You are currently viewing මැද තීරුවට නායකත්වය දෙන්නේ කවුද?

මැද තීරුවට නායකත්වය දෙන්නේ කවුද?

-කේ. සංජීව-

පසුගිය 18 වෙනිදා පැවති කැබිනට් රැස්වීම අවසානයේ තමන් මීළඟ ජනාධිපතිවරණය සඳහා තරඟ වැදීමට අදහස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබුණි. එම කැබිනට් හමුවෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ එලබෙන ජනවාරි මාසයේ සිට ජනපති සටනට අදාළ ප්‍රචාරක වැඩපිළිවෙල ආරම්භ කරන බවයි. ඒ සඳහා පොහොට්ටුවේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත. මේ අනුව දැන් අනුර කුමාර දිසානායක මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය සඳහා සටනට බැස ඇත.  

වර්තමානයේ රටේ තිබෙන ප්‍රධාන ප්‍රශ්නය කඩාවැටුණ ආර්ථිකය නඟාසිටුවන්නේ කෙසේද යන්නයි. ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙල අපි සියලු දෙනාටම පැහැදිලිය. උග්‍ර අයිඑම්එෆ් වැළඳ ගැනීමක් හරහා ඔහු රට ගළවා ගැනීමට උත්සාහ දරමින් සිටියි. 2022 වර්ෂයට අදාළ ආණ්ඩුවේ ආදායම්වලට වඩා 2025 වර්ෂය වනවිට ආණ්ඩුවේ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 6.5% කින් වැඩි කරගැනීමට අන්තර් ජාතික මූල්‍ය අරමුදල රජයට උපදෙස් ලබාදී ඇත.

මෙය බැලූ බැල්මට වසර තුනක් තුළ සාර්ථක කරගන්නට අපහසු ඉලක්කයක් ය. ආසන්න වශයෙන් රුපියල් බිලියන 2000 කට අධික ප්‍රමාණයක් අලුතින් එකතුකරගත යුතුය. වැට් බදු වැඩි කිරීම වැනි බදු සංශෝධනයන් හරහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෙම අසීරු ඉලක්කය හඹායමින් සිටියි. වැට් බදු වැඩි කිරීම හරහා රජය බිලියන 600 කට අධික ප්‍රමාණයක් එකතු කර ගැනීමට බලාපොරොත්තු වුණත් මෙම බදු වැඩි කිරීම හරහා පුරවැසියා තවතවත් පීඩනය සහ අසහනය දෙසට තල්ලුකර ඇත. ඊට අමතරව රාජ්‍ය ආයතනයන් පුද්ගලික අංශයට විකුණා දැමීමේ වැඩපිළිවෙලද මේවනවිට ආරම්භ වී ඇත. විදුලි බල මණ්ඩල පනත් කෙටුම්පත දෙස අවධානයෙන් බැලූවිට රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ද අපට තේරුන් ගැනීමට අපහසු නැත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රශ්නය, දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පති බවට පත් කිරීම, වැනි සිදුවීම් දෙස බලනවිට වංචාව, දූෂණය පිටුදැකීම සම්බන්ධයෙන් සහ නීතියේ පාලනය රටතුළ ස්ථාපනය කිරීම පිළිබඳ ප්‍රශ්නයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ හැසිරීම අපට පෙනෙයි. ඒ අනුව අයිඑම්එෆ් වැඩපිළිවෙල රටතුළ සාර්ථකව ක්‍රියාත්මක වුණත් මිනිසුන් බදු ගෙවමින් විශාල කැපවීමක් ඒ වෙනුවෙන් කළත් රට ගොඩ ඒවියැයි සිතිය නොහැකිය. එයින් රබර් බෝලය ටික කාලයකට දිය යට සැඟව යනු ඇත. එහෙත් නැවත එය දිය මතුපිටට පැමිණෙනු ඇත.
එනිසා රට හැදීම අවුරුදු 5කින් පස්සට දමා කා බී නටා ගයා බදුත් ගෙවා අමාරු ජීවිතයක් අවුරුදු පහක් අස්සේ නඩත්තු කරන්නට ආසා ජනතාවට රනිල් වික්‍රමසිංහ මහතා නැවත ජනාධිපති කළ හැකිය. ඒ අනුව ඔහු වල්මත් වූ ආන්තික දකුණක් නියෝජනය කරනු ඇත.

මෙයට ප්‍රතිපක්ෂව අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත් කළා යැයි සිතමු. කුමක් විය හැකිද? රට තුල සිටින විශාල පුරවැසියන් ප්‍රමානයක් මෙවර ජනාධිපතිවරණයේදී උනුත් එකයි මුනුත් එකයි කියමින් හෝ උන් සේරම යාළුවෝ මල්ලී කියමින් අනුර කුමාර දිසානායක මහතා දිනවීම සඳහා කතිරය ගසනු ඇත. බදු බර වැඩි වනවිට විදුලි බිල වැඩි වනවිට ජීවිතය තව තවත් දුෂ්කර වනවිට මෙම වෛරයේ කතිර ප්‍රමානය තව තවත් ඉහළ යනු නියතය. සමහරවිට එය රැල්ලක් සේ පැමිණ සුනාමියක් සේ අවසන් විය හැකිය.

එලෙස අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති බවට පත් වුව හොත් ඔහු අයිඑම්එෆ් වැඩසටහන අවසන් කරනු ඇතිද? පුද්ගලීකරණ වැඩ පිළිවෙලට කුමක් කරනු ඇතිද? ඉන්දු චීන ආතති රේඛාවේ ඔහු කොතන ස්ථානගත වෙනු ඇතිද? ඔහුගේ රට ගළවා ගැනීමේ වැඩපිළිවෙල කුමක්ද? සමහර අවස්ථාවන් තුළ ඔහුගේ කතා තුළින් සහ ජවිපේ පසුගිය කාලයේ ප්‍රතිපත්ති ප්‍රකාශන දෙස අවධානයෙන් බලන්නෙකුට පෙනෙනු ඇත්තේ රට ගළවා ගැණීම සඳහා ඔහු වාමාංශික වැඩපිළිවෙලක් ක්‍රියාවේ යොදවනු ඇති බවය. කුමන වැඩපිළිවෙලක් ක්‍රියාවේ යෙදෙව්වත් නූතන වියට්නාමය සහ වැනිසියුලාව අතර එහි ප්‍රථිපලය දෝළනය වෙනු ඇත.

මෙම වල්මත් වූ දක්ෂිණාංශයට සහ ආන්තික වාමාංසයට වැටුණු මාර්ග දෙක වෙනුවට තුන්වෙනි මඟක් නැතිද? මෙම මර්ග දෙක පිළිබඳව කිසිඳු විශ්වාසයක් නැති මැද තීරුවක විශාල ජනතාවක් සිටියි. ඔවුන් රට ගොඩනැගීම සඳහා වාමාංශයේ සමහර හොඳ දේවල් මෙන්ම දක්ෂිණාංශයේ හොඳ දේවල් ද එකවිට අවශ්‍ය බව තේරුන් ගෙන ඇත. අයිඑම්එෆ් වැඩපිළිවෙල රට තුළ ක්‍රියාත්මක කරන ගමන්ම වංචාවට සහ දූෂණයට තිත තැබීමේ උග්‍ර වැඩපිළිවෙලක් ද රට තුළ එක විට සමාන්තරව ක්‍රියාත්මක විය යුතු බව එම ජනතාව විශ්වාස කරයි.

මිනිස් ජීවිතය අවුලෙන් අවුලට ගෙනයන බදු ප්‍රතිසංස්කරණ වැනි දේවල් නැතිව අයිඑම්එෆ් සමග සාකච්ඡාවන් කරමින් ජනතාවත් බේරාගෙන රටත් ගොඩදාන ක්‍රමයක් තිබෙන බව මෙම ජනතාව තේරුන් ගෙන ඇත. ඔවුන් එම මාර්ගය විශ්වාස කරයි. මොන දේ කළත් නීතියේ පාලනය රට තුළ නිසි ලෙස ස්ථාපනය නොකර කිසි දෙයක් සාර්ථක නොවෙන බව මෙම මැද තීරුවේ ජනතාව විශ්වාස කරයි. නවීනත්වයත් ප්‍රජාතන්ත්‍රවාදයත් මානව නිදහසත් එකවිට සාක්ෂාත් කරගන්නට හීන දකින මෙම මැද තීරුවේ ජනතාවට නායකත්වය දෙන්නේ කවුද? ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට සහ අනුර කුමාර දිසානායක මහතාට විකල්පව නැඟී සිටින නායකයා කවුද? මේ ප්‍රශ්නයට ඉක්මන් උත්තරයක් මැද තීරුවේ ජනතාව බලාපොරොත්තු වෙනවාට කිසිඳු සැකයක් නැත..