You are currently viewing ඌවේ දෙමළ දරුවන්ට, විද්‍යා අධ්‍යාපනය අහිමි ඇයි?

ඌවේ දෙමළ දරුවන්ට, විද්‍යා අධ්‍යාපනය අහිමි ඇයි?

-කේ. සංජීව-

උදාවෙලා තියෙන 2024 අවුරුද්ද කියන්නේ ජනාධිපතිවරණය පැවැත්වෙන අවුරුද්ද. ජනතාවගේ පරමාධිපත්‍යය යටතේ දැක්වෙන සියලු විධායක බලතල ක්‍රියාත්මක කිරීමට නියෝජිතයෙක් අවුරුදු පහක කාලයකට තෝරා පත් කරගැනීම තමයි අපි ජනාධිපතිවරණයකදී කරන්නේ. එනිසා මම මේ කියන්න යන කතාව මේ වකවානුවත් එක්ක ගොඩක් වටිනවා කියලයි මට හිතෙන්නේ. මොනරාගල සිටින දෙමළ හෝ මුස්ලිම් ජනතාවගේ දරුවන්ට විද්‍යාව සහ ගණිත විෂයන් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා තෝරගන්න හදාරන්න මොනරාගල දෙමළ මාධ්‍ය පාසල් තුළ කිසිදු ඉඩක් නෑ. මුලදී ටික කාලයකට වාණිජ්‍ය විෂය දහරාව තෝරාගන්නට හැකිවුණත් දැන් එයත් ඉගන ගන්න තැනක් මොනරාගල නෑ. මේක අවුරුදු ගානක ප්‍රශ්නයක්. නමුත් මම මේක දැනගත්තේ මොනරාගල කළ මේ සංචාරයෙන් පස්සේ. මාධ්‍යවේදියෙක් විදිහට මට ඇත්තටම කනගාටුයි ඒ ගැන. මම ඉතිං මේ ගැන තොරතුරු හොයාගෙන යනකොට දැනගන්න ලැබුණා බදුල්ල දිස්ත්‍රික්කය තුළ තත්ත්වයත් මේකම තමයි කියලා.

මේක අපි තේරුම් ගන්නේ කොහොමද? මම මේ ගැන කරුණු හොයන්න ඌව පළාත් සභාවේ වෙබ් අඩවියට ගියාම ඒකේ ලොකු අකුරෙන් ඌව පළාතේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය ඉහළ නංවන්නට ගුරුවරුන් බඳවා ගන්නවා කියන දැන්වීම දැක්කා. මේ දැන්වීමෙන් කියවෙන්නේ මොකද්ද? ඌව පළාතේ දේශපාලන බලධාරීන්ට දෙමළ මුස්ලිම් දරුවන්ගේ අධ්‍යාපනය තවදුරටත් වැදගත් නැහැ කියන කතාව. ඔවුන් දෙමළ මාධ්‍ය අධ්‍යාපනය ඉහළ නංවන්න කරන කිසිදු කාර්යයක් නෑ. ඒත් සිංහල දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් බොහෝ දේවල් කරමින් තිබෙන බව පේනවා. ඒ වෙබ් අඩවියේම ‘ඌව පළාතේ මධ්‍යකාලීන තිරසර සංවර්ධන සැලැස්ම‘ එළිදක්වා තිබෙනවා. 2024 සිට 2026 දක්වා කාලය අස්සේ ඌව දියුණු කරන්නේ කොහොමද කියන එක තමයි ඒ සැලසුමේ තිබෙන්නේ. හැබැයි ඌව පළාතට කාලයක් තිස්සේ උරුම මේ දෙමළ මාධ්‍යයේ දරුවන්ගේ ප්‍රශ්නයට ඒ සැලසුම අස්සෙත් පිළිතුරු නෑ.

මේක වතුකරයේ ජනතාව නොසලකා හැරීමේ කතාවේම දිගුවක් ද? වතුකරයට අවුරුදු 200යි කියමින් උඩ පනින දෙමළ දේශපාලන නායකයන් තම දරුවන්ට විද්‍යා සහ ගණිත අධ්‍යාපනය අහිමිකර ඇති බව දන්නවාද?

මොනරාගල කිසිම දෙමළ මාධ්‍ය ඉස්කෝලෙක විද්‍යාව හෝ ගණිත අංශය නෑ

‘මගේ නම ලිලාන් ඊශ්වර්. මගේ වයස අවුරුදු 20යි. මම දැන් කොළඹ විශ්ව විද්‍යාලයට තේරිලා ඉන්නවා. ඒ අන්තර්ජාතික සම්බන්ධතා කියන විෂය හදාරන්න. මට ඇත්තටම සාමාන්‍ය පෙළ කරනකොට උසස් පෙළ විද්‍යා හෝ ගණිත විෂයන් හදාරන්න ආසාවක් තිබුණා. ඒත් ඒක ප්‍රයෝගික නෑ මොනරාගල අපිට. මොකද මොනරාගල කිසිම දෙමළ මාධ්‍ය ඉස්කෝලෙක විද්‍යාව හෝ ගණිත අංශය නෑ. මම උසස්පෙළට ඉගන ගත්ත මොනරාගල විපුලානන්ද දෙමල ජාතික පාසලේ කලින් ටික කාලයක් වානිජ්‍ය විෂය තිබිලා තියෙනවා දැන් ඒකත් නෑ.

අපිට මැත්ස් සයන්ස් උසස් පෙළට කරනවා නම් හැටන් යන්න වෙනවා. නැත්තං යාපනේ එහෙමත් නැත්තන් මඩකලපු යන්න වෙනවා. ඒත් අපේ අම්මට තාත්තට ඒකට වියදම් කරන්න සල්ලි නෑ. ගුරුවරයෙක්ගේ දරුවෙක් උනොත් ගොඩක් වෙලාවට ඔවුන් තමන්ගේ දරුවා යාපනේට නැත්තං මඩකලපුවට යවනවා, උසස් පෙළ විද්‍යාව ගණිතය හදාරන්න. ඒකයි මෙහේ සාමාන්‍ය තත්ත්වය. මම 2023 තමයි උසස් පෙළ කළේ. මගේ අවුරුද්දේ පස්දෙනෙක් හිටියා මම එක්ක උසස් පෙළ කරන්න, ඒ අයගෙන් දෙන්නෙක් යාපනේ සහ මඩකලපුවට ගියා. තවත් දෙන්නෙක් හිටියා කොමර්ස් කරන්න ආශාවෙන්, හැබැයි ඉස්කෝලයක් නැතිවුණා, අන්තිමට ඒ දෙන්නම උසස් පෙළ කළේ නෑ.‘

ලිලාන් ඊශ්වර්ගේ කතාව බරපතළයි. ඊශ්වර්ගේ කතාව කියවූ කෙනෙක් මෙසේ මගෙන් අසන්නට ඉඩ තියෙනවා. අවුරුද්දකට ළමයි පහක් නම් උසස්පෙළ කරන්නේ කොහොමද විද්‍යා ගණිත අංශ පවත්වාගෙන යන්නේ? ඊශ්වර් මෙතන කියන්නේ තමන් එක්ක එකට සිටි යහළුවන් ගැන. අනෙක් පැත්තේ දකුණේ සමහර ගම්බද ජාතික පාසල්වල විද්‍යා හා ගණිත අංශයන් තිබුණත් ගුරුවරුන් සිටියත් විද්‍යාගාර පහසුකම් තිබුණත් ඒවායේ ඉගෙන ගන්න දරුවන් නැහැ. සමහර අවුරුදුවල ගණිත අංශයටම සිටින්නේ එක දරුවෙක් විතරයි. එයට හේතුව දරුවන් ජනප්‍රිය පාසල් සොයාගෙන යාම. ඒ උනාට පාසල්වල විද්‍යා ගණිත අංශ වහලා දාන්නේ නෑ. මේ තත්ත්වය ඌවේදී වෙනස් වෙන්නේ ඇයි? අපිටනම් තිබෙන ප්‍රශ්නය ඒක. දෙමළ මාධ්‍ය ගුරු හිඟය මෙයට ප්‍රධාන හේතුව වෙන්න පුළුවන්. හැබැයි ඌව පළාතේ දරුවන් උසස් පෙළට විද්‍යාව හෝ ගණිතය හදාරන්නේ නැතිව, මේ විෂයන් පළාත අස්සේ දෙමළ මාධ්‍යයේ දරුවන් අතරේ ජනප්‍රිය නොකර මේ විෂයන් උගන්වන්න ගුරුවරුන් හදන්නේ කොහොමද? මෙය චක්‍රයක්. මේ ප්‍රශ්නය විසඳන්න නම් මේ චක්‍රය කොතනින් හෝ බිඳින්න ඕනෑ.

අපිට අධ්‍යාපනයට සම අවස්ථා නෑ

‘මට මගේ ඉස්කෝලේ නම ප්‍රසිද්ධ කරන්න ඕනෑ වුණා. මට ඇත්තටම මොනරාගලින් එක වෙන්නයි ඕනෑ වුණේ. මම ඒ තුනක් අරගෙන මොනරාගල දිස්ත්‍රික්කයේ 23 වෙනියා වුණා. මගේ පාසල් ඉතිහාසයේ ඒ තුනක් ගත්ත පළවෙනි ළමයා තමයි මම. මම ආර්ට් විෂයන් තෝරගත්දි මුලින්ම තෝරගත්තේ දෙමළ, ආර්ථික විද්‍යාව සහ දේශපාලන විද්‍යාව. මෙතන ආර්ථික විද්‍යාව තමයි ‘ ස්කෝ එකට බලපාන ප්‍රධානම විෂය. ඒකට ඒ එකක් ගත්තාම රෑන්ක් එක වැඩිවෙනවා. හැබැයි මම අවුරුද්දක් මේ විෂය ඉගනගන්නකොට ගුරුවරයා මාරුවෙලා ගියා. ඊටපස්සේ අපිට ඒ විෂය උගන්වන්න ගුරුවරයෙක් හිටියේ නෑ. අන්තිමට මම හින්දු සංස්කතිය කියන විෂය තෝරගෙන කළා. මම ඒ විෂය අවුරුද්දක් ඉගනගෙන තමයි ඒ එකක් ගත්තේ. හැබැයි මගේ ‘ ස්කෝ එකට මේක බලපෑවා. මම ඉකෝන් කළා නම් මම මොනරාගලින් එක වෙනවා අනිවාර්යයෙන්. මම එල්.එල්.බී කරන්න තමයි මුලින් හිතාගෙන විභාගේ ලිව්වේ, ඒත් මේ සබ්ජෙක්ට් ප්‍රශ්නය නිසා මම තේරුණේ නෑ. අන්තිමට මම මේ රටින් යන්න තීරණය කළා. ඒකට පහසුවක් වෙයි කියලා තමයි ඉන්ටර් නැෂනල් රිලේෂන් කියන සබ්ජෙක්ට් එක තෝරගත්තේ.

මම හිතන්නේ මොනරාගල දෙමළ සිසුන්ගෙන් කොළඹ විශ්වවිද්‍යාලයට තේරුණ පළවෙනි කෙනාත් මම. මේ ‘ ස්කෝ ප්‍රශ්නය නිසා අපේ ළමයින් ගොඩක් වෙලාවට තේරෙන්නේ යාපනේට නැත්තං නැගෙනහිරට. මොකද අපිට දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍ය අය එක්ක තමයි තරග කරන්න වෙලා තියෙන්නේ. හැබැයි අපිට අධ්‍යාපනයට සම අවස්ථා නෑ. අපි රේස් එකේ පිටිපස්සේ හිටවලා තමයි රේස් එක පටන් ගන්නේ. මෙහේ සිංහල ප්‍රධාන ඉස්කෝල 5ක ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය තියෙනවා. හැබැයි අපිට නෑ. දැන් කලා අංශය ගත්තොත් අලුත් විෂයන් 41ක් විතර තියෙනවා. හැබැයි අපිට ඒ එකක්වත් නෑ. අපිට තියෙන්නේ සෞන්දර්ය විෂයන් වගේ දේවල් විතරයි. අපේ අය ඉතිං කැම්පස් ගිහිං සංගීතය නැටුම් ඩ්‍රාමා වගේ විෂයන් ඉගනගෙන ආයෙත් ගුරුවරු විදිහට එනවා එච්චරයි. බුත්තල දුටුගැමුණු, මොනරාගල රාජකීය, විද්‍යාලෝක, මහානාම වගේ ඉස්කෝලවල මේ අලුත් සබ්ජෙක්ට් තියෙනවා. ඊටෙක්, බීටෙක් වගේ අලුත් සබ්ජෙක්ට් මේ හැමදෙයක්ම තියෙනවා. ඒත් අපිට මේ මොකවත් නෑ.’

ඊශ්වර්ගේ කතාව ගැන ඔබට මොකද හිතෙන්නේ? වතුකරයේ ජනතාව ලංකාවට ඇවිත් අවුරුදු 200ක් වෙනවා කියලා සැමරුම් උත්සව සංවිධානය කළ දෙමළ දේශපාලන පක්ෂවලට මොකද මේගැන හිතෙන්නේ.?

යාපනේදීත් අපිට ලැබෙන්නේ දෙවෙනි පන්තියේ සැලකිල්ලක්

මැතිවරණ කොට්ඨාස 3ක් ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 11ක් ප්‍රදේශීය සභා 10ක් සහ ග්‍රාමසේවා කොට්ඨාස 319ක් සහිත මොනරාගල දිස්ත්‍රික්කයේ මේවනවිට ජනගහනය 509000ක්. මෙම ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් දෙමළ සහ මුස්ලිම්. ඌව පළාත ගතහොත් එහි සමස්ත ජනගහනය 2022 සංගණනයට අනුව 1408000ක්. 2012 වර්ෂයේ ජන හා නිවාස සංගණනයට අනුව ඌව පළාතේ මුළු ජනගහනය 1,266,463ක් වෙනකොට ඒ කොටසේ ඉන්න ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගේ ප්‍රමානය 30,086ක්. ඉන්දියානු දෙමළ ජනතාව 155,485ක්. ශ්‍රී ලංකා මූවර් ජනතාව 54,224ක්. මැලේ ජනතාව 1,414ක්. මෙම සංඛ්‍යා දත්ත පිරික්සනකොට ඔබට තත්ත්වයේ බරපතළකම තේරෙන්න ඕනෑ.

අපි මේ සංචාරය අතරේ මොනරාගල මුප්පනවේලි වත්තේ ජීවත්වෙන තිලකරාණි එක්ක කතා කළා. ඇය පෙර පාසල් ගුරුවරියක්. තිලකරාණීට දැන් වයස 36ක්.

‘මේ වත්තේ පවුල් 200කට වැඩිය ජීවත් වෙනවා. කීප දෙනෙක්ට වත්තෙන් ගෙවල් හදලා දීලා තියෙනවා එච්චරයි. මේ ගොඩක් ලයින් කාමර අවුරුදු 100කට වැඩිය පරණයි. ගොඩක් අය රස්සාවට වත්තේ වැඩට යනවා. දැන්නම් සමහර තරුණ ගැහැනු ළමයි ගාර්මන්ට්වල රස්සාවට යනවා. ගුරුවරුත් සුළු ප්‍රමාණයක් ඉන්නවා. මේ වතුවල ඉන්න අපි 20%ක් වත් දේශපාලනය ගැන දැනුවත් නෑ. ඡන්දය කියන්නේ මොකද්ද? ඇයි අපි ඡන්දය දාන්නේ කියන දේවත් ගොඩක් අය දන්නේ නෑ. ඒක නිසා අපිට මොනරාගලට තවම දේශපාලන නියෝජිතයෙක් නෑ. අපි හැමදාම සිංහල නායකයන්ට තමයි ඡන්දය දුන්නේ. හැබැයි අපේ ප්‍රශ්න එහෙම්මමයි. අපිට තියෙන අයිතීන් මොනවාද? අපි මොනවාටද සටන් කරන්න ඕනෑ වගේ දේවල් ගැන අපි දැනුවත් නෑ. ඒක නිසා තමයි මේ අධ්‍යාපන ප්‍රශ්නයට තවමත් විසඳුමක් නැත්තේ. එහෙම බැලුවාම අද මේ තරුණ අය මේ ප්‍රශ්න විසඳගන්න වැඩකරන විදිහ ගැන සතුටක් තමයි තියෙන්නේ. අපේ ළමයින්ට දොස්තරලා ඉංජිනේරුවෝ වෙන්න බැරිද? ඇයි අපිට ඒ අවස්ථාව අහිමිකරලා තියෙන්නේ? අපේ ළමයෙක් අමාරුවෙන් හරි සල්ලි හොයාගෙන යාපනේට යැව්වොත් උසස් පෙළ කරන්න එතනදීත් අපිට ලැබෙන්නේ දෙවෙනි පන්තියේ සැලකිල්ලක්. ඉතිං කොහොමද අපි ඉස්සරහට යන්නේ? ඇයි අපිට මෙහෙම කරන්නේ?‘

තිලකරාණී අසන මේ ප්‍රශ්නයට අපට දෙන්නට තිබෙන පිළිතුර කුමක්ද? මම මේ පිළිබඳව මොනරාගල ප්‍රදේශීය සභාවේ හිටපු පොහොට්ටු මන්ත්‍රී චාමර නානායක්කාරගෙන් කරුණු විමසුවා. ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කරන ඔහුට මෙම අධ්‍යාපන ප්‍රශ්නය පිළිබඳව තිබුණේ මේවගේ අදහසක්.

‘ඇත්තටම මම කාලයක් තිස්සේ මේක පළාත් සභාවෙන් ඉල්ලන ඉල්ලීමක්. ඒත් තවමත් ප්‍රතිචාරයක් නෑ. මේකෙන් දෙමළ ජනතාවට විතරක් නෙවෙයි අසාධාරණයක් වෙන්නේ මුස්ලිම් ජනතාවටත් ලොකු අසාධාරණයක් තමයි වෙන්නේ.  බොහෝම අමාරුවෙන් ජීවත් වෙන මේ මිනිස්සුන්ට තමන්ගේ දරුවා නුවරට යවලා නැත්තං හැටන්වලට යවලා උසස් පෙළට උගන්වන්න සල්ලි නෑ. ඒක බලධාරීන් තේරුන් ගන්න අවශ්‍යයි. දෙමළ මාධ්‍ය ගුරු හිඟයක් තියෙනවා, ඔව් ඇත්ත, හැබැයි ගුරුවරුන් මේ විෂයන් උගන්වන්න පුහුණු කරන්නේ නැතුව මේ ප්‍රශ්නය විසඳන්නේ කොහොමද? මොනරාගල ගත්තත් බදුල්ලේ ගත්තත් පළාත් පාසල් තමයි වැඩිපුර තියෙන්නේ, ඒ නිසා ආණ්ඩුකාරවරයා මේ ගැන සොයාබලන්න ඕනෑ. මැදගම, බකිනිගහවෙල, කොටබෝව, වැල්ලවාය වගේ කොට්ඨාසවල දැන් සැලකියුතු මුස්ලිම් ජනගහනයක් ඉන්නවා. ඔවුන්ටත් මේ ප්‍රශ්නය මෙහෙම්මම තියෙනවා.‘

ඌව පළාත් මෙම අධ්‍යාපන ප්‍රශ්නය ගැන ලංකා ගුරු සංගමයේ අදහස කුමක්ද? මම එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලීන්ගෙන් ඇහුවා.

‘මේක අද ඊයෙක ප්‍රශ්නයක් නෙවෙයි දීර්ඝකාලීන ප්‍රශ්නයක්. තවමත් විසඳුමක් නෑ. මේකට සම්පූර්ණයෙන්ම ප්‍රදේශය නියෝජනය කරන දේශපාලකයෝ වගකියන්න ඕනෑ. ඔවුන් මහජන නියෝජිතයෝ විදිහට ජනතා ඡන්දයෙන් පත්වෙන්නේ මේ ප්‍රශ්න ගැටලු විසඳන්න. හැබැයි තවමත් ප්‍රශ්නය එහෙම්මමයි. දෙමළ මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් වෙනම ඒකකයක් පටන් ගත්තා කෝ මොකද්ද වුණේ? මේ දේශපාලකයෝ තමන්ගේ ජනතාවට කිසිම දෙයක් දීලා නෑ. රවට්ටපු එක තමයි දිගටම කරලා තියෙන්නේ. වතුකරයේ ජනතාවට දිගින් දිගටම මේ අසාධාරණය කරනවා. දිගින් දිගටම ඔවුන්ව නොතකාහරිමින් සිටිනවා. මේ ප්‍රශ්නයත් ඒකෙම කොටසක්. දැන් කිසිම පුහුණුවක් නැති ගුරු සහායක කියලා 2000ක් ගන්න යනවා. උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සමතුන් ගන්නේ. හැබැයි මේ කිසිදේකින් මෙවැනි උග්‍ර ප්‍රශ්නවලට පිළිතුරක් නෑ. දේශපාලකයෝ තමන්ගේ දේශපාලන වාසිය සඳහා තමයි වැඩ කරන්නේ‘

ඌව පළාතේ දෙමළ මාධ්‍ය පාසල් තුළ දෙමළ වචනයක් බැරි සිංහල ගුරුවරුන් සිටින බව 2019 පෙබරවාරි 05 එවක ඌව පළාත් අධ්‍යාපන අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් මාධ්‍ය හමුවක් තබමින් ප්‍රකාශ කරනවා. ඇත්තටම මේක සිනහ උපදවන තත්ත්වයක්. දෙමළ භාෂාව නොදැන පළාතේ දෙමළ පාසල්වල සිටින සියලුම සිංහල ගුරුවරුන් ස්ථාන මාරුකර යවන්න තමන් තීරණය කළා කුමන බාධක ආවත් තමන් එම පියවර ගන්නා බව තමයි අමාත්‍යවරයා ඒ මාධ්‍ය හමුවේ කිව්වේ. මෙයින් පෙනෙන්නේ ඌව පළාතේ දෙමළ මාධ්‍ය ගුරු හිඟය සිංහල දේශපාලකයන් තමන්ගේ ආධාරකරුවන්ට රස්සා දෙන්නට භාවිත කර ඇති බව නොවෙයිද?