You are currently viewing ටෙන්ඩර් නැතිව ආ අදානිගේ සුළං මෝල් ..!

ටෙන්ඩර් නැතිව ආ අදානිගේ සුළං මෝල් ..!

-කේ. සංජීව-

2030 වර්ෂය වනවිට මෙරට සමස්ත විදුලිබල උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති මාර්ගයෙන් උත්පාදනය කිරීම ශ්‍රී ලංකාවේ ඉලක්කය බව පසුගිය කාලයේ දිගින් දිගටම ඇසුණු හඬය. අදානි ග්‍රීන් එනර්ජි සමාගමට මන්නාරම සහ පුනරීන් ප්‍රදේශ ආශ්‍රිතව මෙගාවොට් 480ක විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ලංකාණ්ඩුව අවසර ලබාදෙන්නේද මෙම ඉලක්කය සපුරාගැනීමේ අරමුණෙන් විය හැකිය. මේ වනවිට මන්නාරමේ ඉදිකර සාර්ථකව ක්‍රියාත්මක වෙමින් ගිගාවොට් පැය 404ක ධාරිතාව ඉක්මවමින් විදුලිය නිපදවමින් තිබෙන තම්බපවනි විදුලි බලාගාරයේ සාර්ථකත්වය කියාපාන්නේ, මෙම බලශක්ති ක්ෂ්‍රේතය තුළ අපහට විශාල ගමනක් තිබෙන බවය.

කාබන් විමෝචන බලශක්ති ප්‍රභවයන්ට මුල්තැන නොදී මෙවැනි බලශක්ති ප්‍රභවයන් සඳහා මුල්තැන ලබාදීම හොඳ දෙයක් වුණත් එහිදී සියලු රාජ්‍ය පටිපාටීන් බැහැරකර අවසර ලබාදීම දෙස පුරවැසියන් සිය අවධානය යොමුකළ යුතුය. මෙම ව්‍යාපෘතිය මුලසිටම ක්‍රියාත්මක වෙන ආකාරය දෙස බලනවිට මෙහි අතයට ගනුදෙනු බොහෝ ප්‍රමානයක් සිද්ධවෙන බව අනුමාන කළ හැකිය. පසුගිය කාලයේ සිදුවී ඇති ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලිය දෙස බලන විට, ඒවාට කැබිනට් අනුමැතිය ලැබී ඇති ආකාරය දෙස බලන විට, මෙම අදානි සුළං බලාගාර කටයුත්තේදී වංචාවන් සහ දූෂණයන් සිදුවී නැතිබවට කාට කිවහැකිද?

මෙම සුළං බලාගාර ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වන ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් කියන්නේ මේ කාලයේ සුළං විදුලි ඒකකයක වෙළඳපොළ වටිනාකම ඇමරිකානු ඩොලර් සත 2ක් පමණක් බවය. මෙම මිල ගණන් අවුරුදු 5කට සැරයක් වෙනස්වෙන අතර ඒ නිසාම සුළං විදුලි ඒකකයක නිශ්පාදන වියදම අවුරුදු 5කට පමණ සැරයක් 50%කින් අඩුවෙයි. එහෙත් මෙම ගනුදෙනුවේදී ඇමරිකානු ඩොලර් සත 4.6ක ස්ථිර මිල ගණනකට අවුරුදු 25ක් යනතුරු විදුලිය මිලදී ගැනීමට අදානි සමාගම සමග ගිවිසුම් ගතවී ඇත.    

මෙහි පවතින අනෙක් බරපතළ කාරණය වන්නේ මෙම අවුරුදු 25ක කාලය තුළ විදුලියට අදාළ ගෙවීම් ඩොලර්වලින් ගෙවියුතු වීමය. සුළඟ, භූමිය ආදිය සියල්ල සපයා එයින් ජනනය කරනු ලබන විදුලිය ඩොලර්වලින් නැවත අපටම මිලදී ගන්නට වීම කෙතරම් නම් ආශ්චර්‍යයක්ද? විදුලි බල මණ්ඩලයට මෙන්ම දේශීය ආයෝජකයින්ටද මෙවැනි විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නට හැකියාව තිබියදී සහ එවැනි ව්‍යාපෘතියක් මන්නාරම ප්‍රදේශයේම සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබියදී බලධාරීන් මෙහෙම තීන්දු ගන්නේ ඇයි? ප්‍රශ්නය ඇත්තේ එතනය.

සුළඟින් විදුලිය නිපදවීම එන්න එන්නම ලාභදායි වෙන පසුබිමක අදානිගේ සමාගමට ලාභ හිමිකරදීමේ අරමුණෙන් මෙම ගිවිසුමට ලංකාවේ බලධාරීන් එකඟවන්නට ඇත්තේ ඇයි? ඒ පිළිබඳව සිතිය යුතුය. ඩීසල් විදුලි බලාගාර මාෆියාව පිළිබඳව දන්නා අපිට කොළ කඩාදමමින් සිටින විදුලි බල ඇමති කංචන විජේසේකර වැනි අයට අපට කියන්නට ඇත්තේ තාත්තා ගැනත් දන්නවා පුතා ගැනත් දන්නවා කියා ය.

ටෙන්ඩර් නෑ

ලංකා විදුලිබල පනතට අනුව විදුලි සම්ප්‍රේෂණ බලපත්‍රලාභියකු තෝරාගත යුත්තේ විවෘත තරගකාරී ක්‍රියාවලියක් හරහා සිදුකරන ලංසු කැඳවීමකින් අනතුරුව වඩා වාසිදායක ලංසුවට ප්‍රථම ස්ථානය ලබා දීමෙනි. එසේ නොවී ටෙන්ඩර් ක්‍රියාවලියෙන් බැහැරව එම තෝරාගැනීම කළ හැක්කේ රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්ගත වීමකදී පමණි.  එහෙත් ලංකාවේ බලධාරීන් මේ කිසිදෙයක් සලකන්නේ නැතිව සුළං විදුලි ජනනය සඳහා ඉන්දියාවේ සිටින කෝටිපති ව්‍යාපාරිකයෙක් වන ගෞතම් අදානිගේ ‘අදානි ග්‍රීන් එනර්ජි ලිමිටඩ්‘ සමාගමට මන්නාරම සහ පූනගරි විදුලි ව්‍යාපෘති දෙකක කොන්ත්‍රාත්තුව ලබාදෙන්නට කටයුතු කරන අතර මේ කොන්ත්‍රාත්තුවේ තොරතුරු එළියට දීම නිසා ජනතාව විසින් එලවා දැමූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ කාලයේ සිටි විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.සී. ෆර්ඩිනැන්ඩුට සිය ධුරය අතහැර ගෙදර යන්නටද සිදුවිය.

අදානි සමාගමට සුළං බල ව්‍යාපෘතිය ලබා දෙන ලෙස ඉන්දීය අගමැතිවරයා ශ්‍රී ලංකා ආණ්ඩුවට බල කළ බව මේ කියන සභාපතිවරයා 2022 දී කෝප් කමිටුව හරහා අනාවරණය කිරීම නිසා ඔහුට එසේ තනතුර අතහැර ගෙදර යන්නට සිදුවිය. කෙසේවුණත් මන්නාරම් ද්‍රෝනියේ සුළං බලයෙන් විදුලිය නිපදවීමට අදාළ අදානි ග්‍රීන් එනර්ජි ව්‍යාපෘතිය ඉදිරියට ගිය අතර එහිදී බොහෝ දේවල් සිද්ධවුණේ, තිරය පිටුපස බොහෝ ගනුදෙනු සිද්ධවෙන බවට එළියට පෙනෙන පරිදිය.

රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වූ පසුව ඉන්දියාවේ කළ ප්‍රථම සංචාරයේදීම ඔහු ගෞතම් අදානි මුණගැහුණ බව මාධ්‍ය වාර්තාවන් පළ කළේය. සමහර මාධ්‍ය වාර්තාවන් එහිදී කියාසිටියේ ජනාධිපති වික්‍රමසිංහ සහ අගමැති මෝදි අතර හමුව පවා සංවිධානය කර දුන්නේ ගෞතම් අදානි බවය. ඩොලර් මිලියන 442ක මෙම ව්‍යාපෘතියට අදාළව ප්‍රථම කැබිනට් පත්‍රිකාව 2022 මාර්තු මස 11 වැනි දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්වී ඇති අතර කෙසේ හෝ අවසානයේ ටෙන්ඩර් ආදී කිසිවක් නැතිවම මෙම සුළං බල ව්‍යාපෘතිය සඳහා ලංකා රාජ්‍යයේ අනුමැතිය ලැබුණ අතර එම බලාගාරයන් ඉදිකිරීමට අදාළව මේවනවිට බොහෝ කාර්‍යයන් ලහිලහියේ සිදුවෙමින් පවතී.

ඒ අතරේ මේ වෙනවිට මන්නාරමේ ඉදිකරමින් පවතින මෙම සුළං බලාගාරයට එරෙහිව බරපතළ පාරිසරික විරෝධයක් නැඟඑමින් තිබෙයි. පසුගිය දා මෙම ව්‍යාපෘතියට අදාළ පාරිසරික අධ්‍යයන වාර්තාව මධ්‍යම පරිසර අධිකාරිය සිය වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කළ අතර එම වාර්තාවේ කරුණු පිළිබඳව මහජන අදහස් විමසීම සඳහා ලබාදෙනු ලැබූ කාලය මාර්තු 06 වෙනිදායින් අවසන් විය.

මෙම මත විමසුමත් සමගම බලාගාරය නිසා සිද්ධවෙන පාරිසරික හානිය පිළිබඳව විශාල කතාබහක් සමාජයේ ඇවිලී ගියේය. මේ ලිපියේ අරමුණ ඒ පිළිබඳව කතා කිරීමය. ඊට ප්‍රථම මේ ගනුදෙනුවේ ස්වරූපය හඳුනාගත යුතුය.

පරිසරය කන්නද?

මෙවැනි ව්‍යාපෘතියක් සඳහා අවසර ලබාදෙන විට භූමිය, ධීවර කර්මාන්තය, සංචාරක කර්මාන්තය, ජන ජීවිතය, පරිසරය ආදී මේ සියල්ල පිළිබඳව සලකා බැලිය යුතුය. ඩීල් එකේ තරම ලොකුවෙනවිට ලංකාව වැනි රටවල දේශපාලකයින්ට, රාජ්‍ය සේවයේ ඉහළ සිටින පුද්ගලයන්ට මේ සියල්ල අමතක වීම සාමාන්‍ය දෙයක් ය. මේ සිද්ධවී ඇත්තේද එයමය. අප මේ වනවිට සංචාරක කර්මාන්තය පිළිබඳව සතුටුවෙමින් මහා ඝෝෂාවක් නඟමින් සිටිමු. අද වනවිට ලංකාවට එන සංචාරකයින් ප්‍රමානය එන්න එන්නම වැඩිවෙමින් තිබෙයි. ඒ අතරෙනුත් ඉන්දියානු සංචාරකයන්ගේ ප්‍රමානය සැලකිය යුතු මට්ටමකය. සංචාරකයන් ලංකාවට එන්න ප්‍රධානම හේතුව ලංකාවේ පරිසර පද්ධතියයි. ඒ අනුව බලනවිට මන්නාරම සුළං බල ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන ආකාරය විශාල ප්‍රශ්නයක් ය.

මෙම බලාගාර නිර්මානයට අදාළ පාරිසරික අධ්‍යයනය දෙස බලනවිට පෙනෙන්නේ එය අදානිගේ දේශීය නියෝජිතයන් කළ එකක් කියා ය. අප මේ පිළිබඳව මුලින්ම පාරිසරික ක්‍රියාකාරිකයෙක් වන ආචාර්ය ජගත් ගුණවර්ධන සමග කතා කළෙමු. ඔහු එහිදී මෙවැනි අදහසක් දැක්වීය.

‘මේ සුළං බල ව්‍යාපෘතිය නිසා වැරදි තුනක් වෙනවා. හරිනම් මුලින් පරිසර බලපෑම් තක්සේරු වාර්තාව EIA කරලා ඒක අනුවයි හරි තැනක් තෝර ගන්න ඕනෑ. ඒත් මෙතන විකල්ප ස්ථාන හඳුනා ගැනීමක් කරන්නේ නැතුව කෙලින්ම මන්නාරම තෝරාගෙන බොරුවට EIA එකක් කරලා තියෙනවා. පරිසර පනතේ හැටියට විකල්ප ස්ථාන හඳුනා ගැනීම මෙතන දී සිද්ධ වෙලා නෑ. දෙවැනි කාරණය තමයි මේ ව්‍යාපෘති පාලනය කරන රජයේ නියාමන ආයතනයක් වෙච්ච ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මෙතන දී අදානි වෙනුවෙන් ව්‍යාපෘති යෝජකයා වුණේ කොහොමද කියන එක. ඒක බරපතළ තත්ත්වයක්. තුන්වෙනි කාරණය එහෙම ව්‍යාපෘති යෝජකයා විදියට අරගෙන තුන්වැනි පාර්ශවයකට දෙනවා නම් ඒ ක්‍රමවේදය මොකක්ද කියන එක. එහෙනම් අයදුම්පත් කැඳවලා සුදුසුම කෙනා තෝරගෙන කළ යුතුයි. දැන් වෙලා තියෙන්නේ අදානිව කලින්ම තෝරාගෙන එයාට දෙන්නම මේක කරලා තියෙනවා. මෙතන විෂමාචාරයක් සිද්ධවෙලා තිබෙනවා‘

මේ විදිහට අදහස් දක්වන ආචාර්‍ය ජගත් ගුණවර්ධන ප්‍රකාශ කරන්නේ මේ බිමේ තියෙන ටයිටේනියම් තෝරියම් වැනි ඛනිජ ගැන කිසිදු සොයාබැලීමක් නොකර මේ බිම අදානි වෙත ලබාදෙන්නට කටයුතු කිරීම බරපතළ තත්ත්වයක් බවය.  

මෙම සුළං බලශක්ති ව්‍යාපෘතිය යටතේ මන්නාරම දූපතේ අලුතින් සුළං ටර්බයින් 52ක් ස්ථාපිත කෙරෙන අතර පරිසර ඇගයීම් වාර්තාවට අනුව දැනට ක්‍රියාත්මක තම්බපවනි සුළං බලාගාරයට සමාන්තරව, දූපතේ විශාල ප්‍රදේශයක් මෙම ටර්බයින් මගින් ආවරණය වෙයි. මෙම ටර්බයින ක්‍රියාත්මක කිරීම සඳහා විශාල සිදුරු කනිමින් තිබෙන අතර එම ටර්බයින් වෙත ප්‍රවේශ වීම සඳහා මාර්ග ද නිර්මානය කරමින් තිබෙයි. මේ නිසා කුමක් සිදුවිය හැකිද?  අප මේ පිළිබඳව මන්නාරම දූපතේ අවුරුදු 5ක පමණ කාලයක් පර්‍යේෂණයේ නිරතවෙමින් සිටින කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය සම්පත් සෙනවිරත්න ගෙන් කරුණු විමසූ අතර එහිදී ඔහු මෙවැනි අදහසක් ප්‍රකාශ කළේය.

‘මන්නාරමේ මිනිස්සු ළිං කනින කොට කියන දෙයක් තියෙනවා, ඔවුන් කියනවා ඉස්සෙල්ලාම අහුවෙන දියබිඳෙන් සෑහෙන්න කියලා. ඒ කියන්නේ වතුර අහුවුණාට පස්සේ තවත් පොළව සිදුරු කළොත් ඊළඟට අහුවෙන්නේ කරදිය. මන්නාරම දූපතේ කරදිය තලාවක් උඩ තමයි මිරිදිය තියෙන්නේ. මේ උඩ තියෙන මිරිදිය බුබුල නිසා තමයි ගොවියෝ සාර්ථකව වගාකටයුතු කරමින් ඉන්නේ. හැබැයි මේ ව්‍යාපෘතියට අවශ්‍ය ටර්බයින් සවිකරන්න අඩි 40ක විතර වළවල් කනින්න වෙනවා, මේකෙන් වෙන්න පුලුවන් ලොකුම විනාශය තමයි දූපතේ තියෙන මිරිදියට කරදිය මිශ්‍ර වෙන එක. ඒකෙන් පානීය ජලය වගේම වගාවට ජලය නැතිවෙන්න පුලුවන්. අනෙක් පැත්තෙන් මේ ව්‍යාපෘතිය නිසා ධීවර ප්‍රජාවටත් විශාල ප්‍රශ්න තිබෙනවා. මේ කිසි දෙයක් ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වා තමයි මේ ව්‍යාපෘතිය පටන් අරගෙන තියෙන්නේ‘

මීටර් 27ක විස්කම්භයක් සහිත ප්‍රදේශයක් මෙම සුළං බලාගාරයේ එක් ටර්බයිනයක් ස්ථාපනය සඳහා අවශ්‍ය වන අතර එම කුළුන වෙත ප්‍රවේශ වීම සඳහා මීටර් 17ක් පළල මාර්ගයක් සාදනු ලැබීමත් ගංවතුර අවධානමක් නිර්මානය කර ඇතැයි දූපතේ වැසියන් ප්‍රකාශ කරයි. මේ සියලු තත්ත්වයන් නිසා මන්නාරම දූපතේ ජීවත්වෙන පවුල් 70000ක ජීවිතය අවධානමක ගිලී ඇත.

සංචාරක කුරුල්ලන්ට මොකද වෙන්නේ?

මන්නාරම දූපත යනු සංචාරක පක්ෂීන්ගේ ප්‍රධාන නැවතුම්පොළක් ය. මෙය ලෝකය පුරාම ප්‍රසිද්ධ කතාවක් ය. එයට ප්‍රධානම හේතුව ලෝකයේ කුරුල්ලන් සංක්‍රමණය වන ප්‍රධාන මාර්ග අටෙන් එකක ගමනාන්තය මන්නාරම දූපත වීමය. මෙම මාර්ගය මධ්‍යම ආසියානු සංක්‍රමණික මාර්ගය (Central Asian Flyway) ලෙස හඳුන්වන අතර ඒ හරහා කිලෝමීටර් දහස් ගණනක් දුර ගෙවාගෙන රටවල් 30කින් සංක්‍රමණික පක්ෂීන් මිලියන 15ක් පමණ ඔක්තෝම්බරය සහ අප්‍රේල් අතර කාලයේ ශ්‍රී ලංකාවට පැමිණෙයි. එයින් මිලියනයක් විතර මෙම කාලයේදී මන්නාරමේ රැඳෙන බවද පර්‍යේෂකයෝ ප්‍රකාශ කරයි. මෙම කුරුළු සංක්‍රමනය පිළිබඳව දීර්ඝ කාලයක සිට පර්‍යේෂනයේ නිරත මහාචාර්‍ය සම්පත් සෙනවිරත්නගෙන් අප මේ පිළිබඳව විමසීමක් කළ අතර එහිදී ඔහු මෙවැනි අදහසක් ප්‍රකාශ කළේය.

‘ඇත්තටම මන්නාරම කියලා කියන්නේ ලංකාවේ තියෙන අප්‍රිකාව කියලා කියන්න පුලුවන්. විශාල සංචාරක ආකර්ෂනයක් තියෙන ප්‍රදේශයක් තමයි මන්නාරම කියලා කියන්නේ. ඒකට ප්‍රධානම හේතුවක් තමයි මේ දූපතේ සහ ආශ්‍රිත ප්‍රදේශයේ කුරුළු වර්ග විශාල ප්‍රමානයක් ඔක්තෝම්බර් සහ අප්‍රේල් අතර කාලයේ නිතරම දකින්න පුලුවන් වීම. මන්නාරම දූපත සහ මේ අවට කලාපයේ පරිසර විද්‍යාත්මක වැදගත්කම සැලකිල්ලට අරගෙන තමයි ආදම්ගේ පාලම ජාතික වනෝද්‍යානයක් විදිහට වගේම වෙඩිතලතිව් ස්වභාවික රක්ෂිතයක් විදිහට ප්‍රකාශයට පත්කරලා තිබෙන්නේ. වන්කලෙයි අභය භූමිය අන්තර්ජාතික වශයෙන් වැදගත් රැම්සා තෙත් බිමක් විදිහට ප්‍රකාශය කරලා තියෙනවා. මේවගේ අතිසංවේදී පරිසර කලාපයක් ගැන කරලා තියෙන පරිසර අධ්‍යයන වාර්තාව කියලා කියන්නේ අතිශ්‍ය දුර්වල එකක්. ඇත්තටම බොරුවක් එතන කරලා තියෙන්නේ.

ලංකාවට එන කුරුල්ලන්ගෙන් මිලියනයක් විතර ඔක්තෝම්බර් සිට අප්‍රේල් අතර කාලයේ මන්නාරමේ නතර වෙනවා. හැබැයි මේගොල්ලෝ සංක්‍රමණික කුරුල්ලෝ නැති කාලයක තමයි මේ අධ්‍යනය කරලා තියෙන්නේ. එහෙම කරලා තමයි සංක්‍රමණික කුරුල්ලන්ට ගැටලුවක් වෙන්නේ නෑ කියලා කියන්නේ. ඒක බරපතල තාක්ෂණික වැරද්දක් නෙවෙයිද? අනෙක් කාරණය තමයි වාර්තාව හදපු අය උදේ 6 ඉඳලා හවස 6 වෙනකං දවල්ට කැලේ ඇවිදලා තමයි තොරතුරු රැස්කලා කියන්නේ. හැබැයි මේ කුරුල්ලෝ පියාඹන්නේ රෑට. චන්ද්‍රිකා තාක්ෂණය පාවිච්චි කරලා අපි විද්‍යාත්මකව පෙන්නලා දීපු කාරණයක් තමයි සංචාරක කුරුල්ලෝ දහස් ගාණක් පියාඹන්නේ රෑට කියන කාරණය. මේ එක කුරුල්ලෝ රංචුවක කුරුල්ලෝ ලක්ෂ දෙකහමාරත් ලක්ෂ හතරත් අතරේ ඉන්නවා. ඉතිං දවල්ට කැලේ ගිහිං රෑට අහසේ පියාඹන කුරුල්ලෝ ගැන මෙයාලා මෙහෙම වාර්තාවකින් කියන්නේ කොහොමද? ඇත්තටම මේවා සිනහා උපදවන වාර්තා. අපි කොළඹ විශ්ව විද්‍යාලය මේගැන දීර්ඝ කාලෙක ඉදලා පර්‍යේෂන කරනවා විතරක් නෙවෙයි ඒවාගැන අපි තොරතුරු වාර්තා කරලා තියෙනවා. අඩුම ඒ තොරතුරුවත් මෙයාලා සැලකිල්ලට අරගෙන නෑ.

මේ වාර්තාවේ තියෙන ලොකුම විහිළුව තමයි කුරුල්ලන්ට යන්න කොරිඩෝවක් ඇඳලා තියෙනවා. ඒකෙ දිගේ යන්න නම් හැරෙන තැන්වල බෝඩ් ගහලා තියන්න වෙයි. අදානිගේ මේ සුළංමෝල් මැප් එකයි EIA වාර්තාවයි එකට තිබ්බාම පේනවා කොරිඩෝව මැද්දේත් සුළං මෝල් තියෙනවා කියලා. ඒනිසා මේ වාර්තාව සම්පූර්ණයෙන්ම බොරුවක් කියලා තමයි කියන්න වෙන්නේ. මේවා අදානිට මේක දෙන්නම බලාගෙන කරන වැඩ‘

කුරුල්ලෝ ආවත් එකයි, නැතත් එකයි, විදුලිය තමයි වැදගත් යන කතාව කියමින් යන අදානි හිතවාදී මාධ්‍ය ප්‍රකාශ කරන්නේ, කුරුල්ලන් කාලයක් යනවිට මෙම සුළං මෝල් අතරින් පියාඹායන්නට මඟ වෙනස් කරගනිමින් පියාඹන්නට පුරුදු වෙයි යන්නයි. එසේ කුරුල්ලන් තම චර්යාවන් වෙනස් කරගනීවිද? අනිද්දා මේ පිළිබඳව ආචාර්‍ය ජගත් ගුණවර්ධනගෙන් කරුණු විමසූ අතර එහිදී ඔහු කීවේ මෙවැනි කතාවක් ය.

‘මේ සංක්‍රමනය, මේ මාර්ගයේ අවුරුදු දහස් ගානක් සිද්ධවෙන දෙයක්. මේක සහජාශයක්. අපි පරවියෙක් උඩ ගැහුවට පස්සේ එයා කොහොමද ආපහු එයා හිටපු තැන හොයාගෙන එන්නේ. මේවා හරියටම වෙන්නේ කොහොමද කියලා කියන්න පර්‍යේෂකයොවත් දන්නේ නෑ. ඒනිසා කවුරුහරි කියනවා නම් මෙයාලා තමන් එන පාර වෙනස් කරගනී වගේ කතා ඒවා විශ්වාස කරන්න බැරි කතා. අනෙක් පැත්තෙන් මේ කුරුළු සංක්‍රමනය උඩ තමයි අපේ කෘෂිකර්මාන්තය රැඳිලා තියෙන්නේ. අපි කවුරුත් ඒ ගැන කතාකරන්නේ නෑ. ඊසාන දිග මෝසම කෘෂි අස්වැන්න සහ මේ කුරුළු සංක්‍රමන එකට බැඳිලා තිබෙන්නේ. උදාහරණයක් කියන්නම් දේශීය කොහා පළතුරු තමයි ආහාරයට ගන්නේ ඒත් සංක්‍රමනික කොහාගේ ප්‍රධාන ආහාරය තමයි දළඹුවන්. ඉතිං කොහා එන්නේ නැතිවුණොත් වෙන්න පුලුවන් දේ මොනාද? කෘමි උවදුර පාලනය වෙන්න එක හේතුවක් තමයි මේ කුරුළු සංක්‍රමනය. අද ඉන්දියාව ඇමරිකාව වගේ රටවල්වල කෘෂිකර්මය බොහෝදුරට මේවා මත තමයි පදනම් වෙලා තිබෙන්නේ.‘

මේ සියලු දේවල් එකට තබා ගණනය කළහොත් මන්නාරමේ මේ සුළංමෝල් ඉදිකිරීම කොයිතරම් දුරට අපහට ප්‍රතිලාභයන් රැගෙන එනවාද? සලකා බැලිය හැකිය. එහෙත් කොමිස් මුදල්වලට ඇස් අන්ධ වූ විට මේවා නොපෙනී යා හැකිය.

සුළංමෝල් හදන්න මන්නාරමේ විතරයිද හොඳ? මේ ලියුම්කරු මහාචාර්‍යවරයාගෙන් කරුණු විමසූ විට ඔහු ප්‍රකාශ කළේ ලංකාව තුළ තවත් ඒ සඳහා සුදුසු ස්ථාන බොහෝ ඇති බවයි. එහෙත් මන්නාරම සහ පුනරීන්ම මේ සඳහා යොදාගන්නේ ඇයි? උත්තරය ‘ඉන්දියාව‘ යන්නයි. නූතන ඉන්දියාවේ බල දේශපාලනය ක්‍රියාත්මක වන්නේ අදානි අම්බානි වැනි කෝටිපතියන්ගේ ව්‍යාපාරික සමාගම් සන්නාම හරහාය. එම නව ඉන්දියානු සිතියම තුළ ලංකාව ස්ථානගතවී ඇති ආකාරය මෙමගින් පෙන්වයි. එයින් අපිට ගැළවිය හැකිද? ප්‍රශ්නාර්ථයක් ය…!