You are currently viewing පොලීසියේ තුවක්කු නිකන් පත්තුවීම..!

පොලීසියේ තුවක්කු නිකන් පත්තුවීම..!

කේ. සංජීව

පසුගිය ජනවාරි 18 වෙනිදා නාරම්මල දම්පැ­ලැස්ස  ප්‍රදේ­ශ­යේදී පොලිස් වෙඩි පහරකින් ඝාතනයට ලක්වූ නාරම්මල, 05 කනුව, මහ­ර­ච්චි­මුල්ල, වෑත්තෑ­කන්ද ප්‍රදේශයේ පදිං­චිව සිටි කේ. ඒ. රොෂාන් කුමා­ර­සිංහ 42 හැවි­රිදිය. ඔහුට දරුවන් තිදෙනෙක් ය. නිවුන් දියණියන් දෙදෙනෙක් සහ එක් පුතෙක් මෙම ඝාතනය සමග අසරණ තත්ත්වයට පත්ව ඇත. රොෂාන් කුමාරසිංහ නම් වඬු කාර්මිකයා මෙසේ මරා දැමුවේ කොහොමද?

කටු­පොත ප්‍රදේ­ශයේ  නිවෙ­සක වහ­ල­යක ඉදි­කි­රීම් නිමා කර තමන් සතු කුඩා ලොරි රථ­යෙන් නිවෙස බලා පැමි­ණෙ­මින් සිටි­ය­ දී සිවිල් ඇඳුමින් සැරසී සිටි පොලිස් නිළධාරීන් දෙදෙනෙක් වාහනය නවත්වන්න යැයි සංඥාකර ඇත. එම පොලිස් නිළධාරීන් දෙදෙනා සිවිල් පුද්ගලයන් දෙදෙනෙක් සේ සිටි නිසා ඔහු වාහනය නතර නොකරන්නට ඇත. කෙසේ හෝ පසුපස පන්නා පැමිණි සිවිල් ඇඳුමින් රාජකාරි කරමින් සිටියා යැයි කියන නාරම්මල පොලීසියට අනුයුක්ත පොලිස් නිළධාරීන් දෙදෙනා රොෂාන් නවතාගෙන ඇති අතර එහි සිටි උප පොලිස් පරීක්ෂකවරයා රොෂාන්ගේ හිසට පිස්තෝලය එල්ලකර කෙළින්ම වෙඩි තබා ඇත. (පොලිස් නිළධාරියා ප්‍රකාශ කරන්නේ තම පිස්තෝලය ඉබේ පත්තුවුණ බවය)

විඩියෝ පටය

මෙම ඝාතනය සිදුවූ අවස්ථාවේ එම සිදුවීම අසල එළවළු ලෑල්ල ළඟ සිටි පුද්ගලයෙක් සිය ජංගම දූරකථනයෙන් වීඩියෝ කළ අතර එහි සටහන් හඬපටයේ එක් අයෙක් ප්‍රකාශ කරන්නේ කෙළින්ම පිස්තෝලය ඔලුවටම එල්ල කර වෙඩි තැබූ බවය. එම වීඩියෝවේ සටහන් වී තිබෙන තුවක්කුකරුගේ හැසිරීම් අනුව ඔහු එම එළවළු ලෑල්ල අසල සිටින පුද්ගලයන්ට ඒත්තු ගන්වන්නට හදන්නේ තමන් රොෂාන් බය කිරීම සඳහා හිසට පිස්තෝලය තැබූ බවය. ඉන්පසුව එය ඉබේ පත්තුවූ බවය. කවුරු හෝ මෙය මෙසේ වීඩියෝ නොකරන්නට රොෂාන් තවත් කුඩුකාරයෙක් වන්නට ඉඩ තිබුණා ය.

කෙසේ හෝ අවසානයේ අසරණ මිනිස් ජීවිතයක් අකාලයේ ජීවිතක්ෂයට පත්ව ඇත. මේ අතර පසුගිය ජනවාරි 20 වෙනිදා මරණ ගෙදරට යන වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මියගිය රොෂාන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් රොෂාන්ගේ බිරිඳට ප්‍රධානය කළ අතර එහිදී වැඩබලන පොලිස්පතිවරයා ප්‍රකාශ කරන්නේ වෙඩි තැබීම සිද්ධ කළ පොලිස් නිළධාරියාට විරුද්ධව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවය. මිනිස් ජීවිතයක වටිනාකම රුපියල් ලක්ෂ 10ක්ද? රුපියල් ලක්ෂ 10ක් ලබාදුන් පමණින් මේ පොලිස් චර්‍යාවන්ට විරුද්ධව දැල්වෙන සමාජ මතය වෙනස් කළ හැකිද?

වෙඩි තැබීම සිද්ධ කළ පොලිස් නිළධාරියාම ප්‍රකාශ කරන ආකාරයට ඔහු රොෂාන් බය කිරීම සඳහා හිසට පිස්තෝලය එල්ල කර ඇත. පොලිස් නිළධාරියෙක්ට සිවිල් වැසියෙක්ගේ හිසට තුවක්කුවක් තබන්නට, තබා තර්ජනය කරන්නට තිබෙන අයිතිය කුමක්ද? ඒ වෙනුවෙන් වූ නීතිමය ප්‍රතිපාදනය කුමක්ද? පොලීසිය වහාම එය ජනතාව වෙත පැහැදිලි කළ යුතුය. මෙයින් කියන්නේ යල්පැනගිය පොලිස් අඥා පනත වහාම වෙනස් කළ යුතු බවය. ජනතාවට සමීප ජනහිතකාමී පොලීසිය සාදාගන්නට අවශ්‍ය නම් වහාම එය සිද්ධ කළ යුතුය.

චන්ඩි මානසිකත්වය

ලංකාවේ පොලිස් නිළධාරීන් බොහෝමයක් දෙනා සිතා සිටින්නේ තමන් ලැයිසන් චන්ඩීන් කියා ය. එම පොදු පොලිස් මානසිකත්වයට සමහර පොලිස්පතිවරුන් රාජකාරි කරන සමයන්හිදී තටු ලැබෙයි. සමහර චන්ඩි නියෝජ්‍ය පොලිස්පතිවරුන් චන්ඩි සහකාර පොලිස් අධිකාරීවරුන් යම් යම් ප්‍රදේශවලට එහි ප්‍රධානීන් සේ පත්වී පැමිණිවිට එම ප්‍රදේශයේ රාජකාරි කරන පොලිස් පොඩ්ඩන්ගේ අර මුලින් කී පොදු පොලිස් මානසිකත්වයට තටු ලැබෙයි. ඔවුන් ඊටපසු රඟන්නේ පාතාලයේ චන්ඩීන් වගේය. මෙම තත්ත්වයට ඕනෑ තරම් උදාහරණ සොයාගන්නට අමාරු නැත. සමහර ජනාධිපතිවරුන්ගේ කාලවලදීද පොලීසියේ මෙම හැසිරීම ඉස්මතුවෙන ආකාරය අප දැක ඇත. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ධුර කාල දෙකේදී පොලිසියේ හැසිරීම සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ධුර කාලයේ පොලිස් නිළධාරීන්ගේ හැසිරීම අවශ්‍ය නම් උදාහරණ ලෙස සලකා බැලිය හැකිය.

මෙන්න මේ පසුබිමේ තබා මෙම හිසට වෙඩි තැබීම තේරුන් ගත යුතුය. දැන් මාසයකට ආසන්න කාලයක් රට තුළ ‘යුක්තිය’ නමින් පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක වෙයි. එම මෙහෙයුම ක්‍රියාත්මක වෙන්නේ මහජන ආරක්ෂාව භාර අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන දෙදෙනාගේ මැදිහත්වීමෙන් ය. මෙම මෙහෙයුම පටන් ගත් පසු ප්‍රසිද්ධ මාධ්‍යට පැමිණ මේ දෙදෙනා කියමින් සිටින්නේ කුමක්ද?

ඔවුන් කියමින් සිටින්නේ තමන්ට මානවහිමිකම්, මානව අයිතිවාසිකම් අදාළ නැති බවයි. තමන් ඒවා පිළිගන්නට සූදානම් නැති බවයි. එසේ ප්‍රකාශ කරමින් ඔවුන් දිගින් දිගටම ප්‍රකාශ කළේ පොලීසියේ පහළ නිළධාරීන් වෙනුවෙන් තමන් සිටින බවය. එනිසා මෙම මෙහෙයුම සාර්ථක කරගැනීම වෙනුවෙන් ඔවුන් වෙහෙස විය යුතු බවය. එසේ කියමින් ඔවුන් පොලීසියේ පහළ නිළධාරීන් ‘යුක්තිය’ නමින් වූ යුද්ධයකට සූදානම් කර ඇත.

මෙන්න මේ නව තත්ත්වය තුළ මා පෙරකී පොදු පොලිස් මානසිකත්වයට නැවතත් තටු ලැබී ඇත. මේ හේතුව නිසා වර්තමානයේ සාධාරණය පතාගෙන පොලීසි වෙත යන සිවිල් පුද්ගලයන්ට නොයේක් අතවරයන්ට තාඩන පීඩනවලට ලක්වන්නට සිදුවී ඇත. මෙම නව තත්ත්වය තුළ බොහෝ පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් බොහෝ සේ සැරවී ඇත. ස්ථානාධිපති එසේ සැරවෙන විට පහළින්ම සිටින සැරයන් කෙසේ සැරවෙනු ඇතිද යන්න ඔබට අමුතුවෙන් පැහැදිලි කරන්නට අවශ්‍ය නැත.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ පොලීසිය භාර ඇමති ටිරාන් අලස් වර්තමානයේ පොලීසිය පත්කර ඇති තත්ත්වය මෙයයි. මෙයට සමාජයෙන් සහ අන්තර්ජාතිකව විශාල විරෝධයක් එල්ලවුණත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තවමත් ඒ විරෝධය ගානක් නැත. සමහරවිට ඔහු එම විරෝධයේ හඬට සවන් දෙන්නේ නැතිව සිටිනවා වන්නට පුලුවන් ය. එයට හේතුව ඉදිරියේදී ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පැමිණීම වන්නට පුලුවන් ය.