You are currently viewing ‘යුක්තිය’ නම් සංදර්ශනය..!

‘යුක්තිය’ නම් සංදර්ශනය..!

-කේ. සංජීව-

පසුගිය 11 දා රාත්‍රී 12න් අවසන් වූ පැය 24 තුළ දිවයින පුරා සිදුකළ ‘යුක්තිය’ මෙහෙයුමේදී සැකකරුවන් 863ක් අත්අඩංගුවට ගෙන ඇති බවද ඉන් 24දෙනෙකු පිළිබඳව රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බවද තවත් පුද්ගලයන් 19 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශ කරයි. එම වාර්තාවන් වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශයේ ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 39 දෙනෙකුද මෙම පැය විසි හතර තුළ අත්අඩංගුවට ගෙනඇති බවය.

‘යුක්තිය’ මෙහෙයුම ආරම්භ කළ පසුගිය වර්ෂයේ දෙසැම්බර් 17 දා සිට පසුගිය ජනවාරි 04 දක්වා කාලය තුළ වැටලීම් 25151ක් සිදු කර ඇති අතර එම වැටලීම් හරහා සැකකරුවන් 24968ක් අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරුවන් අතර 807දෙනෙක් කාන්තාවන් බව වාර්තා වෙයි. මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 1362ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගන්නට බලාපොරොත්තු වෙන බවද පුනුරුත්ථාපනය සඳහා පුද්ගලයන් 1547 දෙනෙකු යොමුකර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කරයි. මේ අනුව නිදහස් කර යැවූ ගණන කොපමණද? නිකමට සිතා බලන්න..!

පොලීසියට කුදලගෙන යාම විතරද ඕනෑ?

මෙම වැටලීම් හරහා මෙම කාලය තුළ හෙරෝයින් වැටලීම් 8574ක් කර ඇති අතර එමගින් හෙරෝයින් මිලිග්‍රෑම් 1579458ක් සොයාගෙන ඇත. මෙම කාලය තුළ අයිස් වැටලීම් 4785ක් සිදුකර ඇති අතර එමගින් අයිස් මිලිග්‍රෑම් 8853.37ක් සොයාගෙන ඇත. ගංජා වැටලීම් 9462ක් සිදුකර ඇති අතර එමගින් ගංජා ග්‍රෑම් 323421ක් සොයාගෙන ඇත. මෙහිදී ගංජා පැල 1178307ක් ද සොයාගත් බව එම පොලිස් වාර්තාවන් ප්‍රකාශ කරයි. මෙම මෙහෙයුම් කාලය තුළ සොයාගෙන ඇති මත්පෙති ප්‍රමානය 72745කි.

මෙම සංඛ්‍යා දත්ත පිරික්සීමේ දී පෙනෙන්නේ කුමක්ද? අත්අඩංගුවට ගන්නා සැකකරුවන් බොහෝ ප්‍රමානයක් පොලීසියට ගෙන ගොස් පසුව මුදාහරිනු ලබන බව පෙනෙන ප්‍රධානම දෙයයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතාත් එය පිළිගන්නා බව ඔහු කරනු ලබන ප්‍රකාශවලින් පෙනෙයි.

මෙම මෙහෙයුමට තිබෙන ප්‍රධානම චෝදනාව වන්නේ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මෙම මෙහෙයුම සිදුකරන්නේ පොලිස්පති ධුරයේ ස්ථිර වීම සඳහා බවය. එම චෝදනාව කරන බොහෝ පිරිසක් ඒ හරහා කියන්නේ මේ සිදුවන්නේ මාධ්‍ය සංදර්ශනයක් බවය. එය ඇත්ත බව අත්අඩංගුවට ගන්නා සංඛ්‍යා දත්ත සහ පොලීසියෙන්ම නිදහස්වී ගෙදර යන පිරිසගේ ප්‍රමානය සැසඳීමෙන් පෙනෙයි.

කොළඹ වතු ආශ්‍රිතව සිදුකරනු ලැබූ මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය භාවිතාවන් සඳහා ඇබ්බැහි වූවන් සහ නිරන්තරව මත්ද්‍රව්‍ය ප්‍රශ්න නිසා බන්ධනාගාර ගතවෙන පුද්ගලයන් නැවත නැවතත් අත්අඩංගුවට ගෙන පොලීසියට ගෙන ගොස් නිදහස් කර ඇති බව වාර්තා වෙයි. පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නට නම් ඔහු සන්තකයේ මත්ද්‍රව්‍ය පැවතිය යුතුය. එසේ නැතිනම් වැටලීම සිදුවන අවස්ථාවේ ඔහු හෝ ඇය මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිටියා වෙන්නට ඕනෑ ය. එහෙත් මේ කිසිවක් නැතුව වෙනදා පුරුද්දට බොහෝ දෙනෙක් පොලීසිවලට කුදලාගෙන ගොස් ඇත. මත්ද්‍රව්‍ය විකුණන පුද්ගලයන් පිළිබඳව බුද්ධි අංශ වාර්තාවන් තිබෙන නිසා අවශ්‍ය නම් එම පුද්ගලයන් අත්අඩංගුවට ගන්නට මාධ්‍ය සංදර්ශනයන් අවශ්‍ය නැත.

කොකේන් කෝ?

අනෙක් පැත්තෙන් ඉහත සංඛ්‍යා දත්ත පිරික්සීමේදී පෙනෙන අනෙක් වැදගත් කාරණය කොකේන් නම් ජනප්‍රිය මත්ද්‍රව්‍ය මෙහෙදී අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා නොවීමයි. කොකේන් නම් මත්ද්‍රව්‍ය සොයා වැටලීම් සිදුව ඇති බවටද වාර්තාවන් නැත. අපට අසන්නට තිබෙන්නේ ලංකාව තුළ කොකේන් නම් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ නැද්ද යන්නයි. ලොකු ලොකු සල්ලිකාරයන් කලාකරුවන් දේශපාලකයන් තරු හෝටල් වලට වී වැඩිපුර භාවිතා කරන්නේ කොකේන් බවට වාර්තා වෙන තත්ත්වය තුළ කොකේන් සොයා මෙම මෙහෙයුම් සිදුනොවන්නේ ඇයි? ‘යුක්තියේ’ හිමිකරුවන් පිළිතුරු දිය යුතුය.

අනෙක් ප්‍රධාන ප්‍රශ්නය, මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා කොළඹ වතුපීරන පොලීසිය මාධ්‍ය කණ්ඩායම් ද තමන් පසුපස රැගෙන යන්නේ ඇයිද යන්නයි. මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් ගේ මව්වරුන්, පියවරුන් සහ බිරින්ඳෑවරුන් එම වැටලීම සිදුවෙන මොහොතේම තම කැමරාවන් වෙත හලාගන්නා පොලීසිය පසුපස ගාටන මේ මාධ්‍යකරුවන්, මාධ්‍ය ආචාර ධර්ම අමුඅමුවේ උල්ලංඝනය කරමින් ඒවා තම නාලිකා හරහා විකාශය කරන්නේ, මෙම පුද්ගලයන් බලහත්කාරයෙන් වැරදිකරුවන් කරමින් ය. උසාවියක් ඉදිරියේ වැරදිකරුවෙක් වෙනතුරු ඔහු හෝ ඇය නිවැරදිකරුවෙක් බව නීතියේ පිළිගැනීමයි. එහෙත් මේ පිලිකුල් සහගත මාධ්‍යකරණය මගින් එම පිළිගැනීම බැහැරකර ඇත. මෙවැනි මාධ්‍ය මෙහෙයුම් මිනිසුන්ගේ මානවහිමිකම් බල්ලාට වීසිකර ඇත.

මෙම තත්ත්වය උග්‍රවීමත් සමග මානවහිමිකම් කොමිෂන් සභාව ‘යුක්තිය’ මෙහෙයුම පිළිබඳ සිය අවධානය යොමුකර තමන්ගේ ස්ථාවරය ප්‍රකාශකර තද ප්‍රකාශයක් මාධ්‍ය වෙත නිකුත් කර ඇත. එහිදී කොමිෂම කියාවිටින්නේ මෙම මෙහෙයුම මගින් ‘යුක්තිය’ යන වචනයට ද වැරදි අර්ථකථනයක් ලබාදෙන බවය. ව්‍යවස්ථාවේ වගන්ති උපුටමින් එම කොමිෂන් සභාව ප්‍රකාශ කරන්නේ මෙම මෙහෙයුම මගින් ව්‍යවස්ථාවෙන් උරුම අයිතීන් උල්ලංඝණය වන බවය. එම වාර්තාව ඔබට මෙතනින් කියවිය හැකිය. https://www.hrcsl.lk/wp-content/uploads/2024/01/HRCSL-Press-Notice-08012024-_sinhala.pdf

මේ සියලු දේවල් වලින් කියන්නේ ‘යුක්තිය’ මිනිසුන්ගේ යුක්තිය අහිමිකර ඇති බවය. ජීවත් වීමේ නිදහස උදුරාගෙන ඇති බවය. එනිසා ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ අවධානය මේ පිළිබඳව වහාම යොමුවිය යුතුය.