You are currently viewing කතානාකවරයා ව්‍යවස්ථාව කඩයි….!

කතානාකවරයා ව්‍යවස්ථාව කඩයි….!

-කේ. සංජීව-

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති බවට පත් කිරීම ව්‍යවස්ථාවට පටහැනි බව බොහෝ දෙනෙකුගේ මතය වී ඇත. එහෙත් ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කරන්නේ ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ.(1) හා 61ඉ.(ආ) වන ව්‍යවස්ථාවන්හි විධිවිධාන ප්‍රකාරව, මෙම පත්කිරීම සිදු කර ඇති බවය.

පසුගිය පෙබරාවාරි 26 වැනි දිනයේදී කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වූ අතර එම රැස්වීමට ජනාධිපතිවරයාගේ පොලිස්පති පත් කිරීමට අදාළ නිර්දේශයන් ඉදිරිපත් කර ඇත. මෙහිදී වැදගත් ප්‍රශ්න කිහිපයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විමසිය යුතුය. පළමු පැනය වන්නේ මූලික අයිතිවාසිකම් කඩකළ පුද්ගලයෙක් ලෙස සඳහන් කරමින් රටේ ඉහළම අධිකරණය වන්දියක් ලබාදෙන්න යැයි නිර්දේශ කළ පුද්ගලයෙක් මෙරටේ පොලිස්පති ලෙස පත්කරන්නට ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශකර යෝජනාවක් යවන්නේ කෙසේද යන්නයි.

දෙවෙනි පැනය වන්නේ 1994 අංක 22 දරණ කූර වධහිංසා පැමිණවීමට අදාළ පනත මගින් නීතිපතිවරයා විසින් දේශබන්දු තෙන්නකෝන් මහතාට විරුද්ධව මහාධිකරණයේ නඩු පවරන්නට කටයුතු කළ යුතු අවස්ථාවක එවැනි පුද්ගලයෙක් සම්බන්ධව ජනාධිපතිවරයා මෙසේ ක්‍රියා කරන්නේ කෙසේද යන්නයි.  එහෙත් අවසානයේ ජනාධිපතිවරයා මේ කිසිම දෙයක් නොසලකා පොලීසියේ උසස් නිලධාරීන් අතරින් වැඩියෙන්ම චෝදනා තිබෙන පුද්ගලයාගේ නම පොලිස්පති ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යෝජනාකර යැවීය.

කතානායක භූමිකාව

පසුගිය පෙබරවාරි 26 වෙනි දිනයේදී මෙම පත් කිරීම පිළිබඳ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පැමිණි විට එහි සාමාජිකයන් 9 දෙනෙක් ඉදිරියේ මෙම නිර්දේශය පිළිබඳව සාකච්ඡාවන් සිදුවී ඇති අතර එම සාකච්ඡාවට පසුව පැවති ඡන්ද විමසීමේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා, පොහොට්ටු පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සහ සිවිල් සමාජය නියෝජනය කරමින් එම සභාවට පත්වී සිටින්නී විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය යන අයවලුන් ජනාධිපතිවරයාගේ යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇත.

මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා මෙම යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇත. මෙම සභාවට සිවිල් සමාජය නියෝජනය කරමින් පැමිණ සිටින ආචර්‍ය දිනේෂා සමරරත්න මහත්මිය සහ ආචාර්‍ය ප්‍රතාප් රාමනුජන් මහතා මෙහිදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට ඇත. එම තත්ත්වය අනුව ව්‍යවස්ථාවේ අර්ථ දැක්වීම්වලට අනුව දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිස්පති ධුරය හිමිවන්නේ නැත. ඒ අනුව සභාවේ කටයුතු අවසන් වී ඇති අතර සියල්ලෝම විසිර ගිය පසුව ටික වේලාවකින් දැනගන්නට ලැබෙන්නේ ඇත්තේ කතානායකවරයාගේ ‘තීරක ඡන්දය’ මතින් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති බවට පත්වී ඇති බවය. මෙම තොරතුර දැනගත් වහාම සිය ‘එක්ස් ගිනුම’ හරහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම සිදුවුණ සිදුවීමට සිය විරෝධය ප්‍රකාශ කර ඇත.

මේ අනුව පෙනෙන්නේ කතානායකවරයා අමු අමුවේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කර දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති කිරීම සඳහා වැඩකර ඇති බවය. අප එසේ කියන්නේ ඇයි?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වෙනි ව්‍යවස්ථාව අනුව යම් තනතුරකට පුද්ගලයෙක් පත් කිරීම සඳහා ඊට අදාළ අනුමැතිය ලැබෙන්නට නම් ඊට පක්ෂව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ 5 දෙනෙක් සිය ඡන්දය භාවිතා කළ යුතුය. එහෙත් මෙහිදී පක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 4ක් පමණය. එම ව්‍යවස්ථාවටම අනුව කතානායකවරයාට සිය තීරක ඡන්දය භාවිතා කරන්නට ව්‍යවස්ථාවෙන් ඉඩ ලැබෙන්නේ දෙපසටම සමාන ඡන්ද ලැබුණ අවස්ථාවේදීය. එහෙත් මෙහි දෙපාර්ශවයේ ඡන්ද සමවුණ අවස්ථාවක් වාර්තා වන්නේ නැත. ඒ අනුව සභාපතිවරයා ලෙස කතානායකවරයාට මෙහිදී සිය ‘තීරක ඡන්දය’ භාවිතා කරන්නට අවස්ථාවක් එලබෙන්නේ නැත. එහෙත් ඔහු රැස්වීම අවසන් වූ පසුව ව්‍යවස්ථාවට පටහැනිව එම අවස්ථාව උදාකරගෙන ඇත. එය ව්‍යවස්ථා විරෝධීය. පාර්ලිමේන්තු සදාචාරයටද පටහැනිය.

අප වර්තමන ජනාධිපතිවරයා කෙරෙන් මෙන්ම කතානායකවරයා කෙරෙන්ද මෙම හැසිරීම් දැන් සුලභව දකිමින් සිටිමු. මෙම දෙදෙනාම ව්‍යවස්ථාව, පාර්ලිමේන්තු සාම්ප්‍රදායන් සහ නීතියේ පාලනය තුට්ටු දෙකකට මායිම් කරන බවක් පෙනෙන්නට නැත. ඔවුන් සිය දෛනික කාර්‍යයක් ලෙස ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සිටියි. මෙම තත්ත්වය තුළ ඉදිරියට කුමක් සිදුවිය හැකිද? කිසි දෙයක් පූර්වයෙන් ප්‍රකාශ කළ නොහැකිය.