You are currently viewing ජනාධිපතිගේ ප්‍රකාශය, ශ්‍රේෂ්ඨාධිකරණයට කළ තර්ජනයක් ද?

ජනාධිපතිගේ ප්‍රකාශය, ශ්‍රේෂ්ඨාධිකරණයට කළ තර්ජනයක් ද?

-කේ. සංජීව-

ජනාධිපතිවරයා පසුගිය පෙබරවාරි 01 වෙනිදා උදෑසන හරි අපූරු නිවේදනයක් නිකුත් කර තිබුණි. ‘ජනාධිපතිවරයා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ව්‍යවස්ථාපිත රාජකාරි ඉටු කිරීම’ යන සිරසින් ලියවී තිබුණ එම මාධ්‍ය නිවේදනය කියන කතාව කුමක්ද? ලියුම්කරු මේ පිළිබඳව කරුණු විමසීම සඳහා රටේ නමගිය ප්‍රකට ජනාධිපති නීතිඥ මහතෙකුට කතා කළේය. ‘ආ ඔය දේශබන්දුට විරුද්ධව උසාවියට ඇවිත් තියෙන පෙත්සම් වලට පොඩි තගක්නේ ජනාධිපතිතුමා දාලා තියෙන්නේ’ ඔහුගේ කෙටි පිළිතුර එය විය. මෙවර අනිද්දා පුවත්පතෙහි සිරසද ලියවී තිබෙන්නේ මෙම ප්‍රස්තුත මාධ්‍ය නිවේදනය අරඹයා ය. ඇත්තටම මෙම මාධ්‍ය නිවේදනය ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට සිදුකළ තර්ජනයක් සේ ගත හැකිද?

ජනාධිපතිවරයා මාධ්‍යට නිකුත් කළ නිවේදනයේ මෙසේ සඳහන් වෙයි.
‘ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්ෂාවට අදාළ බලතල ක්‍රියාත්මක කිරීම සඳහා, විධායකයේ ප්‍රධානියා වශයෙන් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර ඇති ක්‍රියා පටිපාටියට අනුව සහ ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථාපිත කාර්යභාරයට අනුකූලව පොලිස්පතිවරයා ඇතුළු රජයේ ඉහළ තනතුරු සඳහා පත්කිරීම් සිදු කිරීමට ව්‍යවස්ථාපිතව බැඳී සිටී.

එබැවින් ජනාධිපතිවරයාට කිසිඳු බාධාවකින් හෝ මැදිහත්වීමකින් තොරව ව්‍යවස්ථානුකූල රාජකාරි ඉටු කිරීමට සිදු වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ. ව්‍යවස්ථාව යටතේ පොලිස්පතිවරයා පත් කිරීම සිදු කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලබන නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කිරීමෙන් පසුවය.

ජනාධිපතිවරයාට ඔහුගේ ව්‍යවස්ථාපිත කාර්යභාරය ඉටු කිරීමේදී සිදු කරනු ලබන ඕනෑම අවහිරයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. ජනාධිපතිවරයා යම් හෙයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව තම බලතල ක්‍රියාත්මක කරන්නේ නම් ඒ සඳහා තිබෙන ප්‍රතිකර්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම සපයා ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපිත කොට ඇති පාර්ලිමේන්තුවේ කථානායකවරයා සභාපතිත්වය දරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විධායකයේ කොටසක් වශයෙන් ක්‍රියාත්මක වන අතර, ජනාධිපතිවරයාට තම ව්‍යවස්ථාපිත කාර්යභාරය ඉටු කිරීමට අවශ්‍ය සහයෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් ලබා දෙනු ලබයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව තම කාර්යයන් ඉටු කිරීමට බැඳී සිටින අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ. ව්‍යවස්ථාව යටතේ පොලිස්පතිවරයා පත් කිරීමට අදාළව සිය කාර්යයන් ඉටු කිරීමෙන් වැළකී සිටින ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නියම කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව තමන්ට පැවරී ඇති බලය ක්‍රියාත්මක කරන්නේ නම් ඊට ප්‍රතිකර්ම ව්‍යවස්ථාවෙන්ම සපයා ඇත’

මේ පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම අනිද්දා පුවත්පතට ප්‍රකාශ කර ඇත්තේ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ එම පත් කිරීම අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් කිහිපයක් ඉදිරිපත්ව තිබෙන බවත් එම තත්ත්වය තුළ ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය අනියමින් ශ්‍රේෂ්ඨාධිකරණයට කරනු ලබන තර්ජනයක් සේ සැලකිය හැකි බවත් ය.

ඔහු එහිදී වැදගත් අවධාරණයක් සිදු කරනු ලබයි.  ජනාධිපතිවරයාගේ  ප්‍රකාශයේ අන්තර්ගත ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව තම කාර්යයන් ඉටු කිරීමට බැඳී සිටින අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ. ව්‍යවස්ථාව යටතේ පොලිස්පතිවරයා පත් කිරීමට අදාළව සිය කාර්යයන් ඉටු කිරීමෙන් වැළකී සිටින ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නියම කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව තමන්ට පැවරී ඇති බලය ක්‍රියාත්මක කරන්නේ නම් ඊට ප්‍රතිකර්ම ව්‍යවස්ථාවෙන්ම සපයා ඇත‘ උපුටා දක්වමින් ඔහු අවධාරණය කරන්නේ මෙයින් ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට බලපෑමක් සිදුකරන බවය.  

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයට සුදුසු නැති බවද ඔහු ස්ථිර පොලිස්පති ධුරයට පත් නොකළ යුතු යැයිද ආදී වශයෙන් සඳහන් මූලික අයිතිවාසිකම් පෙත්සම් 06 මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් ඇත. මෙම නඩු විභාගයන්ට අනියමින් බලපෑමක් සිදුකිරීම මෙහි අරමුණ බව මේ පිළිබඳව අදහස් දක්වන බොහෝ නීති විශාරදයන්ගේ අදහසයි.

අනිද්දා පුවත්පත වෙත අදහස් දක්වන ජනාධිපති නීතිඥ ආචාර්‍ය ජයම්පතී වික්‍රමරත්න ප්‍රකාශ කරන්නේ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යනු විශේෂ ආයතනයක් බවය. එයට පාර්ලිමේන්තුවේ සම්බන්ධතාවයකුත් තිබෙන බවත් එහෙත් එය පාර්ලිමේන්තුවේ කොටසක් නොවෙන බවත් ප්‍රකාශ කරන ඒ මහතා අවධාරණය කරන්නේ ස්වාධීන කොමිෂන් සභා සඳහා පුද්ගල නම් නිර්දේශ කිරීම, ඉහළ අධිකරණවල විනිස්චයකාරවරුන්, නීතිපති, පොලිස්පති වැනි රජයේ ඉහළ තනතුරු සඳහා පත්කිරීම් සිදු කිරීම සඳහා ජනාධිපතිවරයා එවනු ලබන නම් අනුමත කරනවාද නැද්ද යන්න තීරණය කිරීම වැනි කාර්‍යයන් සිදුවෙන මෙම ආයතනය සිමාසහිතව විධායකයේ කාර්‍යයන් සිදු කරන බවය.

එහෙත් ඔහු අවධාරණය කරනු ලබන්නේ එම විධායක කාර්‍ය ක්‍රියාවලිය තුළ එම ආයතනය පවතිනවා වුණත් එය විධායකයට යටත් වන්නේ නැති බවය. එම සියලු තත්ත්වයන් සලකා බැලීමේදී මෙම ආයතනය ස්වාධීන ආයතනයක් විය යුතු බව ඔහු අවධාරණය කරයි. ඉහළ මට්ටමේ පත් කිරීම් සඳහා ස්වාධීනත්වයක් සහ ජාතික එකඟතාවයක් ඇති කරගැනීම මේ ආයතනයේ ප්‍රධාන කාර්‍යභාරය බව ප්‍රකාශ කරන ජනාධිපති නීතිඥවරයා ජනාධිපතිවරයාගේ මෙම නිවේදනය මගින් එම ක්‍රියාවලියේ ස්වාධීනත්වයට බලපෑමක් සිදුවෙන බව ප්‍රකාශ කරයි.

පසුගිය දා පාර්ලිමේන්තුවේදී සම්මත වූ 2024 අංක 9 දරන  මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතට, පසුගිය පෙබරවාරි 01 දා කථානායකවරයා සිය අත්සන තැබූ අතර දැන් එය නීතියක් බවට පරිවර්තනය වී ඇත. කථානායකවරයාට මෙම පනත සඳහා සිය අත්සන යොදන්නට ප්‍රථම සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කළ සංශෝධන මෙහි සිදුකර නොමැති බැවින් මෙයට අත්සන් යොදන්නට එපා කියන එකය. එහෙත් සිවිල් ක්‍රියාකාරිකයන්ගේ එම ඉල්ලීමට කථානායකවරයා කන්නොදුන් අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශයන් බැහැර කරමින් ආණ්ඩුව අත්තනෝමතිකව තමන්ට අවශ්‍ය දේ පාරිමේන්තුව හරහා සිදුකරගෙන ඇත. මෙයින් පෙනෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහජන ආරක්ෂාව භාර අමාත්‍ය ටිරාන් අලස් වැනි අය කටයුතු කරමින් සිටින ආකාරයයි. ජනාධිපතිවරයාගේ මෙම මාධ්‍ය නිවේදනය ද එම ක්‍රියාවලියේම දිගුවක් බව පෙනෙයි.