You are currently viewing ඉන්දියානු ව්‍යාප්තවාදයට, දැන් ජවිපේ කැමතියිද?

ඉන්දියානු ව්‍යාප්තවාදයට, දැන් ජවිපේ කැමතියිද?

-කේ. සංජීව-

ඉන්දියාවේ ආරාධනයෙන් මේ දිනවල එරට සංචාරයක නිරතව සිටින අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ කණ්ඩායම පිළිබඳව ඉන්දීය මාධ්‍යයන් බොහෝ ඕනෑ කමකින් කරුණු වාර්තා කරමින් සිටිනු පෙනෙයි. ලංකාව තුළ තත්ත්වයද ඊට වෙනස් නැත. ලංකාවේ මාධ්‍යයන්ද අනුර කුමාර දිසානායකගේ ඉන්දියානු සංචාරය උත්කර්ෂයෙන් යුතුව වාර්තා කරමින් සිටියි. එයට හේතුව මැතිවරණ උණුසුමක් සහිත මේ වර්ෂය තුළ මහජන මතයේ අවකාශය නිරන්තරව මැතිවරණය නම් නිමිත්ත සමග බැඳී තිබීමයි. ලංකාවේ පුරවැසියන් ද දැන් දෛනිකව මැතිවරණය පිළිබඳව සාකච්ඡා කරමින් සිටිනු දකින්නට පුලුවන් ය. පුලුල්ව ගත් කළ නව මාධ්‍ය අවකාශය තුළ උඩුගතවෙන තොරතුරු අතර ජනාධිපතිවරණයට සෑහෙන්න ඉඩක් විවරව තිබෙයි.

පසුගිය පෙබරවාරි 05 වෙනිදා අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ කණ්ඩායම ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර්, ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් වැනි ප්‍රබලයින් හමුවී සාකච්ඡාවන් පවත්වා ඇත. එම සාකච්ඡා තුළ කලාපීය ආරක්ෂාව පිළිබඳව මෙන්ම ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික අර්බුදය පිළිබඳවද ගැඹුරින් සාකච්ඡා වුණ බව දෙපාර්ශවයම ප්‍රකාශ කරයි. මෙම සාකච්ඡාවන් පිළිබඳව තොරතුරු ඉන්දීය මාධ්‍ය වඩා උණුසුම්ව වාර්තා කරමින් සිටිනු පෙනෙයි.

අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ මෙම ඉන්දීය සංචාරය පිළිබඳව කරුණු වාර්තා කරන එරට ප්‍රමුඛ පෙළේ මාධ්‍යයන් ජනතා විමුක්ති පෙරමුණ හඳුන්වා දී තිබුණේ මාක්ස්වාදී පක්ෂයක් ලෙසය. ‘The JVP, a Marxist-Leninist communist party in Sri Lanka’ ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වෙබ් අඩවිය මෙම සංචාරය පිළිබඳව කරුණු වාර්තා කිරීම අරඹා තිබුණේ එසේය. මේ හඳුන්වාදීම වැදගත් වන්නේ ඇයි? 1980 දශකයේ අගභාගයේ ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධ වෙමින්, පළාත් සභා ක්‍රමයට විරුද්ධ වෙමින්, ජවිපේ දකුණේ සමාජය තුළ ඉන්දියාවට විරුද්ධව වැඩ කළ ඉතිහාසය මෙම හඳුන්වාදීමෙන් මතකයට නැඟෙයි. ඉන්දියානු ව්‍යාප්තවාදය නම් මතවාදයක් තම පාක්ෂිකයන්හට උගන්වමින් ඒ හරහා ඉන්දියානු විරෝධයක් තම ආධාරකරුවන් මත ගොඩනැගූ පක්ෂයක් මේවනවිට කොතරම් දුරකට මතවාදීමය විදිහට වෙනස් වී තිබෙයිද යන්න කිරා මැන බැලීමට ඉන්දීය මාධ්‍යයේ මෙම හඳුන්වා දීම බෙහෙවින් වැදගත් ය.

අනෙක් පැත්තෙන් ඉන්දියාව මේ ගනුදෙනු අරඹා තිබෙන්නේ චීන කොමියුනිස්ට් පක්ෂය සමග විශාල බැඳීමක් පවත්වාගෙන යමින් තිබෙන ශ්‍රී ලංකාවේ ප්‍රධානම පක්ෂය සමගය. එම තත්ත්වය තුළ දකුණු ආසියාවේ චීන මැදිහත්වීම් සඳහා බරපතළ ලෙස විරුද්ධ වෙමින් ඊට එරෙහිව කටයුතු කරමින් සිටින ඉන්දියාව චීනය සමග හිතවත් පක්ෂයක නායකත්වය මෙසේ නිල ආරාධනාවකින් ගෙන්වා ගත්තේ ඇයි? ඔවුන් යම් හෙයකින් ලංකාවේ බලය ලබාගත හොත් චීනයට නැඹුරු නොවෙන ඉන්දියාව දෙසට නැමුණු විදෙස් ප්‍රතිපත්තියක් පවත්වාගෙන යයිද? ඉන්දියාව එය විශ්වාස කරනවාද? එසේ නැතිනම් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන සරණ ගොස් සිටින බැවින් සහ Belt and Road Initiative (BRI) හි සාමාජිකයෙක් බවට ශ්‍රී ලංකාව පත් කර තිබෙන නිසා ඊට විකල්පයක් ලෙස ඉන්දියාව ජාතික ජන බලවේගය තෝරාගත්තාද? කොටින්ම කියන්නේ නම් විසෙන් විෂ නසන වැඩක් ද මේ ඉන්දියාව කරන්න හදන්නේ?

අනුර කුමාර දිසානායකගේ ඉන්දීය සංචාරය වැදගත් වන්නේ ඇයි යන ප්‍රශ්නයට එහි මාධ්‍යම උත්තර දෙමින් ප්‍රකාශ කරන්නේ එලබෙන ජනාධිපතිවරණය ජයග්‍රහනය කිරීම සඳහා විශාලම ඉඩකඩ තිබෙන්නේ අනුර කුමාර දිසානායක මහතාට බැවින් ඔහු නවදිල්ලිය මෙසේ ගෙන්වාගැනීම බෙහෙවින් වැදගත් වන බවය.

එම මාධ්‍ය ආයතනයන් මෙම කරුණ සාධනය කිරීම සඳහා ‘අද ජනාධිපතිවරණයක් පැවතුණි නම් ඔබ ඡන්දය දෙන්නේ කාටද‘ මැයෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය පවත්වාගෙන යමින් සිටින මත විමසුම් දත්තයන් භාවිත කරයි. එහි දෙසැම්බර් මස ප්‍රතිපලයට අනුව 50%ක ප්‍රතිශතයක් අයත් කරගෙන සිටින්නේ අනුර කුමාර දිසානායක මහතාය.  මෙම මත විමසුමට අනුව පසුගිය නොවැම්බර් මස සහ දෙසැම්බර් මස ප්‍රතිපල දෙස බලනවිට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා 52% සිට 50% දක්වා පසුබැස ඇත. ඊට සාපේක්ෂව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා 32% සිට 33% දක්වා වර්ධනයක් අත්පත් කරගෙන ඇත.

මෙම මත විමසුම විසින් පසුගිය 2022 ජනවාරි මාසයේ සිට පසුගිය 2023 දෙසැම්බර් මාසය දක්වා සමීක්ෂණ ප්‍රතිපල නිකුත් කර ඇති අතර එම ශ්‍රිතයට අනුව ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහතා 20% සීමාවේ සිට 52%ක උපරීමයකට ගොස් වර්තමානයේදී එම අගය අඩුවෙන ස්භාවයක් පෙන්වයි. මෙහිදී සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස 40% සීමාවෙන් පටන්ගෙන 41%කට පමණ වර්ධනය වී 30%කට අඩුවී නැවත වර්ධනය වෙන ස්වරූපයක් අත්පත් කරගෙන ඇත. මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිවරයා 0% පටන් ගෙන 22% වැනි සීමාවකට වර්ධනය වී මේ වනවිට 9% දක්වා පහතට ගමන් කර ඇති අතර පොහොට්ටුව 40%න් පටන්ගෙන 8% දක්වා අඩුවී ඇත.

මෙම ජනමත විමසුමට අනුව වර්තමාන සටනේ සිටින ජනප්‍රියතම අපේක්ෂකයා අනුර කුමාර දිසානායක මහතා ය. ඒ කෝනයෙන් බැලූ විට ඉන්දියාවේ තෝරාගැනීම නිවැරදිය. අනෙක් පැත්තෙන් මෙරට ක්‍රියාත්මක ඉන්දීය බුද්ධි අංශ වාර්තාවන්ට අනුවත් ජනප්‍රියතම අපේක්ෂකයා අනුර කුමාර දිසානායක මහතා වෙන්නට පුලුවන් ය. එම තත්ත්වය තුළ ලංකාවේ ඉදිරි දේශපාලනය හසුරවන්නට ඉන්දියාවට අවශ්‍ය නම් ඔවුන් ජවිපේ තම සාක්කුවට දමාගත යුතුය. ඒ අතින් බැලුවත් ඉන්දියාවේ උපාය නිවැරදි බව පෙනෙයි.

එහෙත් ලංකාවේ පුරවැසියන්ට වැදගත් වන්නේ ඇත්තටම ඉන්දියාව පිළිබඳව ජවිපේ මතය කුමක්ද යන්නයි. ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳ තම පැරණි අදහස මේවනවිට ජවිපේ විසින් අතහැර කටයුතු කරමින් සිටියි ද යන්න මෙරට පුරවැසියන්ට වැදගත් ය. අනෙක් පැත්තෙන් චීනයට විරුද්ධව ඉන්දියාවට නැමුණු විදෙස් ප්‍රතිපත්තියක් සඳහා ජවිපේ සූදානම් ද යන්නත් ලංකාවේ පුරවැසියාට බෙහෙවින් වැදගත් ය. චීන ව්‍යාප්තවාදය සහ චීන ණය ගනුදෙනු තුළ සිරව සිටින රටක පුරවැසියාට එම ප්‍රශ්නවලට ජවිපේ පාර්ශවයෙන් ලැබෙන පිළිතුරු ඉතාමත් වැදගත් ය.