You are currently viewing සනත් නිශාන්තගේ මළගම සහ ප්‍රකෝප සයිබරුන්

සනත් නිශාන්තගේ මළගම සහ ප්‍රකෝප සයිබරුන්

-කේ.සංජීව-

පසුගිය ජනවාරි 25 වෙනිදා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා කොළඹ කටුනායක හයිවේ මාර්ගයේ සිද්ධවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්විය. එහිදී සමාජ මාධ්‍ය අවකාශයේ හැසිරීම පිළිබඳව ඔබ සිතන්නේ කුමක්ද? කෙනෙකුගේ මරණයක් දුකට හේතුවක් වන පසුබිමක සහ විශේෂයෙන් ලංකාවේ සමාජය යම් කෙනෙක් මළ පසු ඔහු කුමන තරාතිරමක පුද්ගලයෙක් වුණත් ඒ මරණය පිළිබඳව සිතන ආකාරය දෙස බලනවිට එම පොදු හැසිරීමෙන් සපුරා මෙම නව හැසිරීම වෙනස් බව කිවයුතුය. බොහෝ දෙනෙක් සනත් නිශාන්තගේ මරණය සතුටට හේතුවක් බව නෙක ආකාරවලින් සමාජ මාධ්‍ය හරහා දැනවූ අතර එය ටික වෙලාවක් යනවිට ඇල්ගෝරිදම් ගතිකයන් හරහා සුළි කුණාටුවක් බවට වැඩි වර්ධනය වී සමාජ මාධ්‍ය අවකාශය වසා ගත් බව පෙනුනි.

2022 මැයි මස 09 වෙනිදා ගෝල්ෆේස් අරගල භූමියට සනත් නිශාන්ත මහතා ප්‍රමුඛව පැමිණි පොහොට්ටු පාක්ෂිකයන් පහරදුන් අතර එයට සමස්ථ සමාජය දැක්වූ ප්‍රථිචාරය අපි එදින පුරාම මෙන්ම පසු දිනයේදී ද අත්විඳිමු. එය අප පසුව හඳුනාගත්තේ පළිගැනීම් ප්‍රචණ්ඩත්වයක් ලෙසය. ගෝල්ෆේස් අරගල භූමියට පහරදීම නිසා ප්‍රකෝප වුණ ජනතාව දේශපාලකයන්ගෙන් පළිගන්නට පෙළඹුණි. එහිදී සමාජ මතය වුණේ ලංකාවේ සමස්ථ අර්බුදයට දේශපාලකයන් වගකිව යුතු බවයි. ඒ අනුව අරගල බිමට ආව සජිත් ප්‍රේමදාස මහතාට මෙන්ම අනුර කුමාර දිසානායක මහතාටද ප්‍රකෝප ජනතාව සිය විරෝධය පළ කරන්නට කටයුතු කළේය.

බංකොළොත් ලංකාව පිළිබඳ ප්‍රශ්නයේදී ජනතාව සිටින්නේ කෝපයකින් පැසවමින් ය. දේශපාලකයන් සහ ඉහළ රාජ්‍ය නිළධාරීන් එකට එකතුවී චෞර වළල්ලක් සේ සංවිධානය වී මේ රට විනාශ කරමින් පොහොසතුන් බවට පත්වූ බව සමාජයේ පොදු පිළිගැනීම වී අවසන් ය. එම මතය දැන් නිර්මානය වී අවසන් ය. ජනතාව ප්‍රකෝප පුරවැසියන් වී පළිගැනීම් ප්‍රචණ්ඩත්වයක් දෙසට තල්ලුකර දැමීමට මෙම පොදු මතය ඉවහල් විය.

අරගලයට පසු රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති බවට පත්වී තාවකාලිකව ජනතා සුළිකුණාටුව නිශ්චල කළත් තවමත් කුණාටුවේ අභ්‍යන්තර ලාවා ස්ථරය කැරකැවෙමින් තිබෙයි. සනත් නිශාන්තගේ මරණයෙන් සතුටට පත් සයිබරුන්ගේ හැඟීම් ප්‍රකාශ කළේ එයයි. අනෙක් පැත්තෙන් අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගයට යම් ජනතා රැල්ලක් නිර්මානය වී තිබීමට හේතුවත් මේ ප්‍රකෝපකාරී සහ පළිගැනීම් මානසිකත්වයයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව හරහා එම ධුරයට පැමිණියත් ජනතාවගේ මෙම පොදු හැඟීමට කෝපයට ප්‍රතිචාර දක්වා එය සමහන් කරන මාවතක විසඳුම් යෝජනා ඉදිරිපත් කර ඒවා ක්‍රියාත්මක කළේ නැත. ඊට ප්‍රතිවිරුද්ධව ජනතා කෝපය තවදුරටත් අවුලුවන විසඳුම් සහ යෝජනා ඔහුගේ පාර්ශවයෙන් ඉදිරිපත් වුණි. තවදුරටත් ඉදිරිපත් වෙමින් තිබෙයි.

ජනමතය නිශ්පාදනය කළ හැකිය. ඒ වාගේම ජනතා කෝපයද නිශ්පාදනය කළ හැකිය. එය තවදුරටත් අවුලුවා දැමිය හැකිය. ප්‍රකෝප සුළිකුණාටු හදන එක වර්තමාන නව මාධ්‍ය (New media) යේ නැඟීමත් සමග අමාරු කාර්‍යයක් නොවෙන බව ලංකාව මෙන්ම ලෝකය පුරා තිබෙන අත්දැකීමය. අරාබි වසන්තය වැනි තත්ත්වයන් මෙන්ම ගෝල්ෆේස් අරගලයත් එයට හොඳම නීදර්ශනයන් ය.

ඇමරිකා එක්සත් ජනපදයේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් පරිගණක විද්‍යාව පිළිබඳ උපාධිය ලබා ගූගල් සමාගමේ නිර්මාණ සැලසුම් ආචාරධර්මවේදියෙකු ලෙස කටයුතු කර ඉන් ඉවත් වූ ට්‍රිස්ටන් හැරිස්, පසුව මානුෂීය තාක්ෂණ මධ්‍යස්ථානය (Center for Humane Technology) පිහිටුවාගෙන මෙම නව මාධ්‍ය තත්ත්වය පිළිබඳව බරපතළ විදිහට වැඩ කරමින් ඉන්නවා. ඔහුගේ අදහස් අනුව තමයි සුප්‍රකට The Social Dilemma කියන වාර්තා චිත්‍රපටය නිර්මානය වෙන්නේ. නව මාධ්‍ය අවකාශයන් හරහා අපගේ මොළ කලඹවන්නේ කොහොමද කියන එක ගැන ට්‍රිස්ටන් හැරිස් අපව තැතිගන්වන සුළු හෙළිදරව් කිරීම් රැසක් කරනවා. මීට වසර හයකට පමණ පෙර පවත්වන ලද TED දේශනයක් තුළ ඔහු මෙන්න මේ වගේ කතාවක් කරනවා. මෙම දේශනය චතුපමා අබේවික්‍රම සිංහලට පරිවර්තනය කර එය අනිද්දා පුවත්පතේ පළවූ අතර පහතින් උපුටන්නේ එයින් කොටසකි.

‘හිතන්න. ඔබ කාමරයකට, එනම් පාලන මැදිරියකට ඇතුළු වෙනවා. මිනිසුන් පිරිසක් මේසයක් මත තියන කුඩා බොත්තම් ගොඩක් වෙත නැමී ඉන්නවා. මේ කාමරය, මිනිසුන් බිලියනයකගේ සිතිවිලි සහ හැඟීම් හැඩ ගස්වන පාලන මැදිරියයි. මෙය විද්‍යා ප්‍රබන්ධයක් යැයි ඔබට හැඟෙනු ඇති. ඒත් මෙය අද මේ මොහොතේ සිද්ධ වන දෙයක්. මා දන්නේ, මා එවන් එක් පාලන මැදිරියක් තුළ හිඳ ඇති නිසා. මා ගූගල්හි නිර්මාණ සැලසුම් ආචාරධර්මවේදියෙකු (Design Ethicist) ලෙස කටයුතු කළා. එහි දී මා ඉගෙනගත්තා ආචාරධාර්මික ලෙස මිනිස් සිතිවිලි කලඹන්නේ කෙසේ ද කියලා.

තාක්ෂණ සමාගම් කිහිපයක සිටින මිනිසුන් කිහිප දෙනෙකු සහ ඔවුන්ගේ තෝරා ගැනීම් විසින්, මිනිසුන් බිලියනයක් අද දවසේ සිතන්නේ කුමක් ද යන්න තීරණය කරන්නේ කෙසේ ද යන්න, අප කතා නො කරන කාරණයක්. මොකද ඔබ ඔබේ ජංගම දුරකතනය එළියට ගත්තම, එය වැඩ කරන ආකාරය සහ ඔබ දැකිය යුතු දේ සැලසුම් කරලා තියෙන්නේ ඔවුන් නම්, එය අපේ මනසෙන් කුඩා කාල පරාස වෙන් කරගන්නවා. ඔබ නෝටිෆිකේෂන් එකක් දුටු විට, ඔබට ඊට කලින් පහළ වන්නට නො තිබුණු සිතිවිලි පහළ වන අයුරින් ඔවුන් ඔබව ලෑස්ති කරනවා. ඔබ ඒ නෝටිෆිකේෂන් එක ස්පර්ශ කළහොත්, ඔබට ඊට කලින් අවශ්‍ය වී නො තිබුණු වසඟයකට හසු වී පොඩි වෙලාවක් ගත කරන අයුරින් එය සැලසුම් වී තිබෙනවා.

තාක්ෂණය ගැන කතා කරන විට අප නැඹුරු වෙන්නේ, තාක්ෂණය යනු නිල් අහසක් වැනි පුළුල් අවස්ථාවක් යනුවෙන් හැඳින්වීමට. එය ඕනෑ ම දිශාවකට යා හැකියි. මට මොහොතකට බැරෑරුම් වී ඔබට කීමට අවශ්‍යයි, එය ඉතා නිශ්චිත දිශාවකට යමින් තිබෙන්නේ ඇයි ද යන වග. මොකද එය විකාසනය වන්නේ අහම්බෙන් නෙවෙයි. අප නිර්මාණය කරන සකලවිධ තාක්ෂණය ඒ දිශාවට ගමන් කරන සැඟවුණු අරමුණක් තිබෙනවා. ඒ අරමුණ තමයි අපේ අවධානය වෙනුවෙන් වන තරගය.

මොකද, හැම ප්‍රවෘත්ති අඩවියක් ම, ටෙඩ් වේදිකාව, මැතිවරණ, දේශපාලකයන්, වීඩියෝ ක්‍රීඩා, භාවනා ඇප්ස් පවා එක් දෙයක් වෙනුවෙන් තරග කරන්න ඕනෑ. ඒ අපේ අවධානය වෙනුවෙන්. ඒත් අවධානය සීමා සහිතයි. මිනිස් අවධානය දිනා ගැනීමට හොඳ ම ක්‍රමය තමයි, කෙනෙකුගේ මනස ක්‍රියා කරන ආකාරය දැන ගැනීම. ‘අනුනයන තාක්ෂණ විද්‍යාගාරය’ (Persuasive Technology Lab) නමැති විශ්වවිද්‍යාල විද්‍යාගාරයේ දී මා ඉගෙන ගත්තා මිනිස් අවධානය ලබා ගැනීමට අවශ්‍ය පොළඹවා ගැනීමේ ශිල්පක්‍රම රාශියක්.

සරල උදාහරණයක් යූටියුබ්. ඔබ යූටියුබ් මත ගෙවන කාලය තවත් වැඩි කර ගැනීමට ඔවුන්ට අවශ්‍යයි. ඒ නිසා ඔවුන් මොකද කරන්නෙ? ඔවුන් ඊළඟ වීඩියෝව නිරායාසයෙන් ප්ලේ කරනවා. අපි හිතමු එය සාර්ථක වුණා. ඔවුන් කෙනෙකුගේ කාලයෙන් තව පොඩි කොටසක් ලබා ගත්තා. දැන් හිතන්න ඔබ තමයි නෙට්ෆ්ලික්ස් කියලා. ඔබ එය දිහා බලලා කියනවා ‘ආ මේ වැඩේ මගේ වෙළෙඳපොළ කොටස අඩු කරනවා, ඒ නිසා මං ඊළඟ එපිසෝඩය ඔටෝප්ලේ කරනවා’ කියලා.

ඊළඟට ඔබ ෆෙස්බුක් නම්, ඔබ කියනවා ‘මේ වැඩෙන් මගේ වෙළෙඳපොළ කොටස සම්පූර්ණයෙන් අඩු වෙනවා, ඒ නිසා කෙනෙක් ප්ලේ බොත්තම ඔබනකන් නො ඉඳ, ෆීඩ් එකේ තියන සියලු ම වීඩියෝ ඔටෝප්ලේ කරන්න දැන් මට ඕනෑ’ කියලා. ඒ නිසා අන්තර්ජාලය විකාසනය වෙන්නේ අහම්බෙන් නෙවෙයි. එය අපව වසඟ කරගන්නවා වගේ අපට දැනෙන හේතුව තමයි, අවධානය වෙනුවෙන් ඇති තරගය. අප දන්නවා මෙය යන්නේ කොහෙට ද කියලා. තාක්ෂණය මධ්‍යස්ථ නැහැ. එය මොළ දණ්ඩ වෙත යන, කාට ද එහි පහළට ම ගිහින් ඔබව දිනා ගත හැකි කියා බලන තරගය බවට පත් වෙනවා.

මා ඔබට ස්නැප්චැට් ඇසුරින් උදාහරණයක් දෙන්නම්. ඔබ දැන සිටියේ නැත්නම්, එක්සත් ජනපදයේ නවයෞවනයන්ගේ සන්නිවේදන ක්‍රම අතරින් අංක එක තමයි ස්නැප්චැට්. ඔබ මා වගේ නම්, ඔබ සන්නිවේදනය සඳහා ටෙක්ස්ට් මැසේජස් පාවිච්චි කරනවා නම්, නවයෞවනයන්ට එය තමයි ස්නැප්චැට්. ඔවුන්ගෙන් මිලියන සියයක් විතර එය පාවිච්චි කරනවා.

ස්නැප්චැට් විසින් ස්නැප්ස්ට්‍රික්ස් නම් විශේෂාංගයක් නිපදවනු ලැබුවා. එයින් කරන්නේ කිසියම් දෙදෙනෙකු විසින් එක දිගට සන්නිවේදනය කර ගන්නා ලද දින ගණන පෙන්වීම. වෙනත් වචනවලින් කියනවා නම් ඔවුන් සිදු කළේ, කිසියම් දෙදෙනෙකුට තමන්ට අහිමි ව යනවාට අකැමැති දෙයක් ලබා දීම. මොකද ඔබ නවයෞවනයෙක් නම්, ඔබ දින එකසිය පනහක් එක දිගට කෙනෙකුට කතා කරලා තියනවා නම්, ඔබට එය අහිමි කර ගැනීමට අවශ්‍ය නැහැ. මේ දරුවන්ගේ මනසේ පෙළ ගැහෙන ඒ කුඩා කාල පරාසයන් ගැන හිතන්න. මෙය සිද්ධාන්තයක් විතරක් නො වෙයි, අපිට දැක ගන්නට හැකි වුණා දරුවන් නිවාඩුවක් ගත කරන්න යන විට, ඔවුන්ට එය කරන්න බැරි වෙයි කියා ඔවුන්ගේ පාස්වර්ඩ් එක තවත් යහළුවන් පස් දෙනෙකුට දෙනවා ස්නැප්ස්ටී්‍රක් එක පවත්වගෙන යන්න.

මේ එක් කෙනෙකුට ස්නැප්ස්ට්‍රික්ස් තිහක් විතර තිබෙනවා. ඒ නිසා ඔවුන්ට නිකම් පින්තූරවල හෝ බිත්තිවල හෝ සිවිලිම්වල පින්තූර ගන්න වෙනවා ඔවුන්ගේ දවස පවත්වගෙන යන්න. ඔවුන් මේ පවත්වන්නේ ඇත්ත සංවාද වත් නෙවෙයි. අපි මේ ගැන හිතන්න පුරුදු වෙලා ඉන්නවා, ‘ආ ඒ කාලේ අපි දුරකතනයෙන් ඕපදූප කතා කරලා කළ දේ ම තමයි ඒ අය ඔය ස්නැප්චැට්වලින් කරන්නේ, ඒකෙ ප්‍රශ්නයක් නැතුව ඇති’ කියලා. ඔබට මඟ හැරුණු කාරණය තමයි, 1970 දි ඔබ දුරකතනයෙන් ඕපදූප කතා කරද්දි, ඔබේ මනෝවිද්‍යාව වැඩ කරන විදිහ නිශ්චිත ව ම දන්නා, ඔබ දෙදෙනාව උභතෝකෝටිකයට හසු කර ගන්නා ඉංජිනේරුවන් සිය දෙනෙක් තිරයෙන් එහා පැත්තෙ හිටියෙ නැහැ කියන එක.

දැන් මෙය ඔබව තරමක් කෝප ගන්වනවා නම්, ඒ සිතිවිල්ල කළේ ඔබව කැලඹවීමක් බව වටහා ගන්න. කෝප ගැන්වීමත් ඔබේ අවධානය ලබා ගැනීමේ හොඳ ක්‍රමයක්. අප හිතාමතා කෝපය තෝරා ගන්නේ නැහැ එය අප තුළ පහළ වෙනවා මිසක්. ඔබ ෆෙස්බුක් නිව්ස්ෆීඩ් එක නම්, ඔබට අවශ්‍ය වුණත් නැතත් එය ඔබේ කෝපයෙන් වාසියක් සලසා ගන්නවා. මොකද කෝපය ඔබේ මානසික කාලයෙන් සහ අවකාශයෙන් ප්‍රතික්‍රියාවක් සැලසුම් කරනවා විතරක් නෙවෙයි, ඔබට ඒ කෝපය අනෙක් අය සමග බෙදා ගන්නත් අවශ්‍යතාවක් පහළ කරවනවා.

ඒ නිසා අපි ෂෙයා බොත්තම ඔබලා තව කෙනෙකුට දැනුම් දෙනවා ‘විශ්වාස කරන්න පුළුවන් ද, මේ පුද්ගලයා මෙහෙම කියලා’ කියලා. ඉතින් අවධානය ලබා ගැනීම සඳහා කෝපය ඉතා හොඳින් වැඩ කරනවා. කොච්චර ද කියනවා නම්, ෆෙස්බුක් එකට පුළුවන් වුණා නම් ඔබට කෝප සහගත නිව්ස්ෆීඩ් එකක් සහ සන්සුන් නිව්ස්ෆීඩ් එකක් පෙන්වීම අතර තෝරා ගැනීමක් කරන්න, ඔවුන් කරන්නේ කෝප සහගත ෆීඩ් එක පෙන්නන එක. කවුරුන් හෝ එය සවිඥානික ව තෝරා ගත් නිසා නෙවෙයි, එය ඔබේ අවධානය දිනා ගැනීම සඳහා වඩා හොඳින් ක්‍රියාත්මක වන නිසා.

මේ නිව්ස්ෆීඩ් පාලන මැදිරිය අපට වග කියන්නේ නැහැ. එය වග කියන්නේ අවධානය වැඩි කර ගැනීමේ ක්‍රියාවලියට පමණයි. ඒ වගේ ම වෙළෙඳ දැන්වීම් නමැති ව්‍යාපාර ආකෘතිය හේතුවෙන්, වැඩි ම මුදලක් ගෙවලා ඒ පාලන මැදිරියට ඇතුළු විය හැකි සහ ‘අන්න අර පිරිසගේ මනසට මෙන්න මේ සිතිවිලි ඇතුළු කළ යුතුයි’ කියා කියන ඕනෑ ම කෙනෙකුටත් එය වග කියනවා.

ඉතින් මේ අයුරින් වඩා අවනතකාමී මිනිසුන්ව නිවැරදි ව ම සෘජු ව ම ඉලක්ක කළ හැකියි. මෙය ලාභ උපදවන ක්‍රමයක් නිසා ඉදිරියේ දී තවත් නරක අතට හැරෙනවා පමණයි. මම අද මෙතනට ඇවිත් ඉන්නේ මේ සඳහා ගෙවිය යුතු වන්දිය පැහැදිලි ව පෙනෙන නිසා. මීට වඩා හදිසි ප්‍රශ්නයක් මා දන්නේ නැහැ. මොකද අනෙක් හැම ප්‍රශ්නයක් යට ම තියෙන්නේ මේ ප්‍රශ්නය. මෙය අපේ අවධානය අපට අවශ්‍ය ලෙස වැය කිරීමට ඇති අයිතිය සහ, අපට අවශ්‍ය ජීවිතය ගත කිරීමට ඇති අයිතිය අපෙන් ඉවතට ගන්නවා පමණක් නෙවෙයි, මෙය අප සංවාද පවත්වන ආකාරය වෙනස් කරනවා, ප්‍රජාතන්ත්‍රවාදය වෙනස් කරනවා, ඒ වගේ ම අපට එකිනෙකා සමග පවත්වන්නට අවශ්‍ය සංවාද සහ සබඳතා පවත්වන්නට ඇති හැකියාව වෙනස් කරනවා. මෙය හැම කෙනෙකුට ම බලපානවා. මොකද මිනිස්සු බිලියනයකගෙන් හැම කෙනෙකුගේ ම සාක්කුව තුළ මෙයින් එකක් තියනවා’.

ප්‍රකෝපය සමාජ මාධ්‍ය අවකාශය හරහා පැතිර යන ආකාරය තේරුන් ගැනීමට මේ උපුටනය පුංචි කවුළුවක් පමණි. ක්‍රියාවලිය මීට වඩා විශාලය. මෙම නව තත්ත්වය සමග අප එලබෙන ජනාධිපතිවරණය දෙස බැලිය යුතුය. සනත් නිශාන්තගේ මරණයෙන් සතුටුවෙන සයිබරුන් දෙස බලනවිට පෙනෙන්නේ ප්‍රකෝප ජනතාව මෙන්ම එම ජනතාවගේ ප්‍රකෝපය අවුලුවා ඒ මතින් අවධානය ගන්නට එක් එක් නව මාධ්‍ය අවකාශයන් කරනු ලබන තරඟයයි. එම තරඟයේ ප්‍රථිපලය විසින් ලංකාව නැමති බංකොලොත් රාජ්‍යය කුමන දිසාවකට රැගෙන යනු ඇත්ද? එය සමහරවිටෙක වියට්නාමය දෙසට හෝ වෙනිසියුලාව වැනි තත්ත්වයකට රැගෙන යා හැකිය.

කැමැත්ත නිශ්පාදනය කළ හැකිය (Manufacturing Consent). එය නිශ්පාදනය කරන්නට වෙන්නේ මහජන පරිමණ්ඩලය (public sphere) හරහා ය. අද මහජන පරිමණ්ඩලය ක්‍රියාත්මක වන්නේ නව මාධ්‍ය අවකාශයන් හරහා ය. මෙම නව ඩිජිටල් ඒ.අයි යුගයේ දේශපාලනය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයත් පැවතිය යුත්තේ කෙසේද යන්න තීරණය කරනු ඇත්තේ නව මාධ්‍ය යයි. සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාගේ මරණයෙන් පසු සයිබරයේ හමාගිය සුළිකුණාටුවේ කතාව එයයි.