You are currently viewing ඖෂධ වංචාව ගැන කෙහෙළියට වගකීමක් නැතිද?

ඖෂධ වංචාව ගැන කෙහෙළියට වගකීමක් නැතිද?

-කේ. සංජීව-

ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහජනක ඖෂධ වංචාව පිළිබඳ කතාව අප නොසිතූ ඉමකට තල්ලුවෙමින් තිබෙයි. සමහර විට අප සැම පුදුම කරන ඉමකින් මේ කතාව අවසන් කරන්නටත් බැරිකමක් නැත. ඒකට මාධ්‍ය පෙරට පැමිණ මේ සිදුවීම් පිටුපස සැඟව තිබෙන සත්‍ය වාර්තා කළ යුතුය. අප මෙම වෙබ් අඩවිය හරහා මෙම බෙහෙත් වංචාව පිළිබඳ කතාව දිගටම කතාකරන්නට එක හේතුවක් වුණේත් මෙන්න මේ කාරණය බව කිවයුතුය.

මේ වනවිට මෙම සිදුවීමට අදාළව ඉහළම රාජ්‍ය සේවකයා අත්අඩංගුවට පත් වී ඇත. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් සීමාහේවගේ ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මෙම වංචාවට අදාළව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළ අතර එහිදී හිටපු ලේකම්වරයා මෙම සිද්ධියට අදාළ හයවන සැකකරු ලෙස දෙසැම්බර් 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්නට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම නියෝග නිකුත් කළාය.

ඒ අනුව මෙම සිද්ධියට අදාළව මේවනවිට හයදෙනෙක් අත්අඩංගුවට පත්වී හමාරය. මෙම වංචාවට අදාළ සමාගම වන අයුසුලේට් බයෝටෙක් ෆාර්මා සමාගමේ හිමිකරු හේවගේ සුදත් ජානක ප්‍රනාන්දු ඇරෙන්නට අත්අඩංගුවට ගෙන සිටින අනෙකුත් සියලු රාජ්‍ය නිළධාරීන් සෞඛ්‍ය සේවයේ ඉහළම නිළධාරීන් ය. වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, සහකාර අධ්‍යක්ෂ දේවශාන්ති සොලමන්, ගණකාධිකාරි (සැපයුම්) නෙරාන් ධනංජය සහ තොග පාලක සුජිත් කුමාර යන අය මෙලෙස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

අපට දැනට ලැබෙන තොරතුරු අනුව තව තිදෙනෙකු මෙම සිදුවීමට අදාළව අත්අඩංගුවට ගත යුතුය. ඔවුන් නම් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක සහ ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක වෛද්‍ය විජිත් ගුණසේකර ය. ලැබෙන තොරතුරු කියන්නේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇරෙන්නට ඉදිරි දින කිහිපය තුළ අනෙක් රාජ්‍ය නිළධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගන්නට බොහෝදුරට ඉඩ ඇති බවය. පසුගිය දෙසැම්බර් 20දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායකගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව දෙවන වරටත් ඔහුගේ කාර්යාල කාමරය පරීක්ෂාවට ලක්කර ඇත.

දැන් අපට තිබෙන ප්‍රශ්නය මෙම වංචාවට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට සීමිත වගකීමක් හෝ නැද්ද යන්නයි. ඔහු සිදුව තිබෙන මේ මහා වංචාව පිළිබඳව වග වෙන බව රාජ්‍යයට පෙන්වන්නට අවශ්‍ය නැතිද? අඩුම මෙම සිදුවීම එළියට ආ පසු හෝ තමන් යටතේ සිටි ප්‍රධාන රාජ්‍ය නිළධාරියා මෙම වංචාවට අදාළව අත්අඩංගුවට ගත් විට තමන් දරන අමාත්‍යාංශයේ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී රාජ්‍යයෙන් සමාව ඉල්ලන්නට හෝ යුතුකමක් නැතිද? අපි එවැනි රාජ්‍යයක් උදාකරගත යුතු නැතිද?

හිටපු අමාත්‍යවරයා වගකීමෙන් බැඳෙන්නේ නැද්ද?

පසුගිය දා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී හිටපු සෞඛ්‍ය ලේකම්වරයා වෙනුවෙන් උසාවියේ පෙනීසිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා ප්‍රකාශ කර ඇත්තේ තම සේවාදායකයා නිකලැල් චරිතයකින් හෙබි අමාත්‍යාංශ ලේකම්වරයෙකු බව සහ ඔහු වෙත පවරනු ලැබූ රාජකාරී ඔහු සිදු කළා හැර, වෙනත් අපරාධයක් කර නැත යන්න ය.

මේ ප්‍රකාශයට අනුව කල්පනා කරන විට සිතට නැඟෙන පැනය වන්නේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නිකැළැල් මෙම ලේකම්වරයාට රාජකාරි පැවරුවේ කවුරුන්ද යන්නයි. රාජ්‍ය යාන්ත්‍රන බල ධුරාවලියට අනුව එම පුද්ගලයා කවුරුන් විය හැකිද?

පිළිකා රෝගීන් බිල්ලට

මෙම බෙහෙත් මගඩිය හරි අපූර්ව සැලැස්මකට අනුව ක්‍රියාත්මක වී ඇත. පිළිකා රෝගීන්ට වතුර එන්නත් කළාට කමක් නැත. එයින් යම් කිසි දෙයක් සිද්ධවී එම රෝගියා මියගියත් එය පිළිකාවේ පැතිරීම නිසා සිදුවුණ මරණයක් බව ප්‍රකාශ කරමින් හොරුන්ට ගැළවී යා හැකිය. ඒ අනුව රාජ්‍ය මුදල් ගසා කෑම සඳහා හොඳම බෙහෙත් වර්ග මොනවාදැයි තෝරාබේරාගෙන ඇත. එම මුල් බෙහෙත් වර්ග ලිස්ට් එක 182ක් තරම් දිගය. මේ සියල්ල ආරම්භ වන්නේ කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ භාරගත් පසුවය. එය අවධාරණය කළ යුතුය.

වියත්මගෙන් ඖෂධ නියාමන අධිකාරියට පැමිණ සිටි සභාපතිවරයා මෙන්ම තවත් කිහිපදෙනෙක් එම තනතුරුවලින් ඉවත්කරමින් වැඩ ආරම්භ කරන කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා අනතරුව එම ධුරය සඳහා මෙන්ම ප්‍රධාන විධායක ධුරය සඳහා ද තමන්ට අවශ්‍ය පුද්ගලයින් පත්කර ඇත. මෙම පත්වීම් අතරින් ඖෂධ නියාමන අධිකාරියේ දෙවෙනියා සේ සලකන ප්‍රධාන විධායක තනතුරට පත්කරන වෛද්‍ය විජිත් ගුණසේකර මහතා කැපී පෙනෙයි. ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය පත් කරනු ලබන කෙහෙළිය රඹුක්වැල්ල මහතා එහි සංයුතිය පූර්ණය කරන්නේ නැත. 13 දෙනෙකු පත්විය යුතු අධ්‍යක්ෂ මණ්ඩලයට පත්වන්නේ 8 දෙනෙක් ය.

ඉන්පසුව ඖෂධ හිඟයක් ඇතිවීම සඳහා දැනුවත්ව කටයුතු කර ඇති බව පෙනෙයි. එය එසේ නැතිනම් ඒ පිළිබඳව කරුණු සහිතව හිටපු අමාත්‍යවරයා තොරතුරු හෙළිකළ යුතුය. ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ ප්‍රතිපාදන ද කල් ඉකුත් වෙන්නට ඔන්න මෙන්න වෙනකම් ඖෂධ හිඟයට වැඩෙන්නට ඉඩ දී ඇත්තේ කුමක් වෙනුවෙන්ද? ප්‍රස්නාර්ථයක් ය. බෙහෙත් වර්ග 182ක හදිස්සියේ ගෙන්වීම සඳහා වැඩ පටන් ගෙන බොහෝ වැඩ කටවචනයට අනුව ක්‍රියාත්මක වෙමින් යන අතරතුර අමාත්‍ය මණ්ඩලය වෙත අනුමැතිය සඳහා ගොස් ඇත.  

මෙම බෙහෙත් වර්ග 182ක අතරින් ඇණවුම් කර ලැබෙන්නට තිබෙන බෙහෙත් වර්ග ගැන බලන්නේ නැතිව නව ගෙන්වීම් කරන්න යැයි උපදෙස් ලබාදී ඇත. ඒ අනුව මෙම ඇණවුමෙන් සති දෙකක් ගිය තැන සමහර බෙහෙත් ඇණවුම් ලැබී ඇත. බෙහෙත් ගෙන්වීමේ සාමාන්‍ය ක්‍රමය අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය අවශ්‍ය බෙහෙත් ඇණවුම පිළිබඳව විස්තර ලබාදුන් පසුව එම බෙහෙත් ගෙන්වීමේ සහ මිලදී ගැනීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවයි. එම බෙහෙත්වල ප්‍රමිතිය මෙන්ම ගෙන්වන ආයතන එම බෙහෙත් මිලදී ගන්නා මව් ආයතනය පිළිබඳ විස්තර, රසායනාගාර විස්තර, බෙහෙතේ සායනික දත්ත ආදිය පරීක්ෂා කරන්නේ ඖෂධ නියාමන අධිකාරියයි. එහෙත් මෙම සාමාන්‍ය ක්‍රමවේදයෙන් බැහැරව මෙම ඖෂධ ගෙන්වීම සිද්ධ කර ඇත. ඒ ඇයි?

මෙම නව ක්‍රමයේ බෙහෙත් ගෙන්නිල්ල ආරම්භ වන විටම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, මෙසේ ඖෂධ ගෙන්වන්නට බැහැ බව කියමින් යාන්ත්‍රණයෙන් ඉවත්වී ඇත. තමන්ට අවශ්‍ය විදිහට වැඩ කරන්න බැරිනම් ඉවත්ව යන්න යැයි එස්පීසී ලොක්කාට මෙහිදී අමාත්‍යවරයා සැරවී ඇතැයි වාර්තා වෙයි. මෙම සිදුවීමෙන් පසුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගනිමින් එම එස්පීසී වැඩේත් වෛද්‍ය සැපයුම් අංශයට භාර දී ඇත. දැන් වෛද්‍ය සැපයුම් අංශයේ ඉහළ නිළධාරීන්ට සිදුවී ඇත්තේ වැලිකඩ කූරු ගනින්නය. දැන්වත් රාජ්‍ය සේවකයන් තමන් කරන රාජකාරිය පිළිබඳව දෙවරක් සිතිය යුතුය.

හදිස්සි මිලදී ගැනීම්

ඉන්පසුව රෝගීන් මරණය වෙත යවා මුදල් හම්බ කරන සෙල්ලම ආරම්භ වී ඇත. ඒ හදිස්සි මිල දී ගැනීම් නැමති වහන්තරාවට මුවා වෙමින් ස්පෙෂල් පාත්වේ නම් මාර්ගයක් මවමින් ය. එහිදී බෙහෙතක් ගෙන්වන විට ක්‍රියාත්මක වෙන ඖෂධ නියාමන අධිකාරියේ සාමාන්‍ය ක්‍රියාවලිය ප්‍රධාන විධායක වෛද්‍ය විජිත් ගුණසේකර මහතා තමන්ගේ යටතට ගෙන ඇත.

ඒ අනුව එයාම ඉල්ලා එයාම අනුමැතිය දෙන ස්පෙෂල් පාත්වේ නම් අරුම මොඩලයක් එන්එම්ආර්ඒ තුළ ක්‍රියාත්මක වී ඇත. 2022 සැප්තැම්බර් 16 වෙනි දින අධ්‍යක්ෂ මණ්ඩල තීරණය මත මෙම ක්‍රමය ක්‍රියාත්මක කර ඇති අතර මෙහිදී සිද්ධවී ඇත්තේ ප්‍රධාන විධායක නිලධාරියාගේ අනුමැතිය මත ඖෂධ ගෙන්වීමේ සමාගම් ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපි නිකුත් කිරීමය. මෙහිදී ඖෂධ නියාමන අධිකාරිය ඊට ප්‍රථම නියාමනය සඳහා සලකා බලන සියලු මිනුම් දඬු බැහැර කර ඇත. පුද්ගලික අභිමතය පමණක් ක්‍රියාත්මක වී ඇත. මෙම ක්‍රමය යටතේ ලියාපදිංචියෙන් නිදහස් කිරීම සඳහා 2022-2023 ජූනි අතර කාලයේ ලිපි 287ක් නිකුත් කර ඇත.

ඉන්දියානු ආධාර බොරුව

බෙහෙත් ඉන්දියානු ණය ආධාර යටතේ මිලදී ගන්නවා යැයි කියමින් අමාත්‍ය මණ්ඩලයද මෙහිදී රවටා ඇති බව පෙනෙයි. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල 2021 අගෝස්තු 16 දින සෞඛ්‍ය අමාත්‍යවරයා සේ පත්වීමෙන් අනතුරුව 2022 සැප් 26 දිනැතිව අංක 22/1523/610/018 දරන අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් රජයේ සෞඛ්‍ය ආයතනවල පවතින උග්‍ර වෛද්‍ය සැපයුම් හිඟය මඟහරවා ගැනීමත්, අඛණ්ඩ වෛද්‍ය සැපයුම් සේවාවක් පවත්වා ගැනීමටත් යැයි කියමින් ඉන්දීය ණය අරමුදල් වසර අවසන් වනවිට අවලංගු වෙන බවටත් ඊට පෙර එය භාවිත කළ යුතු බවටත් ප්‍රකාශ කරමින්, පුද්ගලික අංශයේ නියෝජිතයන්ට වෛද්‍ය සැපයුම් ආනයනය සඳහා අවසර ලබාදීමට ද ඒ අනුව එම පුද්ගලික ආයතන හරහා මාස තුනකට ප්‍රමාණවත් ඖෂධ තොග ඉන්දීය ණය යෝජනා අරමුදල භාවිත කරමින් ලබාගන්නට ද අවසර ඉල්ලා ඇත. එම යෝජනාවට 2022 ඔක්තෝබර් 03 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇත.

මේ අතර කාලයේ ඉන්දියාවේ සැවොරයිට් ෆාමසියුටිකල් නම් සමාගමක් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත 2022 ඔක්තෝම්බර් 21 සහ 28 යන දින දෙක තුළ ලිපි යොමුකර තිබුණ අතර ඒ අනුව එමගින් සමාගම සතුව පවතින ඖෂධ අයිතම 38ක අතිරික්ත තොග මිලදී ගැනීමට යෝජනා කර ඇත. මේ පිළිබඳව කෙහෙළිය රඹුක්වැල්ල 2022 ඔක්තෝබර් 25 නැවතත් අමාත්‍ය මණ්ඩල සංදේශයක් (22/1523/610/024) ඉදිරිපත් කර ඇත. එහි සඳහන් කර ඇත්තේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් වෛද්‍ය සැපයුම් ආනයනය සඳහා සැලකිය යුතු කාලසීමාවක් ගතවෙන බැවින් සහ වෛද්‍ය සැපයුම් අංශය සතුව තිබෙන තොග අවදානම් මට්ටමක පවතින බැවින්, ඖෂධ 151ක තොග ශූන්‍ය මට්ටමක පවතින නිසා ඉදිරි සති 03ක කාල සීමාව තුළ ශල්‍යාගාරවල ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම අක්‍රිය වෙනු ඇති බවය.

මෙසේ අවධාරණය කරමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය සහ අනෙකුත් අරමුදල් ක්‍රම භාවිත කර දින 45ක් ඇතුළත ශ්‍රී ලංකාව වෙත මාස 03ක කාලයක් සඳහා ප්‍රමාණවත් වෛද්‍ය සැපයීම් තොග ලබාදීම සඳහා ඉන්දියාවේ ගුජරාට්හි සැවොරයිට් ෆාමසියුටිකල් නම් සමාගම එකඟතාව පළකර ඇති බවය. එසේ කියමින් මෙම අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මාස 03ක කාලයක් සඳහා ප්‍රමාණවත් ඖෂධ තොග, මෙම ආයතනයෙන් සහ තවත් ආයතනවලින් ලබාගන්නට අවසර ඉල්ලා ඇත.

ඉන්පසුව 2022 නොවැම්බර් 14 රැස්වූ අමාත්‍ය මණ්ඩලය මුදල් අමාත්‍යවරයාගේ නිරීක්ෂණවලට අනුව කටයුතු කිරීමට යටත්ව මෙම සංදේශයෙන් ඉදිරිපත් කරනු ලබන යෝජනා සඳහා අනුමැතිය ලබාදී ඇත. එහෙත් 2022 නොවැම්බර් 01 දිනැති ලිපියක් මගින් වෛද්‍ය සැපයීම් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂකට සහ සියලු සහකාර අධ්‍යක්ෂවරුන්ට දන්වා ඇත්තේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලද බවය.

ඉන්පසුව 2022 දෙසැම්බර් 05 වෙනි දින නැවතත් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩල සටහනක් (22/1993/610/024-1) ඉදිරිපත් කරමින් ඉන්දියාවේ කෞසික් තෙරපියුටික්ස් යන ආයතනයට මාස තුනකට සරිලන ඖෂධ තොග ආනයනය කරන්නට අවසර ලබාදෙන්න යැයි ඉල්ලා ඇත. එදිනම එයට අනුමැතිය ලබාදී ඇත.  ඒ අනුව 2022 දෙසැම්බර් 01 වෙනි දින සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමග පැවති රැස්වීමකදී ලබාදුන් උපදෙස්වලට අනුව ඉහත සමාගමෙන් ඖෂධ අයිතම 28ක් මිලදී ගැනීමට එවක වෛද්‍ය සැපයීම් අධ්‍යක්ෂ තනතුරේ රාජකාරි ආවරණය කළ නියෝජ්‍ය අධ්‍යක්ෂ විසින් වෛද්‍ය කාර්ය මණ්ඩලය වෙත උපදෙස් ලබාදී ඇත. මෙහිදී වැදගත් කරුණක් සඳහන් කළ යුතුව ඇත. එනම් දැනට බන්ධනාගාර ගතකර සිටින වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මෙම තීන්දු තීරණ ගන්නා කාලයේ දිවයිනේ සිට නැති බවය. එහෙත් දැන් ඔහුටද කට්ට කන්නට සිදුව ඇත. මේවා රාජ්‍ය සේවයේ ඉහළ නිළධාරීන්ට හොඳ පාඩම් ය.

අපි වෙනුවෙන් නේද? මේ හදිස්සිය

ඉන්දියානු ණය ආධාර මත ගෙන්වනවා යැයි කියමින් දේශීය අරමුදල් මත යැපුනු ඖෂධ ජාවාරම මෙසේ සක්‍රිය වෙන පසුබිම තුළ ඉන්දියානු ණය ආධාර ක්‍රමයේ ඉතිරි අරමුදල් භාවිත කරමින් හදිසි ප්‍රසම්පාදන ලෙස වෛද්‍ය සැපයුම් ආනයනය කිරීමට පුද්ගලික අංශයේ ආනයන නියෝජිතයන්ට අවසර ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල 2022 සැප්තැම්බර් 26 දින තවත් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇත. එම සංදේශයට ඔක්තෝබර් 03 දින අනුමැතිය ලැබීමට දින 11කට ප්‍රථම වෛද්‍ය සැපයීම් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අමතන ඖෂධ, සැපයීම් හා නියාමන අංශයේ අතිරේක ලේකම්වරයා SM/PSRP/01/MSD/2021 දරන ලිපිය 2022 සැප්තැම්බර් 22 දින ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත යොමුකරමින්, ඉන්දියානු ණය ආධාර ක්‍රමය භාවිත කරමින් පුද්ගලික සැපයුම්කරුවන්ගෙන් හදිසි මිලදී ගැනීම් සිදුකිරීමටත් මාසයකට වඩා අඩු කාලයකදී තොග මට්ටම් පවතින ඖෂධ සඳහා මාස 03ක කාලයකට ප්‍රමාණවත් පරිදි ඇණවුම් ඉදිරිපත් කරන්නට දැනුම් දී තිබී ඇත. මෙයින් පෙනෙන්නේ කැබිනට් එකට යන්නටත් පෙර යාන්ත්‍රණය ක්‍රියාත්මක වී ඇති බවය.

අතිරේක ලේකම්වරයාගේ මෙම ලිපිය ලද 2022 සැප්තැම්බර් 23 දිනම වෛද්‍ය සැපයුම් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එදිනම මෙම ලිපියට සටහන් යොදමින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට ඇණවුම් ඉදිරිපත් කිරීමට දැනුම් දී ඇත. ඒ අනුව ඊට දින තුනකට පසුව එනම් සැප්තැම්බර් 26 වැනි දිනයේදී වෛද්‍ය සැපයීම් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙත රුපියල් 4,150,108,653ක් වටිනා ඖෂධ අයිතම 182ක් සඳහා ‘වී‘ කේතය යටතේ මාස 03ක කාලයක් සඳහා ඇණවුම් ඉදිරිපත් කර ඇත. රාජ්‍ය සේවාවේ මෙතරම් කාර්යක්ෂමතාවක් මීට පෙර ඔබ දැක තිබේද?

පැරිෂුට් ලේකම්

මෙහි නිතර නම සඳහන් අතිරේක ලේකම්වරයා වෙන කිසිවෙකු නොව කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට පත් කළ සමන් රත්නායක මහතා ය.  ඖෂධ අයිතම 182ක් සඳහා ඖෂධ නීතිගත සංස්ථාව වෙත රුපියල් බිලියන 04ක් වටිනා ඇණවුම් ඉදිරිපත් කර දිනකට පසුව 2022 සැප්තැම්බර් 27 දින ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන අංශයේ අතිරේක ලේකම්වරයා විසින් සෞඛ්‍ය ලේකම්වරයා වෙත ඉදිරිපත් කරන අභ්‍යන්තර සටහනක් මගින්  ‘2022 සැප්තැම්බර් 22 දින ඉන්දියානු ණය ආධාර භාවිතයෙන් මාස 03ක් සඳහා වැදගත් සහ අත්‍යවශ්‍ය ඖෂධ ආනයනය කර සැපයීමට අදාළව සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ඖෂධ සැපයුම්කරුවන් අතර පැවති රැස්වීමේ තීරණයකට අනුව’ යැයි සඳහන් කරමින් මෙම ඖෂධ ගෙන්වීමට අභිලාෂ කැඳවීමේ ලේඛනයන් සකස් කර එම අභිලාෂ කැඳවීම් වෙබ් අඩවි තුළ පළ කර ඇත. මෙහිදී අතිරේක ලේකම්වරයා විසින් ලංසු විවෘත කිරීමේ කමිටු සහ සෞඛ්‍ය ලේකම්වරයා විසින් ඇගයීම් කමිටු පත් කර 2022 ඔක්තෝබර් 03 දින ලංසු විවෘත කිරීම ද සිදුකර ඇත.

මෙහිදී තවත් අනාවරණය වෙන වැදගත් කරුණක් වන්නේ, වැදගත් සහ අත්‍යවශ්‍ය ඖෂධ ආනයනය කිරීමට ඉන්දියානු ආධාර භාවිත කරන බවට අමාත්‍ය මණ්ඩලයට කරුණු දැක්වූවත් ගෙන්වන්නට යෝජනා ඉදිරිපත් කළ ඖෂධ අතර Everolimus/ Gentamicin Sulphate inj/ Cefuroxime inj  වැනි අත්‍යවශ්‍ය නොවන ගණයේ ඖෂධ වර්ගයන් ද පැවතී ඇති බවය.

මෙම ඖෂධ ඇගයීම සඳහා සෞඛ්‍ය ලේකම්වරයා නිකන් බොරුවට වාගේ පස් දෙනෙකුගෙන් සමන්විත ඇගයීම් කමිටුවක් පත් කර තිබී ඇති අතර එහි ප්‍රසම්පාදන අංශයේ ප්‍රධානියා සේ කටයුතු කළ සමන් රත්නායක මහතාද සිට ඇත. මෙහි පිළිකා ඖෂධ වැනි විශේෂිත ඖෂධ ඇගයීම සඳහා සුදුසුකම් තිබෙන කිසිවෙකු සිට නැත. පිළිකා ඖෂධ පිළිබඳ දැනුවත් පුද්ගලයෙකු මෙහි සිටියා නම් රිටොක්සිමැප් නම් ඖෂධය ගෙන්වීමේ ප්‍රයත්නය වැළකෙන්නට ඉඩ තිබුණි. බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ වන විට තත්ත්වය මේකය.

මේ ඖෂධ ගෙන්වීම වෙනුවෙන් ලංසු ඉදිරිපත් කළ බොහෝමයක් සැපයුම්කරුවන්ට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වලංගු සහතික තිබී නැත. එසේ නොමැති සමාගම් ටෙන්ඩර් ඉදිරිපත් කිරීම සඳහා දිරිගන්වා ඇති අතර ඔවුන්ට ඇණවුම් ලබාදීමේ අරමුණෙන්ම, ඖෂධ නියාමන අධිකාරිය නිකුත් කරනු ලබන ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ සහතිකය නිකුත් කිරීමේ පිළිගත් ක්‍රමවේදයෙන් බැහැරව කටයුතු කර ඇත. ඒ සඳහා ස්පෙෂල් පාත්වේ නම් ක්‍රමයක් සකසාගෙන ඇත.

එකම සමාගමෙන් ලංසු ගොඩක්

මේ සියලු මගඩි ක්‍රමයන් බලාත්මක කරමින් යන අතරතුර රුපියල් බිලියන 6.9ක් වටිනා ඖෂධ ඇනවුම් 158ක් ගෙන්වීම සමාගම් 21ක් අතර බෙදා දී තිබුණි. එම සමහර සමාගම් එකම සමාගම් ජාලයකට අයත් සමාගම් ය. එයින් පෙනෙන්නේ එකම සමාගම් ජාලය වෙන වෙනස් ලංසු ඉදිරිපත් කර ඇති බව නොවේද?

මෙතරම් හදිසියක් සහ ඖෂධ හිඟයක් ගැන අමාත්‍ය මණ්ඩලයට බොරු අඟවමින් ඉන්දියානු ණය ආධාර බොරුවද ප්‍රකාශ කරමින් 2022 නොවැම්බර් මසයේ මෙම හදිසි ඖෂධ ඇණවුම් ලබාදුන්නත් එයින් 2023 අප්‍රේල් 24 දක්වා ලැබී ඇත්තේ ඖෂධ අයිතම 22කට අදාළ තොග පමණි. ඖෂධ අයිතම 136කට අදාළව 2023 අප්‍රේල් 24 දක්වාම තොග ලැබී නැත. මෙයින් පෙනෙන්නේ කෙහෙළිය රඹුක්වැල්ල මහතා අමාත්‍ය මණ්ඩලයට අඟවා ඇති ඖෂධ හිඟය බොරුවක් බවද?

මෙම සිදුවීම දෙස බලන විට පෙනෙන්නේ රාජ්‍යය කුණුවී ඇති ප්‍රමානයයි. අසරණ රෝගීන්ගේ ජීවිත බිල්ලට දෙමින් සහකම්පනයකින් තොරව යම් යම් පුද්ගලයන් එකතුව විශාල වංචාවක් මතින් මුදල් තමන්ගේ සාක්කුවට අනීතිකව දමාගෙන ඇත. රාජ්‍යයේ නීතිය ඇස් වසාගෙන සිට ඇත. දැන් වුණත් නීතියේ පාලනය පවත්වාගෙන යාමට සිටින ප්‍රධාන ආයතන දෙකම මෙම සිදුවීම අදාළ පරීක්ෂණ ක්‍රියාවලිය තුළ කටයුතු සිදුකරමින් සිටින්නේ නොන්ඩි ගසමින් ය. කොරවක්කන් සේ යමින් රටක් ගොඩගත නොහැකිය. රටක් නිවැරදි මාර්ගයට හැරවිය නොහැකිය. රටක නීතියේ පාලනය නිසි සේ ස්ථාපනය කරන්නට නම් උඩ සිට පහළට සැමට එක සේ නීතිය ක්‍රියාත්මක කළ යුතුය. අනෙක් පැත්තෙන් මහජන නියෝජිතයෝ රාජ්‍යයට පුරවැසියාට වගකිව යුතුය. වගවියයුතුය.