You are currently viewing සුරාබදු නිලධාරීන්ගේ අතයට ගනුදෙනුවලට තිත තියන්න වෙයිද?

සුරාබදු නිලධාරීන්ගේ අතයට ගනුදෙනුවලට තිත තියන්න වෙයිද?

-කේ. සංජීව-

මෙරට ක්‍රියාත්මක ප්‍රකට සහ ප්‍රධාන මත්පැන් නිශ්පාදන සමාගම් 10ක් රුපියල් කෝටි 678කට අධික මුදලක් රජයට බදු ලෙස ගෙවිය යුතුය. එහෙත් එම සමාගම් සුරාබදු නිලධාරීන් සමග එකතුව එම බදු මුදල් ගෙවීම පැහැර හරිමින් සිටින්නේ කාලයක සිටය. මෙම ලියුම්කරු මේ පිළිබඳව සුරාබදු දෙපාර්තමේන්තුවේ දෙවෙනියා ලෙස සිටි පුද්ගලයාගෙන් මීට මාසයකට පමණ පෙර විමසීමේදී ඔහු ලබාදුන්නේ සමාගම් ආරක්ෂා කරන පන්නයේ පිළිතුරක් ය. ඔහු එහිදී කීවේ සුපිරි වෙළඳසැල්වලින් එම සමාගම් වෙත මුදල් එන්නට යම් කාලයක් ගතවෙන බවය. ඔහු එසේ කියනවිට ලියුම්කරු විමසුවේ තත්ත්වය එසේ නම් අවුරුදු ගනන් බදු පොලු තියන්නේ කෙසේද කියා ය. එයට සුරාබදු දෙපාර්තමේන්තුවට දෙන්නට පිළිතුරක් නැත. නියමිත ක්‍රමයට නියමිත ප්‍රතිපාදන භාවිතා කරමින් බදු අයකර ගැනීම සිදු කළ හොත් එයින් රජයට ආදායමක් එයි. එහෙත් බදු නොගෙවා සිටින්නට දඟලන මත්පැන් සමාගම් වඳුරන්ට බදු නොගෙවා පැවතීම සඳහා ඉනිමන් බැන්ඳොත් එයින් සුරාබදු නිලධාරීන්ගේ සාක්කු පිරවෙයි. සරළ සුගම ඇත්ත ඒකය.

ක්‍රම සහ විදි පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතීත්වයට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පත්වූ පසුව ඔහු සහ එම කාරක සභාව මෙම බදු හොරුන් නියමිත පරිදි බදු දැලට හසුකරගන්නට පසුගිය කාලයේ විශාල වැඩ කොටසක් කළ අතර එහි ප්‍රතිපලයක් ලෙස බදු නොගෙවා සිටි මත්පැන් සමාගම් නියමිත පරිදු රජයට බදු ගෙවන්නටත් හිඟ බදු මුදල් කොටස් වශයෙන් ගෙවන්නටත් එකඟවිය. එහෙත් අවසානයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හිතවත් දේශපාලකයෙකුගේ ඩීල් එකක් නිසා එම ප්‍රයත්නය ආපස්සට හැරුණ බවක් පෙනෙන්නට විය. සුරාබදු දෙපාර්තමේන්තුවද පාර්ලිමේන්තුවේ නියෝග පරිදි ඉස්සරහට තැබූ අඩිය පිටුපසට ගනු පෙනුනි.

මත්පැන් අලවි සල් තුළින් හෝ සුපිරි වෙළඳසැල් තුලින් හෝ ගමේ හොරට විකුණනන අරක්කු කාරයාගෙන් හෝ පාරිභෝගිකයා අරක්කු ණයට ගන්නේ නැත. අරක්කු බිස්නස් එක ණය මත දුවන බිස්නස් එකක් නොවෙන තත්ත්වය තුළ පාරිභෝගියකා තමන් මිලදී ගන්න අරක්කු බෝතලයට එවෙලේම බදු ගෙවයි. මත්පැන් බෝතලයක මිලෙන් 75%ක්ම වෙන් වෙන්නේ බදු වෙනුවෙන් ය. ඒ අනුව රජයට යන්න අවශ්‍ය මුදල් 75%ක් සමාගම් තමන් තුළ රඳවාගනී. ඒ අනුව පාරිභෝගිකයා නැතිනම් පුරවැසියා බදු ගෙවා තිබෙන්නේ රජයට නොව සමාගම්වලටය. මත්පැන් නිශ්පාදන සමාගම් බදු නොගෙවා සිටීම බරපතළ වැරැද්දක් වනවා සේම සුරාබදු දෙපාර්තමේන්තුව බදු නිසි කලට එකතුකර නොගැනීමද බරපතළ වැරැද්දක් ය.

මේ සියලු තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනුකරන්නට සංජය මහවත්ත මහතා ඇතුලු සමාජ ක්‍රියාකාරිකයින් පිරිසක් කටයුතු කර ඇත. එය ප්‍රශංසනීය කාර්‍යයකි. නීතිඥ මංජුල බාලසූරිය මහතා හරහා ගොනුකර ඇති මෙම පෙත්සම තුළ වග උත්තරකරුවන් ලෙස සඳහන් වන්නේ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ඇතුලු එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා, විගණකාධිපතිවරයා සහ හිඟ බදු මුදල් ගෙවීම පැහැර හැර තිබෙන මත්පැන් නිෂ්පාදන සමාගම් 10ක් ය.

2022 වසරේ ආර්ථිකයට ලැබිය යුතු සමස්ත බදු ආදායමෙන් බිලියන 101 ක් රජයට අහිමිවී ගොස් තිබෙන බවත් එයින් බිලියන 26ක් සුරාබදු බවත් සඳහන් කරන පෙත්සම්කරුවන් මෙරට මත්පැන් නිෂ්පාදන සමාගම් 10ක් රුපියල් කෝටි 678 කට අධික සුරා බදු මුදලක් රජය වෙත ගෙවීම පැහැර හැර ඇතැයි ප්‍රකාශ කරමින් එසේ බදු ගෙවීම පැහැරහැර ඇති නිෂ්පාදන සමාගම් 10කින් එම බදු මුදල් අයකර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකරමින් ඉල්ලා ඇත.

බදු ගෙවීම පැහැර හැර තිබෙන මත්පැන් නිෂ්පාදන සමාගම් සහ ඔවුන් විසින් ගෙවීම පැහැර හැර තිබෙන බදු මුදල් පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන මෙන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කිරීම, මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තුරු බදු ගෙවීම පැහැර හැර තිබෙන වගඋත්තරකාර මත්පැන් නිෂ්පාදන සමාගම් සඳහා නිකුත් කර තිබෙන බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වෙත නිකුත් කිරීම, බදු මුදල් ගෙවීම පැහැර හැර තිබෙන වගඋත්තරකාර මත්පැන් නිෂ්පාදන සමාගම් වෙත යළි බලපත්‍ර නිකුත් කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වෙත නිකුත් කිරීම, වගඋත්තරකාර මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් දැනට ගෙවීම් පැහැර හැර ඇති බදු මුදල් අය කරගැනීමට පියවර ගන්නා ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කිරීම ආදී වූ ඉල්ලීම් පෙත්සම්කරුවන් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම, වයඹ ඩිස්ටිලරීස් පුද්ගලික සමාගම, ග්ලෝබල් බ්ලෙන්ඩර්ස් ඇන්ඩ් බොට්ලර්ස් පුද්ගලික සමාගම, මැක්ලම් බෲවිං සමාගම, කළුතර ඩිස්ටිලරීස් සමාගම, ෆින්ලන්ඩ් ඩිස්ටිලරීස් කෝපරේෂන් පුද්ගලික සමාගම, සිනර්ජි ඩිස්ටිලරීස් පුද්ගලික සමාගම, රන්දෙනිගල ඩිස්ටිලරීස් ලංකා සමාගම, හිඟුරාන ඩිස්ටිලරිස් පුද්ගලික සමාගම, රෝයල් සිලෝන් ඩිස්ටිලරීස් පුද්ගලික සමාගම යන සමාගම් දහය මෙසේ බදු ගෙවීම් පැහැරහැර ඇති සමාගම් බව පෙත්සමේ කරුණු අනුව අනාවරණය වන අතර මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් රජයට ගෙවීම පැහැර හැර ඇති බදු මුදල් පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙස පෙත්සම්කරුවන් විසින් තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර ඇති අතර එයට එම කොමසාරිස් ජනරාල්වරයා ලබාදුන් පිළිතුරට අනුව ඉහත මත්පැන් නිෂ්පාදන සමාගම් 10 විසින් රුපියල් කෝටි 678 කට අධික (6,785,370,777. 64) මුදලක් බදු වශයෙන් ගෙවීම පැහැර හැර තිබෙන බව අනාවරණය වී ඇත.

රටේ හැම පුරවැසියෙකුටම බදු පයිල් එකක් සහ බදු අංකයක් දෙන්නට දඟලන රජය මේ බදු අයකරගැනීම සඳහා සාධනීය මැදිහත්වීමක් කරන්නේ නැත. රාජ්‍යයේ මුදල් පිළිබඳ වගකීම තියෙන පාර්ලිමේන්තුව හෝ මෙම ආයතන බදු ගෙවීම පැහැර හැරීම පිළිබඳව දැනෙන දෙයක් කරනවා පෙනෙන්නට නැත. මෙම තත්ත්වය තුළ අපට අසන්නට වන්නේ බදු ගෙවිය යුත්තේ සාමාන්‍ය ජනතාව පමණක් ද යන්නයි. ලොකු ලොකු සල්ලිකාරයන් ට සහ ඔවුන්ගේ මත්පැන් සමාගම්වලට රජයේ බදු ප්‍රතිපත්තිය අදාළ නැතිද? කෙසේ හෝ අවසන කියන්නට ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය හෝ මැදහත්ව මෙම ප්‍රශ්නය විසඳනවා නම් එය හොඳ බවය.

තොරතුරු මූලාශ්‍රය – බීබීසී සිංහල