You are currently viewing ‘ඩැට්‘ නිසා සෞඛ්‍ය අන්බැලන්ස්..!

‘ඩැට්‘ නිසා සෞඛ්‍ය අන්බැලන්ස්..!

කේ. සංජීව

පසුගිය 18 දා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඉදිරිපිට සහ නුගේගොඩ විජේරාම මන්සන්දිය අතරතුර පාර යුධ පිටියක් බවට පෙරළී තිබුණි. පොලීසිය කඳුළු ගෑස් වරුෂා එල්ලකරමින් මඟ අවහිර කරමින් විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන් හයිලෙවල් පාරට එන එක වළක්වන්නට කටයුතු කරන බවක් පෙනෙන්නට තිබුණි. මෙසේ දැවැන්ත විරෝධයක් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් දැක්වූවේ ඇයි? එයට හේතුව විශ්වවිද්‍යාල ආචාර්‍යවරුන්ට 25%ක වැටුප් වර්ධකයක් ලබාදීමය. මේ ආකාරයෙන්ම වෛද්‍යවරුන්ගේ දීමනාව රුපියල් 35000කින් ඉහළ දමන්නට ජනාධිපතිවරයා පසුගිය දා කටයුතු කළේය. මෙම තීන්දු දෙකම රජයේ සේවකයන් මත විශාල ආතතියක් හෙළා ඇත.

එක්සත් ජාතික පක්ෂය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරන ආකාරයට ඔවුන් දැන් ජනාධිපතිවරණ සටන අරඹා ඇත. ඒ අනුව දැන් පුරවැසියාගේ ඡන්දය දිනාගැනීම සඳහා වැඩ කළ යුතුය. ඒ සඳහා යම් යම් පුද්ගලයින්, කණ්ඩාම් බැලන්ස් කරගත යුතුය. එහෙමත් නැතිනම් තමන්ගේ මල්ලට දමාගත යුතුය. ඒ වෙනුවෙන් නොයේක් ක්‍රියාමාර්ග තෝරන්නට සිද්ධ වෙනවා ඇත. පසුගිය කාලයේ සිදුවුණ බදු සංශෝධනයන් සමග වෛද්‍යවරුන් රැල්ලට වාගේ රට හැරගිය අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුලු වෛද්‍යවරුන් වෙනුවෙන් පෙනීසිටින සංවිධානයන් සහ වෘත්තීය සමිති ඒ වෙනුවෙන් හඬක් නඟන්නට විය. මෙම තත්ත්වයම විශ්වවිද්‍යාල ආචාර්‍යවරුන් අරඹයාද ක්‍රියාත්මක වූ අතර ඔවුන්ද බදු වැඩිවීම පිළිබඳව සිය විරෝධය දක්වා හඬ නඟන්නට විය. මේ සියලු තත්ත්වයන් සලකා බලා මෙම දෙපිරිස බැලන්ස් කරගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් දිමනාවක් දෙන්නට තීරණය කළ අතර එය වෛද්‍යවරුන්ට ලැබුණේ ‘ඩැට්‘ එක නැතිනම් ‘වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව‘ ලෙසය. එම වැඩිවීම රුපියල් 35000ක් ය. මෙම වැඩි කිරීම මේවනවිට සමස්ථ සෞඛ්‍ය සේවාවම අර්බුදයක් වෙත කැඳවාගෙන ගොස් ඇත.

වෛද්‍යවරුන් විශේෂයිද?

‘රටේ ආර්ථික තත්ත්වය එක්ක අපි හැවෝටම අමාරුයි. ඒ නිසා අපි අසාධාරණ වැටුප් වැඩි කිරීමක් ඉල්ලුවේ නෑ. ඒත් රජය වෛද්‍යවරුන්ට ලබාදෙන්නට තීරණය කරපු මේ දිමනාව නිසා නැවතත් වැටුප් විෂමතාවයක් නිර්මානය කරලා තියෙනවා සෞඛ්‍ය සේවය තුළ. අපි කියන්නේ රජය මැදිහත් වෙලා ඒක වහාම නිවැරදි කළ යුතුයි. අපේ මූලික වැටුපට සමානුපාතිකව වැටුප් වැඩි කිරීමක් තමයි අපි ඉල්ලා සිටින්නේ. සෞඛ්‍ය සේවයේ අපි හැවෝම අමාරු ආර්ථික තත්ත්වයක් අස්සේ තමයි රාජකාරි කරන්නේ. ඒනිසා වෛද්‍යවරුන්ට ලැබෙන දීමනාවන් අපටත් ලැබිය යුතුයි. මෙම තත්ත්වය අස්සේ අපේ ඉල්ලීම අසාධාරණ වෙන්න විදිහක් නෑ. අපි අපේ සංඛේත වැඩවර්ජනය අද (18) උදේ 7ට අවසන් කළා. අද රාත්‍රී 8ට අපේ වෘත්තීය සමිතියේ විධායක කමිටුව රැස්වෙනවා. එහිදී අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ගන්න ක්‍රියාමාර්ග මොනවාද කියන එක ගැන තීරණයක් ගන්න. කොහොම වුණත් අපේ ඉල්ලීම්වලට රජය සාධනීය ප්‍රථිචාරයක් නොදක්වන්නේ නම් අපිට ඉතුරු වෙලා තියෙන්නේ වර්ජන ක්‍රියාමාර්ගයන් වෙත යන්න විතරයි‘  රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක සුදත් ජයසිරි මෙම ලියුම්කරු වෙත මෙසේ ප්‍රකාශ කළ අතර මෙම ලියුම්කරු සමග කතාකළ බොහෝමයක් හෙද නිලධාරීන් ප්‍රකාශ කළේ වෛද්‍යවරුන්ට පමණක් මෙසේ සැලකීම තමන්ට විශාල ප්‍රශ්නයක් බවය. රටේ ආර්ථික අර්බුදය සමස්ථ ජනතාවටම පොදු ප්‍රශ්නයක් වී තිබෙන පසුබිමක එය පුරවැසියන්ටද ප්‍රශ්නයක් බව කිවයුතුය. විශාල වශයෙන් බදු නිසා පීඩාවට පත්වී සිටින පුද්ගලික අංශයේ සේවකයාට දීමනා ලබාදෙන්නේ කවුද? ඔහුගේ පඩි වැඩි කරන්නේ කවුද? මේවා සාධාරණ ප්‍රශ්නයන් ය. ජීවන වියදම අහස උසට නැඟ තිබෙන තත්ත්වයක් තුළ හොඳට ජීවත් විය යුත්තේ රාජ්‍ය සේවකයා පමණයිද?

සෞඛ්‍ය සේවය තුළ ඇතිවී තිබෙන නව තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ ගෙන් මෙම ලියුම්කරු විමසීමක් කළ අතර එහිදී ඔහු ප්‍රකාශ කළේ පසුගිය 16 වෙනිදා  මුදල් අමාත්‍යවරයා සහ සෞඛ්‍ය වෘත්තීය සමිති නියෝජිතයන් අතර මෙම වැටුප් අර්බුදය පිළිබඳව පැවති සාකච්ඡාව අසාර්ථක වූ බවය. එහිදී තමන්ගේ යෝජනා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට රජයේ පාර්ශවය ජනාධිපතිවරයා නැවත මෙරටට පැමිණෙන තුරු කල් ඉල්ලා සිටි බව ප්‍රකාශ කළ ඒ මහතා එහිදී තම සන්ධානය ඉදිරිපත් කළ යෝජනාව මුදල් අමාත්‍යවරයා පිළිගත් බවත් ප්‍රකාශ කළේය. දැනට වර්ජනය තාවකාලිකව අත්හිටවන්නට කටයුතු කළත් දින 14ක් ඇතුලත රජයේ පාර්ශවයෙන් තම ඉල්ලීම් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් නැතිනම් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නවා හැර වෙන විකල්පයක් තම සන්ධානයට නැති බවත් ඔහු ලියුම්කරු සමග පැවසීය.

මෙයින් පැහැදිලි වන්නේ සෞඛ්‍ය සේවයේ වෛද්‍යවරුන් නොවෙන අනෙකුත් කාර්‍ය මණ්ඩලයන් මෙම දීමනා වැඩි කිරීමට දිගින් දිගටම ප්‍රතිචාරයන් දක්වන්නට බලාපොරොත්තු වන බවය. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් වෛද්‍යවරුන් බැලන්ස් කරන්නට ලබාදුන් ‘ඩැට්‘ එකට සමාන දීමනාවක් අනෙකුත් සෞඛ්‍ය සේවකයන්ටද ලබාදෙන්නට ජනාධිපතිවරයාට සිදුවෙනු ඇත. නැතිනම් වෛද්‍යවරු වෙනුවෙන් ලබාදුන් දිමනාව නැවත ආපසු හරවන්නට සිද්ධවෙනු ඇත. එසේ නැතිනම් සමස්ථ සෞඛ්‍ය කලාපයම අර්බුදයට යනු ඇත. හමුදාව යොදා, හදිස්සි නීතිය යොදා, සෞඛ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන්නට පුලුවන් බව ජනාධිපතිවරයා කල්පනා කරන්නේ නම්, එය ඔහුට පාරාවළල්ලක් වනු ඇත.

ඔවුන්ගේ ඉල්ලීමවලින් 50%ක් ලැබිලා

මේ අර්බුදය පිළිබඳව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ස්ථාවරය, මෙම ලියුම්කරු එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහගෙන් විමසූ අතර ඔහු ඊට මෙසේ ප්‍රතිචාර දැක්වීය.
‘පසුගිය කාලේ දිගින් දිගටම වෛද්‍යවරුන් රට අතහැර ගියා. බදු සංශෝධනයන් පවා වෛද්‍යවරුන්ට විශාල ප්‍රශ්නයක් වුණා. අපි මේ අර්බුදයන් පිළිබඳව රජය සමග දිගින් දිගටම සාකච්ඡා කළා. අපි අපේ යෝජනා විසඳුම් ඉදිරිපත් කළා. ඒ යෝජනා අතර තිබුණ එක යෝජනාවක් තමයි ඔය ඉටුවෙලා තියෙන්නේ. ඕක අදට ගැළපෙන විදිහට දෙනවානම් රුපියල් 275000ක දීමනාවක් ලැබෙන්න ඕනෑ අපිට. ඒත් 35000යි ලැබෙන්නේ. පවත්නා ආර්ථික අර්බුදය එක්ක අපි ඒ නියමිත දීමනා වැඩිවීම ඉල්ලා සිටින්නේ නෑ. දැන් විධායක ශ්‍රේණියේ රාජ්‍ය සේවකයෙක්ට ප්‍රවාහන දීමනාව විදිහට රුපියල් 150000 ක දීමනාවක් දෙනවා. ඒකට බදු වදින්නෙත් නෑ. හැබැයි අපේ මේ 35000ට බදුත් වදිනවා. අපි කැමතිවුණත් අකමැති වුණත් රාජ්‍ය සේවයේ ශ්‍රේණි තිබෙනවා. ධූරාවලියක් තිබෙනවා. ඒවට අනුව තමයි වගකීම්වල ඉදලා සියලු දේවල් තීරණය වෙන්නේ. ඒ නිසා වෛද්‍යවරුන්ට දුන්න 35000ක මුදල අපිටත් ඕනෑ කියලා කවුරු හරි ඉල්ලනවා නම් ඒක සාධාරණ නෑ. තාර්කිකත් නෑ. දැන් මේ හා සමාන දීමනාවක් විශ්වවිද්‍යාල ආචාර්‍යවරුන්ටත් ගෙවන්න රජය තීරණය කරලා තියෙනවා. ඒකට කවුරුවත් විශ්වවිද්‍යාලයේ අනෙකුත් පහළ ශ්‍රේණීන්වල වෘත්තිකයන් විරුද්ධ වෙලා තියෙනවාද? ඔවුන් තමන්ටත් ඒ ගානම ඕනෑ කියලා රජයෙන් ඉල්ලලා තියෙනවාද? (මේ වනවිට විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ද මහපාරට බැස ඇත)  අනෙක මේ ඉල්ලීම් ඉල්ලලා වැඩවර්ජනය කරන වෘත්තීය සමිති පසුගිය කාලේ රජයෙන් ඉල්ලුවේ රුපියල් 20000ක වැටුප් වැඩිවීමක්, ඔවුන්ට දැන් රුපියල් 10000ක වැටුප් වැඩිවීමක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ ඉල්ලීමෙන් සියයට පනහක් ලැබිලා. ඒ නිසා මේ ඉල්ලීම අසාධාරණයි කියලා තමයි අපි කියන්නේ. අනෙක් පැත්තෙන් බදු සංශෝධනය නිසා විශාල වැටුප් විෂමතාවයක් නිර්මානය වෙලා තියෙනවා. මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේවට අපි සාකච්ඡා කරලා තාර්කිකව උත්තර සොයන්න අවශ්‍යයි. නැතිව සෞඛ්‍ය සේවය අකර්මන්‍ය කිරීම පිළිතුර නෙවෙයි‘  

මෙහිදී මෙම ලියුම්කරු ජනාධිපතිවරයා මෙම ප්‍රශ්නයට පිළිතුරක් ලෙස මෙම දීමනාව ලබාදීම අත්හිටුවන්නට කටයුතු කළොත් සංගමය ඊට දක්වන ප්‍රතිචාරය කුමක්දැයි විමසූ අතර එහිදී ඔහු ප්‍රකාශ කළේ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ගත් මෙම තීරණය රිවස් නොකරනු ඇතැයි තම සංගමය විශ්වාස කරන බවය.

අධ්‍යයනය කර වැඩි කරන්න

මෙම අර්බුදය පිළිබඳව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජිවගෙන් මෙම ලියුම්කරු කරුණු විමසූ අතර එහිදී ඔහු ප්‍රකාශ කළේ වෛද්‍යවරුන්ගේ වැටුප හා දීමනා වැඩි කරන විට ඉතා සංවේදී විෂයක් වන ආර්ථික අර්බුදය හමුවේ අනෙක් සෞඛ්‍ය වෘත්තකයන් තුළ නොසන්සුන්තාවයක් ඇතිවීම සාධාරණ බවය. මෙම තත්ත්වය අවම කිරීම සඳහා සියලු සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වැටුප් දීමනා විෂමතාවයන් සම්බන්ධයෙන් මේ දක්වා ඉදිරිපත් කරන ලද වැටුප් කොම්ෂන් සභා වාර්තා අධ්‍යනය කර ඊටපසුව සෞඛ්‍ය වෘත්තිකයන්ට ගැලපෙන අනුපාතයන්ගෙන් වැටුප්තල සහ දීමනා වැඩිකළ යුතු බවය.

එහෙත් ඡන්දයක් කටේ තබාගෙන ඔය වාර්තා අධ්‍යයනය කරමින් සිටියහැකිදැයි ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් කරුණු විමසන්නට පුලුවන් ය. ඒ මන්ද දැන් ඔහු සහ ඔහුගේ සහචර වළල්ල දැන් සිටින්නේ කෙසේ හෝ එලබෙන ජනාධිපතිවරණය ජයග්‍රහනය කිරීම සඳහා උපාය උපක්‍රම පිළිබඳව කල්පනා කරමින් ය.

අර්බුදය අත ළඟ

පසුගිය 16 වෙනිදා සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් එකතුව සිදුකළ දැවැන්ත සංඛේත වැඩවැරුමත් සමග සහ ඊට පසුදා 17  රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය දිවයින පුරා ක්‍රියාත්මක කළ වැඩවර්ජනය සමග දිවයිනේ බොහෝ ප්‍රදේශවල රෝහල් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක නොවුණ අතර එනිසා රෝගීන් දැඩි දුෂ්කරතාවයට ලක්විය. කැරට් කිලෝ එකක මිල රුපියල් 3000ක් දක්වා පාවී ගොස් තිබෙන රටක, හොර බෙහෙත් මඟඩි කෝටියක් නිසා කඩාවැටී තිබෙන සෞඛ්‍ය සේවයක් තිබෙන රටක, සමාජ දේහයට මෙම වර්ජන රැල්ල කෙසේ බලපානු ඇතිද? එය බොහෝ දුරට ජනතා නැඟිටීමක් දක්වා වර්ධනය විය හැකිය. එනිසා ජනාධිපතිවරණය වෙනුවෙන් එක් එක් කණ්ඩායම් බැලන්ස් කරන්නට යාම පසෙක ලා ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ජනතාව බැලන්ස් කරගැණීම නුවනට හුරුය. එය එසේ නොවුණ හොත් අර්බුදයක් අතළඟය.

දැන් ලැබෙන අලුත්ම වාර්තාවන්ට අනුව දැනගන්නට ලැබෙන්නේ පෙබරවාරි පළවෙනි සතිය සෞඛ්‍ය සහ විශ්වවිද්‍යාල සේවකයන්ගේ සටන් සතියක් වෙනු ඇති බවය. ඒ අනුව ජනාධිපතිවරයාට ජනාධිපතිවරණය වෙනුවෙන් ජනතා ප්‍රසාදයක එකතුකරගන්නට සිදුවෙයිද කියලා කියන්නට බැරි තත්ත්වයක් රටතුළ උද්ගත වෙමින් ඇත.