You are currently viewing කෙහෙළියට නීතියක් නැත…!

කෙහෙළියට නීතියක් නැත…!

-කේ. සංජීව-

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් මඟඩිය ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කාලයක් උඩුදුවා තිබුණ පිළිකාවක් මාධ්‍ය මතුපිටට ගෙන ජනතාවට අනාවරණය කළේය. මේ අනාවරණය සමග පසුගිය කාලයේ රෝහල් තුළ බෙහෙත් විෂ වීමෙන් මරණයට පත්වූ මිනිසුන්ගේ එම මරණ අහිංසක මරණ නොවෙන බව අනාවරණය විය. රෝගී ජීවිත බිල්ලට දමා සෞඛ්‍ය බලධාරීන් සල්ලි හම්බකරන්නට කටයුතු කරන බව මෙම හෙළිදරව්වෙන් රටම දැනගත්තේ ය. මෙම ඖෂධ මඟඩිය පිළිබඳව තොරතුරු වාර්තා කරමින් අප දිගින් දිගටම ප්‍රකාශ කළේ මෙම වංචාවට පිටිය සැකසූ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ඉදිරියට ක්‍රියාත්මක විය යුතු බවය. එහෙත් සීඅයිඩීය කෙහෙළිය අත්අඩංගුවට ගැනීමෙන් වැළකෙමින් පරීක්ෂණ කරගෙන යන බව පෙනෙයි. කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගන්නට හේතුවෙන තොරතුරු සීඅයිඩීය එකතු කරන්නේ නැත. එක්කෝ එම එකතුකිරීම හරිම ප්‍රමාදය. කෙහෙළිය රඹුක්වැල්ල මහතා අමාත්‍යවරයා සේ මෙම ඖෂධ මඟඩියට අදාළ කැබිනට්ටුවට දැමූ කැබිනට් පත්‍රිකා ටික හෝ තවමත් සීඅයිඩීය එකතුකරගෙන නැත.

මෙම තත්ත්වය තුළ පසුගිය දා ස්වේඡාවෙන් ප්‍රකාශයක් දීමට අවශ්‍ය බවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පසුගිය දෙසැම්බර් 25 වැනිදා ඔහුගේ නීතිඥවරුන් මාර්ගයෙන් සීඅයිඩීයෙන් ඉල්ලා ඇත. එම ඉල්ලීමට අනුව රහස් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඔහුගේ නිවසට ගොස් ප්‍රකාශ සටහන් කරගත් බව පසුගිය දෙසැම්බර් 27 දා මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී නීතිපති දෙපර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම ප්‍රකාශ කර ඇත.

මෙම ඖෂධ මඟඩියට හිටපු අමාත්‍යවරයා සම්බන්ධ බවට හොඳටම තොරතුරු තිබෙන පසුබිමක ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රකාශයක් සටහන් කරගන්නවා වෙනුවට හෝ අවම ඔහු සීඅයිඩීය වෙත කැඳවා ප්‍රකාශයක් සටහන් කරගන්නවා වෙනුවට ඔහු එන්න කියනකම් සිට ගෙදරට ගොස් නීතීඥයන් දෙදෙනෙක් දෙපස තියාගෙන ඔහු කියන දේ ලියාගෙන පැමිණීම විසින් ප්‍රකාශ කරන්නේ කුමක්ද? මෙයින් ප්‍රකාශ කරන්නේ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නීතියට උඩින් සිටින බවද?

වංචාවට අදාළව කැබිනට් පත්‍රිකා දැමුවේ අපිද?
කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍ය ධුරය භාරගත් පසුව ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශයට, ජාතික ඖෂධ නියාමන අධිකාරියට සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට ආදී ස්ථානවලට ප්‍රධානීන් සේ පත් කරන පුද්ගලයින් මෙම ඖෂධ ගනුදෙනු වලදී හැසිරී තිබෙන ආකාරය දෙස බලනවිට කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයා අහිංසක නැති බව කිවයුතුය. ඔහු අමාත්‍යාංශය භාරගත් පසුව මෙම ඖෂධ මිලදී ගැනීම්වලට අදාළව පළමු කැබිනට් පත්‍රිකාව කැබිනට්ටුව වෙත ඉදිරිපත් කරන්නේ 2022 සැප්තැම්බර් 26 දිනයේදී ය.

22/1523/610/018 යන අංකය යටතේ එම අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර ඇත. මේ පිළිබඳව අප පසුගිය ලිපියේත් සඳහන් කළෙමු. මේ ගේම පටන් ගන්නේ එතනින් ය. ගේමට අවශ්‍ය පිටිය සකස් කරගැණීම සඳහා පත්‍රිකා පිට පත්‍රිකා ලෙස අමාත්‍ය මණ්ඩල සංදේශයන්, පත්‍රිකාවන් ඉදිරිපත් වී ඇති අතර එම පෙරහැරේ පළමු පිම්ම මේ කැබිනට් සංදේශයයි. මෙම ඖෂධ මිලදී ගැනීමේ යෝජනාවට 2022/10/03 දිනයේදී අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.

2022/10/25 නැවතත් අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කරමින්, නැවතත් ඖෂධ හිඟය ගැන මෙන්ම ඉන්දියානු ණය ආධාර ක්‍රමය ගැනද, සඳහන් කරමින් ඉන්දියාවේ ගුජරාට් හි සැවෝරයිට් ෆාමසියුටිකල් පුද්ගලික සමාගමෙන් ඖෂධ අයිතම 38ක් මිලදී ගන්නට අවසර දෙන්න යැයි ඉල්ලා ඇත.  2022/10/25 දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම සන්දේශය සඳහා ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාදෙන්නටත් අවසන් තීරණයක් සඳහා මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අනුකමිටුව එම සංදේශය යොමුකරන්නටත් තීරණය කර ඇති අතර එහිදී 2022/11/02 දිනයේදී මෙම කැබිනට් සංදේශයට මුදල් අමාත්‍යවරයාගේ විරෝධයක් නැති බව දන්වා ඇති අතර ඒ අනුව 2022/11/14 කැබිනට්ටුව මේ සංදේශය සඳහා අනුමැතිය ලබාදී ඇත.

ඉන්දියාවේ මෙම සමාගමට අමතරව, නැවතත් 2022/12/05 අමාත්‍ය මණ්ඩලය වෙත සංදේශයක් ඉදිරිපත් කරන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඉන්දියාවේ Kausikh Therapeutics LTd සමාගම සමග ඖෂධ මිලදී ගැනීම වෙනුවෙන් ගිවිසුම් ගතවීමට අවසර ඉල්ලා ඇත. එහිදී අමාත්‍ය මණ්ඩලය 2022/11/02 දරණ කැබිනට් අනුමැතියට යටත් ව කටයුතු කරන්නට අවසර ලබාදී ඇත.

මේ තොරතුරු වලින් පෙනෙන්නේ ඖෂධ සමාගම් සමග ඖෂධ ගෙන්වීමට අදාළව අමාත්‍යවරයා කෙලින්ම සාකච්ඡා පවත්වමින් කටයුතු කර ඇති බවය. අප මේ පිළිබඳව බොහෝ තොරතුරු පසුගිය ලිපියේද සඳහන් කළෙමු. එහෙත් කිසි දෙයක් සිදුවෙන්නේ නැත. එයට හේතුව කෙහෙළිය රඹුක්වැල්ල නීතියට ඉහළින් වැජබෙන ජයකෙහෙළියක් නිසාදැයි කියන්නට අප දන්නේ නැත.

හිටපු සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රි චන්ද්‍රගුප්ත, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක වෛද්‍ය විජිත් ගුණසේකර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක යන අය මෙම තනතුරුවලට පත්වන්නේම හොරකම් කිරීම සඳහා මූලික අරමුණක් සහිත බව සැකසිතෙන සිදුවීම් රාශියක් මෙම ඖෂධ මඟඩිය හරහා කරළියට පැමිණ ඇත. එහෙත් සීඅයිඩීයට එම සිදුවීම් පිළිබඳව සැකයක් නැති බව පෙනෙයි. සැකය පරීක්ෂණයේ විමර්ෂනයේ මූලිකාංගයක් ය. එහෙත් සීඅයිඩීයට මෙම නිළධාරීන් පිළිබඳව සැකයක් නැති බව කොරගගහා යන පරීක්ෂණ වලින් අනාවරණය වෙයි.

අපනම් මෙම සිදුවීම් දාමය හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහජනක ඖෂධ වංචාවට ලඝු කරන්නට සූදානම් නැත. ඊට එහාට ගිය බිහිසුණු පොදු දේපල මංකොල්ලයක් මේ කතාව පිටුපස ඇතිබව සක්සුදක් සේ පැහැදිලිය. හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඖෂධ සමාගම් සමග සම්බන්ධතා පවත්වා නැතිද? අඩුම දැනට අත්අඩංගුවේ සිටින අයුසුලේට් බයෝටෙක් ෆාර්මා සමාගමේ හිමිකරු හේවගේ සුදත් ජානක ප්‍රනාන්දු සමග හෝ සම්බන්ධතා පවත්වා නැතිද? ඒ පිළිබඳව සොයාගැනීමට අවශ්‍ය නම් සීඅයිඩීයට අමාත්‍යවරයාගේ දූරකථන දත්තයන් විමර්ෂනයට ලක්කළ හැකිය.

ඊට අමතරව හිටපු සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රි චන්ද්‍රගුප්ත, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක වෛද්‍ය විජිත් ගුණසේකර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක යන අයගේ ද දූරකථන දත්තයන් පරීක්ෂා කළ හැකිය. එතනිනුත් එහාට ගොස් මේ කාලයේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුට යට සිටිය මෙම රාජ්‍ය නිළධාරීන් උපයන ලද මුදල් සහ දේපල පිළිබඳව විමර්ෂනයක් සිදුකළ හැකිය.

එසේ මෙම පරීක්ෂණ යහමඟට පැමිණිය හොත් විශාල අපරාධයක් අනාවරණය වෙනු නියතය. එහිදී එම අපරාධයේ අහුකොන් සමහරවිට ජනාධිපති ලේකම් කාර්‍යාලය දක්වාම මුල් අදින්නටත් පුලුවන් ය. ඒ හරහා සමහර විට මැතිවරණ වියදම් සඳහා මුදල් එකතුකරනවා යැයි කියමින් මුදල් හොයන දේශපාලන වෙළෙන්ඳන්ගේ නම් ද අනාවරණය වෙනු ඇත. එනිසාම මෙම පරීක්ෂණ හරියට යයි දැයි අපට නම් සැකසහිතය. එහෙත් රටක නීතියක් හරියට ක්‍රියාත්මක වෙනවානම් එය කාටත් එකලෙස ක්‍රියාත්මක විය යුතුය. රාජ්‍යයට නීතියේ පාලනය හරිහැටි පවත්වාගෙන යන්නට අවශ්‍ය නම් මෙම පරීක්ෂණ නිවැරදිව සිදුකර අදාළ ක්‍රියාමාර්ග දේශපාලන බලපුලුවන් කාරකම් පසෙක ලා ක්‍රියාත්මක කළ යුතුය.

විගණනය කියන්නේ කුමක්ද?

2022 සහ 2023 වර්ෂයන්ට අදාළව මෙම ඖෂධ මඟඩිය පිළිබඳව විගණන විමසුමක් සිදුකර ඇත. එහිදී විගණකාධිපති දෙපාර්තමේන්තුව විමසුම් අංක MSU/B/MSD/BCD/2/23/08/AQ/06 යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට වාර්තාවක් යවමින් විගණන විමසුමක් සිදුකර ඇත. එම විමසුම් ලියවිල්ලේ අප පසුගිය කාලයේ ලියූ බොහෝ කරුණු අන්තර්ගතය. සීඅයිඩීයට මෙම ලියවිල්ල විගණකාධිපතිවරයාගෙන් ගෙන්වාගෙන කියෙව්වා නම් කෙහෙළිය හිටපු අමාත්‍යවරයා සීඅයිඩීයට ගෙන්වා ප්‍රකාශයක් සටහන් කරගැනීමට හිතෙන්න පුලුවන් ය. මෙම ලියවිල්ලේ අන්තර්ගත අප පසුගිය කාලයේ කතා නොකළ තොරතුරු මොනවාද? මදක් විමසා බලමු.

හදිස්සි මිලදී ගැනීම් ක්‍රියාවලිය සඳහා මුදල් අමාත්‍යාංශයේ මැදිහත්වීම, හදිස්සි මිලදී ගැනීම් ක්‍රියාවලිය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීම, හදිස්සි මිලදී ගැනීම් ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරයේ මැදිහත්වීම, ආදී මාතෘකා යටතේ නිරීක්ෂණයන් සහ විමසීම් සිදුකර ඇත. එහි ඇති තොරතුරු සහ දත්තයන් ඉදිරි අත්අඩංගුවට ගැනීම් සඳහා සීඅයිඩීයට වැදගත් වනු ඇත. එම ගොනුවේ තිබෙන බොහෝ තොරතුරු අප පසුගිය කාලයේ වරින් වර ලියූ බැවින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මැදිහත්වීම පිළිබඳව තිබෙන කරුණු වෙත මෙසේ අවධානය යොමුකළ හැකිය.

‘2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතේ 58, 82, සහ 101 වගන්ති නොසලකා කටයුතු කර ඇත. එම පනතේම 109 වගන්තිය නොසලකා ලියාපදිංචිය නිදහස් කිරීමේ ලිපි නිකුත් කර ඇත’ යනුවෙන් එහි නිරීක්ෂණයන් ආරම්භ වී ඇත.

‘ඖෂධයක් ලියාපදිංචි කිරීමේදී එම ඖෂධයේ නිශ්පාදක සහ දේශීය නියෝජිතයා පිළිබඳ තොරතුරු, පරිපාලන හා නිර්දේශ කිරීමේ තොරතුරු, ඖෂධයට අදාළ ලිපිගොනුවේ සමස්ථ සාරාංශ තොරතුරු, ඖෂධයේ ගුණාත්මකභාවය සහතික කරනු ලබන ලේඛන, සායනික නොවන අධ්‍යයන වාර්තා, සායනික අධ්‍යයන වාර්තා, ඇතුලත්ව පුලුල් ලේඛන පරීක්ෂාවක් සිදුකරන නමුත් ඊට සාපේක්ෂව ඖෂධ ඇගයීම් කමිටුව යටතේ පිහිටුවන ලද ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ අනුකමිටුව මගින් ඉතාමත් සීමිත ලේඛන ප්‍රමානයක් ඇගයීම මගින් සහ සාම්පල් පරීක්ෂාවකින් තොරව ඖෂධ ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ සහතික නිකුත් කිරීමේ හේතුවෙන් ගුණත්වය පිළිබඳ තහවුරුවක් නැති ඖෂධ රට තුළට පැමිණ ඇත’. යනුවෙන් එහි නිරීක්ෂණයක් ඇත. මෙයින් කියන්නේ කුමක්ද? මෙයින් කියන්නේ රෝගීන්ගේ ජීවිත බිල්ලට දී සෞඛ්‍ය බළධාරීන් මෙම සෙල්ලම කරඇති බවය.

‘2020 වර්ෂයේ දී නිකුත් කරනු ලැබූ ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපියක් යටතේ ආනයනය කරනු ලැබූ හර්දය, අක්මා, වකුගඩු රෝග හා අධිරුධිර පීඩනය වැනි රෝගී තත්ත්වයන් වලදී භාවිතා කරන furosemide syrup බෝතල් 6000ක තොගයක් තත්ත්වයෙන් අසමත් බව වාර්තා වනවිටත් එම ඖෂධ තොගයෙන් 98%ක ප්‍රමානයක් රිජ්වේ ආර්‍යා ළමා රෝහල ඇතුළු රජයේ රෝහල්වල රෝගීන් සඳහා භාවිතා කර තීබී ඇත.’ මෙම විමසුම සඳහන් කරයි. එයින් පෙනෙන්නේ මේ ජාවාරම්කරුවන්ට පුංචි ළමයින්ගේ ජීවිත පිළිබඳව හෝ සහ කම්පනයක් තිබී නැති බවය.

‘2022 වර්ෂය තුළ නිකුත් කරනු ලැබූ ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපියක් යටතේ වෛද්‍ය සැපයුම් අංශය විසින් මිලදී ගන්නා ලද Bupivacaine ඖෂධය භාවිතා කිරීමෙන් පසුව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී කාන්තාවන් දෙදෙනෙක් මියගොස් තිබුණ අතර එම ඖෂධය රෝගීන් හට බරපතළ අහිතකර ප්‍රතික්‍රියා (Adverse Drug Reaction – ADR) සිදුකර ඇති බැවින් 2023 ජූලි 21 දින පැවති ආරක්ෂාව සහ අවධානම් ඇගයීමේ කමිටුව (safety and risk evaluation subcommittee – SAFRESC) විසින් එම ඖෂධය සම්පූර්ණයෙන්ම භාවිතයෙන් ඉවත්කර ඇත’. මෙම නිරීක්ෂණයෙන් පෙනෙන්නේ මෙම පිරිස එකතුවී සිදුකළ ඖෂධ ජාවාරම නිසා රෝගී ජීවිත මරණයට පත්වී ඇති බවය. මෙම සිදුවීම් සිදුවුණ කාලයේ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙන්ම සෞඛ්‍ය බළධාරීන් ප්‍රකාශ කළේ මොනවාද? මදක් කල්පනාකර බලන්න. එම බාල බෙහෙත් භාවිත කාලයේදී මියගිය කාන්තාවන් දෙදෙනාට යුක්තිය ඉටුවිය යුතු නැද්ද? අඩුම ගානේ එම පවුල්වලට වන්දියක් හෝ දෙන්නට සෞඛ්‍ය බළධාරීන් කටයුතු කළාද?

විශේෂ වේගවත් ක්‍රමය ගැන නිරීක්ෂණ

special pathway ක්‍රමය යනු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අමාත්‍යාංශය භාරගත් පසු හිතූ හිතූ ලෙස ඖෂධ ගෙන්වීම සඳහා ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක වෛද්‍ය විජිත් ගුණසේකර හරහා ක්‍රියාත්මක කළ ක්‍රමයයි. ඖෂධයක් මිලදී ගැනීමේදී එතෙක් රාජ්‍ය විසින් අනුගමනය කළ සියලු ප්‍රශස්ථ ක්‍රමවේදයන් කුණුකූඩයට වීසිකරමින් මෙම නව ක්‍රමය ක්‍රියාත්මක කළේ ඇයි? අපට නම් ඒ ගැන සැකයක් ඇත. ඇමතිවරයෙක්ට කැබිනට් අමාත්‍ය ධුරයකට මුවාවී රාජ්‍යකරණයේ අවයවයන් කපාදැමිය හැකිද?

‘ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපි නිකුත් කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් අධිකාරිය විසින් 2019 ඔක්තෝම්බර් 15 දිනැතිව මාර්ගෝපදේශයක් පිළියෙළ කර තිබුණ අතර ඊට අනුකූලව ඖෂධ ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ අනුමැතිය ඊට අදාළ අනුකමිටුව මගින් ලබාගත යුතු වුවත් සෞඛ්‍යය අමාත්‍යාංශයේ ඉල්ලීම පදනම් කරගනිමින් 2022 සැප් 16 දිනැති අධ්‍යක්ෂක මණ්ඩල තීරණය ප්‍රකාරව අනුකමිටු අනුමැතිය සඳහා යොමුකිරීමෙන් තොරව special pathway ක්‍රමය වශයෙන් හඳුන්වනු ලබන වේගවත් යාන්ත්‍රනයක් හරහා ප්‍රධාන විධායක නිළධාරියාගේ අනුමැතිය මත ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපි නිකුත් කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කර තිබුණි.

එහිදී ලියාපදිංචියෙන් නිදහස් කිරීම සඳහා අනුමැතිය ප්‍රදානය කිරීමේදී අනුකමිටුව විසින් සලකා බලන මිල සාධාරණත්වය, ඖෂධය පිළිබඳව විද්‍යාලයේ මතය, ඖෂධ යේ අත්‍යාවශ්‍යතාවය, සැපයුම්කරුගේ සහ නිශ්පාදකයාගේ ලියාපදිංචි තත්ත්වය, ගුණත්වය පිළිබඳව පෙර පැවති ගැටලු (තත්ත්වයෙන් අසමත් වීම) වැනි සාධක පිළිබඳව අවධානය යොමුකිරීමෙන් තොරව එම ඖෂධයේ ගුණත්වය, ආරක්ෂාව සහ ප්‍රත්‍යක්ෂභාවය, තහවුරු කරනු ලබන ලේඛන ඇගයීමෙන් තොරව ගැනුම් ඇණවුම, ඉන්ඩෙන්ටුව සහ වෙළඳ ඉන්වොයිසය වැනි ඇණවුම තහවුරු කරන ලේඛන පමණක් පරීක්ෂා කර අනුමැතිය පිරිනමා තිබුණි’. මුලින් සඳහන් කළ දෙදෙනාගේ මරණයට මෙම ක්‍රමවේදය හේතුවක් නොවෙයිද? ඒ පිළිබඳව කරුණු සොයා බැලිය යුතු නැද්ද? තව කීදෙනෙක් නම් නිහඬවම මෙම බාල බෙහෙත් නිසා මිය යන්නට ඇතිද? රෝහල් බළධාරීන්ට ඒ පිළිබඳ තිබෙන තොරතුරු මොනවාද?

‘2022 වර්ෂය තුළ නිකුත් කර තිබුණු මුලු ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපි සංඛ්‍යාව 656කි. එයින් 57ක් special pathway ක්‍රමය යටතේ වෛද්‍ය සැපයුම් අංශය වෙතද, 176ක් special pathway ක්‍රමය යටතේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC) වෙතත් නිකුත් කර ඇත. මේ අනුව 2022 වර්ෂය තුළ පමණක් special pathway ක්‍රමය යටතේ ලිපි 233ක් නිකුත් කර ඇත. 2023 වර්ෂයේ ජූනි දක්වා කාලය තුළ ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපි 261ක් නිකුත් කර තිබුණ අතර එයින් 03ක් special pathway ක්‍රමය යටතේ වෛද්‍ය සැපයීම් අංශය වෙතත්, ලිපි 51කක් special pathway ක්‍රමය යටතේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙතත් නිකුත් කර ඇත. මේ අනුව 2022 වර්ෂය තුළ ලියාපදිංචියෙන්  නිදහස් කිරීමේ මුලු ලිපි සංඛ්‍යාවෙන් 36%ක් special pathway ක්‍රමය යටතේ ගිය ඒවාය. 2023 අවුරුද්දේ ජූනි වන තෙක් එම ප්‍රතිශත අගය 21%කි’. මෙම නිරීක්ෂණයෙන් හොරාකෑමේ පරිමාව තේරුන් ගන්නට පුලුවන් වෙනු නියතය. මෙසේ අනුමැතිය ලබාදුන් සමාගම් ගෙනා බෙහෙත් වර්ග මොනවාද? කිසිඳු ප්‍රතිචාරයක් නොදැක්වූ බෙහෙත් ඔහේ රෝගීන්ගේ රුධිරය මත දියව යන්නට ඇත. සල්ලි, සොරුන්ගේ සාක්කුවලට වැටෙන්නට ඇත. රාජ්‍යයේ නීතිය අවපැහැ වී ඇත.

‘ආසාධිත රෝගීන් සඳහා භාවිතා වෙන meropenem injection USP 500mg යන ප්‍රතිජීවක ඖෂධයෙන් ඒකක 400,000ක් මෙරටට ආනයනය කිරීම සඳහා special pathway ක්‍රමය යටතේ අනුමැතිය ලබාදී තිබුණ අතර මීට පෙර තත්ත්වයෙන් අසමත්වීමේ වාර්තා තිබීම හේතුවෙන් ඒ ඖෂධ සඳහා ඖෂධ ඇගයීම් කමිටුවේ අපරාණුමැතිය හිමිවී නොතිබුණි. මීට අමතරව ඉහත ක්‍රමයට අනුමැතිය දුන් තවත් ඖෂධ 15කට අදාළ නිශ්පාදකයන්ගේ ඖෂධ තත්ත්වයෙන් අසමත්වීම් වාර්තා වී ඇත’ පසුගිය කාලයේ රෝහල් තුළ සිදුවූ මරණයන් මනුෂ්‍ය ඝාතනයන් නොවෙයිද? මෙසේ රටේ ඖෂධ නියාමනය උඩුයටිකුරු කළ හිටපු අමාත්‍යවරයා මේ ඖෂධ ජාවාරමට වරදකරුවෙක් නොවෙන්නේ කෙසේද? ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිළධාරියා මෙම අපරාධයට වගකිව යුතු නැද්ද?

‘කර්ණ ආසාධන, රක්තපාත තත්ත්වයන් සහ ආහාර ජීර්ණ පද්ධතියේ ගැටලු ආදී රෝග සඳහා භාවිතා කරනු ලබන Ofloxacin viaeye/ ear drops 5ml, Cinnarizine Tablets BP 25mg, Rifaximin Tablets 550mg සහ Mosapride Citrate Tablets 5mg වැනි ඖෂධ සඳහා ද special pathway ක්‍රමය හරහා ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ අනුමැතිය ලබාදී තිබුණ අතර එම ඖෂධ 29ක් අත්‍යාවශ්‍ය නොවෙන ඖෂධ වීම නිසා එම ඖෂධ සඳහා ඖෂධ ඇගයීම් කමිටුවේ අපරානුමැතිය හිමිව නොතිබුණි’ කෙහෙළිය අමාත්‍ය ධුරය භාරගත් පසුව ජයටම සිදුවූ මෙම අක්‍රමිකතාවයන් පිළිබඳව නිරීක්ෂණයන් විශාල ප්‍රමානයක් මෙම විගණන විමසුම් වාර්තාවේ අන්තර්ගතය. ඒවා කියවා හෝ සීඅයිඩීය නිවැරදි එල්ලයට පරීක්ෂණ මෙහෙයවිය යුතුය.  

විද්වතුන් කැළේට…

‘විද්වතුන් 14 දෙනෙකුගෙන් සමන්විත ඖෂධ ඇගයීම් කමිටුව අභිබවා special pathway ක්‍රමය හරහා ඖෂධ ලියාපදිංචියෙන් නිදහස් කිරීම සඳහා අනුමැතිය ලබාදීම තුළින් ගුණත්වය, ආරක්ෂාව සහ ප්‍රත්‍යක්ෂභාවය පිළිබඳව කිසිදු තහවුරුවක් නැතිව ඖෂධ ආනයනය කිරීම මගින් රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළා ඇත’ මෙන්න මේ නිරීක්ෂණයට අදාළ බෙහෙත් විෂ වීම නිසා මරණයට පත්වූ මිනිසුන්ගේ ඥාතීන්ට නඩු පැවරිය හැකිය.

‘2022 දෙසැම්බර් මාසයේදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනායාචිත යෝජනා ඉදිරිපත් වූ ඖෂධ අයිතම 38ක් ආනයනය කිරීම සඳහා පුද්ගලික සමාගමක් වෙත ලියාපදිංචිය නිදහස් කිරීමේ සහතික (WOR) 38ක් නිකුත් කර තිබුණ නමුත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අදාළ ඖෂධ ඇගයීම සිදුකර නැති බවත්, ඒ හේතුවෙන් එම ඖෂධවල ගුණත්වය, ආරක්ෂාකාරී බව, සහ ප්‍රත්‍යක්ෂභාවය (quality, safety, efficiency) පිළිබඳව අධිකාරිය වග නොකියන බවටත්, වගකීම වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂක විසින් භාරගත යුතු බවටත් කොන්දේසි ඉදිරිපත් කරමින් එහි වගකීම අධිකාරිය විසින් අත්හැර තිබුණි’ මෙම නිරීක්ෂණයෙන් කියවෙන්නේ බල්ලාගේ වැඩේ බූරුවාට පැවරීමේ තත්ත්වයයි. මෙවැනි සිදුවීම් රැසක් මෙම ජාවාරම සිදුවන අවස්ථාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ඊට අයත් සෞඛ්‍ය ආයතන තුළ සිදුව ඇත. එයින් කියන්නේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා රාජ්‍යයේ සෞඛ්‍ය පරිපාලනය සම්පූර්ණයෙන්ම බිඳහෙළා ඇති බව නොවේද?

‘ඖෂධ නියාමන අධිකාරිය විසින් ආනයන පාලක ජනරාල් වෙත යවනු ලබන ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ සහතිකයේ පිටපත් වෛද්‍ය සැපයීම් අධ්‍යක්ෂකට එවන බවට අදාළ සහහිකයේ සඳහන් වුවද 2022 වර්ෂයේ සිට සිදුකරන ලද හදිස්සි මිලදී ගැනීම් හා ඉන්දියානු ණය ආධාර යටතේ සිදුකළ මිලදී ගැනීම්වලට අදාළ WOR සහතිකයේ පිටපත් වෛද්‍ය සැපයීම් අංශයට එවා නොතිබුණ අතර 2023 ඔක්තෝබර් 16 දින පිටපත් 105ක් ඖෂධ නියාමන අධිකාරිය විසින් වෛද්‍ය සැපයීම් අංශයට එවා තිබුණි. නමුත් විගණිත දින දක්වාම ඖෂධ නියාමන අධිකාරිය විසින් නිකුත් කර තිබුණ අනෙකුත් WOR සහතිකවලට අදාළ වෛද්‍ය සැපයීම් පිටපත් එවා නොතිබුණ බවද ඒ හේතුවෙන් සැපයුම්කරුවන්ට තොග භාරදීමේදී වංචා සිදුකිරීම සඳහා ඉඩකඩ විවර වෙන බවද නිරීක්ෂණය විය. අදාළ පිටපත් මුල් අවස්ථාවේම වෛද්‍ය  සැපයීම් අංශයට ලැබී තිබුණේ නම් තොග පරිපාලන නිළධාරීන්ට එමගින් තහවුරු කිරීම් සිදුකර ගත හැකිව තිබුණ බවද ඒ හේතුවෙන් වර්තමානයේ බරපතළ ගැටලු පැනනැඟුණු Human Immunoglobulin සහ Rituximab වැනි ව්‍යාජ ඖෂධ ලබාදීමේ වංචාවන් හසුකරගැනීමට අභ්‍යන්තර පරිපාලනය සමත් වන බවත් නිරීක්ෂණය විය’ මෙම නිරීක්ෂණයෙන් කියවෙන්නේ හොරුන්ට හොරාකන්නට ගෙදර දොර විවරකර දුන් ආකාරයයි. මෙයින් පෙනෙන්නේ දේශපාලන නායකත්වය, බළධාරීන් සියල්ලෝම එකතුව ඖෂධ ජාවාරමේ නිරත්වී ඇති බව නොවේද?

මෙසේ වටිනා නිරීක්ෂණයන් රැසක් සමගින් විමසීමක් කරන මෙම වාර්තාව විගණකාධිපතිවරයා විසින් අවසන් කරන්නේ මෙසේය.

‘සම්මත ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ගෙන් බැහැරව හදිස්සි මිලදී ගැනීම් සිදුකළ ආකාරයත්, අමාත්‍ය මණ්ඩල අනුමැතිය රහිතව හා අමාත්‍ය මණ්ඩලයේ තීරණයන් අභිබවා යමින් හිටපු සෞඛ්‍ය ලේකම්වරයා ඇතුලු නිළධාරීන් ක්‍රියාකළ ආකාරයත්, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය නොමැති සැපයුම්කරුවන්ට ලියාපදිංචිය නිදහස් කිරීම යටතේ ඖෂධ සැපයීමට දිරිමත් කිරීමත්, එහිදී ඖෂධ නියාමන අධිකාරිය විසින් සම්මත ක්‍රමවේදනයෙන් බැහැරව විශේෂ ක්‍රමවේදයකට යමින් ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ සහතික නිකුත් කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කිරීම පිළිබඳවත්, ඖෂධ නියාමන අධිකාරිය විසින් හෝ වෙනත් කිසිදු පාර්ශවයක් විසින් ඖෂධවල ගුණත්වය, ආරක්ෂාව සහ ඵලදායී බව පිළිබඳව වගකීම නොගැනීමත් පිළිබඳව, ඔබ විසින් ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙම විමසුමේ සිට දින 07ක් ඇතුලත විගණනය වෙත දන්වන මෙන් කාරුණිකව ඉල්ලමි’

වර්තමාන සෞඛ්‍ය ලේකම්වරයා මෙම විමසීමට පිළිතුරු යවයිද? සෞඛ්‍ය ලේකම්වරයා මෙම විමසුමට ප්‍රතිචාර නොදැක්වූවත් මෙම විමසුමට සීඅයිඩීයට ප්‍රතිචාරයන් දැක්විය හැකිය. ඒ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ හිටපු ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ඉදිරියට ක්‍රියාත්මක කිරීම හරහාය. එය සිදුවෙයිද? අප දන්නේ නැත. රාජ්‍යයේ නීතිය සැමට සමානව එකසේ ක්‍රියාත්මක වන්නේ නම් නීතියේ පාලනය පවත්වාගෙන යන්නට රාජ්‍යයට අවශ්‍යනම් එය එසේ විය යුතුය.