You are currently viewing කෙහෙළියගෙන් පසු කවුද?

කෙහෙළියගෙන් පසු කවුද?

කේ. සංජීව

එලබෙන පෙබරවාරි 15දා ඖෂධ වංචාවට අදාළ නඩුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් ඉදිරියේ නැවත කැඳවෙන්නට නියමිතය. එදින අත්අඩංගුවට ගෙන මේ වනවිට බන්ධනාගාර රෝහලේ නේවාසිකව රඳවා සිටින කෙහෙළිය රඹුක්වැල්ල හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට ඇප දෙනවා ද නැද්දය යන්න තීරණය වෙනු ඇත. කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය සිදුවුණේ කෙසේද? ඒ කතාව සොයා බලන්නට වටින කතාවක් ය. එම කතාවෙන් එළියට එන්නේ ලංකාවේ නීතියේ පාලනය පවත්නා ස්වරූපයයි.

කෙහෙළිය අත්අඩංගුවට ගත්තේ කෙසේද?

අධිකරණ නියමයෙන් පසුගිය පෙබරවාදි 02දා කෙහෙළිය රඹුක්වැල්ල හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා සීඅයිඩීයට පැමිණියේ ප්‍රකාශයක් දෙන්නට ය. මෙම හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහජනක ඖෂධ වංචාවට අදාළ පරීක්ෂණ ඉදිරියට කරගෙන යනවානම් වහාම අමාත්‍යවරයා අත්අඩංගුවට ගතයුතු යැයි ඒ වෙනවිටත් සීඅයිඩීය තීරණයක් ගෙන තිබුණි.

එහි සිටින සමහර පළපුරුදු විමර්ශකයන් කියා තිබුණේ සියලු තොරතුරු අනාවරණය වී තිබියදී කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට නොගැනීම මෙම විමර්ෂනය විහිළුවක් වන්නට හේතුවනු ඇති බවයි. එහෙත් සීඅයිඩීයට මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවට ද බරපතළ ප්‍රශ්නයක් තිබුණි. එයට හේතුව ජනාධිපති කාර්‍යාලය දෙසින් පැමිණෙන දේශපාලන බලපෑම් ය. එම බලපෑම් නිසා සීඅයිඩීය මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවද වටේ යන ස්භාවයක් පෙනුනි. කෙසේ හෝ අවසානයේ මාධ්‍යයෙන් සහ සිවිල් ක්‍රියාකාරිකයන්ගෙන් දිගින් දිගටම පැමිණි බලපෑම් නිසා, මෙම අවස්ථාවේදී හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට නොගෙන ගෙදර යවන්නට, සීඅයිඩීයට බැරිවිය.

ඒ අනුව, හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා පොදු දේපල පනතේ 5/1 වගන්තිය යටතේ රජයේ මුදල් සාපරාධී පරිහරණය සඳහා ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් බවත්, ඔහු මෙම නඩුවේ 8වන සැකකරු ලෙස නම් කරන බවත් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී නීතිපති වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මහත්මිය ප්‍රකාශ කළාය. මෙම සියලු කරුණු සලකා බැලූ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා පෙබරවාරි 15 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්න යැයි නියෝග කළාය. මේ අනුව ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අමාත්‍ය ධුරයේ සිටින පුද්ගලයෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නට අධිකරණයට සිදුවිය.

ජනපතිගේ ස්ථාවරය කුමක්ද?

පසුගිය කාලයේ බෙහෙත් විෂවීම නිසා පුද්ගලයන් හයදෙනෙක් ජීවිතක්ෂයට පත්වුණ අතර සමහර පුද්ගලයන් අන්ධභාවයට පත්විය. මෙම තත්ත්වය සමග සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල හට බාල ඖෂධ චෝදනාව දිගින් දිගටම එල්ල විය. එහෙත් ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව හෝ ඒ කිසි චෝදනාවක් කනකට ගත්තේ නැත. අවසානයේ හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහජනක ඖෂධ වංචාව අතේ පත්තුවිය. හරි නම් ඒ අවස්ථාවේ හෝ ජනාධිපතිවරයා කළ යුතුව තිබුණේ සීඅයිඩී විමර්ෂන භාර නිළධාරීන්ගෙන් කරුණු විමසා හෝ කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමය. එහෙත් ජනාධිපතිවරයා එවැනි පියවරක් ගත්තේ නැත.

මෙම බෙහෙත් අවුල සමග කෙහෙළිය රඹුක්වැල්ලට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට පැමිණි අතර එහිදී ද ජනාධිපතිවරයා පුද්ගලිකව මැදිහත් වෙමින්, සොයා බලමින්, එම විශ්වාසභංගය පරාජයට පත්කර කෙහෙළියව ආරක්ෂා කරගැනීමේ ලැජ්ජාවක් නැති ප්‍රතිපත්තියක් පවත්වාගෙන ගියේ ය. එම අවස්ථාවේ කෙහෙළියගේ පරාජය ඔහු දැක්කේ ආණ්ඩුවේ පරාජයක් ලෙසය. ඒ අනුව එම පරාජයෙන් ආණ්ඩුව මුදවා ගැනීම වෙනුවෙන් ඔහු කැපවුණ බව පෙනුනි. මෙයින් පෙනෙන්නේ කුමක්ද? වංචාව දූෂණය පිටු දකිනවාට වඩා වැදගත් දේවල් ජනාධිපති වික්‍රමසිංහ හට තිබෙන බව එයින් හැඟවෙයි.

අවසානයේ සෞඛ්‍ය අමාත්‍ය ධුරය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් ගලවා, වෛද්‍ය රමේෂ් පතිරණ වෙත ලබාදෙන්නට ජනාධිපතිවරයා කටයුතු කළත් ඔහු කෙහෙළිය රඹුක්වැල්ල කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කළේ නැත. ඒ වෙනුවට ජනාධිපති වික්‍රමසිංහ කළේ කෙහෙළියට පරිසර අමාත්‍ය ධුරය ලබාදීමය. අවසානයේ කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකළ විට ජනාධිපති වික්‍රමසිංහ කළේ කුමක්ද? ඔහු කළේ පරිසර අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙන්නට කටයුතු කරන්න යැයි දැනුන් දීමය. එයින් පෙනෙන්නේ කෙහෙළිය රඹුක්වැල්ල හට ගෞරවාන්විතව අමාත්‍ය ධුරයෙන් ඉවත්වෙන්නට ඉඩ හැදීම ජනාධිපතිගේ අරමුණ වූ බවයි. අනෙක් පැත්තෙන් මේ හරහා අපට පෙනෙන්නේ කෙහෙළිය රඹුක්වැල්ල ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවදුරටත් කටයුතු කරන බවය. එයින් වක්‍රව ඇඟවෙන්නේ ජනාධිපති වික්‍රමසිංහ වංචා දූෂණවලට උඩගෙඩි දෙන බවය.

අමාත්‍ය මණ්ඩලයේ සාමූහික වගකීම කුමක්ද?

මෙම ඖෂධ වංචාවට අදාළව අත්අඩංගුවට ගත් කෙහෙළිය රඹුක්වැල්ල සීඅයිඩීයට ප්‍රකාශ කර ඇත්තේ තමන් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකා පිළිබඳව කිසිවක් නොදන්නා බවය. ඒවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ සැපයුම් අංශයෙන් හදලා දුන් ඒවා බවය. අනෙක් පැත්තෙන් කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්ත ප්‍රකාශ කර ඇත්තේ තම සේවා දායකයා කැබිනට් මණ්ඩලය නොමඟ යවා ඇති නම් ඒ පිළිබඳව විමසීම සඳහා කැබිනට් මණ්ඩලයම කැඳවිය යුතු බවය.

මෙසේ දිග හැරෙන කරුණු අනුව පෙනෙන්නේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මෙන්ම ඔහුගේ කැබිනට් පත්‍රිකා අනුමත කළ අමාත්‍ය මණ්ඩලයද එම මණ්ඩලයේ ප්‍රධානියා සේ කටයුතු කළ ජනාධිපතිවරයාද මෙම ඖෂධ මඟඩියට අදාළ සිදුවීමේදී ළඳරුවන් සේ කටයුතු කර ඇති බවය. ඔවුන් ඇස් පියාගෙන කෙහෙළිය දමන දමන කැබිනට් පත්‍රිකාවන් අනුමත කර ඇත. එම කැබිනට් පත්‍රිකා මොනවාද ඒවා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේ කවදාද වැනි තොරතුරු අප කලින් මෙම වෙබ් අඩවියට ලියූ ලිපියක සඳහන් කළ බැවින් ඒවා නැවත ලියන්නේ නැත. එහෙත් කෙහෙළියගේ කැබිනට් පත්‍රිකාවන් පිළිබඳව විගණන විමසුම් දෙකක සවිස්තර තොරතුරු පළවී ඇත. ඒවා සීඅයිඩීය මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවත් අපට කලින් දන්නවාට සැක නැත. අප ඒ පිළිබඳව ද කලින් කතාකර ඇත. එනිසා අතිරේක සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මහත්මිය පසුගිය දා මාලිගාකන්ද අධිකරණයේදී ප්‍රකාශ කළ බොහෝ තොරතුරු අප කලින් ප්‍රකාශ කරමින් ඇසුවේ කෙහෙළිය සිටින්නේ නීතියට ඉහළින්ද කියා ය. කල්ගතවී හෝ නීතියට කෙහෙළිය පෙනී ඇත!.

එහෙත් දැන් මෙම කැබිනට් පත්‍රිකා සඳහා මූලාශ්‍ර කරගත් කිසිදු ලිපි ගොනුවක් සොයාගන්නට නැත. ඒ අනුව ඒවා අතුරුදන් වී ඇත. මුලු රටම ගලවාගන්නට මුලු සෞඛ්‍යම බේරාගන්නට මහා වෙර වීර්‍යයක් ගන්නා බව පෙන්වන කැබිනට් පත්‍රිකා ලිවීම සඳහා එහි සඳහන් ඖෂධ හිඟයට මූලාශ වූ කරුණු මොනවාද යන්න, දත්ත මොනවාද යන්න, ඒවා බහාලු ලිපිගොනු මොනවාද යන්න, දැන් සොයාගන්නට නැත. අහෝ ලංකාවේ සෞඛ්‍ය සේවයට ගිය කලක්..!

කැබිනට් මණ්ඩලය වෙත පැමිණෙන සියලු කැබිනට් පත්‍රිකා සම්මත නොවෙන බවත් සමහර කැබිනට් පත්‍රිකා විසිවෙන බවත් අප අසා ඇත. සමහර කැබිනට් පත්‍රිකා විසි වෙන්නේ එම පත්‍රිකාව ඉදිරිපත් කළ අමාත්‍යවරයා ද සමගින් ය. තවත් කැබිනට් පත්‍රිකා අනුමත වෙන්නේ හෝ වීසි වෙන්නේ දැඩි සේ විවේචනයට ලක් කිරීමෙන් පසුවය. එහෙත් කෙහෙළියගේ කැබිනට් පත්‍රිකා ආශ්චර්‍යකින් වාගේ ගොඩගිහිං තිබෙයි. හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ නොබියව කටයුතු කළත් කෙහෙළියට කිසිදු ආපදා තත්ත්වයක් උදා වුණේ නැත. එයට හේතුව කුමක්ද? කෙහෙළිය දාන දාන කැබිනට් පත්‍රිකාව සම්මත වුණේ කෙසේද? ඒවාට විරුද්ධ වුණ එකදු ඇමතියෙක් හෝ සිටිත්ද? අනේ පුරවැසි අපිනම් මේවා දන්නේ නැත..!

ඖෂධ මගඬිය සිදුවෙන අවධියේ මේ හා සම්බන්ධව ජනාධිපති කාර්‍යාලයේ රැස්වීම් තුනක් තිබී ඇති බවත් එම රැස්වීම්හි මුලසුන ජනාධිපති කාර්‍යාලයේ ඉහළම පුද්ගලයෙක් දරා ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළම නිලධාරීන් ප්‍රකාශ කරයි. එම රැස්වීම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා, සැපයුම්, නිෂ්පාදන සහ නියාමන භාරව සිටි අතිරේක ලේකම්වරයා මෙන්ම ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා ද අයුසුලේට් බයෝටෙක් ෆාර්මා සමාගමේ හිමිකරු හේවගේ සුදත් ජානක ප්‍රනාන්දු ද සහභාගී වී ඇතැයි තහවුරු කරන්නේද එම නිලධාරීන්මය.

මේ කියන හමුවීම් වෙනුවෙන් ජනාධිපති කාර්‍යාලයේ සිටින ඉහළ දේශපාලන බලවතා සහ ඖෂධ සමාගමේ හිමිකරුවා අතර සම්බන්ධීකරණය එජාපයට සම්බන්ධ සෞඛ්‍ය වෘත්තීය සමිති ලොක්කෙක් විසින් සිදුකර ඇති බවට තවත් චෝදනාවක් ය. මෙම තොරතුරු පිළිබඳව සීඅයිඩීය නොදන්නවා විය නොහැකිය. එනිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ කියන අවශේෂ කාරණා පිළිබඳව ද සොයා බැලිය යුතුය. මේ කියන කතා ඇත්තනම් හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහජනක ඖෂධ වංචාවට අදාළ මුදල් විශාල පිරිසක් අතර බෙදීගොස් ඇතුවාට කිසිදු සැකයක් නැත. එය එසේ නොවේ නම් එලබෙන ජනාධිපතිවරණයේ වියදම පියවාගැනීම සඳහා මෙසේ මුදල් එකතු කළා වෙන්නටත් පුලුවන් ය.

අත්අඩංගුවට ගන්නට තව කීදෙනෙක් සිටියිද?

මෙම ඖෂධ වංචාවට අදාළව බොහෝ දේ සිදුව ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක යටතේ ය. ඔහුගෙන් මේ පිළිබඳව ප්‍රකාශයක් සටහන් කරගන්නා සීඅයිඩීය ඔහු අත්අඩංගුවට ගන්නේ නැත. ඔහු රජයේ සාක්ෂිකරුවෙක් වෙන්නට යනවා කියා කතාවක් ද ඇත. ඒ ගැන වැඩිදුර විස්තරයක් නැත. එහෙත් මේ කියන නිලධාරියා සෞඛ්‍ය අමාත්‍යාංශයට එන්නේම මෙම වංචාවන් වෙනුවෙන්ම බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ සිටින එහෙත් මෙම වංචාවට හවුල් නැති බොහෝ දෙනෙකුගේ මතයයි. මේ කියන පුද්ගලයා යටතේ පැවති කාර්‍ය අතර මෙම කැබිනට් පත්‍රිකාවන් සෑදීම, පුද්ගලයන් සහ ඖෂධ සමාගම් සම්බන්ධීකරණය කිරීම පැවතී ඇත. එහෙත් එහි ලිඛිත සටහන් අතරේ ඔහුගේ අත්සනක් හෝ නැතිබවත් ඔහු එතරම් බුහුටි බවකින් මේ රාජකාරියේ නිරතව සිට ඇති බවත් කරුණු වාර්තා වෙයි.  

එයට හොඳම නීදර්ශනය ඖෂධ 182ක් සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙත රුපියල් බිලියන 04ක් වටිනා ඇණවුම් ඉදිරිපත් කර දිනකට පසු එනම් 2022 සැප්තැම්බර් 27 දින ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන අංශයේ අතිරේක ලේකම්වරයා වන මොහු විසින් සෞඛ්‍ය ලේකම්වරයාට ඉදිරිපත් කළ අභ්‍යන්තර සටහනක් මගින් ‘2022 සැප්තැම්බර් 22 දින ඉන්දියානු ණය ආධාර භාවිතයෙන් මාස 3ක් සඳහා වැදගත් හා අත්‍යාවශ්‍ය ඖෂධ ආනයනය කර සැපයීමට අදාළව සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ඖෂධ සැපයුම්කරුවන් අතර පැවති රැස්වීමේ තීරණයකට අනුව‘ යැයි සඳහන් කරමින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමටත් ප්‍රථම (කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යාංශය භාරගත් පසුව මෙම ඖෂධ මිලදී ගැනීම්වලට අදාළව පළමු කැබිනට් පත්‍රිකාව කැබිනට්ටුව වෙත ඉදිරිපත් කරන්නේ 2022 සැප්තැම්බර් 26 දිනයේදී ය. එහි අංකය 22/1523/610/018 ය.  මෙම ඖෂධ මිලදී ගැනීමේ යෝජනාවට 2022/10/03 දිනයේදී අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත) ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ ඖෂධ 285ක් මිලදී ගැනීමට සෞඛ්‍ය ලේකම්වරයාගේ අනුමැතියෙන් අභිලාෂයන් කැඳවා තිබීමයි. මේ කියන වර්ගයේ රැස්වීම් කොපමණ ප්‍රමානයක් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍ය ධුරය දරන සමයේ පවත්වා තිබෙයිද? ඒවා ගැන තොරතුරු සමන් රත්නායක සීඅයිඩීයට සමහර විට ලබාදෙන්නට ඇත.

මෙම ඖෂධ වංචාවට අදාළ ගනුදෙනු මෙසේ සමන් රත්නායකගේ මෙහෙයවීමෙන් සිදුවෙන අතරේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා සේ කෙහෙළියගෙන්ම පත්වීම් ලබා පැමිණි වෛද්‍ය විජිත් ගුණසේකරද මෙම වංචාවට සිය දායකත්වය උපරීමයෙන් සලසා ඇත.

ලියාපදිංචි නැති ඖෂධ සැපයුම් ආයතනයන් සඳහා special pathway නම් ක්‍රමයක් හඳුන්වා දෙමින් හිතූ හිතූ ලෙස ඖෂධ ගෙන්වීම සඳහා ඖෂධ නියාමන අධිකාරියේ එතෙක් පැවති යාන්ත්‍රනය වෙනස් කර ඇත්තේ මේ කියන ප්‍රධාන විධායක නිලධාරියා ය. ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපි නිකුත් කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් අධිකාරිය විසින් 2019 ඔක්තෝබර් 15 දිනැතිව මාර්ගෝපදේශයක් පිළියෙළ කර තිබුණ අතර ඊට අනුකූලව ඖෂධ ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ අනුමැතිය ඊට අදාළ අනුකමිටුව මගින් ලබාගත යුතු වුවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම පදනම් කරගනිමින් 2022 සැප් 16 දිනැති අධ්‍යක්ෂ මණ්ඩල තීරණය ප්‍රකාරව අනුකමිටු අනුමැතිය සඳහා යොමුකිරීමෙන් තොරව special pathway  ක්‍රමය වශයෙන් හඳුන්වනු ලබන වේගවත් යාන්ත්‍රණයක් හරහා ප්‍රධාන විධායක නිලධාරියාගේ අනුමැතිය මත පමණක් ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපි නිකුත් කර ඇත.

ඒ අනුව මෙම වංචාව සිදුවීම සඳහා අවශ්‍ය මූලික කොන්දේසිය සපුරා ඇත්තේ මෙම ක්‍රමවේදය වෙනස් කිරීම හරහාය. ඒ අනුව කිසිදු පරීක්ෂාවක් නැත. කැඳවන්නා විසින්ම අනුමැතියත් ලබාදී ඇත. මෙම අරුමපුදුම ඖෂධ නියාමන ක්‍රමවේදය නිර්මානය කළාට මොහු හරිනම් මේ වෙනවිටත් අත්අඩංගුවේ සිටිය යුතුය. එහෙත් මොකද්දෝ හේතුවකට මේ කියන නිලධාරියා අත්අඩංගුවට ගන්න සීඅයිඩීය තවමත් කටයුතු කරන බවක් පෙනෙන්නට නැත.

මෙම ඖෂධ වංචාව සක්‍රීය පසුගිය කාලයේ, සමහර ඖෂධ නියාමන ලොක්කන් එංගලන්තයේ සිටින තම සමීපතමයන් බැලීම සඳහා ගුවන්ගතවී ඇත්තේ ව්‍යාපාරික පන්තියේ ය. එසේ ගිය වාර ගණන 16ක් බව දැනගන්නට ලැබෙයි. මේ සියලු තත්ත්වයන් ගැන සීඅයිඩීය සොයා බැලිය යුතුය. ඇත්ත වශයෙන්ම නම් අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයන්ගේ මෙන්ම අත්අඩංගුවට ගන්නට සිටින අප ඉහත සඳහන් කළ ප්‍රධාන පුද්ගලයන්ගේ ද වත්කම් පිළිබඳව ද සීඅයිඩීය පරීක්ෂා කළ යුතුය.

කුඩුකාරයන්ගේ මුදල් පමණක් කළු සල්ලි වන්නේ නැති බව සීඅයිඩීය දත යුතුය. විශේෂයෙන් පසුගිය කාලයේ මෙම පුද්ගයන් මුදල් හම්බ කළේ කෙසේද, ඔවුන් පසුගිය කාලයේ උපයාගත් වත්කම් මොනවාද යන්න සීඅයිඩීය සෙවිය යුතුය.