You are currently viewing බෙලිඅත්ත සමූහ ඝාතනය සහ තෙලිජ්ජවිල ඝාතනය හුදු පාතාල අතර ගැටුමක් පමණක්ද?

බෙලිඅත්ත සමූහ ඝාතනය සහ තෙලිජ්ජවිල ඝාතනය හුදු පාතාල අතර ගැටුමක් පමණක්ද?

-කේ. සංජීව-

තංගල්ල, බෙලිඅත්ත කොළඹ අධිවේගී මාර්ගයේ පිටවීම අසල වෙළඳසැලක් ඉදිරිපිට දී පසුගිය 22 දා උදෑසන 8.30ට පමණ වෙඩි තැබීමක් සිදුවුණ අතර එම වෙඩි ප්‍රහාරයෙන් 4 දෙනෙක් එම ස්ථානයේදීමද තවත් පුද්ගලයෙක් බෙලිඅත්ත රෝහලට ඇතුලත් කිරීමෙන් පසුවද ජීවිතක්ෂයට පත්ව ඇත.

දැන් හෙළිවී ඇති ආකාරයට අපේ ජනබල පක්ෂයේ නායක, සමන් පෙරේරා ඇතුළු පුද්ගලයන් 05 දෙනෙකු නඩු විභාගයකට සහභාගී වීම සඳහා සුදුපැහැ ඩිෆෙන්ඩර් වර්ගයේ රථයක තංගල්ල උසාවිය වෙත යමින් සිට ඇති අතර ඔවුන් ලුහුබැඳ පැමිණි ප්‍රඩෝ වර්ගයේ ජීප් රථයක සිටි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇත.

‘යුක්තිය’ නමින් දැවැන්ත පාතාල මර්දන මෙහෙයුමක් (මහජන ආරක්ෂාව භාර අමාත්‍යවරයා ප්‍රකාශ කරන ආකාරයට) රට තුළ ක්‍රියාත්මක පසුබිම මෙවැනි චිකාගෝ පන්නයේ වෙඩි තැබීමක් සිදුවන්නේ කෙසේද? සිතා බැලිය යුතුය. ඝාතනයට ලක්වූ පුද්ගලයන් දෙස බලනවිට ඔවුන් ඝාතන චෝදනා සහ පාතාල ක්‍රියාකාරකම් පිළිබඳ චෝදනා ලැබූවන් පිරිසක් බව සත්‍යක් ය. කුමන චෝදනා එල්ල වුණත් කිසිම පුද්ගලයෙක්ට මෙවන් මරණයක් හිමිවිය යුතු නැත. කිසියම් පුද්ගලයෙක් වරදක් සිදුකරයි නම් ඔහු හෝ ඇය පිළිබඳව තීන්දු තීරණ ගත යුත්තේ දඬුවම් පැමිණවිය යුත්තේ, අධිකරණයයි.

මෙම පිරිස අතර සිටින සියලුම දෙනා නමගිය පාතාල නායකයන් සහ සාමාජිකයන් බව පොලීසිය ප්‍රකාශ කරයි. එහෙත් මෙහිදී මාධ්‍යවේදියෙක් ලෙස මගේ අවධානය යොමුවන්නේ මෙහි සිට ඝාතනයට ලක්වූ අපේ ජනබල පක්ෂයේ නායකයා වන සමන් පෙරේරා වෙතය. පසුගිය කාලය පුරාම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් අරඹයා හඹයක් පැවති අතර එහි එක් අවස්ථාවකදී එම පක්ෂයේ ලේකම් ධුරයේ කටයුතු කළ වේදනිගම විමලතිස්ස හිමියන් පැහැරගැනීමට ලක්වෙන අතර එම පැහැරගැනීම පිළිබඳ කතාවේ පසුබිමේ සිටින චරිත දෙස බලන විට සහ එම පැහැරගැනීම පිළිබඳව පොලීසියට පැමිණිලි සිදුකළත් එම පැමිණිලි පිළිබඳව කිසිත් සිදු නොවුණ පසුබිමක මෙම පස් පුද්ගල ඝාතනයේ සැකසංකා වෙනත් මානයක් වෙත පිවිසෙනු වැළැක්විය නොහැකිය. අපහට ඇතිවෙන එම සැකසංකා දුරු කිරීම පොලීසියේ වගකීමය. ශ්‍රී ලංකා නීතිඥ සංගමයද මෙම පංචපුද්ගල ඝාතනය ගැන නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ සාධාරණ සහ විනිවිද පෙනෙන පරීක්ෂණයක් අවශ්‍ය බවය.

අපේ ජන බල පක්ෂයට ලැබුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය බෙදාගැනීමේ ආරෝවේදී ඉහත නම සඳහන් කළ වේදනිගම විමලතිස්ස හිමියන් මෙන්ම ඝාතනයට ලක්වූ එම පක්ෂයේ නායකයා බව කියන සමන් පෙරේරා ද සිට ඇත්තේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්හට එම මන්ත්‍රී ධුරය ලබාදිය යුතු බවය. එහෙත් මෙම ආරෝව දිගින් දිගටම ඇදී ගිය අතර එම ආරෝව මැද්දට පොලිස් ලොක්කන්ද දේශපාලන ප්‍රබලයන්ද එකතුවිය. මේ සියලු කතන්දර පිළිබඳව නැවත වටයකින් සිතා බලන්නට මෙම සමූහ ඝාතනය අපහට බලකරයි.

මේ අතර පසුගිය දා තෙලිජ්ජවිලදී ‘නන්නාඳුනන පුද්ගලයන්’ දෙදෙනකු වෙඩි තැබීමකින් තරුණයෙකු මියගිය අතර පසුව වාර්තා වුණේ මෙය වැරදීමකින් සිදුවුණ මිනී මැරුමක් බවය. පෑලිගලහේන, රබර් කොටුව, තෙලිජ්ජවිල පදිංචි වලවේ දූරගේ දිල්ශාන් මධුසංඛ තෙලිජ්ජවිල ප්‍රදේශයේ ත්‍රී ස්ටාර්ස් නමින් ජංගම දූරකථන අලෙවි සැලක් පවත්වා ගෙන පුද්ගලයෙකි. ඔහුට අනුව තුවක්කුකරුවන් එදින තම වෙළඳසැලට පැමිණ ඇත්තේ තමන්ට වෙඩි තබන්නටය. එහෙත් එම අවස්ථාවේදී ඔහු කඩයේ සිට නැති අතර ඔහුගේ අසුනේ හිඳගෙන සිටි යහළුවාට වෙඩි තැබූ එම නන්නාඳුනන තුවක්කුකරුවන් පළාගොස් ඇත.

දැන් මෙම ඝාතනය කළේ කවුරුන්ද? දිල්ශාන් කියන ආකාරයට ඔහුට පොලීසිය ඇරෙන්නට තරහාකාරයෙක් සිට නැත. ඒ අනුව ඔහු මාධ්‍ය වෙත පවසන්නේ මෙම ඝාතනය සිදුකරන ලද්දේ පොලිසිය විසින්ම යැයි තමන් විශ්වාස කරන බවය. තමන්ව මරන්නට පැමිණි (පොලිසියේ යැයි තමන් විශ්වාස කරන) දෙදෙනාට සිදුවූ වැරදීමකින් තමන් වෙනුවට තමන්ගේ මිතුරාව ඝාතනය කරන ලද බවය. මෙය බරපතළ චෝදනාවක් ය. මේ පිළිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා ඇතැයිද දැනගන්නට ලැබේ. එයට හේතුව ලෙස කියවෙන්නේත් මේ සැකයයි. මේ අනුව චෝදනාවේ පරිමාව හඳුනාගත හැකිය.

පසුගිය 2020 වසරේ අගෝස්තු 24දා මාලිම්බඩ පොලිසියේ නිලධාරීන් තෙලිජ්ජවිල ප්‍රදේශයේදී දිල්ශාන් අත්අඩංගූවට ගෙන ඇත. අත්අඩංගුවට ගැනීමට හේතූව ලෙස පවසා ඇත්තේ තෙලිජ්ජවිල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මත්පැන් අලෙවිසැලක සිදුවු මුදල් සොරකමකට දිල්ශාන් සම්බන්ධ බවට වූ සැකයයි. මෙම අත්අඩංගුවට ගැනීමත් සමග පොලීසිය දිල්ශාන්හට වධහිංසා පමුණුවා ඇත. හොඳටම පහර දී ඇත. මේ පිළිබඳව ඔහු මානවහිමිකම් කොමිෂන් සභාවට පොලිස් කොමිෂන් සභාවට ආදී බොහෝ වගකිව යුතු ආයතනවලට පැමිණිලි කර ඇත. මේ සියල්ල සමග පොලීසියට දිල්ශාන් සමග විශාල ආරෝවක් තිබී ඇත. දිල්ශාන් කියන්නේ මේ ආරෝවේ ප්‍රතිපලයක් ලෙස මෙම ඝාතනය සිදුවී ඇති බවය. එය එසේනම් බරපතළය.

දිල්ශාන් තමන්ට පොලීසියේදී විඳින්නට සිදුවූ කරදර සහ වධහිංසා පිළිබඳව අනිද්දා පුවත්පත වෙත 2021 අප්‍ර්‍රේල්වලදී කරුණු ප්‍රකාශ කර ඇත. එම ලිපිය ‘පොලීසියේදී ඇට කැඩෙන තුරු පහර කෑ දිල්ශාන්ගේ කතාව’ යන සිරසින් පළවී ඇත.

මෙම තත්ත්වය තුළ කිවහැකිවන්නේ මෙම ඝාතන අවස්ථා දෙක තුළම සිදුවී ඇති සිදුවීම්වලට පොලීසියේ යම් සම්බන්ධයක් ඇතිද යන්න බොහෝ දෙනෙක් තුළ සැකසංකා ජනිතවී ඇති බවයි. එනිසා මෙම ඝාතන අවස්ථා දෙක පිළිබඳවම සාධාරණ සහ විනිවිද පෙනෙන පරීක්ෂණයක් අවශ්‍යය. අනෙක් පැත්තෙන් ‘යුක්තිය’ වැනි බරපතළ මෙහෙයුමක් සිදුවෙමින් තිබෙන අවස්ථාවක මෙවැනි ඝාතනයන් සිදුවීමය. ජනාධිපතිවරයාගේ මෙන්ම පාර්ලිමේන්තුවේද අවධානය මෙම තත්ත්වය පිළිබඳව යොමුකළ යුතුය.