You are currently viewing යුක්තිය කෝ?

යුක්තිය කෝ?

-කේ. සංජීව-

ලංකාව යුක්තිය පිළිබඳව වූ ප්‍රශ්නයකින් බරපතළ ලෙස පීඩා විඳින රටක් ය. හැමතැනින්ම ඇහෙන්නේ යුක්තිය ඉල්ලා කරන ඝෝෂාවන් ය. එම ඝෝෂාව අතර දැන් ‘යුක්තිය’ නමින් වූ පොලිස් මෙහෙයුමක් පිළිබඳව කතාවෙයි. ඇත්තටම කියන්නේ නම් ‘යුක්තිය’ නමින් මාධ්‍ය මෙහෙයුමක් සහ පොලිස් මෙහෙයුමක් එකවිට ක්‍රියාත්මක වෙමින් ඇත. මෙම මෙහෙයුම් දෙකෙන්ම මිනිසුන්ගේ යුක්තිය බරපතළ ලෙස උල්ලංඝනය වෙන බව අපගේ අදහසයි.

මොකක්ද මේ යුක්තිය?

දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩ බලන පොලිස් පති ධුරයට පත් වූ පසුව මත් ද්‍රව්‍ය ජාවාරම්කාරයින් අල්ලනවා යැයි කියමින් විශාල පොලිස් මෙහෙයුමක් ආරම්භ විය. එය නම් කෙරුණේ ‘යුක්තිය’ නමින් ය. පිලිපීනයේ ජනාධිපති Rodrigo Duterte ද 2016 ජුනි 30 මෙවැනි ම මෙහෙයුමක් ආරම්භ කරන්නට කටයුතු කළේ ය. එය ඔහු නම් කළේ “war on drugs” ලෙස ය. අද වෙන විට මෙම මෙහෙයුම ඉතිහාසයේ සටහන් වී ඇත්තේ මහා ජන සංහාරයක් ලෙස ය. එම මෙහෙයුම තරුණයන් සහ ළමයින් විශාල ප්‍රමාණයක් ඝාතනයට ලක් කළේ ය. අද වන විට මේ මත් විරෝධී මෙහෙයුම පිළිබඳ ව වාර්තා චිත්‍රපට බොහෝ ප්‍රමාණයක් නිෂ්පාදනය වී ඇත.

‘යුක්තිය’ මෙහෙයුම ආරම්භ වන විට ද අපට මෙම පිලිපීන ජන සංහාර මෙහෙයුම සිහියට නැඟුණි. එයට හේතුව ලංකාවේ පොලිසිය පසුගිය කාලයේ ආයුද පෙන්වන්නට සැකකරුවන් රැගෙන ගොස් ඝාතනය කිරීමේ ක්‍රමයක් කුප්‍රකටව පවත්වාගෙන යාමයි.  

මේ ලිපිය ලියන 05 වෙනිදා වනවිට ‘යුක්තිය’ මෙහෙයුම අරඹා සති දෙකකට වැඩි කාලයක් ගතවී ඇත. අද වෙනවිට අපට අසන්නට දකින්නට සිදුවෙන දේ එතරම් සුබ නැත. එය පිලිපීන පන්නයේ මෙහෙයුමක් බවට පත්වෙමින් තිබෙයි. ඒ බව කියාපාන සිදුවීම් කිහිපයක් පසුගිය සතියේ වාර්තා විය.

ඉන් එකක් වැලිගම හෝටලයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීම සහ එම සිදුවීමේදී කොළඹ අපරාධ කොඨ්ඨාශයේ පොලිස් නිළධාරියෙක් මරණයට පත්වීමයි. අනෙක් සිදුවීම දෙහිවල සහ වැල්ලවත්ත අතර පිහිටා තිබුණ සෝල් බීච් අවන්හල පොලීසිය සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව එකතුව බිම්බත් කර දැමීමයි.

තව අවශේෂ කතා ගොඩක් තිබුණත් ‘යුක්තිය’ මෙහෙයුමේ පැහැය මෙම සිදුවීම් දෙකෙන් හොඳටම පෙනෙන බව අපගේ හැඟීමයි. මෙම මෙහෙයුම් දෙකේම එක සමානත්වයක් ඇත. ඒ මෙහෙයුම ආරම්භ කරන විට තම හිතවත් මාධ්‍ය හරහා මෙය ‘යුක්තිය’ මෙහෙයුමේම තවත් එක් මෙහෙයුමක් බව පොලීසිය ප්‍රකාශ කළත් පසුව වැඩේ පත්තුවූ පසුව වෙනත් දෙයක් ප්‍රකාශ කිරීමයි.

සෝල් බීච් අවන්හල කඩාබිඳ දැමීම

රාජ්‍ය අමාත්‍ය අරුන්ධික ප්‍රනාන්දුගේ සහාය මත වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නීත්‍යානූකූල අවසරය ලබා ඉදිකිරීම් සිදුකර දෙහිවල සහ වැල්ලවත්ත අතර මුහුදු වෙරළේ පවත්වාගෙන යමින් තිබුණ සෝල් බීච් අවන්හල ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික්ට අයත් බවට සැකකෙරෙන අවන්හලක් බව මාධ්‍ය හරහා ප්‍රකාශ කරමින් පොලීසිය අවන්හල කඩාබිඳ දැමීමේ මෙහෙයුම ඇරඹූ බව මෙම සිදුවීම දෙස පියවි සිහියෙන් බලාගෙන සිටි අපහට පෙනුනි. දෙරණ වැනි මාධ්‍ය ආයතනයන් මෙම අවන්හල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික්ට අයත් බවට ප්‍රබල මතයක් හදන්නට කටයුතු කළේය. ඉන්පසුව පසුගිය ජනවාරි 01 දා උදෑසන පොලීසිය මෙම අවන්හල කඩා ඉවත් කරන්නට කටයුතු කළේය.

මෙම කඩා ඉවත් කිරීම පත්තු වූ පසුව පොලීසිය කීවේ මෙම ගොඩනැගිල්ල අනවසර ඉදිකිරීමක් බවය. එය වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිසි අවසරයක් නොගෙන ඉදිකර ඇති බවය. එනිසා කඩා ඉවත් කළ බවය. ප්‍රශ්නය වන්නේ සෝල් බීච් අවන්හල අනවසර ඉදිකිරීමක් වෙනවා නම් එම වෙරළ තීරයේම මුහුදට සහ රේල් පාරට ආසන්නයේ පිහිටුවා තිබෙන බරකුඩා සහ ද ස්ටේෂන් වැනි අවන්හල් ද අනවසර ඉදිකිරීම් වීමය. පොලීසියේ මෙම න්‍යායට අනුව නම් එම අවන්හල් ද වහාම කඩාබිඳ දැමිය යුතුය. මෙම අවන්හල් දෙක කාගේද? එය සොයා බැලිය යුතුය. එවිට යුක්තියේ පැහැය ඔබට පෙනෙනු ඇත.

කඩාදමන ලද අවන්හලේ හිමිකරුවන් පසුගිය දා එම අවන්හල් භූමියේ මාධ්‍ය හමුවක් තබමින් මේ පිළිබඳව අදහස් දැක්වූ අතර එහිදී මෙහි එක් හිමිකරුවෙක් වන සම්පත් අත්තටගේ මහතා ප්‍රකාශ කළේ තම අවන්හලට ආසන්නයේ තිබෙන උසස් හමුදා නිළධාරියෙක්ට අයත් අවන්හල් දෙකකට තම අවන්හල නිසා පාඩු සිදුවී ඇති බවය. එනිසා ඔහු තම බලය භාවිතා කර පොලීසිය සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව මේ සඳහා මෙහෙයවා ඇති බවය.

තමන් 31 දා රාත්‍රියේ විශාල සංගීත ප්‍රසංගයක් මෙම අවන්හල් භූමියේ සංවිධානය කළ බවද විශාල පොලිස් හා හමුදා සේනාවක් දමා එය නතර කළත් අනෙකුත් අවන්හල් සියල්ලේ පැවති සංගීත ප්‍රසංගවලට කිසිදු බාධාවක් පොලීසිය නොකළ බවද එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නීත්‍යානුකූලව විදුලිය, ජලය සහ දූරකථන පහසුකම් මෙන්ම දෙහිවල ගල්කිස්ස නගර සභාවෙන් වෙළඳ බලපත්‍රයද රැගෙන තම ව්‍යාපාරය කරගෙන ගිය බවත් අනවසර ඉදිකිරීමක් නම් ඒවා ලබාදුන්නේ කෙසේදැයි ඔහු මෙහිදී ප්‍රශ්න කළේය.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එම අවන්හලේ අධ්‍යක්ෂවරයකු සහ ආයෝජකයකු වන මොහොමඩ් රිෆා මෙසේ ප්‍රකාශ කළේය.

‘දේශබන්දු මහත්තයා, වව්නියාවේ ඉන්නකොට මගේ මස්සිනා ඔයාට කොච්චර උදව් කළාද? ඒ ඉඳලා ඔයා පෑලියගොඩට ආවම ඔයා දානෙ දෙන ගෙවල්වලට මම කොච්චර බත් පාර්සල් දීලා ඇතිද? කොරෝනා කාලේ පළවෙනි කොරෝනා දවසේ ඉදලා නිරෝධායනය වුණ ඔයාලගේ 205 දෙනෙක්ට මම මාසෙකට බඩු ඔක්කොම දෙනකොට සර්ට පෙනුණේ නැද්ද? ඒ අවුරුද්දෙම ජනවාරි මාසේම ඔයාගේ නිලධාරීන්ට මගේ එෆ්ඩී දාල තිබුණ එකෙන් එන පොලී සල්ලි තමයි මම දීලා තිබුණේ. ඔයාගේ කඳුළ කියන වැඩසටහනට අපි ලක්ෂ 25ක් වියදම් කළේ නැද්ද? මම කුඩු බිස්නස් කළා නම් ඇයි මගෙන් එහෙම උදව් ගත්තේ? මගේ නම, අපේ පවුල, ඔක්කොම කැත කළේ ඔයා. මේ කරපු වැඩේ හරිද? ඔයගොල්ලන්ට සන්තෝසයිද? මේ වගේ කරලා අපිව නැති කරපු එක සන්තෝසයිද?’

මෙහිදී ඔවුන් ප්‍රකාශ කළේ කරුණු 8කට අදාළව නිසි අවසරය ගෙන ඉදිකළ මෙම අවන්හල කඩාබිඳ දැමූ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතු බවය. එම විනාශයට අදාළව සහ කුඩු බිස්නස් කරනවා යැයි ප්‍රචාරය කර තමන්ගේ නම කැමත කිරීමට අදාළවද වන්දි ලැබිය යුතු බව ඔවුන් එහිදී අවධාරණය කළේය.

වැලිගම වෙඩි තැබීම

වැලිගම වෙඩි තැබීම සහ පොලිස් සැරයන්වරයෙක් ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කරන්නේ කුමක්ද? ඔහු ප්‍රකාශ කරන්නේ හරක් කටා නොහොත් නඳුන් චින්තක සමග සම්බන්ධකම් පැවැත්වූ පාතාලයේ පුද්ගලයන් පිරිසක් පිළිබඳව ‘යුක්තිය’ මෙහෙයුම යටතේ තොරතුරු අනාවරණය වූ බවය. ඒ අනාවරණය වූ තොරතුරුවලට අනුව කොළඹ අපරාධ කොට්ඨාසය මෙම පුද්ගලයින් පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා වැලිගම පැලෑන ප්‍රදේශයේ w15 හෝටලය අසලට ගොස් ඇත. ඒ පසුගිය දෙසැම්බර් 31 දා උදෑසන ය. කේඩීඑච් වර්ගයේ සුදු පැහැති වෑන් රථයකින් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්, ඌව පළාත් ආණ්ඩුකාර A.J.M මුසම්මිල් මහතාගේ පුතාට අයත් බව කියන මෙම හෝටලය අසලට ගිය විට ඊට ආසන්න අනෙකුත් හෝටලයක් දෙසින් වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත.

මේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා මේ පිළිබඳ ව කියන කතාව ය. එහිදී කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් නිළධාරීන් මෙම වෙඩි ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කර ඇත. එහෙත් දැන් අනාවරණය වී ඇති කරුණු අනුව පෙනෙන්නේ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරන ආකාරයේ වෙඩි ප්‍රහාරයක් එල්ලවූ දිසාවට නොව මුසම්මිල් මහතාගේ පුතාට අයත් හෝටලය දෙසටය. පොලීසිය හාවා මඟහැර අසල පඳුරට වෙඩි තබා ඇත. මුලින්ම ආත්ම ආරක්ෂාවට වෙඩි තබන්නේ කෙසේද යන්න කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් නිළධාරීන්ට කියා දිය යුතුය. තත්ත්වය කුමක් වුණත් දැන් අනාවරණය වෙන්නේ මොනවාද?

වැලිගම මෙම වෙඩි ප්‍රහාරය සමග ඒ පිළිබඳව කිසියම් පුද්ගලයෙක් 119 ඇමතුම් අංකයට දැනුම් දීමක් සිදුකර ඇති බව වාර්තා වෙන අතර එම ඇමතුමට ප්‍රතිචාර වශයෙන් වැලිගම පොලීසියේ ජංගම මුර සංචාරක ජීප් රිය වෙඩි තැබීම සිදුවූ ස්ථානයට පැමිණ ඇත. එහිදී මෙම මුර සංචාරක ජීප් රථය මේ කියන කොළඹ අපරාධ කොට්ඨාසයේ කේඩීඑච් රථය දැක ඇති අතර එය නතර කරන්න යැයි කීවත් මඟ හරස් කළත් ඊට එම වෑන් රථය අවනථ වී නැත. ඉන් අනතුරුව වැලිගම පොලීසියේ මුර සංචාරක පොලිස් නිළධාරීන්ගේ ක්ෂණික ප්‍රතිචාරය වී ඇත්තේ කේඩීඑච් වෑන් රථයට වෙඩි තැබීමය.

වෙඩි කාගෙන වෑන් රථය පලාගොස් ඇති අතර වැලිගම පොලීසිය ප්‍රදේශයේ අනෙකුත් පොලීසිවලට මෙම වෑන් රථය පිළිබඳව දැනුවත් කර ඇත. එම දැනුවත් කිරීමේ ප්‍රථිපලයක් ලෙස දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව පිවිසුමේදී එහි සේවය කළ පොලිස් නිළධාරීන් මෙම වෑන් රථය නතර කරගෙන ඇත. එහිදී එම කණ්ඩායමට අණදුන්නා යැයි කියන පොලිස් ප්‍රධානියා කොළඹ පොලිස් ප්‍රධානියෙක් අමතා මෙම නතරකිරීම ගැන පවසා ඇති අතර එයට ප්‍රතිචාර දැක්වූ කොළඹින් කතා කළ උසස් පොලිස් නිළධාරියා මෙම පිරිසට යන්නට දෙන්න යැයි නියෝග කර ඇත. ඒ වනවිටත් වෑන් රථයේ වෙඩි වැදුන පොලිස් නිළධාරීන් දෙදෙනා සිට ඇති අතර පසුව ඔවුන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුල් කරන්නට ඉමදූව පිවිසුමේ පොලිස් නිළධාරීන් කටයුතු කර ඇත. එම අවස්ථාවේදී ද පොලිස් සැරයන් උපුල් චමින්ද මහතා මරණයට පත්ව සිටි බව වාර්තා වෙයි.

වැලිගම දැනුවත් නැත්තේ ඇයි?

කොළඹ අපරාධ කොඨ්ඨාශය නීත්‍යානූකූල පොලිස් මෙහෙයුමකට මාතර වැලිගම ප්‍රදේශයට පැමිණියා නම් ඔවුන් වැලිගම පොලීසිය දැනුවත් කරන්නට කටයුතු නොකළේ ඇයි? අනෙක් පැත්තෙන් පොලීසියට වෙඩි තැබුවේ පාතාලයෙන් නම් වැලිගම මුර සංචාරක පොලිස් ජීප් රථය එනවිට ඔවුන් වාහනය නතර කරන්න යැයි කියනවිට නතර නොකර ධාවනය කළේ ඇයි? කොළඹ අපරාධ කොඨ්ඨාශය නීත්‍යානූකූල මෙහෙයුමකට ආවේ නම් එම මෙහෙයුම අතරේදී තම සාමාජිකයන් දෙදෙනෙකුට වෙඩි වැදුනේ නම් ඔවුන්ට අසාධ්‍යයිනම් ඇයි ළඟම රෝහල වෙත රැගෙන නොගියේ? අඩුම ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුල් නොකර, කොළඹ යෑම සඳහා දකුණු අධිවේගයට වාහනය දමන්නට උත්සාහ කළේ ඇයි?

මේවා සැකසිතෙන කාරණාය. මෙම මෙහෙයුමට අණදුන් ප්‍රධානියා කේඩීඑච් වෑන් රථය ළඟම පිහිටි රජයේ රෝහල වෙත ධාවනය කරන්නට උපදෙස් ලබාදුන්නේ නම් සමහර විට මරණයට පත්වූ පොලිස් නිළධාරියාගේ ජීවිතය ඉන් රැකෙන්නට ඉඩ තිබුණි. ඇයි එම පොලිස් ප්‍රධානියා එම තීරණය නොගත්තේ? ඔවුන් නීත්‍යානූකූල පොලිස් මෙහෙයුමකට පැමිණියේ නම් එය කරන්නට තිබුණේ නැද්ද? මේවා ප්‍රශ්නය.

අනෙක් පැත්තෙන් මුසම්මිල් මහතාගේ පුතාට අයත් හෝටලයට යාබද හෝටලයෙන් වෙඩි ප්‍රහාරයක් එල්ල වුණානම් එය තමන්ට මර්ධනය කරන්නට බැරි මට්ටමක නම් කොළඹ සීසීඩී නිලධාරීන්ට කරන්නට තිබුණේ වැලිගම පොලීසියේ සහාය ඒ සඳහා ලබාගැනීමය. එහෙත් ඔවුන් ඒ කිසිවක් සිදුකර නැත. දැනගන්නට තිබෙන කරුණු අනුව එක් පොලිස් නිලධාරියෙක් මිය ගොස් තවත් අයෙක් තුවාල ලැබුවේ වැලිගම පොලිස් නිළධාරීන් එල්ල කළ වෙඩි ප්‍රහාරයන් වලින් ය.

එය එසේ නම් නිකරුණේ අහිංසක පොලිස් නිලධාරියෙක් සිය ජීවිතය ‘යුක්තිය’ මෙහෙයුම වෙනුවෙන් පුදා ඇත. අපනම් කියන්නේ මෙසේ මරණයට පත්වූ පොලිස් නිලධාරියාට යුක්තිය ඉටුවිය යුතු බවය. මෙම වෙඩි තැබීමේ සිදුවීමේ සුල මුල සොයාගත යුතු බවය.

යුක්තිය සංඛ්‍යා දත්ත

මෙසේ ක්‍රියාත්මක ‘යුක්තිය’ මෙහෙයුම මගින් මෙම සති දෙකක කාලය තුළ මත්ද්‍රව්‍යට සහ පාතාලයට සම්බන්ධ යැයි පොලීසිය සැකකරනු ලබන පුද්ගලයින් 21,564ක් පමණ අත්අඩංගුවට ගෙන ඇත. එම පිරිසෙන් පුද්ගලයන් 1125ක් සඳහා රැඳවුම් නියෝග ඉල්ලා ඇත. තවත් 1408ක් පුද්ගලයන් පුනරුත්ථාපනයට යොමු කිරීමට තීරණය කර ඇතැයි ද ලක්ෂ 3,530ක දේපළ ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇතැයිද කරුණු වාර්තා වෙයි.

මෙම අත්අඩංගුවට ගැනීම් පිළිබඳව අනිද්දා පුවත්පත වෙත අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව ප්‍රකාශ කර ඇත්තේ මෙසේ එක් දිනකට විශාල සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගත්තත් ඔවුන්ගෙන් විශාල පිරිසක් පැය 24ක් ඇතුලත නිදහස් කර යවන බවය. රැඳව්ම් නියෝග ලබා ගන්නේත් අංශුමාත්‍ර පිරිසක් සඳහා බව ප්‍රකාශ කරන ඒ මහතා උසාවියට ඉදිරිපත් කරන සැකකරුවන්ගෙන් ද විශාල පිරිසක් උසාවිය හරහා ඇප ලබා ගෙදර යන බව සඳහන් කරයි.  

මෙයින් පෙනෙන්නේ කුමක්ද? මෙයින් පෙනෙන්නේ මෙම මෙහෙයුම මාධ්‍ය සංදර්ශනයක් පමනැක් බවය. මෙවැනි මාධ්‍ය සංදර්ශනයක් අවශ්‍ය කාටද? කුමක් සඳහා ද? පුරවැසියන් විමසා බැලිය යුතුය. මෙම මාධ්‍ය සංදර්ශනය නිසා මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය, ඔවුන්ගේ නිදහස සහ මානව හිමිකම් දෛනිකව විශාල වශයෙන් කෙළෙසෙමින් තිබෙයි. සමහරුන් කුඩුකාරයින් සේ මාධ්‍ය ඉදිරියේ හංවඩු ගසා ඔවුන් සමාජයේ අපක්‍රීර්තියට ලක්කරමින් පීඩාවට පත් කරමින් තිබෙයි. ‘යුක්තිය’ මෙහෙයුම වාර්තා කිරීම සඳහා පොලීසිය සමග සාම්ප්‍රදායික මාධ්‍යද නව මාධ්‍යද ගමන් කරනු පෙනෙයි. ඔවුන් මෙම මිනිසුන්ගේ ජීවිත සමාජයට නිරාකරණය කරමින් ඔවුන් සමාජයේ ගර්හාවට ලක්කරමින් තිබීම සැලකිය යුතු කරුණක් ය.