You are currently viewing අද ඩැට් අවුල විසඳෙයිද?

අද ඩැට් අවුල විසඳෙයිද?

– කේ. සංජීව –

අද තමයි දවස, රජය වෛද්‍යවරුන්ට ලබාදෙන්නට තීරණය කළ රුපියල් 35,000ක ඩැට් දීමනාව නිසා මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඇතිවී තිබෙන විශාල අවුල විසඳන්නට අදත් සාකච්ඡාවක් පැවැත්වෙයි. ඒ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සහ පරිපූරක, අතුරු වෛද්‍ය, මහජන සෞඛ්‍ය පරීක්ෂක ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක නියෝජිතයන් අතර ය. පෙබරවාරි 13 සහ 14 යන දින දෙක තුළ දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන්නට ඉහත සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක කටයුතු කළ අතර  ඒ සමග අද දින සාකච්ඡාව ලබාදෙන්නට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගත් අතර එම තීරණය සමග මෙම වෘත්තීය සමිති තාවකාලිකව සිය වර්ජන ක්‍රියාමාර්ගය අතහරින්නට කටයුතු කළේය.

පසුගිය දින දෙක තුළ පැවති එම වැඩවැරුම සාර්ථක වූ බව වර්ජනයට සහභාගි වූ සංගම් 72හි නායකයෝ ප්‍රකාශ කරති. මෙම කාලය තුළ සේවාවන් ලබාගැනීම සඳහා රෝහල් වෙත ප්‍රවේශ වූ ජනතාවට දැඩි අපහසුතාවන් විඳින්නට සිද්ධවිය. පසුගිය කාලයේ ප්‍රමිතියෙන් තොර බෙහෙත් නිසා විශාල ලෙස පීඩාවට පත්වූ ජනතාව මෙම වැඩවර්ජන රැල්ලත් සමග අන්ත අසරණභාවයට පත්ව සිටිති. තැන තැන රෝහල් තුළ ජනතා විරෝධයන්ද නැගෙමින් තිබෙයි. මේ සියලු තත්ත්වයන්ට වගකිව යුතු වන්නේ ජනාධිපතිවරණය ගැන සිහින දකිමින් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ එකට එකක් නොපෑහෙන තීන්දු තීරණයි.

සැරින් සැරේ වර්ජනේ

පසුගිය පෙබරවාරි 13 සහ 14 යන දින දෙක තුළ ක්‍රියාත්මක වූ මෙම වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවන්නට තීරණය කළ බව එම  සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක එකමුතුවේ කැඳවුම්කරු රවී කුමුදේශ් ප්‍රකාශ කරයි. ඔහුට අනුව අද (19) දිනයේදී ලබාදී තිබෙන සාකච්ඡාව නැවත අසාර්ථක වුවහොත් නැවතත් වර්ජන ක්‍රියාමාර්ගයන් වෙත ප්‍රවේශ වෙනවා හැරෙන්නට කරන්නට දෙයක් ඉතුරුවෙලා නැතිය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ බල ධුරාවලි – සේවක ශ්‍රේණීන් පවතින බැවින් තමන්ට ලබාදුන් ‘ඩැට්’ දීමනාව සෞඛ්‍ය පහළ සේවක ශ්‍රේණීන් ඉල්ලා සිටීම අසාධාරණ බවය. එහෙත් මෙම චෝදනාවට අනෙකුත් සංගම් ලබාදෙන පිළිතුර වන්නේ උත්සන්න වී ඇති ආර්ථික අර්බුදය තුළ වෛද්‍යවරුන් පමණක් විශේෂ කර ඔවුන්ට මෙසේ දීමනා ප්‍රදානය කිරීම අසාධාරණ බවය. මේ අනුව යමින් ඔවුන් ආර්ථික යුක්තිය ඉල්ලා සිටියි. මෙසේ දීමනා පිළිබඳව මෙන්ම පවත්නා ආර්ථික අර්බුදය තුළ උත්සන්න වී තිබෙන ජීවත්වීමේ ගැටලුවට විසඳුම් ඉල්ලා රාජ්‍ය නිලධාරීන් එකිනෙකා දෙසට අවි අමෝරාගෙන සටන් කරන විට සාමාන්‍ය ජනතාව එහෙමත් නැතිනම් පුද්ගලික අංශයේ සේවකයන් තමන්ගේ ආර්ථික අහේනි තත්ත්වය සමනය කරගන්නට කුමක් කළ යුතුද? ඒ සඳහා කා සමග සටන් කළ යුතුද? කා සමග සාකච්ඡාවන් පැවැත්විය යුතුද?

මේ සියලු දෙයින් සිද්ධ වෙන එකම දේ වන්නේ සාමාන්‍ය ජනතාව එන්න එන්නම පීඩාවට පත්වීමය. රජයේ රෝහල් වෙත ගිය සාමාන්‍ය ජනතාවට බෙහෙත් කියා ඇල්වතුර එන්නත් කළ රටක මෙවැනි වර්ජන රැල්ලක් අරබයා සිදුවෙන හිරිහැර තාඩන පීඩන අර්ථගත කරගන්නේ කෙසේද?

ඔහේ බලාසිටින රජය

තමන් ඉල්ලා සිටින්නේ තම සේවක සංගම් 72ක තුළ ගොනුව සිටින එක් එක් සේවක ශ්‍රේණීන් සඳහා රුපියල් 14000ක අවමයේ සිට 28000ක් වූ උපරිමය දක්වා වූ වැටුපට සමානුපාතිකව ගණනය වෙන දීමනාවක් බවත් මෙම සේවක කැටගරි තුළ 35000ක දීමනාවක් හිමිවිය යුතු ඉංජිනේරු අංශය යටතට වැටෙන සේවකයන් ද සිටින බවත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක සුදත් ජයසිරි ප්‍රකාශ කරයි.

ඔහු ප්‍රකාශ කරන්නේ, තම සන්ධානයේ ඉල්ලීම මෙම පරාසය තුළ ක්‍රියාත්මක වෙන වැටුපට සමානුපාතික දීමනාවක් බවය. කාලය ආර්ථික අර්බුදය වැනි දේවල් ගැන සිතුවත් පවත්නා ජීවන අර්බුදය තුළ තම සාමාජිකයන්ගේ ඉල්ලීම් උත්සන්න වී ඇති බව ප්‍රකාශ කරන සුදත් ජයසිරි මෙම අර්බුදයේ ඉතිහාසය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යුගය දක්වා දිගු බව ප්‍රකාශ කරයි.

මෙයින් පෙනෙන්නේ මෙම වැඩ වර්ජන ක්‍රියාමාර්ගයන් වෙත ප්‍රවේශවී සිටින වෘත්තීය සමිති සන්ධානය තමන්ගේ ගණනයන්ට අදාළව දීමනාවන් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟ බව අද දිනයේ (19) පවත්වන සාකච්ඡාව තුළදී ප්‍රකාශ කරනු ඇතැයි කියා ය. එය එසේ විය හැකිද? මෙම දිමනාව ලබාදීම සඳහා රජයට අවශ්‍ය මුදල් ප්‍රමාණය සොයාගන්නට හැකිවෙයිද? එහෙම නැතිනම් මෙම දීමනා ගෙවීම සඳහා තවදුරටත් බදු බර ජනතාව පටවන්නට වෙයිද?

මුදල් අමාත්‍යාංශය ඔබගේ ගණන් මිනුම්වලට එකඟ නැහැ නේදැයි මෙම ලියුම්කරු සුදත් ජයසිරිගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ, මෙම දීමනාවන් ගෙවීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදනයන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුදලින් පියවාගන්නට අමාත්‍යාංශයට හැකිනම් එය තමන්ට ප්‍රශ්නයක් නොවෙන බව මුදල් අමාත්‍යාංශය පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කළ බවය. ඒ අනුව ඉදිරි සඳුදා දිනයේදී පවත්වනු ලබන සාකච්ඡාවේදී සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මේ පිළිබඳව හොඳ ප්‍රතිචාරයක් ලබාදෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වෙන බවද ඔහු පැවසීය.

මෙම ගැටලුව පිළිබඳව සහ අද දිනයේදී පවත්වන්නට යෝජිත මෙම සාකච්ඡාව පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණගෙන් ලියුම්කරු කරුණු විමසූ අතර ඔහු ප්‍රකාශ කළේ ප්‍රශ්නය විසඳාගැනීම වෙනුවෙන් තමන් උත්සාහයක නිරත වෙන බවය. සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය බලාපොරොත්තු වෙන ඉලක්කම්වලින් දීමනා ලබාදෙන්නට පුළුවන් දැයි මෙහිදී අනිද්දා අමාත්‍යවරයාගෙන් විමසූ අතර එහිදී ඔහු ප්‍රකාශ කළේ එම සංගම් ඉල්ලා සිටින දේ එලෙසම ලබාදෙන්නට හැකියාවක් නැති බවය.

එහෙත් උපරිමය ලබාදෙන්නට තමන් උත්සාහ දරන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා ආර්ථික අර්බුදයක් තවමත් රට තුළ ක්‍රියාත්මක බව එම සංගම් අමතක කළ යුතු නැතැයි ප්‍රකාශ කළේය. මෙම ගැටලුව විසඳා ගන්නට නොහැකි වුණොත් වෛද්‍යවරුන් වෙනුවෙන් ලබාදෙන රුපියල් 35000ක දීමනාව අත්හිටුවන්නට කටයුතු කරනවාදැයි ලියුම්කරු විමසූ විට ඔහු ප්‍රකාශ කළේ එහෙම දෙයක් සිද්ධවීමේ ඉඩකඩක් නැති බවය.

පසුගිය 12 වෙනිදා මෙම වෘත්තීය සමිති සන්ධානයේ ඉල්ලීම් දිනාගැනීම උදෙසා එම සන්ධානයේ නියෝජිතයන් සහ මුදල් අමාත්‍යාංශය අතර සාකච්ඡාවක් පැවතී ඇති අතර එම සාකච්ඡාව අසාර්ථක වීම නිසා පසුගිය පෙබරවාරි 13 සහ 14 යන දින දෙක තුළ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක විය. මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වූවේ රජය සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර තිබියදී ය. එවැනි තත්ත්වයක් තුළ සේවකයින් ලක්ෂයක් පමණ රෝහල්, රසායනාගාර වැනි රාජකාරිවලින් ඉවත්වීම බරපතළ තත්ත්වයක් ය.

අමාත්‍ය රමේෂ් පතිරණගේ කතාවෙන් තේරෙන දේ නම් වෘත්තීය සමිති සන්ධානයේ ඉල්ලීම් ලබාදීම දුෂ්කර බවයි. එවැනි තත්ත්වයක් තුළ ද දිනයේ පවත්වන සාකච්ඡාව බොහෝදුරට ප්‍රතිඵල රහිත නැවතත් වර්ජනයන් වෙත සේවකයන් යොමුකරලන සාකච්ඡාවක් විය හැකිය. එය එසේ වුවහොත් ජනතා ප්‍රතිචාරය කුමක් විය හැකිද?

මෙම වැඩ වර්ජන කාලය තුළ ළමා, පිළිකා, මාතෘ, මානසික රෝහල් ආදියේ ප්‍රතිකාර කටයුතු සාමාන්‍ය පරිදි සිදුවූවත් ජනතාව බෙහෙවින් අපහසුතාවට පත්විය. එම තත්ත්වය තුළ එලඹෙන සඳුදායින් පසුව නැවතත් වර්ජනයක් ආරම්භ වුවහොත් එය ජනතාව කෙසේ භාරගනු ඇතිද? ජනතාව ප්‍රකෝපකාරී ප්‍රතිචාරයන් පවා දක්වන්නට පුළුවන් ය. රජයද වෛද්‍යවරුන්ට පමණක් දීමනාවන් ලබාදෙමින් ඉන්පසුව පැනනැඟි මෙම ‘ඩැට්’ ගැටලුවට සාධනීය ප්‍රතිචාරයක් නොදක්වමින් ඉදිරියට ඇදගෙන යන්නේ ජනතා කෝපය සෞඛ්‍ය සේවාව වෙත අභිමුඛ කරලීම වෙනුවෙන්ද? ජනතා කෝපය හරහා දේශපාලනය කිරීම රජයේ අරමුණද?

රටේ ජනතාවගේ ප්‍රශ්නයන් ගැන සිතා මෙම අවස්ථාවේ තම සේවකයන් 28000ක් පමණ වැඩවර්ජනයට එකතු නොවෙන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ප්‍රකාශ කරයි. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නැවතත් බදු සහන ලබාගැනීමේ සටන ආරම්භ කර ඇත. ඒ හරහා ඔවුන් ප්‍රකාශ කරන්නේ තමන්ට ලබාදුන් රුපියල් 35000ක දීමනාව ආපසු හරවන්නට රජය කටයුතු කළහොත් එහි ප්‍රතිඵල දරුණු විය හැකි බවය. එයටත් එහාට ගොස් ඔවුන් ඉල්ලා සිටින්නේ අසාධාරණ ලෙස ඉහළ දැමූ බදු යෝජනා සංශෝධනය කරන ලෙසය. නැතිනම් තමන්ට බදු සහනයක් ලබාදෙන්නට කටයුතු කළ යුතු බවය.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළියගේ බෙහෙත් මගඩිය නිසා රෝගී ජීවිත හයකට නිකරුණේ තම ජීවිත ගමන නිමාකරන්නට සිද්ධවිය. එසේ ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන්ට යුක්තිය හිමි නැද්ද? තවත් පිරිසක් කෙහෙළියගේ කාලයේ ගෙනා බෙහෙත් නිසා පූර්ණ අන්ධභාවයට පත්වී ඇත. ඔවුන්ටද යුක්තිය හිමිවිය යුතු නැද්ද? අනෙක් පැත්තෙන් පසුගිය කාලයේ රෝහල් යන්ත්‍රසූත්‍ර නිසි නඩත්තුවකට යටත් නොකළ නිසා ස්කෑනර් මැෂින් වැනි වටිනා යන්ත්‍රසූත්‍ර අභාවයට ගොස් ඇති බවත් ඒ නිසාම අසරණ රෝගීන්ට වැඩි මිලක් ගෙවා එම පහසුකම් පුද්ගලික අංශයෙන් ලබාගන්නට සිදුවී ඇති බවත් වාර්තා වෙයි. එයින් පෙනෙන්නේ සෞඛ්‍ය සේවාව අගාධයකට වැටී ඇති බවයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෛද්‍යවරුන්ට පමණක් මෙසේ දීමනාවක් ලබාදෙමින් මේ හදා තිබෙන දැවැන්ත අවුල ආගාධයට වැටී තිබෙන සෞඛ්‍ය සේවය එයින් ගොඩගන්නටම බැරි මට්ටමකට හෙළයිද? ප්‍රශ්නය එයයි.