You are currently viewing ජූලිවල පාර්ලිමේන්තු මැතිවරණයක් තිබිය හැකිද?

ජූලිවල පාර්ලිමේන්තු මැතිවරණයක් තිබිය හැකිද?

-කේ. සංජීව-

1994 පූර්වාදර්ශයට ගනිමින් එලබෙන අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුව විසිරුවාහැර ජූලි මස 20 වැනි දිනයේදී පමණ මහ මැතිවරණයක් පැවැත්වීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමුවී ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබෙයි. මෙය විය හැකිද? පවතින ජනමතය හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නෙක ක්‍රම හරහා තව දුරටත් තම තනතුරේ රැදී සිටීම වෙනුවෙන් එක එක යෝජනාවන් කරළියට ගෙන එමින් තිබෙනු පෙනෙයි. ඒ අතර පසුගිය කාලයේ ප්‍රමුඛ පුවත වූවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම උදෙසා ජනමත විචාරණයක් පවත්වන්නට සිතාබලමින් සිටින බවය. විධායකය අහෝසි කරනවා නම් නැවත ජනාධිපතිවරණයක් කැඳවීම තේරුමක් නැත. එහෙත් ප්‍රශ්නය වන්නේ ව්‍යවස්ථාවට අනුව විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම සඳහා දැන් ජනාධිපතිවරයාට වෙලාවක් නැතිවීමය. ඔහු කැමතිවුණත් ඒ සඳහා කැපවෙන්නට කාලයක් නැත.

වර්තමානය දෙස බලනවිට රැල්ල තිබෙන්නේ ජාතික ජන බලවේගයට සහ සමගි ජන බලවේගයටය. මෙම තත්ත්වය තුළ ජනාධිපතිවරයාට පොහොට්ටු සහාය සමගින් ජනාධිපතිවරණයකට ගියත් ඔහුට ජයගන්නට කිසිදු හැකියාවක් පෙනෙන්නට නැත. ජාතික ජන බලවේගයේ රැල්ල දෙස බලන විට එය 1994දී චන්ද්‍රිකා වෙනුවෙන් වූ ජනතා රැල්ල සිහිගන්වයි. එම තත්ත්වය තුළ 1994දී ඩී බී විජේතුංග ජනාධිපතිවරයා සිතූ ලෙස සිතන්නට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කැමති ඇතිවාට සැකයක් නැත. මෙම පවතින ජන රැල්ල කෙසේ වුණත් එ‍ය සමානුපාතික නියෝජනයේදී ජාජාබ සහ සජබ අතර විශාල වෙනසක් නොසාදනු ඇත. එම කුඩා වෙනස භාවිතා කරමින් සජබ හට සුළුතර ආණ්ඩුවක් නිර්මානය කරගැනීමට උපකාර කරමින් තවත් වටයකින් ජනාධිපති වී පැමිණෙන්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිහින දකිනවා වන්නට බැරි නැත. එම සිහිනය නිසා මෙම ජූලි මහ මැතිවරණයේ කතාව කරළියට පැමිණියා වන්නට බැරි නැත. කෙසේ වුණත් මෙය සමාජය අවුලෙන් අවුලට ගෙනියන්නට පුලුවන් මෝඩ තීරණයක් වන්නට පුලුවන් ය. ඒ මන්ද සමාජයේ පවතින ජනමතයට විරුද්ධ කණ්ඩායමක් නූල්සූත්‍ර දේශපාලනය හරහා ආණ්ඩු කරන්නට ගියහොත් සමාජයම ගිනි ගන්නට පුලුවන් නිසා ය.  

අනෙක් පැත්තෙන් ජනාධිපතිවරයා මෙම සිතැඟියාව මත කටයුතු කරමින් එලබෙන අප්‍රේල් මාසයේ පාර්ලිමේන්තුව විසුරුවන්නට කටයුතු කළහොත් එය ව්‍යවස්ථා අවුලක් නිර්මානය කරනු ඇත. දැනටත් ඔහු සහ ඔහුගේ ආණ්ඩුව හැසිරෙන්නේ ව්‍යවස්ථාව තුට්ටුවකට ගණන් ගන්නේ නැතිවය. වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිදුවීම මෙන්ම අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුලගේ සිදුවීම ආදී සිදුවීම් මේ සඳහා උදාහරණයන් ය.

ඇත්තටම අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් හට පාර්ලිමේන්තුව නිසි කල සම්පූර්ණ වන්නට ප්‍රථම විසුරුවා හැරීම සඳහා ව්‍යවස්ථාව තුළ ප්‍රථිපාදනයන් පවතීද? මේ නීතිඥ ශිරාල් ලක්තිලක මහතා ඒ පිළිබඳව දරණ අදහස –

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සැකැස්ම අනුව ව්‍යවස්ථාවේ 3 වගන්තිය සඳහන් කරන්නේ ජනරජයෙහි පරමාධිපත්‍ය බලය ජනතාව සතුවන බවය. එම පරමාධිපත්‍ය බලය රාජ්‍යයේ විවිධ කොටස් භාවිතා කරන ආකාරය ව්‍යවස්ථාවේ 4 වගන්තිය මගින් දක්වා තිබේ.

ඒ යටතේ 4(ආ) වගන්තියට අනුව  ‘ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරාපත් කරනු ලබන ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කල යුත්තේය’ යයි සඳහන් කර තිබේ. එම වගන්තියෙන් අවධාරණය කරන්නේ විධායක බලය භාවිතා කල යුත්තේ ජනතාව විසින් තෝරා පත් කරගනු ලැබූ ජනාධිපතිවරයකු තුළින් පමණක් බව ය. ඒ අනුව ව්‍යවස්ථාවේ සඳහන් විධායක බලය පරිපුර්ණව ක්‍රියාත්මක කළ හැක්කේ ජනතාව විසින් තෝරා පත්කරගන්නා ජනාධිපතිවරයකුට පමණ ය. මෙම වගන්තිය පිටුපස පවතින ව්‍යවස්ථාමය සිද්ධාන්තය වන්නේ ජනතාව විසින් මැතිවරණයකින් පත්කෙරෙන ජනාධිපතිවරයකු හට පමණක් එම බලතල භාවිතා කල හැකි බවයි. එයට ව්‍යාතිරේඛයක් තිබේ.

එනම් ; ව්‍යවස්ථාවේ 38(1) හා (2) දැක්වෙන තත්ත්වයන් යටතේ ව්‍යවස්ථාවේ 40(1) ට අනුව පාර්ලිමේන්තුව විසින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු පත්කර ගතහැකි බවය. නමුත් අවධාරණය කළ යුතු මුලික කරුණ වන්නේ එවැන්නකු ජනතාව විසින් තෝරා පත්කරගන්නා ජනාධිපතිවරයකු නොවේ. එසේ නම් අනුප්‍රාප්තික ජනාධිපතිවරයකුට ව්‍යවස්ථාවේ 4(ඇ) යටතේ දැක්වෙන ජනතාවගේ පරමාධිපත්‍ය යටතේ දැක්වෙන සියළු විධායක බලතල ක්‍රියාත්මක කිරීමට ව්‍යවස්ථාමය පදනමක් ලැබෙන්නේ නැත. 40(1) යටතේ ලැබෙන බලතල පවා ක්‍රියාත්මක කළ හැක්කේ ජනතා පරමාධිපත්‍යය දැක්වෙන 3 හා 4(ආ) වගන්තිය යටතේ දැක්වෙන අර්ථ දැක්වීම්වලට යටත්ව ය. එම නිසාම ව්‍යවස්ථාවේ 40(2) වගන්තිය සඳහන් කරන්නේ ද අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට හැකිතාක් දුරට ජනරජයේ විධායක බලය අදාළ වන බව ය.

ඒ අනුව බලනකල අනුප්‍රාප්තික ජනාධිපතිවරයකුට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ව්‍යවස්ථාවේ 70 වගන්තියේ සඳහන් කරඇති පරිදිම ලබා ගැනීමට නොහැකි වන්නේ ය. ව්‍යවස්ථාවේ 3 හා 4(අ) වගන්තියට අනුව ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනතාවගේ ඡන්දයෙන් තෝරා පත්කරන පාර්ලිමේන්තුවට හිමි වන්නේ ය.

එසේ ජනතාව විසින් තෝරා පත්කර ගන්නා පාර්ලිමේන්තුවක් ජනතාව විසින්ම තෝරා පත් කරගන්නා ජනාධිපතිට විසුරුවා හැරීමේ බලය යම් යම් ව්‍යතිරේඛ තත්ත්වයන් යටතේ ව්‍යවස්ථාවේ 70 වගන්තිය මගින් ලබා දී තිබේ. ඒ සඳහා වන ව්‍යවස්ථාමය තර්කයක් ද තිබේ. නමුත් ජනතාව විසින් පත් කරගත් ජනාධිපතිවරයකුට හිමි එම බලය ද සීමා කොට තිබේ.

එනම් අභිනවයෙන් පත් වූ පාර්ලිමේන්තුවක් වසර දෙක හමාරක් යන තෙක් විසුරුවා හැරීමේ බලය ජනාධිපතිට නොමැත්තේ ය. එසේම පාර්ලිමේන්තුව විසින් යෝජනා සම්මතයකින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ඉල්ලා සිටින ලද විටකදී ද ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකිව තිබේ. නමුත් ව්‍යවස්ථාව 70 (ඇ) වගන්තියේ දැක්වෙන I, II හා III උප වගන්ති යටතේ දැක්වෙන තත්ත්වයන්, එනම්; ජනාධිපතිවරයාට 38(2) දෝෂාභියෝගයක් හෝ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මගින් ජනතාව විසින් පත් කරගනු ලැබු ජනාධිපතිවරයකුට පාර්ලිමේන්තුව විසුරුවිය නොහැකි බව දක්වා තිබේ.

ඒ අනුව බලනකල අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු පත් කිරීමට බලය දානය කරන්නේ ව්‍යවස්ථාවේ 38(1) යටතේ දැක්වෙන තත්ත්වයන් යටතේය. එනම් විවිධ හේතුන් මත තෝරා පත් කරගත් ජනාධිපතිවරයාගේ ධුරය හිස් වීමෙනි. එවැනි හිස්වීමක් සමාන වන්නේ 70 (ඇ) යටතේ දැක්වෙන තත්ත්වයක්ට ය. එනම් නීතිය ක්‍රියාත්මක වීමෙන් ජනාධිපති ධුරය අක්‍රියවීමකට ලක්වන තත්ත්වයක්ට ය. එකම වෙනස 38(1) යටතේ ධුරය අක්‍රිය වන්නේ ස්වාභාවික හෝ දේශපාලනික තත්ත්වයන් යටතේය.

එසේ නම් නීතිය ක්‍රියාත්මක වීමෙන් ධුරය හිස්වන අවස්ථාවක මෙන්ම ස්වාභාවික හෝ දේශපාලනික හේතුවක් නිසා ධුරය හිස්වූ අවස්ථාවකදී පාර්ලිමේන්තුව නොවිසුරවිය යුතු බව පවතින ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පදනම වෙයි. එවැනි තත්ත්වයක දී 38(1) යටතේ දැක්වෙන හේතුවක් මත පත් කරගත් අනුපාප්තික ජනාධිපතිවරයකුට ජනතාව විසින් තෝරාපත් කරගන්නා ලද පාර්ලිමේන්තුවක් ව්‍යවස්ථාවේ 70(1) වගන්තිය යටතේ නියමිත කාලයට පෙර විසුරුවා හැරීමට 70(2) යටතේ ලැබෙන බලය භාවිතා කල නොහැකි වන්නේය.

අනෙක් අතට ජනතාව විසින් තෝරා පත්කර ගන්නා ජනාධිපතිවරයකුට ජනතාව විසින් තෝරා පත්කර ගන්නා ලද පාර්ලිමේන්තුවක් යම් යම් ව්‍යාතිරේඛයන්ට යටත්ව ලැබෙන බලය අනුප්‍රාප්තික ජනාධිපතිවරයකුට නොලැබිය යුතුව තිබේ. මක් නිසාද යත් එය ව්‍යවස්ථාවේ 3 හා 4 එක්ව කියවන විට දැක්වෙන ජනතා පරමාධිපත්‍යයට සපුරා පටහැනි වන නිසාය. එනම් පරමාධිපත්‍යයට පරිබාහිරින් පත්වු අනුප්‍රාප්තිකයකුට ජනතා පරමාධිපත්‍යයක් යට කිරීමට ඉඩ  නොලැබිය යුතු නිසාය. එමෙන්ම පාර්ලිමේන්තුව විසින්ම පත්කල අනුප්‍රාප්තිකයකු විසින්ම එම පාර්ලිමේන්තුවේ නිසි ආයු කාලයට පෙර විසුරුවීම ස්වභාවික යුක්තියට ද පටහැනි වන්නේ ය.’

නීතිඥ ශිරාල් ලක්තිලක දරන මෙම අදහසෙන් පෙනෙන්නේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කුමන තත්ත්වයක් යටතේ හෝ පවතින ව්‍යවස්ථාව තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු ඡන්දයක් කැඳවිය නොහැකි බවය. ඒ අනුව ව්‍යවස්ථාවට අනුව මෙම අවුරුද්ද තුළ අනිවාර්‍යෙන් පැවතිය යුතු වන්නේ ජනාධිපතිවරණයයි. එයත් මැතිවරණ කොමිසම විසින් කැඳවිය යුතුය. මෙම තත්ත්වය තුළ ව්‍යවස්ථාවේ තිබෙන ජනමත විචාරණය නම් ක්‍රමය භාවිතා කර වෙනත් ප්‍රවේශයක් හරහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම ගැටලුවට පිළිතුරු සොයාගනීවිද? එය තවත් අවුලකට මුල පුරයිද? එය කාලය පිළිබඳ ප්‍රශ්නයක් ය.