You are currently viewing රෝහිත කෝප් සභාපති ධුරයට..!

රෝහිත කෝප් සභාපති ධුරයට..!

-කේ. සංජීව-

ඊයේ (මාර්තු 7) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් හරි විශේෂ ප්‍රවෘත්තියක් ආවා. ඒ ප්‍රවෘත්තියෙන් කියවුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහෙමත් නැත්තං අපි හැවෝම දන්න කෝප් කමිටුවේ සභාපති ධුරයට තේරී පත්ව තිබෙනවා කියලා. මේ පත් කිරීම  විශේෂ වෙන්නේ මේ කාරක සභාවේ කාර්යය කර්තව්‍යය දන්න අයට. රාජ්‍යයට අයත් සංස්ථාවල සහ රජ්‍යයට පැවරී ඇති වෙනත් ව්‍යාපාරවල ගිණුම් පරීක්ෂා කිරීම තමයි මේ කමිටුවේ ප්‍රධාන කාර්‍යය. අපි කවුරුත් දන්නවා රාජ්‍යයේ මුදල්වල පාලනය තියෙන්නේ පාර්ලිමේන්තුව සතුව කියලා. අන්න ඒ කාරණාව ඉෂ්ඨසිද්ධ කර ගන්න මේ කමිටුවට විශාල වැඩකොටසක් පැවරෙනවා.

මේ තත්ත්වය අස්සේ ඕනෑම පුද්ගලයෙක් තම කමිටුව ඉදිරියට කැඳවන්න, ඕනෑම ලියවිල්ලක්, පොතක්, වාර්තාවක්, වෙනත් ලේඛනයන් පරීක්ෂා කරන්න මේ කමිටුවට බලය තියෙනවා. ඒ විතරක් නෙවෙයි රාජ්‍ය දේපලවලට ප්‍රවේශවෙන්න, ඒවා පරීක්ෂා කරන්න, ඒවා පිළිබඳව යම් යම් පියවරයන් ගන්නත්, මේ කමිටුවට බලය තිබෙනවා. එවැනි කමිටුවක සභාපති විදිහට කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහත්තයා පත් කරනකොට අපිට ඒක සුවිශේෂ වෙන්නේ ඇයි? ඒකට ප්‍රධාන හේතුව තමයි අයතා උපයාගැනීම් ගැන වගේම නොයේක් වංචා දූෂණ වගේ දේවල් ගැන මේ මන්ත්‍රීවරයාට චෝදනා එල්ලවීම.

කෝප් කමිටු සභාපති ධුරය කියලා කියන්නේ එක්කතරා විදිහකට ගරු කටයුතු තනතුරක්. මේ කමිටුවට පත්වුණ අතීත සභාපතිවරුන් දිහා බලනකොට වුණත් ඒ පත් කිරීම් සුවිශේෂයි කියලයි මට හිතෙන්නේ. එහෙම තත්ත්වයක් අස්සේ 2010 මාර්තු 31 සිට 2014 මැයි 31 දක්වා අවුරුදු හතරක කාලය අස්සේ අමාත්‍යවරයෙකු විදිහට කටයුතු කරමින් ඉන්න කාලේ රුපියල් ලක්ෂ 412ක වත්කමක් උපයා ගත්තේ කොහොමද කියලා යහපාලන කාලයේ  අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිසම රෝහිත අබේගුණවර්ධන මහත්තයාගෙන් ඇහුවා. ඔහුට එයට දෙන්නට පිළිතුරක් නැතිවුණාම එම කොමිෂම ඔහුට විරුද්ධව 2016 ජනවාරි 8 නඩුවක් ගොනුකළා.

පස්සේ 2021 මාර්තු 19 මේ නඩුවෙන් රෝහිත අබේගුණවර්ධන නිදොස් කොට නිදහස් කරන්නට කොළඹ මහාධිකරණය නියෝග කළා. අධිකරණ තීන්දුව ඒක උනත් මේ සිද්ධිය එක්ක ඔහු පිළිබඳව ජනතාවගේ විශ්වාසය බිඳවැටිලා තිබෙන්නේ. සමස්ථයක් විදිහට පාර්ලිමේන්තුව කෙරෙහිම ජනතාවගේ විශ්වාසය බිඳවැටිලා තිබෙන වෙලාවක මෙවැනි පත් කිරීම් සිදු කිරීම, රාජ්‍යය තව තවත් අවුලට අරගෙන යනවා කියලයි මට හිතෙන්නේ.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති ධුරය දරන සමයේ බෞද්ධ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සේ කටයුතු කරපු එදිරිවීර ප්‍රේමරත්න මහත්තයාගේ දියණිය Colombo Telegraph වෙබ් අඩවියට ලිපියක් ලියමින් ප්‍රශ්න කළේ තමන්ගේ තාත්තාගේ රියදුරා විදිහට කටයුතු කරන්න පාපැදියකින් පැමිණි රෝහිත අබේගුණවර්ධන මහත්තයා ඊට අවුරුදු කිහිපයකට පස්සේ මේ සා විශාල ධනයක හිමිකරුවෙක් වුණේ කොහොමද කියලා.

තමන්ගේ තාත්තා ළඟ රැකියාවට ආ රියදුරාගේ ඒ කාලේ ආර්ථික මට්ටම දැනගෙන හිටිය ඇය මෙසේ ප්‍රශ්න කිරීම අසාධාරණ නැහැ කියලයි මට හිතෙන්නේ. පොදුවේ ගත්තාම ඇයට විතරක් නෙවෙයි මේ ප්‍රශ්නය තිබෙන්නේ. අපි පුරවැසියන් බොහෝ පිරිසකට දේශපාලකයන් පිළිබඳව මේ ප්‍රශ්නය තිබෙනවා. ඒ නිසා මේ කමිටුවට සභාපතිවරයෙක් පත් කරනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයාටත් මීට වඩා සැලකිල්ලක් දක්වන්නට තිබුණා කියලයි මට හිතෙන්නේ.