You are currently viewing රටේ ආර්ථිකය විනාශ කළ මහබැංකුව, මෙන්න බොලේ 70%කින් පඩි වැඩිකරගෙන..!

රටේ ආර්ථිකය විනාශ කළ මහබැංකුව, මෙන්න බොලේ 70%කින් පඩි වැඩිකරගෙන..!

-කේ.සංජීව-

ශ්‍රී ලංකා මහ බැංකුව යනු කුමක්ද? එය පවත්වාගෙන යන්නේ ඇයි? මම එහි වෙබ් අඩවිය වෙත පිවිස බැලුවෙමි. එහි මෙසේ සඳහන් විය. මූලික අරමුණ – “දේශීය මිල ස්ථායිතාව ළඟා කර ගැනීම සහ පවත්වා ගෙන යෑම” , අනෙක් අරමුණ – “මූල්‍ය පද්ධති ස්ථායිතාව සුරක්ෂිත කිරීම”. මේ අනුව මෙම ආයතනය පිහිටුවීමේ මූලික අරමුණු දෙකක් පවතී. මෙම අරමුණු දෙක මත කටයුතු කරන ශ්‍රී ලංකාවේ මහ බැංකුව සතු කාර්‍යයන් මොනවාද? එම වෙබ් අඩවියේම කාර්‍යයන් මෙසේ සඳහන් කර ඇත.

මහ බැංකුවේ කාර්යයන් –
1. මුදල් ප්‍රතිපත්තිය නිර්ණය කිරීම සහ ක්‍රියාත්මක කිරීම
2. විනිමය අනුපාතික ප්‍රතිපත්තිය නිර්ණය කිරීම සහ ක්‍රියාත්මක කිරීම
3. ශ්‍රී ලංකාවේ නිල ජාත්‍යන්තර සංචිත විචක්ෂණශීලීව සහ සාර්ථකව කළමනාකරණය බලපැවැත්වීම සහ සහතික කිරීම
4. ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් නිකුත් කිරීම සහ කළමනාකරණය
5. ගෙවීම් පද්ධති පරිපාලනය, අධීක්ෂණය සහ නියාමනය කිරීම සහ එවැනි ගෙවීම් පද්ධතිවල ආරක්ෂාව, සඵලදායීබව සහ කාර්යක්ෂමතාව තහවුරු කිරීම
6. මූල්‍ය ආයතන ලියාපදිංචි කිරීම, බලපත්‍රගත කිරීම, නියාමනය සහ අධීක්ෂණය කිරීම
7. මහ බැංකුව විසින් නියාමනය සහ අධීක්ෂණය කරනු ලබන මූල්‍ය ආයතන නිරාකරණය කිරීම
8. සාර්ව විචක්ෂණ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම.
9. සංඛ්‍යාලේඛන රැස් කිරීම සහ නිපදවීම.
10. රජය වෙත මූල්‍ය උපදේශක සහ බැංකුකරු වෙත කටයුතු කිරීම.
11. යම් ලිඛිත නීතියක් විසින් හෝ ඒ යටතේ විධිවිධාන සලස්වා ඇති ප්‍රමාණයකට රජය වෙත රාජ්‍ය මූල්‍ය නියෝජිතවරයා ලෙස කටයුතු කිරීම.
12. පාර්ලිමේන්තුව, රජය සහ මහජනතාව වෙත එහි ප්‍රතිපත්ති සහ මෙහෙයුම් සම්බන්ධයෙන් දැනුවත් කිරීම.
13. මහජන ජාත්‍යන්තර මූල්‍ය ආයතන ඇතුළුව, ජාත්‍යන්තර සංවිධාන සමඟ සහයෝගීව ක්‍රියා කිරීම සහ ඒවාට සහභාගී වීම සහ එහි අරමුණුවලට අදාළව සලකා බලන කාරණා සම්බන්ධයෙන් දේශීය සහ විදේශීය මහජන ආයතන සමඟ සහයෝගීව ක්‍රියා කිරීම.
14. ශ්‍රී ලංකාවේ මූල්‍ය අන්තර්ගතභාවය ප්‍රවර්ධනය කිරීම.
15. මූල්‍ය පද්ධති ස්ථායිතාව සුරක්ෂිත කිරීමේ විධික්‍රමයක් ලෙස තැන්පතු ආරක්ෂණ සහ ද්‍රවශීල සහායක යෝජනාක්‍රම පිහිටු වීම

1949 අංක 58 දරන මුදල්  නීති පනත යටතේ ලංකා මහ බැංකුව ස්ථාපනය කරන ලදුව, වේගවත් ලෙස ආර්ථික වර්ධනයට අනුබල දීමට සහ එය දිරිමත් කිරීමට අවශ්‍ය කාර්යක්ෂම මුදල් ප්‍රතිපත්තියක් සහ ක්‍රියාශීලී මූල්‍ය අංශයක් පවත්වා ගෙන යෑම සඳහා එහි මෙහෙයුම් කටයුතු 1950 අගෝස්තු 28 වැනි දින ආරම්භ කරනු ලබන අතර 1985 දී මෙම ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුව ලෙස නැවත නම් කරන ලදී.

දැන් ගැටලුව කුමක්ද? ප්‍රධාන ගැටලුව පසුගිය කාලයේ (අවම 1985න් පසුව) මහ බැංකුව ප්‍රශස්ථව තම කාර්‍යයන් සිදුකර ඇතිද යන්නයි. පසුගිය 2022 වර්ෂයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකාව නම් රාජ්‍ය බංකොළොත් රාජ්‍යයක් බව නිළ වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබීය. මෙම බංකොළොත්භාවයට වගකිවයුත්තේ කවුද? ඉහත උපුටා දැක්වීම්වලට අනුව නම් ශ්‍රී ලංකා මහ බැංකුව එහි ප්‍රධාන වගකිවයුතු ආයතනයයි. එය එසේ නම් මෙම කාලය තුළ එම ආයතනයේ ඉහළින් සිට වැටුපට රැකියාව කළ සියලු සේවකයන් මෙම අර්බුදයට වගකිව යුතුය. ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළම නිලධාරීන් ගත් තීන්දු තීරණ නිසා ශ්‍රී ලංකාව නම් රාජ්‍ය බංකොළොත් රාජ්‍යයක් බවට පත්වී ඇත. එහි සත්‍යක් පවතී. හරිනම් මෙම ආර්ථික අර්බුදයට කෙළින්ම වගකිව යුතු දේශපාලකයින් වගේම ශ්‍රී ලංකා මහ බැංකුවේ තීන්දු තීරණ ගත් ඉහළ නිලධාරී වළල්ල ද මීට වගකිව යුතුය. ඇත්තටම නම් මේ පිළිබඳව නිසි සොයාබැලීමක් සිදුකර එම තීන්දු තීරණ ගත් පුද්ගලයින්ට නීතියෙන් දඬුවම් පැමිණවිය යුතුය.

එසේ දඬුවම් කිරීම කෙසේවුණත් පසුගිය දා අපහට වාර්තා වුණේ මහ බැංකුව ඉතාමත් ඉහළ අගයකින් තම සේවකයින්ගේ වැටුප් වැඩිකරගෙන ඇති බවය. ජනතාවට පටි තදකරගන්න, ඉවසන්න යැයි දෛනිකව පවසන මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාගෙන් අපහට අසන්නට තිබෙන්නේ මෙසේ අසීමිතව වැටුප් වැඩිකරගන්න ලැජ්ජාවක් නැද්ද කියා ය. එම තීරණය ඒ තරමටම පිළිකුල දනවන බව කිවයුතුය.

මෙම වැටුප් වැඩිකරගැනීම ගැන මාධ්‍ය කළ විමසීම්වලදී මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරන්නේ නව මහ බැංකු පනත අනුව මහ බැංකුව ස්වාධීන ආයතනයක් නිසා එහි වැටුප් වැඩිකිරීම් රජයෙන් තීරණය නොකරන බවය. එය තීරණය කරන්නේ ඔවුන් විසින්ම බවය. මෙය පනතට අනුව හරි යැයි සිතමු. එය එසේනම් මහබැංකුවට මේ අවස්ථාවේ මෙසේ වැටුප් වැඩි කරගන්නට සදාචාරාත්මක අයිතියක් තිබෙයිද? කිසිසේත්ම නැත. තමන්ගේ හැන්දෙන් තම පිඟානටම බෙදාගත් ශ්‍රී ලංකා මහ බැංකුව මම අශෝබන ක්‍රියාව පිළිබඳව සිට ප්‍රතිචාරය දක්වමින් ප්‍රකාශ කරන්නේ වැටුප් සංශෝධන සම්බන්ධයෙන් රජයේ චක්‍රලේඛ කිසිවිටකත් අදාළ නැති බවය. සෑම වසර තුනකටම වරක් වැටුප් සංශෝධනය කරනු ලබන්නේ වෘත්තීය සමිති හා මහ බැංකුව අතර අත්සන් කරන ලද සාමූහික ගිවිසුමක් මත බවය. එහෙත් එවැනි සාමූහික ගිවිසුමක් සොයාගන්නට ද නැත.

මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය, ශ්‍රී ලංකා මහ බැංකු පනත අනුව ස්වාධීනව කටයුතු කිරීමේ යම් යම් බලතල ශ්‍රී ලංකා මහ බැංකුවට ලබාදී ඇති බව කීවත් එය කිසිසේත්ම පෞද්ගලික ආයතනයක් නොවේ. එය ජනතාවට වගකිව යුතු පාර්ලිමේන්තුවට වගකිවයුතු ආයතනයක් ය. රාජ්‍යයේ මුදල් පරිපාලනය පාර්ලිමේන්තුව සතුනම් මහබැංකුවට මෙසේ කටයුතු කළ හැකිද? එසේම මහ බැංකුවේ වැටුප් වැඩිකිරීමේදී ඒ සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය ඒකාබද්ධ අරමුදලින් වෙන් කරන ලද අරමුදල්වලින් අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව, පාලක මණ්ඩලය විසින් නිශ්චය කරනු ලබන තත්ත්වයන් යටතේ ගත හැකි බව සඳහන් තත්ත්වය තුළ සේවයකන්ට අවශ්‍ය ආකාරයට බෙදාගන්නට නොහැකිය. එහෙත් දැන් සිදුවී තිබෙන්නේ පාලක මණ්ඩලයේ තීරණයක් බව මවාපාමින් සේවකයන් තමන්ට අවශ්‍ය පරිමාවට තම හැන්දෙන් බෙදාගෙන ඇති බවය.

රට ආර්ථික අගාධයකට හෙළනු ලැබූ ශ්‍රී ලංකා මහ බැංකුවට මෙසේ හැසිරිය හැකිද? ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා වැඩි බව කියවෙයි.

දැන් අපි වැටුප් වැඩිකරගැනීමේ සංඛ්‍යා දත්ත වෙත ප්‍රවේශ වෙමු. පසුගිය 2024-02-25 වෙනි දින අනිද්දා පුවත්පත මෙම වැටුප් වැඩිවීමේ සංඛ්‍යා දත්ත ”රටට පටි තද කරගන්න යැයි කියා, හැන්දෙන් තමන්ටම බෙදාගත් ශ්‍රී ලංකා මහ බැංකුව’යන සිරස යටතේ පළකර තිබුණි. එහි ලේඛකයා ලසන්ත රුහුණගේ මහතාය.

එම ලිපියට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් හා දීමනා වැඩිකර ගැනීම් එහි නියෝජ්‍ය අධිපති මට්ටම, සහකාර අධිපති මට්ටම, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ මට්ටම, නියෝජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ මට්ටම, 3 සිට 1 දක්වා වන ජේෂ්ඨ නිලධාරීන්ගේ මට්ටම, 5 සිට 1 දක්වා වන කළමනාකාර සහකාර මට්ටම හා 3 සිට 1 දක්වා වන කාර්යාල සහකාර මට්ටම අනුව සිදුකර ඇත.

මෙම ලැජ්ජා නැති වැටුප් වැඩිකරගැනීම එම පුවත්පත පළ කරන්නේ මෙසේය –

”රුපියල් 584,775ක් වූ නියෝජ්‍ය අධිපතිවරයෙකුගේ මූලික වැටුප රුපියල් 1,078,850ක් දක්වා වැඩිකර ඇති අතර කුලී දීමනාව රුපියල් 116,955 සිට රුපියල් 215,770 දක්වා වැඩිකර තිබේ. ඊට අමතරව ව්‍යවස්ථාපිත  දීමනාව රුපියල් 77,724.14 සිට රුපියල් 137,013.14ක් දක්වා වැඩිවී ඇත. කළමනාකරණ දීමනාව රුපියල් 120,000 සිට රුපියල් 180,000 දක්වා වැඩිකර ඇති අතර ජීවන වියදම් දීමනාව ලෙස රුපියල් 75,511,42ක් ලැබේ. මේ සියල්ලේ එකතුව රුපියල් 1,687,144.56ක් වන අතර පැවති වැටුප් හා දීමනාවට සාපේක්ෂව එහි වැඩිවීම රුපියල් 712,179කි. ප්‍රතිශතයක් ලෙස එහි වැඩිවීම සියයට 73.05කි.

මෙම වැඩිවීම අනුව සහකාර අධිපතිවරයෙකුගේ වැටුප් හා දීමනා රුපියල් 715,075.56 සිට රුපියල් 1,237,436.36 දක්වා රුපියල් 522,359.80ක් දක්වා වැඩිවී ඇත. එම වැඩිවීම්වල ප්‍රතිශතය සියයට 73.05කි.

දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ වැටුප් හා දීමනා රුපියල් 604,530.56 සිට රුපියල් 1,035,256.16ක් දක්වා රුපියල් 430,725.60කින් වැඩිවී ඇති අතර එහි වැඩිවීමේ ප්‍රතිශතය සියයට 71.25කි. නියෝජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධානියෙකුගේ වැටුප් හා දීමනා රුපියල් 523,515.76 සිට රුපියල් 872,795.56ක් දක්වා රුපියල් 345,279.80 කින් වැඩිකර ඇති අතර එහි වැඩිවීම සියයට 66.72කි.

ජ්‍යෙෂ්ඨ නිලධාරී 3 ශ්‍රේණියේ වැටුප් හා දීමනා රුපියල් 457,161.75 සිට රුපියල් 747,124.76ක් දක්වා රුපියල් 289,963කින් වැඩි වී ඇති අතර එහි වැඩිවීමේ ප්‍රතිශතය සියයට 63.43කි. ජ්‍යෙෂ්ඨ නිලධාරී 2 මට්ටමේ වැටුප් හා දීමනා රුපියල් 380,312.16 සිට රුපියල් 605,331.56ක් දක්වා රුපියල් 225,019.40කින් වැඩි වී ඇති අතර එහි වැඩිවීම ප්‍රතිශතය සියයට 59.17කි. ජ්‍යෙෂ්ඨ නිලධාරී 1 මට්ටමේ වැටුප් හා දීමනා රුපියල් 329,877.36 සිට රුපියල් 514,447.16 දක්වා රුපියල් 184,569.80කින් වැඩිවී ඇති අතර එහි වැඩිවීම සියයට 55.95කි.

කළමනාකාර සහකාර 5 මට්ටමේ වැටුප් හා දීමනා රුපියල් 271,112.16 සිට රුපියල් 411,470.16ක් දක්වා රුපියල් 140,358කින් වැඩිවී ඇති අතර එහි වැඩිවීම සියයට 51.77කි.  කළමනාකාර සහකාර 4 මට්ටමේ රුපියල් 230,527.16ක් වූ වැටුප් හා දීමනා රුපියල් 339,874.16 දක්වා රුපියල් 109,347කින් වැඩිවී ඇති අතර එහි වැඩිවීම සියයට 47.43කි. කළමනාකාර සහකාර 3 මට්ටමේ රුපියල් 203,161.56ක්  වූ වැටුප් හා දීමනා රුපියල් 290,439.06ක් දක්වා රුපියල් 87,277.50කින් වැඩි වී ඇති අතර එහි වැඩිවීම සියයට 42.96කි.

කළමනාකාර සහකාර 2 මට්ටමේ වැටුප් හා දීමනා රුපියල් 184,001.06 සිට රුපියල් 255,916.06ක් දක්වා රුපියල් 71,915කින් වැඩිවී ඇති අතර එහි වැඩිවීම සියයට 39.08කි. කළමනාකාර සහකාර 1 මට්ටමේ වැටුප් හා දීමනා රුපියල් 172,256.06 සිට රුපියල් 235,053.06ක් දක්වා රුපියල් 62,797කින් වැඩිවී ඇති අතර එහි වැඩිවීම සියයට 36.46කි.

කාර්යාල සහායක 3 මට්ටමේ රුපියල් 162,937.06ක් වූ වැටුප් හා දීමනා රුපියල් 217,617.56ක් දක්වා රුපියල් 54,680.50ක් දක්වා වැඩිවී ඇති අතර එහි වැඩිවීම සියයට 33.56කි. කාර්යාල සහායක 2 මට්ටමේ රුපියල්  152,192.56ක් වූ වැටුප් හා දීමනා රුපියල් 198,022.06ක් දක්වා රුපියල් 45,829.50කින් වැඩිවී ඇති අතර එහි වැඩිවීම සියයට 30.11කි. කාර්යාල සහායක 1 මට්ටමේ රුපියල් 144,075.06ක් වූ වැටුප් හා දීමනා රුපියල් 188,388.06ක් දක්වා රුපියල් 39,312කින් වැඩිවී ඇති අතර එහි වැඩිවීම සියයට 27.29කි” – (උපුටා ගැනීම – www.anidda.lk)  

මෙම සංඛ්‍යා දත්ත ගොනුව කියවාගෙන යන විට මෙම ආයතනයේ උසස් නිලධාරීන් තමන්ගේ වැටුප තමන්ම වැඩිකරගෙන තිබෙන ආකාරය ගැන ඔබට වැටහීමක් ලැබෙනවා ඇත. රට තුළ උද්ගත ආර්ථික තත්ත්වය තුළ සාමාන්‍යයෙන් කාලා ඇඳලා හොඳට ජීවත් වෙන්න නම් මෙවැනි වැටුපක් අවශ්‍ය බව මෙයින් පෙනෙයි. ප්‍රශ්නය වන්නේ මුලු රටේ සමස්ථ ජනග්‍රහනයම මහබැංකු සේවකයන් නොවීමය. මහබැංකුව පසුගිය කාලයේ නටපු නාඩගමේ හැටියට දැන් බෙරේ පලුවක් නැත. ඒ පලුවක් නැති දොසේ විඳින්නට සිදුවී තිබෙන්නේ රටේ සමස්ථ පුරවැසියාට ය. එවැනි තත්ත්වයක් තුළ මේ වැඩි කරගැනීම කියන කතාව කුමක්ද?