You are currently viewing ණය සමාගම්වලට ඉනිමන් බඳින්න නව පනතක්..!

ණය සමාගම්වලට ඉනිමන් බඳින්න නව පනතක්..!

කේ. සංජීව

ක්ෂුද්‍ර මූල්‍ය ණය කෙරුවාව මුලු වියලි කලාපයටම කරුමක් වී හමාරය. කාලයක් මම මේ ව්‍යසනය ගැනම ලියන්නට නිතර නිතර මහවැලි නෙක කලාප හරහා ඇවිද ගියෙමි. තත්ත්වය එන්න එන්නම බරපතළ වූවා මිසක නිවී සැනසෙන ගතියක් පෙනෙන්නට තිබුණේ නැත. එන්න එන්නම හතු පිපෙන්නා සේ ණය දෙන සමාගම් බිහිව දුප්පතුන්ගේ ජීවිත සාරය උරා බොන්නට කටයුතු කළ අතර දේශපාලකයෝ ද නෙක සමාගම් අටවා ගනිමින් මේ වැඩේ යහමට කොරගෙන ගියෝ ය. මෙම තත්ත්වය සමග සියදිවි නසා ගැනීම් බහුලව වාර්තා වන්නට සිදුවූ අතර පවුල් අවුල්ද එසේමය. මෙම තත්ත්වය තුළ අප සැවොම හඬ නැඟුවේ මෙම ණය දෙන කොම්පැනි නිසි නියාමනයකට යටත් කළ යුතු බවය. 2016 ඒ සඳහා පනතක් සම්මත වුණත් එය දුර්වල පනතක් ය. එයින් පාරිභෝගිකයාගේ අයිතීන් රැකුනේ නැත.

තත්ත්වය මෙසේ තිබියදී පසුගිය දා මුදල් රාජ්‍ය අමාත්‍යවරයාවන ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේ මෙරට ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් නියාමනය කරමින් ඒවායේ සේවාවන් විධිමත් කිරීමේ අරමුණෙන් ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත ජනවාරි 09 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවය. ඔහුට අනුව ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම පනතේ අපේක්ෂාවයි. ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන 300% ඉක්මවා ගියා වාර්ෂික පොලී අනුපාත අයකරනු ලැබූ අවස්ථා පිළිබඳව වාර්තාවී තිබූ බව ප්‍රකාශ කරන අමාත්‍යවරයා මේ හේතුවෙන් සිය දිවි නසා ගැනීම්, පවුල් ආරවුල් වැනි තත්ත්වයන් පවා වර්ධනය වූ බව පිළිගනිමින් මෙම පනත ඉදිරිපත් කර ඇත.

මෙම පනත සම්මත වූ පසු දැනට ක්‍රියාත්මක 2016 අංක 6 දරණ ක්ෂුද්‍ර මූල්‍ය පනත අහෝසි වනු ඇත. අමාත්‍යවරයා ප්‍රකාශ කරන ආකාරයට නව පනත පසුගිය කාලයේ ග්‍රාමීය ප්‍රදේශවල දුප්පතුන්ගේ අඳෝනාවන්ට සාධනීය ප්‍රතිචාරයක් ය. ඇත්තටම මෙම පනත මගින් අමාත්‍යවරයා ප්‍රකාශ කරන අරමුන ඉටුවෙයිද? සොයා බැලිය යුතුය. ඊටත් ප්‍රථම ලංකාව තුළ පිළිකාවක් සේ වර්ධනය වී තිබෙන ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටලුව පිළිබඳව සාකච්ඡා කළ යුතුය.

ක්ෂුද්‍ර මූල්‍ය යනු කුමක්ද?

දිළින්ඳන් හට සහයෝගීතාවය දැක්වීමේ උපදේශාත්මක සමූහයට අනුව “ක්ෂුද්‍රමූල්‍ය” යනු අඩු ආදායම්ලාභීන්ට මූල්‍ය සේවා සැලසිමයි. ප්‍රධාන වශයෙන්ම, ප්‍රමාණවත් ඇපකර ඉදිරිපත් කිරීමේ හැකියාවක් නොමැතිකම නිසා විධිමත් බැංකු හරහා තම මූල්‍ය පහසුකම් සපුරාගත නොහැකි දිළිඳු පුද්ගලයින් වෙත ණය පහසුකම් සැපයීම, ඉතිරි කිරීමේ පහසුකම් සැපයීම සහ වෙනත් මූල්‍ය පහසුකම් සැපයීම මෙම ක්‍රමය මගින් සිදුවෙයි.

මෙම ක්‍රමය ලෝකය පුරා ජනප්‍රිය ක්‍රමයක් බවට පත්වුණේ බංගලිදේශයේ ආර්ථික විශේෂඥයෙක් වන මොහොමඩ් යූනුස් ගේ ‘ග්‍රාමීන් බැංකු‘ සංකල්පය නිසා ය. මෙමගින් දිළින්ඳන්ගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම ප්‍රථම අරමුණ වුණත් මූල්‍ය සමාගම් මෙම ණය දෙන කාර්‍යය සිය භාරයට ගත් පසුව තත්ත්වය වෙනස් විය. ඒ අනුව දිළින්ඳන් තවත් දිළින්ඳන් බවට පත්වූ අතර ඉන්දියාවේ සමහර ප්‍රදේශ මෙන්ම ලංකාවේ සමහර ප්‍රදේශ තුළද මෙම ණය අර්බුදය ව්‍යසනයක් බවට පත් විය. ඒ අතරතුරේ මෙම ණය මගින් ජීවිතය ජයගත් පුද්ගලයන්ද දුරාවාරයේ හමුවෙන බව කිවයුතුය.

ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශ තුළ සීට්ටු ක්‍රමය වැනි ක්‍රමයන් අතීතයේ සිට පැවතියත් මෙම නව ක්‍රමයට ණය දීමේ වැඩසටහන් නිසා බරපතළ සමාජ ප්‍රශ්න ඇති වන්නට විය. යුද්ධයෙන් බැටකෑ උතුරු නැගෙනහිර දුප්පත් ජනතාව මෙම ණය ක්‍රමය නිසා කබලෙන් ළිපට වැටුණ අතර කාන්තාවන් සිය දිවි හානි කරගැනීමේ ප්‍රවනතාවයක් වර්ධනය විය. වැලිඔය, වැලිකන්ද, අනුරාධපුර, පොළොන්නරුව වැනි සිංහල ජනතාව බහුලව ජීවත්වෙන ප්‍රදේශ තුළද මෙම ප්‍රශ්නය එන්න එන්නම උග්‍ර අතට හැරුණ අතර සියදිවි හානිකරගැනීම් වාර්තාගත ලෙස ඉහළ යන්නට විය.

2021 වර්ෂය වනවිට මෙම ණය උගුලට හසුවුණ පුද්ගලයෝ ලක්ෂ 28ක් රටේ සිටි අතර එයින් ලක්ෂ 2438000 ක් කාන්තාවෝ විය. මේ කාලය වනවිට මූල්‍ය ආයතනයන් 15000ක් පමණ ගම් වැදී දුප්පතුන්ට හෝල්සේල් ක්‍රමයට ණය ලබාදුන් අතර එම ණය මඟඩියේ ප්‍රථිපල ලෙස 2021 වර්ෂය වනවිට ක්ෂුද්‍ර මූල්‍ය ණය ගනුදෙනු පියවාගත නොහැකිව කාන්තාවන් 200ක් පමණ සියදිවි හානිකරගෙන ඇත. මෙම කාලය වනවිට මෙම ණය දෙන ආයතනයන් වාර්ෂිකව 220%ක පමණ පොලියක් අයකරගෙන තිබුණ අතර සමහර ආයතන දින පොලිය නම් පොලී ක්‍රමයක් හඳුන්වා දෙමින් දිනකට රුපියල් සියයක් සඳහා රුපියලක මුදලක් අයකර තිබුණි.

මෙම ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය නිසා ගොඩනැගුනු ව්‍යසනය, කොවිඩ් උවඳුර සමග තවත් දරුණු වූ අතර මිනිසුන් සහ සිවිල් සංවිධාන මෙම ණය ක්‍රමයට විරුද්ධව විශාල හඬක් අවධි කරන්නට විය. එහි ප්‍රථිපලයක් ලෙස ණය ගත් දුප්පත් ජනතාවගෙන් සැලකියයුතු කොටසක් ණය ගෙවීම අතහරින්නට කටයුතු කළේය. සිවිල් සමාජ සංවිධානයන් ද මෙම ණය ගෙවීම පැහැර හැරීමට දුප්පතුන් දිරිගන්වන්නට විය. එහි ප්‍රථිපලයක් ලෙස ‘බිම්පුත්’ වැනි කුප්‍රකට මූල්‍ය ආයතනයන් වසාදමන්නට සිදුවිය.  මෙම සංවාදය සහ සිවිල් සමාජයේ අරගලය නිසා ක්ෂුද්‍ර මූල්‍ය සේවාවන් සපයනු ලබන ආයතනයන් නියාමනය කළ යුතු බවට දීර්ඝ කාලයක් විශාල හඬක් රට තුළ ඇතිවිය. එහි ප්‍රථිපලය ලෙස ශ්‍රී ලංකා ක්ෂුද්‍රමූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත කෙටුම්පත් වී අද වෙනවිට එය පාර්ලිමේන්තුවේ සභාගත කර ඇත.  ඒ අනුව එම පනත හෙට අනිද්දා වනවිට සම්මතවී නීතියක් බවට පත්වෙනු ඇත. මෙම පනත සම්මත වීමත් සමග 2016 අංක 06 දරණ ක්ෂුද්‍ර මූල්‍ය පනත අහෝසි වෙනු ඇත.

පනතේ හැඩහුරුව

‘ශ්‍රී ලංකා ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමනය අධිකාරිය පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා ද මුදල් ණයට දීමේ ව්‍යාපාරය සහ ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරය නියාමනය කිරීම සඳහා ද මුදල් ණයට දීමේ ව්‍යාපාරයේ සහ ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරයේ ගනුදෙනුකරුවන්ට ආරක්ෂාව සැලසීම සඳහා ද 2016 අංක 06 දරණ ක්ෂුද්‍ර මූල්‍ය පනත අහෝසි කිරීම සඳහා සහ ඒ හා සම්බන්ධ හෝ ඊට අනුෂාංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිනිස වූ පනතකි‘ යනුවෙන් සඳහන් මෙම පනත තුළින් සමාජය ඉල්ලා සිටි ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් නියාමනය, මෙම පනත තුළින් සිදුවෙයිද? ප්‍රධානම ගැටලුව එයයි.

මහබැංකුව ප්‍රකාශ කරන ආකාරයට ‘ශ්‍රී ලංකාව තුළ බලපත්‍රලාභී බැංකු, බලපත්‍රලාභී මුදල් සමාගම්, සමුපකාර ග්‍රාමීය බැංකු, සකසුරුවම් හා ණය ගණුදෙනු පිළිබඳ සමුපකාර සමිති, දිවිනැගුම බැංකු සහ අනෙකුත් ප්‍රජා මූලික සංවිධාන, ක්ෂුද්‍රමූල්‍ය සමාගම්, ක්ෂුද්‍රමූල්‍ය ව්‍යාපාරවල නිරත වන රාජ්‍ය නොවන සංවිධාන වැනි ආයතන රාශියක් ක්ෂුද්‍රමූල්‍යකරණයේ නිරත වේ. මින් සමහරක් ආයතන, විවිධ අධිකාරීත්වයන් යටතේ නියාමනය වේ.  බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම්, ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ නියාමනය වේ.  සමුපකාර ග්‍රාමීය බැංකු සහ සමුපකාර සහ ණය ගනුදෙනු පිළිබඳ සමිති සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේද, දිවිනැගුම බැංකු දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේද, නියාමනය කෙරේ.  කෙසේ වෙතත්, කවර ආකාරයක හෝ නියාමන රාමුවකට යටත් නොවත ක්ෂුද්‍රමූල්‍ය සම්පාදකයින්ද ශ්‍රී ලංකාව තුළ බොහොමයක් පවතී‘ මහබැංකුව මෙසේ මොනා කීවත් පසුගිය කාලයේ මෙම මූල්‍ය සමාගම් කිසිඳු නියාමනයකට යටත් වුණ බවක් අපටනම් පෙනෙන්නට තිබුණේ නැත. එහි ප්‍රථිපලය ලෙස ඔවුන් තමන්ගේ අභිමතය පරිදි ණය පොලී අනුපාතිකයන් ඉහළ දැමූ අතර වාරික වල වටිනාකම සහ ණය නැවත අය කරගැනීමේ විවිධ ක්‍රමයන් ක්‍රියාත්මක කරන්නට විය.

ලොකු ලොකු සමාගම් මෙසේ කිසිඳු නීතියකට යටත් නොනී ණය දෙනවිට සහ ඒවා නැවත අයකරගන්නා විට ගමේ පිහිටි පුංචිපහේ ණය දෙන සමිති, මරණාධාර සමිති මුදල් ණයට දී හිලව්වට ගේදොර ඉඩම් හරකාබාන හෝ අවසන ලිංගික ශ්‍රමය හෝ ඉල්ලුවේ නැත. ඒවා ඉල්ලමින් කාන්තාවන් සියදිවි හානි කරගන්නා මට්ටමට ගෙනගියේ ‘බිම්පුත්’ වැනි ප්‍රකට නම් රැඳි ව්‍යාපාරික ආයතනයි. මෙම නව පනත මගින් ඔවුන් නියාමනයට යටත් නොකිරීම බරපතළ ප්‍රශ්නයක් ය.

මෙම පනතේ හතරවෙනි කොටසේ 20 (3)ට අනුව ලංකාව තුළ මූල්‍ය ගනුදෙනු සිදුකරන කිසිඳු ප්‍රධාන දහරාවේ ආයතනයක් මූල්‍ය සමාගමක් මෙම පනතෙන් බලාත්මක කරනු ලබන නියාමනයට යටත් වන්නේ නැත. ඒ අනුව මෙම පනත තුළින් පිහිටුවනු ලබන නියාමන අධිකාරියේ නියාමනයට බැංකු, මූල්‍ය කොම්පැනි, සමූපාකාර සමිති, සමුර්ධි සමිති, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි සමිති, උකස් ගැනීමේ පනත යටතේ ලියාපදිංචි සමාගම් හෝ ආයතන ආදී කිසිවක් යටත් වන්නේ නැත. ඒ අනුව මෙම පනතේ ඉලක්කය කුමක්ද? ඒ අනුව මෙම පනතේ ඉලක්කය වනු ඇත්තේ මෙම ණය ව්‍යසනය නිසාම බිහිවූ, මෙම ණය ව්‍යසනයෙන් ග්‍රාමීය දුප්පතුන් ගලවා ගැනීම වෙනුවෙන්ම ආරම්භ කර, මේ වනවිට සාර්ථකව පවත්වාගෙන යනු ලබන ග්‍රාමිය ණය දෙන සමිති වැනි කුඩා ආයතනයන් ය. ඒ අනුව මෙහි ඉලක්කය වී ඇත්තේ මරණාධාර සමිති, ග්‍රාමීය සුබසාධාන සමිති සමාගම් වැනි ආයතන ව්‍යුහයන් ය.

ඒකාබද්ධ ප්‍රජා සංවර්ධන කාන්තා මහා සංගමය – වැලිගෙපොල, ඌව වෙල්ලස්ස කාන්තා සංවිධානය- වැල්ලවාය, ගැමි සරණ – හිගුරක්ගොඩ, ගැමි ශක්ති සම්මේලනය – මැදමුලන, කාන්තා සංවර්ධන  සංගමය – හම්බන්තොට, තංගල්ල ජනතා සංවර්ධන  පදනම – තංගල්ල, ප්‍රජා සංවර්ධන  පදනම – මරදන්කඩවල, වැනි සාර්ථකව මේ වනවිට මෙම ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදයට විසඳුම් සේ දකුණේ ක්‍රියාත්මක පුරවැසි සංවිධානයන් මෙම පනතට සිය විරෝධය දක්වන්නේ ඒ නිසා ය.

මෙවැනි සුබසාධන සමිති සමාගම් මගින් ගොවියාට කම්කරුවාට ශ්‍රමිකයාට ඉතාමත් අඩු පොලී අනුපාතයක් සහ සරළ ගෙවීමේ කොන්දේසි යටතේ කුඩා පරිමානව ණය ලබාදීම නිසා පසුගිය කාලයේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්ෂේත්‍රය හරහා විශාල වශයෙන් ලාභ ලැබූ ආයතනයන්ගේ එම ලාභාංශයන් අඩුවීම මෙම පනතට හේතුව බව මෙම පනතට විරෝධය දක්වන්නන්ගේ ප්‍රධාන තර්කය යි. මෙම පනත හරහා මෙම ප්‍රශ්නය ඇති කළ මූල්‍ය සමාගම් නියාමනය කිරීම සිදුනොකරන තත්ත්වය තුළ ඔවුන් නඟන එම තර්කය සාධාරණ බව කිවයුතුය.

මෙම නව පනත බලාත්මක වූ පසුව ණය අධිකාරිය යටතේ ලියාපදිංචි නොවූ සංවිධානයන් හට ණය ගනුදෙනු සිදුකළ හැකි නොවෙන අතර 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ ලියාපදිංචි වී සිටින, 1981 අංක 31 දරණ ස්වේච්ඡා සංවිධාන පනත යටතේ ලියාපදිංචි වී සිටින සිවිල් සංවිධාන වැනි සියලුම ආයතන සහ සුබසාධක සමිති මෙම අධිකාරිය යටතේ ලියාපදිංචි විය යුතුය.

ඒ අනුව ගමේ මුදල් පොලියට දෙනු ලබන පුද්ගලයාගේ සිට කුඩාවට ණය දෙන මරණාධාර සමිතියද මෙම අධිකාරිය යටතේ ලියාපදිංචි විය යුතුය. මිනිසුන්ගේ ජන ජීවිතය නඟාසිටුවීම වෙනුවෙන් ණය සහන ව්‍යාපාරයන් ක්‍රියාත්මක කරනු ලබන රාජ්‍ය නොවෙන සංවිධාන ද මෙම පනත යටතේ මෙම අධිකාරිය තුළ ලියාපදිංචි විය යුතුය. පනතෙන් බලාත්මක කරනු ලබන අධිකාරියෙහි නියාමනයන් ට යටත් විය යුතුය.

මෙම පනත තුළින්, ණය ලබන්නට අපේක්ෂා කරන්නා හෝ කරන්නියට අදාළව ඔහුගේ හෝ ඇයගේ මාසික වැටුප දෙස බලා දිය යුතු උපරීම ණය  මුදල තීරණය කිරීම, ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරයක් සඳහා යොමුවීමට අවශ්‍ය අවම ප්‍රාග් ධනය කොපමනද යන්න තීරණය කිරීම, ණය ඇපකරයක් සඳහා තැන්පතු ලබාගන්නේ නම් තබාගත හැකි උපරීම කාලය, එම තැම්පතු ආයෝජනය කරන්නේ නම් එහි උපරීම පොලිය තීරණය කිරීම, එම තැම්පතු ආයෝජනය කරන්නේ නම් ඒ සඳහා කොන්දේසි තීරණය කිරීම, ණය ඇපකරයන් ලබා ගැනීම, ණය අයකරගැනීම, ණය පොලිය තීරණය කිරීම, ණය වාරිකයන් තීරණය කිරීම, ණය නැවත අයකරගැණීම, පාරිභෝගිකයාගේ පැමිණිලි වෙනුවෙන් මැදිහත්වීම, පැමිණිලි විභාග කිරීම, සහන නිර්දේශ කිරීම වැනි කරුණු වලට අදාළව ඉතාමත් හොඳ සහ සාධනීය යෝජනාවන් මෙම පනත තුළ අන්තර්ගතය. එහෙත් ගැටලුව වන්නේ මෙම ප්‍රශ්නයට වගකිව යුතු තෝරු මෝරු මෙම පනතට අදාළ කර නොගැනීමය. එම තත්ත්වය තුළ ග්‍රාමීය ජන ජීවිතයට තදින් බල නොපාන පුද්ගලයින්ට සහ සංවිධානවලට පමණක් නියාමනය අදාළ වෙනු ඇත.

මෙම නව පනත හරහා ග්‍රාමීය ප්‍රජාව සවිබල ගැන්වීම සහ සුබ සාධනය අරඹයා එම ප්‍රජාවන් විසින්ම ගොඩනගාගෙන පවත්වාගෙන යනු ලබන සංවිධාන ව්‍යුහයන් විනාශවී යාම සිදුවිය හැකිය. ඒ අනුව ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදීම ඉහළ ලාභ ලැබීමේ ව්‍යාපාරයක් සේ කරගෙන යන මූල්‍ය සමාගම් මෙම පනත හරහා නව ජවයක් සමගින් නැවත තමන්ගේ සුපුරුදු වැඩේට බසිනු ඇත. එයට හේතුව වන්නේ මහබැංකුව යටතේ ලියාපදිංචි වී සිටියත් වෙනයම් රාජ්‍ය මූල්‍ය අනපනත් යටතේ ලියාපදිංචි වී බැඳී සිටියත් ඔවුන් කිසිම රැහැනකින් බැඳ නැති ආකාරයට හැසිරීමය. කිසිඳු නීතියකට තමන් යටත් නැති බව ඉතිහාසය තුළ ඔවුන් ඔප්පුකර ඇත. මහබැංකුවත් බකන්නිලාගෙන හිටියා මිස මේ තත්ත්වයන් පාලනය සඳහා මැදිහත් වූ බවක් අපට පෙනුනේ නැත. මහබැංකුව පසුගිය කාලයේ තමන්ගේ රාජකාරිය නිසි ලෙස කලානම් මේ ආර්ථික අර්බුදය එන්නේ නැත.

මෙම තත්ත්වය යටතේ යෝජිත මෙම පනත සම්මත කරගෙන එය සාර්ථකව ක්‍රියාත්මක කරගන්නට නම් හෝ මෙම පනත මෙසේ බලාත්මක කරගන්නට අවශ්‍ය නම් ආණ්ඩුවට හෝ බළධාරීන්ට කළ හැකි හොඳම දේ වන්නේ රටේ ප්‍රධාන බැංකු සහ ප්‍රධාන මූල්‍ය ආයතනයන් හට ක්ෂුද්‍ර මූල්‍ය සේවාවන් සැපයීම තහනම් කිරීමය. එසේ කරන්නට බැරිනම් ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් සහ සේවාවන් සපයන ලොකු කුඩා සියලු ආයතනයන් මෙම අධිකාරියේ බල සීමාව තුළට යටත් කළ යුතුය. එය එසේ නොවෙන තාක් මෙම ගැටලුව මෙසේම පවතිනු ඇත. එය එසේ නොකර මේ පනත සම්මත කරගත්තාට එයින් කිසි ඵලයක් නොලැබෙනු ඇත.

අනෙක් පැත්තෙන් මෙම ණය ව්‍යසනයෙන් ගොඩ ඒමට එම ජනතාවම ගොඩනගාගත් පුරවැසිය යාන්ත්‍රනයන් මෙම නව පනතින් බලාත්මක වෙන අධිකාරිය හරහා අකර්මන්‍යභාවයට පත් කරන්නේ නම් එය මෙම ගැටලුව තවත් උග්‍ර මට්ටමට ගෙන යනු ඇත.

කාලයක් තිස්සේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ව්‍යසනයට විරුද්ධව සටන් කරමින් සිටින සිවිල් සංවිධාන සහ ප්‍රජා කණ්ඩායම් මෙම පනත දෙස බලන්නේ එය හකුලා ගත යුතු හෝ කල් ගෙන සංශෝධනයට ලක්කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු පනතක් බවය. මෙවැනි පනතක් කඩිමුඩියේ ගෙනවිත් සම්මත කරන්නට යෑම නිසා මෙම ප්‍රශ්නය උග්‍ර වෙනු ඇති බව ඔවුන්ගේ මතයයි.

එහිදී ඔවුන් ප්‍රකාශ කරන්නේ ණය විගණනයක් පවත්වා අසාධු ක්ෂුද්‍ර මූල්‍ය ණය අවලංගු කිරීම සිදු කළ යුතු බවය. අනෙක් පැත්තෙන් ප්‍රජාමූලික මූල්‍ය සංවිධාන ශක්තිමත් කිරීම සිදු කළ යුතු බවය. ප්‍රජාමූලික මූල්‍ය සංවිධාන සඳහා මූල්‍ය ප්‍රතිපාදන සැපයීම සඳහා තිබූ ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව සක්‍රීය කිරීම කළ යුතු බවද, ණය අපරාධයක් කිරීම වැළැක්වීම සඳහා පියවරයන් ගත යුතු බවද ප්‍රකාශ කරන ඔවුන්, තවදුරටත් පවසන්නේ ගෙවීමට නොහැකි ණය අයකරගැනීමේදී අධිකරණය අවභාවිතාවේ යෙදවීම වැළැක්වීම සඳහා පියවරයන් ගත යුතු බවය.