You are currently viewing වැට් නිසා 2024 බැට් කරන්න පුලුවන් වෙයිද?

වැට් නිසා 2024 බැට් කරන්න පුලුවන් වෙයිද?

-කේ. සංජීව-

වැට් බදු සංශෝධනයට පාර්ලිමේන්තුවේ බහුතරය අත් ඔසවා සිය එකඟතාවය පළකළේ පසුගිය දෙසැම්බර් 11 දවසේ පාර්ලිමේන්තුවේ පැවති ඒ පිළිබඳ ඡන්දයේ දීය. මෙහිදී වැට් බදු සංශෝධනයට පක්ෂව ඡන්ද 100ක්ද, විරුද්ධව ඡන්ද 55ක්ද ලැබී එය වැඩි ඡන්ද 45කින් සම්මත වී තිබුණි.

අහසට නැඟ තරු අල්ලන්නට මාන බලන බඩු මිල නිසා තරු වීසිවුණ ජනතාව නම් වැට් බද්ද වැඩිවෙනවට කැමති නැත. එහෙත් එහෙව් ජනතාවගේ නියෝජිතයන් යැයි කියන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ පිහිටෙන් පාර්ලිමේන්තු ගිය මන්ත්‍රීවරුන් සිය දෙනෙක් බඩු මිල තව තවත් අහසට පියාඹා යනවාට මනාපය පළකර ඇත. තවත් එවැනිම පිරිසක් එදිනේදී පාර්ලිමේන්තුවට නොපැමිණ වැට් බදු වැඩි කිරීමට සිය මනාපය ප්‍රසාදය පළකර ඇත.

මේ බදු සංශෝධනය සමග පුරවැසියාට 2024 වර්ෂය සුබ විය හැක්කේ කෙසේද? මේ ඒ පිළිබඳව කෙටි විමසුමක් ය.

අයිඑම්එෆ් ටාගට්

අන්තර් ජාතික මූල්‍ය අරමුදල රාජ්‍ය ආදායම වැඩි කරගැනීම සඳහා ආණ්ඩුවට සහ බළධාරීන්ට එක එක ඉලක්ක ලබාදී ඇත. වැට් බදු සංශෝධනයත් එවැනි එක යෝජනාවක් ක්‍රියාත්මක කිරීමක් ය. 2022 වසරේ පැවති ආණ්ඩුවේ ආදායමට වඩා 2025 වර්ෂය වනවිට ආණ්ඩුවේ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 6.5%ක ප්‍රමානයකින් වැඩි කරගැනීමට අන්තර් ජාතික මූල්‍ය අරමුදල යෝජනා කර ඇත.

අවුරුදු තුනක් වැනි කෙටිකාලයක් තුළ මෙවැනි ඉලක්කයකට යෑම අසීරු බව බොහෝ ආර්ථික විශේෂඥයන්ගේ අදහසයි. එහෙත් මේ ඉලක්කය වෙත ළඟාවීම සඳහා තමන්ට හැකියාව ඇතැයි වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාස කරන බව මෙම බදු සංශෝධන යෝජනාව කියන කතාවයි. මෙම බදු සංශෝධනය මගින් ආණ්ඩුව රුපියල් බිලියන 600ක මුදලක් ජනතාවගේ මුදල් පසුම්බියෙන් ලබාගන්නට සැළසුම් කර ඇත.

මේ අනුව දැනට වැට් බදු අය කරන භාණ්ඩ හා සේවාවලට අදාළ සියයට 15ක් වූ වැට් බදු ප්‍රතිශතය සියයට 18 දක්වා සියයට 3ක ප්‍රමාණයකින් ඉහළ දැමීම ජනවාරි 01 වෙනිදා සිට සිදුවෙනු ඇත. එහෙත් මෙහි පුදුමය නම් මෙතෙක් වැට් බදු අය නොකරන ලද භාණ්ඩ හා සේවාවලට මෙම නව සංශෝධනය හරහා අලුතින් සියයට 18ක වැට් බදු පැනවීමය.

ඒ අනුව 2023 අවුරුද්දේ කිසිඳු වැට් බද්දකට යටත් නොවුණ සමහර අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවාවන් සඳහා 18%ක වැට් බද්දක් මේ හරහා පැනවෙනු ඇත.

වැට් නිදහස් මොනවාටද?

අප ඉහත සඳහන් කළ 18%ක වැට් බද්ද අලුතින්ම පනවනු ලබන භාණ්ඩ මොනවාද සේවා මොනවාද යන්න විමසුවොත් මුලින්ම කෙටියෙන්ම ප්‍රකාශ කළ හැක්කේ මෙතෙක් අත්‍යාවශ්‍ය වී පැවති භාණ්ඩ හා සේවාවන් රැසක් නව සංශෝධනය නිසා අත්‍යාවශ්‍ය නොවෙන මට්ටමට වැටී ඇති බවය. මෙම නව බදු සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවිට එහි සඳහන් වූවේ භාණ්ඩ හා සේවා කාණ්ඩ 95කට පමණ නව 18%ක බද්ද පැනවෙනු ඇති බවය.

එහිදී ආණ්ඩුව පැත්තෙන් ප්‍රකාශ වුණේ පෙට්‍රල්, ඩීසල්, විදුලිය, ගෑස් වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ සේවාවන් තවදුරටත් වැට් බද්දෙන් නිදහස්ව පවතිනු ඇති බවයි. එහෙත් නව බදු සංශෝධනය සම්මත වූ පසු දැන් කතාව වෙනස් වී ඇත. දැන් කතාවට අනුව විදුලිය බද්දෙන් නිදහස් ය. පෙට්‍රල්, ඩීසල් හා එල්පී ගෑස් බද්දට යටත් ය.

තත්ත්වය මෙය නම් එලබෙන ජනවාරි 01 වෙනිදායින් පසු උදාවෙන නව වසර පාරිභෝගික ජනතාවට සුබ නව වසරක් වනු නියතය. මෙම නව තත්ත්වය අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල සාමාන්‍යයෙන් රුපියල් 640කින් පමණ ඉහළට පාවී යනු ඇත.  සාමාන්‍ය පැට්‍රල් ලීටරයක මිල රුපියල් 60කින් වත් ඉහළට යනු ඇත. මේ අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල දළ වශයෙන් රුපියල් 60කින් ඉහළ යෑමට නියමිතය.

මේ අනුව බොරතෙල්, භූමි තෙල්, ගුවන් යානා තෙල්, නෞකා ඉන්ධන, දැවි තෙල් ජනතාවට අත්‍යාවශ්‍ය වන්නේ යැයි ආණ්ඩුව කියන විට ඉහත ඉන්ධන ජනතාවට අවශ්‍ය නැති බව ආණ්ඩුව තීරණයක් ගෙන ඇති සෙයකි.

මෙසේ ඉන්ධන මිල මට්ටම් ඉහළට ගිය විටෙක ගෑස් මිල ඉහළ ගිය විටෙක භාණ්ඩ හා සේවා සඳහා දැනට පැවති මිල ගණන් බොහෝ ඉහළ යනු නියතය.

රජය ප්‍රකාශයට පත් කර ඇති වැට් නිදහස් ලැයිස්තුව අනුව පොදු මගී ප්‍රවාහන සේවා වැට් බද්දෙන් නිදහස් කර ඇතත් කුලී රථ සේවා වැට් බද්දට යටත් කර ඇත. ඒ අනුව පික්මී ඌබර් වැනි සේවාවන් හි මිල ඉහළ යනු ඇත.  කුකුළු ආහාරද වැට් බද්දට යටත් කර තිබෙන බව එම ලැයිස්තුවට අනුව පෙනෙයි, ඒ අනුව බිත්තර මිල සහ කුකුළු මස් මිල තවදුරටත් ඉහළ යනු ඇත. රෝහල් කාමර ගාස්තු වැනි සේවාවන් ද වැට් බද්දට යටත් කර තිබෙන පසුබිම තුළ ඒවා සඳහා දැනට පවතින මිල ගණන් තවදුරටත් ඉහළ යනු ඇත.

ජංගම දූරකථන මිල ජනවාරි 01 දා සිට අසීමිතව ඉහළ යාවියැයි සිතන පාරිභෝගිකයන් එම දූරකථන අඩු මිල ගණන් යටතේ මේ දිනවල මිලදී ගැනීමට යෑම නිසා දැනටමත් ජංගම දූරකථන මිල පරිගණක මිල වැනි භාණ්ඩ මිල ගණන් ඉහළ ගොස් ඇත. ඒ අනුව ඇත්තටම ජනවාරි 01 දායින් පටන් ගන්නා 2024 අවුරුද්ද සුබ වෙන ලකුණු දැනටම පහළ වී ඇත.

අලුතින් බදු වදින්නේ කුමන භාණ්ඩ හා සේවාවන් වලටද?

උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ හඳුනාගෙන ඇති භාණ්ඩ හා සේවා වැට් බද්දෙන් නිදහස් කර ඇති බව රජය ප්‍රකාශ කරයි. ඊට අමතරව තිරිඟු, තිරිඟු පිටි, ළදරු කිරිපිටි, ඖෂධ හා නිෂ්පාදන, කෘෂිකාර්මික බීජ නිශ්පාදන, අධ්‍යාපනික සේවා, විදුලිය, සහල්, සහල් පිටි සහ පාන් වැට් බද්දෙන් නිදහස් ය.

දැන් අප බැලිය යුත්තේ 2024 වර්ෂය සුබ වීම සඳහා හේතු විය හැකියැයි සිතන වැට් බදු වැඩිවීම සිදුවන්නේ කුමන වර්ගයේ භාණ්ඩ හා සේවා සඳහා ද යන්නයි.  

අප මුලින් සඳහන් කළ ඉන්ධන වර්ගවලට අමතරව දේශීයව නිෂ්පාදනය කරන පාම් තෙල්, වියළි පොල්, රබර්, රබර් කිරි, අමු දළු, බිත්තර, දියර කිරි, නිමි සම්, ජංගම දූරකථන, මත්පැන් නිෂ්පාදනය සඳහා භාවිතා කරන ඇල්කොහොල්, රසායනික නැප්තා, දේශීය නිෂ්පාදිත සීනි, වෛද්‍ය උපකරණ සහ උපාංග, ඖෂධ සහ රසායන ද්‍රව්‍ය, ගිලන් රථ, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ, රසායනික පොහොර, පොල් තෙල්, කිරි නිෂ්පාදන, සහල් නිෂ්පාදන, රජය හෝ පළාත් සභාවක් භාවිතයට නොගත් තැපැල් හා ආදායම් මුද්දර, මැටි සෙවිලි උළු, ආයෝජන මණ්ඩල සහන නැති දේශීය රෙදි, වේවැල් නිශ්පාදන, ටවර් හෝල් රඟහල පදනම යටතේ හෝ මධ්‍යම සංස්කෘතික පදනම යටතේ පිහිටුවා ඇති සංස්කෘතික අරමුදල් මගින් සපයන සේවා සඳහා, රජයේ, පළාත් සභාවේ හෝ ප්‍රාදේශීය මට්ටමේ පුස්තකාල සේවා, පින්තාරු අලෙවි කිරීම්, ආබාධිත සොල්දාදුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් පිහිටුවන ලද ආයතනයක් මගින් සපයන භාණ්ඩ හෝ සේවා, සේවා යෝජකයකු විසින් තම සේවකයන්ට නොමිලේ හෝ සහනාධාර මත ලබාදෙන ආහාර සහ ප්‍රවාහන පහසුකම්, චිත්‍රපටි බෙදා හැරීම සහ ප්‍රදර්ශනය වැනි භාණ්ඩ සහ සේවාවන් මෙම නව බදු සංශෝධනය හරහා වැට් බද්දට යටත්වන භාණ්ඩ හා සේවා බවට තත්ත්වයෙන් උසස් කර ඇත. මේ අනුව ඔබට එලබෙන 2024 සුබම වෙන ආකාරය සිතාගන්නට පුලුවන් විය යුතුය.

මේ වාර්තාවන්වලට අනුව මෙම භාණ්ඩ හා සේවාවන් සඳහා මෙතෙක් පැවති මිල ගණන් මේ අනුව එලබෙන ජනවාරි පළවෙනිදා සිට ඇගට දැනෙන විශාල ප්‍රමානයකින් ඉහළ යනු ඇත. ප්‍රශ්නය වන්නේ මෙසේ බදු ගසා ජනතාවගේ පොකෙට්ටුවෙන් සල්ලි ලබාගෙන මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට හැකිවේද යන්නයි. වංචාව දූෂණය නාස්තිය තවමත් විශාල වශයෙන් සිදුවෙමින් තිබෙන පසුබිමක මෙම බදු සංශෝධනයන් ජනතා වෛරය තව දුරටත් කුළුගන්වමින් රට නව අර්බුදයක් වෙතට තල්ලු කර දැමිය හැකිය.

ජනතාව කබලෙන් ළිපට

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් 2022-23 වර්ෂ සඳහා නිකුත් කරන ලද ජාතික පුරවැසි සමීක්ෂණය නම් වූ බහුමාන අවදානම් දර්ශකය මත පදනම් වූ ප්‍රතිපත්ති වාර්තාවේ සඳහන් දත්තයන්ට අනුව ලංකාවේ මිලියන 22.16ක් වූ ජනගහනයෙන් මිලියන 12.3ක පිරිසක් අවදානම් ආර්ථික මට්ටමට ළඟා වී ඇත. එම වාර්තාවට අනුව  ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 6 දෙනෙක් ම ආර්ථිකව අවදානමට ලක් ව ඇත. මෙයින් පෙනෙන්නේ කබලට වැටී සිටි ජනතාව මෙම බදු සංශෝධනය සමග ළිපටම වැටෙනු ඇති බවය.

බදු බර දරාගන්නට නොහැකිව විශාල ප්‍රමානයක් පුරවැසියන් රට හැරයමින් සිටින පසුබිමක එලබෙන අවුරුද්දේ මෙම නව තත්ත්වය රටට කුමන ආකාරයේ බලපෑමක් සිදුකරාවිද? එලබෙන ජනවාරියේ විදුලි බිල අඩු කරනු ඇතැයි ජනතාව අපේක්ෂාවෙන් සිටී. එහෙත් මෙම බදු සංශෝධන කතාව කියන්නේ ලංවීම අසීමිත ලාභයක් මෙම කාලයේ උපයාගනු ලැබූවත් එහි සහනය ජනතාව වෙත ලබාදේවියැයි සිතිය නොහැකි බවය.

එලබෙන 2024 යනු මැතිවරණ වර්ෂයක් ය. ප්‍රධාන මැතිවරණයන් දෙකක් බොහෝ දුරට පවත්වන්නට ඉඩ ඇත. මෙම තත්ත්වය මත පමණක් ජනතාවට යම් ආර්ථික සහනයක් ලැබෙනු ඇත. ආර්ථික සහන සඳහා වෙනත් මඟක් දැනටනම් පෙනෙන්නට නැත. යම් මැතිවරණයක් පැමිණිය හොත් ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට අයිඑම්එෆ් අමතකව යනු ඇත..!