You are currently viewing ජනාධිපති සමාව අවලංගුයි දුමින්ද ඇතුලට..!

ජනාධිපති සමාව අවලංගුයි දුමින්ද ඇතුලට..!

-කේ. සංජීව-

පසුගිය ජනවාරි 17 දා ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික නඩු තීන්දුවක් ලබාදෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හට ලබාදී තිබූ සමාව බලරහිත කර නැවත දඬුවමට ලක්කරන්න යැයි බන්ධනාගාරයට නියෝග නිකුත් කළේය. මෙය ඓතිහාසික නඩු තීන්දුවක් වන්නේ විධායකය විසින් ගත් තීන්දුවක් අධිකරණයට නැවත හැරවිය නොහැකි යැයි සම්මත පොදු කියවීමක් තිබෙන නිසා ය.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනයට වරදකරු වූ දුමින්ද සිල්වා හට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපති පොදු සමාවක් පිරිනැමූ අතර එම සමාව ලබාදීමට විරුද්ධව එය බලරහිත කරන්න යැයි ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමුවිය. ඝාතනයට ලක්වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ බිරිඳ සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය, දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ නීතිඥවරයෙක් වන ගසාලි හුසේන් එම මූලික අයිතිවාසිකම් පෙත්සම් තුන ගොනු කරන්නට කටයුතු කළ අතර එම පෙත්සම් ත්‍රිත්වය අර්ජුන ඔබේසේකර, ගාමිණී අමරසේකර සහ ප්‍රීති පද්මන් සුරසේන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විසින් විභාගයට ගත් අතර එහි තීන්දුව පසුගිය ජනවාරි 17 වෙනිදා අනෙකුත් විනිසුරන් දෙදෙනාගේ එකඟත්වය සහිතව විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා විසින් ප්‍රකාශ කළේය.

ඒ අනුව භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනයෙන් දඬුවම් ලබාසිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමේදී හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒ වෙනුවෙන් සඳහන් ප්‍රතිපාදන නොසලකා හැර සිය බලය අත්තනෝමතික ලෙස ක්‍රියාවේ යොදවමින් අනීතික ආකාරයෙන් කටයුතු කර ඇතිබව ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගත් අතර ඒ අනුව දුමින්ද සිල්වා හට හිටපු ජනාධිපතිවරයා විසින් ලබාදී තිබූ ජනාධිපති සමාව බල ශූන්‍ය යැයි තීන්දු කරන බව ප්‍රකාශයට පත්කළ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ඔහුට පනවා තිබුණ දඬුවම නැවත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර ඇත.

බන්ධනාගාරයේ සහ ජපුර රෝහලේ තත්ත්වය

මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත්වූ පසුව පසුගිය 18දා මෙම ලියුම්කරු විසින් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා වෙත කතාකර ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබා ගනිමින් සිටිනවා කියන දුමින්ද සිල්වා බන්ධනාගාරය වෙත රැගෙන යන්නේ කවදා දැයි විමසූ අතර එහිදී ඔහු ප්‍රකාශ කළේ ශ්‍රේෂ්ඨාධිකරණය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට කළ නියෝගය පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ අධ්‍යක්ෂකවරයා වෙත ලිපියකින් දැනුන් දෙමින් දුමින්ද සිල්වා බන්ධනාගාරය වෙත නිදහස් කරන්න යැයි දැනුන් දීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා කටයුතු කර ඇති බවයි.

එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ මීට ප්‍රථමද කිහිප වතාවක්ම මෙම ඉල්ලීම එම රෝහල වෙත යොමුකළ බවය. එහෙත් දුමින්ද සිල්වා බන්ධනාගාරය වෙත නිදහස් කරනවා ද නැද්ද යන්න එම වාට්ටුව භාර විශේෂඥ වෛද්‍යවරයාගේ මතය අනුව තීරණය වෙන දෙයක් බවත් එම තීරණය ලැබෙන තෙක් දුමින්ද සිල්වා බන්ධනාගාර නිළධාරීන්ගේ ආරක්ෂාව යටතේ එම රෝහලේ රැඳී සිටිනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

මෙම ලියුම්කරු විසින් මෙම දැනුවත් කිරීම පිළිබඳව මෙන්ම දුමින්ද සිල්වා බන්ධනාගාරය වෙත නිදහස් කරන්න කටයුතු කරනවා ද යන්න පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල් පරිපාලනයේ ඉහළ නිළධාරියෙක්ගෙන් කරුණු විමසූ අතර එහිදී ඔහු ප්‍රකාශ කළේ, රෝහල් පරිපාලනය විසින් බන්ධනාගාර ඉල්ලීම මත ක්‍රියාත්මක වෙන්න යැයි, රෝහලේ තුන්වෙනි වාට්ටුව භාරව සිටින විශේඥ වෛද්‍ය චින්තක ද සිල්වා වෙත දැනුන් දුන් බවය.  ඒ අනුව ඔහු පිළිබඳව ඉක්මනින් තීරණයක් ලැබෙනු ඇති බව එම වෛද්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

බන්ධනාගාරයට යනවිටම ලෙඩ වෙන, උසාවියට එනවිට ලෙඩ වැඩි වෙන, ගෙදර සිටින විට කිසිදු ලෙඩක් නැතිව සිටින, නිදහස ලැබූ විගසම නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති බවට පත්වුණ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නැවත බන්ධනාගාරය වෙත රැගෙන යන්නේ කවදාද යන්න නීතියේ පාලනය සහ නීතිය සැමට සමානව ක්‍රියාත්මක විය යුතුයැයි සිතන පුරවැසියන් බලාගෙන සිටින දෙයක් ය.  

මෙම නඩු තීන්දුව වැදගත් ඇයි?

2016 සැප්තැම්බර් 8 වැනිදා දිනයේදී ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් 2:1ක් ලෙස බෙදුන නඩු තීන්දුවක් හරහා දුමින්ද සිල්වා වෙත මරණ දඬුවම නියම කළ අතර එයට ඔහු අභියාචනයක් ඉදිරිපත් කරන්නට කටයුතු කළ අතර එම අභියාචනාව පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාගයට ගෙන එම විනිසුරු මඬුල්ලද ප්‍රථම නඩු තීන්දුවෙන් ලබාදුන් මරණ දඬුවම තහවුරු කරන්නට කටයුතු කළේය. ඒ අනුව භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට අදාළව දුමින්ද සිල්වාට ලබාදුන් මරණ දඬුවම තහවුරු වූ අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ විගස 2021 ජුනි 24 වැනිදා එම මරණ දඬුවමෙන් නිදහස් කර ඔහු ගෙදර යවන්නට කටයුතු කර පසුව නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයටද පත් කළේය.

විධායක ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාවෙන් තමන්ට හිමි යැයි කියන බලතල ප්‍රකාරව ලබාදුන් ජනාධිපති සමාවක් ගරු අධිකරණයට ප්‍රශ්න කළ හැකිද යන්න මෙම පෙත්සම් ත්‍රිත්වය ඉදිරිපත්වූ මුල් අවස්ථාවේම නැඟි ප්‍රධාන තර්කයක් වූ අතර නීතිපතිවරයාද අධිකරණය හමුවේ කරුණු දක්වමින් එය සනාථ කළේය. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නඩුව විභාග කරන්නට තමන්ට බලයක් ඇතැයි යන්න ප්‍රකාශ කරමින් මෙම මූලික අයිතිවාසිකම් නඩු ත්‍රිත්වය විභාගයට ගන්නට කටයුතු කළේය.

මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉහත ප්‍රශ්නයට උත්තර ලබාදී ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණය එමගින් ප්‍රකාශ කරන්නේ ජනාධිපතිවරයෙක් ලබාදෙන සමාවක් පිළිබඳව අධිකරණයට ප්‍රශ්න කළ හැකි බවයි. එම මූලික ප්‍රශ්නයට උත්තර දෙන ශ්‍රේෂ්ඨාධිකරණය ඊළඟට සලකා බලා ඇත්තේ ජනාධිපතිවරයා ලබාදුන් මෙම සමාව ලබාදීම ව්‍යවස්ථාවෙන් නියමකර ඇති පිළිවෙලට පටිපාටියට අනුකූලද යන්නයි.

මරණ දඬුවම ලැබූවෙක් හට ජනාධිපතිවරයෙක් විසින් ජනාධිපති සමාව ලබාදෙන්නට කටයුතු කරන්නේ නම් ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදය ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) හි සඳහන් වෙයි. ඒ අනුව යම් පුද්ගලයෙක් හට යම් වරදකට අධිකරණයකින් මරණ දඬුවම නියම වූ විටක ජනාධිපතිවරයා විසින් ඔහුට සමාව ලබාදෙන්නට කටයුතු කරන්නේ නම්, ජනාධිපතිවරයා විසින් මුලින්ම එම නඩුව විභාග කළ විනිශ්චයකාරවරයාගෙන් වාර්තාවක් ලබා ගත යුතුය. දෙවනුව එම වාර්තාව ලැබුණු පසු ඒ පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් පැතිය යුතුය. එම උපදෙස්වලින් පසුව නීතිපති උපදෙස් සමග එම වාර්තාව අධිකරණ විෂයය භාර අමාත්‍යවරයා වෙත යැවිය යුතුය. ඉන්පසු අමාත්‍යවරයා විසින් සිය නිර්දේශ ද සමග එම වාර්තාව නැවත ජනාධිපතිවරයා වෙත එවිය යුතුය. තීරණය ගන්නේ එයින් පසුවය. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරන ආකාරයට හිටපු ජනාධිපතිවරයා මෙම විධිවිධාන නොසලකා හැර සමාව දී ඇත. ඒ අනුව මෙම සමාව දීම සිදුකර ඇත්තේ ව්‍යවස්ථාවට පිටතින් කටයුතු කරමින් ය.

අනෙක් අධිකරණයේ අවධානයට ලක්වී ඇති වැදගත් කාරණාව වන්නේ එකම නඩුවක දුමින්ද සිල්වා ඇතුළු 5 දෙනෙකුට මරණීය දණ්ඩණය නියම කර තිබෙන මොහොතක දුමින්ද සිල්වාට පමණක් නිදහස ලබාදෙන්නේ කෙසේද යන කාරණයයි. මෙම නඩු විභාගය අතරතුර ජනාධිපති නීතීඥ එම්. ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කර ඇත්තේ මරණීය දණ්ඩනය නියම වුවන් 9000කට ආසන්න පිරිසක් බන්ධනාගාර ගතවඇති තත්ත්වය තුළ පොදු සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයා දුමින්ද සිල්වාවම තෝරා ගත්තේ කුමන පදනමකින් ද යන ගැටලුව මතුවන බවය. ජනාධිපතිවරයාගේ පොදු සමාව ප්‍රධානය කිරීමේ ක්‍රියා පටිපාටිය පිළිබඳව පරීක්ෂා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අධිකරණයට බලය පැවරෙන බවද ඔහු මෙහිදී ප්‍රකාශ කර ඇත.

මේ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) වගන්තිය, වින්දිතයින් හා සාක්‍ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතේ 3(Q) වගන්තිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) යන වගන්ති නොසලකා තම පුද්ගලික අභිලාෂයන් මත හිඳිමින් හිටපු ජනාධිපති පොදු සමාව ප්‍රධානය කර ඇති බවය.

විශාල බලයක් සහිත විධායක ජනාධිපති ධුරයක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාව වැනි රටක යහ පැවැත්මට මෙම නඩු තීන්දුව බෙහෙවින් වැදගත් වන්නේ මෙම පසුබිම තුළය. විධායක ජනාධිපතිවරයා සතු බලය තුළනය විය යුතු බව අප නිතරම කතාකරන දෙයක් ය. සංවරණය සහ තුලනය පවත්වාගෙන යාම සඳහා මෙවැනි නඩු තීන්දුවලින් කරන සාධනීය බලපෑම සුළු නැත. ඒ අර්ථයෙන් මෙම නඩු තීන්දුව බෙහෙවින් වැදගත් ය..