම මැරතන් තරගය පවත්වන්න පෙර විදුහලේ ක්‍රීඩා ගුරුවරයා විසින් දරුවන් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරලා තියෙනවා. වෛද්‍ය පරීක්ෂණයෙන් පසු තමයි සියලුම දරුවන් තරගයට යොමු කරල තියෙන්නේ. දැනට කරන ලද මුලික විමර්ශනවලදි විදුහලේ පරිපාලනය විසින් නිවැරැදි අයුරින් කටයුතු කරල තියෙනවා‘

ඔහුගේ ප්‍රකාශයේ හරි අපූරු තැනක් තියෙනවා. ‘අපි චක්‍රලේඛ යවලා තියෙන්නේ දරුවන් අව්වේ තියන්න එපා කියලා විතරයි. ක්‍රීඩා තරග පවත්වන්න එපා කියලා නෑ‘ අපිට මේ පළාත් අධ්‍යාපන ලේකම්වරයාගෙන් අහන්න වෙන්නේ ‘ අව්වේ නොතියා කොහොමද ක්‍රීඩා තරග පවත්වන්නේ‘ කියලා.

අපි මේ මරණය ගැන වගේම, මේ දැඩි රස්නයක් තියෙන කාලෙක පාසල් ක්‍රීඩා උත්සව පැවැත්වීම ගැන ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලීන්ගෙන් කරුණු ඇහුවා. ඔහු කිව්වේ මෙහෙම කතාවක්.

‘කොවිඩ් අවසන් වෙලා සෑහෙන්න කාලයක් ගතවුණත් ලංකාවේ අධ්‍යාපනය සාමාන්‍ය තත්ත්වයට ගේන්න තවමත් බැරිවෙලා තිබෙනවා. ඒකට අධ්‍යාපන බලධාරීන් වගකියන්න ඕනෑ. මේ ගමන පළමු වාරය පටන්ගත්තේ පෙබරවාරි මාසේ. මාර්තු 30ට කලින් ක්‍රීඩා තරග ඉවර කරන්න කියලා අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් දීලා තියෙනවා. ක්‍රීඩා වගේ දේවල් මේවගේ දේශගුණයක් පවතින කාලෙක කරන්න ඕනෑ කොහොමද කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය ගයිඩ් ලයින්ස් දීලා තිබෙනවා. ඒත් මේවගේ සිද්ධියක් වුණාම තමයි අධ්‍යාපන බලධාරීන්ට ඒවා මතක් වෙන්නේ. මේක පළවෙනි සිද්ධියවත් අවසන් සිද්ධියවත් නෙවෙයි. එක එක ප්‍රදේශවල පවතින දේශගුණ තත්ත්වයන් එකිනෙකට වෙනස්, එතකොට අධ්‍යාපන බලධාරීන් දැනගන්න ඕනෑ, ඒ ඒ ප්‍රදේශ අනුව කටයුතු කරන්න. ඒත් මේ කිසිදෙයක් සිද්ධවෙන්නේ නෑ. අධ්‍යාපන අමාත්‍යාංශය මේවා ගැන මීටවඩා හිතන්න අවශ්‍යයි.‘

අශ්වයා පැනගිය පසු..

අපි දැන් මොනවා කොහොම කතා කළත් විදූෂන් මරණය වෙත ගිහිං. මේ මරණයට අධ්‍යාපන බලධාරීන් වගේම සෞඛ්‍ය බලධාරීනුත් වගකියන්න අවශ්‍යයි. ඒත් කවුද ඒ වගකීම ගන්නේ? විදූෂන්ගේ මරණය දැනගත්තාම තිරුක්කෝවිල් රෝහල ඉස්සරහට ආපු විශාල ජනකායත් ඇහුවේ ඒක. ඔවුන් කිව්වේ මේ මරණයට තිරුක්කෝවිල් රෝහල වගකියන්න ඕනෑ කියලා.

විදූෂන් වෙනුවෙන් රෝහල ඉස්සරහට ආපු විශාල ජනතාව පාලනය කරන්න විශේෂ කාර්‍ය බලකාය යොදවන්න බලධාරීන්ට සිද්ධවුණා. රෝහලේ නාමපොවරුවට පවා හානි කරමින් ප්‍රචණ්ඩකාරී විදිහට හැසිරෙමින් රෝහලට ගල්මුල් ප්‍රහාර එල්ල කළ පිරිස් සොයාගෙන ඔවුන් අත්අඩංගුවට ගන්න කටයුතු කරනවා කියලා පොලීසිය ප්‍රකාශ කරනවා. මේ විදිහටම විදූෂන්ගේ මරණයට වගකිව යුතු අයත් සොයාගෙන ඔවුන්ට දඬුවම් පැමිණවීමත් පොලීසිය සතු වැඩක්. අපි එහෙම කරනකම් බලාගෙන ඉන්නවා.

ඒ අස්සේ මරණය සිදුවුණ දවසට පස්සේ දවසේ, ඒ කියන්නේ මාර්තු 12 අධ්‍යාපන ලේකම් වසන්තා පෙරේරා සියලු ඉස්කෝලවලට ලිපියක් යවමින් පවතින අධික උෂ්ණත්වය සහිත කාළගුණය තත්ත්වය තුළ පාසල් ක්‍රියාකළ යුතු ආකාරය කොහොමද කියලා සිහිකැඳවීමක් කරලා තියෙනවා.

මේකට අපි කියන්නේ අශ්වයා පැනගිය පසු ස්ථාලය වහලා දානවා කියලා. මේ ක්‍රමවේදය කොතරම් නම් කාලයක් පවතීවිද? ප්‍රස්නාර්ථයක්..!