You are currently viewing නැවේ වන්දිය දේශීයව ලැබුණේ කොහොමද?

නැවේ වන්දිය දේශීයව ලැබුණේ කොහොමද?

-කේ. සංජීව-

ලංකාවේ සිදුවන්නේ හරි අපූර්ව දේවල් ය. මන්ත්‍රීවරුන් වී පාපැදියෙන් පාර්ලිමේන්තු එන පුද්ගලයින් අවුරුදු පහක් අවසන විසල් මන්දිර හිමිකරුවන් බවට පත්වෙයි. පාපැදියෙන් කොළඹ ඇවිත් ගමට යන්නේ රේන්ජ් රෝවරයෙන් ය. මේවා මෙහෙම සිදුවන්නේ කොහොමද? අපි කවුරුත් එහෙම සිතන බවක් පෙනෙන්නට නැත. මේ ළඟදී දිනෙක ඩුබායි හි පැවති ලෝක සමුළුවක් අවසන එහි ගිය මේ ලියුම්කරුගේ මිත්‍රයෙක් ලියුම්කරු අමතා ප්‍රකාශ කළේ එම සමුළුවට ලංකාවෙන් ගොස් සිටි  ඉහළ දේශපාලන චරිතයක් එම සමුළුව අතරතුර නතරවී සිටියේ ඩුබායි හි පිහිටි තමන්ගේම සුපිරි නිවසේ බවයි. කොහෙන්ද මෙහෙම ගෙවල් ගන්න සල්ලී එය මගේ පැනය විය. පිළිතුර ‘දේශපාලනය’ යන්න යි.

මේ පිළිබඳව මෙසේ සිතමින් අනිද්දා පුවත්පත කියවමින් ඉන්නා එක සති අන්තයක එම පුවත්පතේ එක්ස්ප්‍රස් පර්ල් නෞකා වන්දිය පිළිබඳව විගණකාධිපති වාර්තාවක් උපුටමින් හරි අපූර්ව ලිපියක් පළවී තිබුණි. විගණකාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 2022 වාර්ෂික වාර්තාවේ අධිකරණ අමාත්‍යාංශය යටතේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දි සම්බන්ධයෙන් කරතිබෙන සඳහන මෙසේ උපුටා ගත හැකිය. එහි සිරස ‘වන්දි මුදල් ඇමරිකානු ඩොලර්වලින් ලබා නොගෙන දේශීය මුදලින් ලබා ගැනීම’ යන්න ය.

එහි මෙසේ සඳහන් බව පුවත්පත වාර්තා කරයි – ‘ගිනිගෙන තිබූ MV X-Press Pearl  නෞකාව නිසා මුහුදු පද්ධතියට වෙරළ හා ගොඩබිම් පද්ධතියට ධීවර ප්‍රජාවට සිදු වූ හානිය ප්‍රතිපූර්ණය සඳහා නීතිමය පියවර ගැනීමට ඕස්ටේලියානු නීතිඥ සමාගමකට රු. මිලියන 77ක් ගෙවා තිබුණි. මෙලෙස ඉහළ මිලක් ගෙවා ජාත්‍යන්තර නීතිඥ සමාගමක සේවය ලබාගෙන තිබුණද, වන්දි මුදල ඇමරිකානු ඩොලර්වලින්ම ලබා නොගෙන රු. මිලියන 912ක වටිනාකමකින් යුත් වන්දි මුදලක් අභ්‍යන්තර ප්‍රේෂණය වශයෙන් භාර ගැනීම විගණනයේදී ගැටලු සහගත විය.’

මෙය විගණකාධිපතිවරයාට මෙන්ම අපටද ගැටලුවක් ය. ඒ පසුගිය කාලයේ මේ නැව සහ වන්දිය සම්බන්ධයෙන් මහජන පරිමණ්ඩලය තුළට සංසරණය වුණ තොරතුරු සමුදාය නිසා ය. විගණකාධිපතිවරයා මෙසේ සඳහන් කරන අමාත්‍යාංශයේ අමාත්‍යවරයා වන්නේ විජේදාස රාජපක්ෂ මහතා ය. ඔහු මෙම නැව් අනතුරින් පසුව ඇතිවූ වන්දි යුද්ධය ගැන නොයේක් ආන්දෝළනාත්මක කතා පාර්ලිමේන්තුව තුළ කියනවා, අපි අසාගෙන සිටියෙමු. ඔහු එහිදී එක වරෙක හඬ නැඟුවේ කවුරුන් හෝ නැවේ රක්ෂණකරුගෙන් ඇමරිකානු ඩොලර් මිලියන 250ක අල්ලස් ලබාගෙන ඇති බවය. ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන්න යැයි ඔහු යටතේ ඇති නීතිපති දෙපාර්තමේන්තුවට මෙන්ම අමාත්‍ය ටිරාන් අලස් යටතේ ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද උපදෙස් දුන් බව අපි ඔහුගෙන්ම අසා දැනගතිමු. එහෙත් එම පරීක්ෂණ වලට කුමක් සිදුවුණාද කියන්න දන්නේ ඔහුම පමණි. අපිට නම් ඒ පිළිබඳව උකුනු පස්සක් තරමේ තොරතුරක් නැත.

මේ නෞකා වන්දි ඝෝෂාව අතරේ නෞකා අනතුරේ වන්දිය ලබා ගැනීම සඳහා ලංකාව නඩු පැවරිය යුතු අවසන් දිනය වෙනතුරු එය ඇදි ඇදී ගිය බව අපි දනිමු. අවසානයේ දේශීය වශයෙන් නඩු නොපවරා ඕස්ටේලියානු නීතිඥ සමාගමකට රු. මිලියන 77ක් ගෙවාදමනින් සිංගප්පූරුවේ මෙම නඩුව පවරන්නට කටයුතු කළ බවට තොරතුරු වාර්තා විය. මෙම සිංගප්පූරු නඩු පැවරීමට හේතුව කුමක්ද යන්න පිළිබඳව වූ සංවාදයේ දී මතුව ආවේ ශ්‍රී ලංකාවේ විශේෂඥ කණ්ඩායම ඇස්තමේන්තුගත කර තිබූ හානි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 6.4ක මුදලට වඩා අඩු මුදලකට වන්දිය සීමා කරගැනීම සඳහා යම් යම් දේශපාලන බලාධිකාරයේ ඉහළුන්ට තිබුණ උවමනාව නිසා මෙම නඩුව ලංකාවේ නොපවරා සිංගප්පූරුවේ පැවරූ බවය.

මේ අතර නෞකා වන්දිය අඩු කරගැනීම සඳහා රක්ෂණකරුවන් එංගලන්තයේ නඩු පවරන්නට කටයුතු කළ අතර එම නඩුවටද ලංකාව නිසි අයුරින් නිසි වේලාවට මැදිහත් වුණේ නැත. අවසානයේ නෞකාවේ හිමිකරුවන් හා රක්ෂණකරුවන් ඉල්ලා තිබුණ වන්දියේ සීමාව පිළිගනිමින් එංගලන්ත අධිකරණය මෙම වන්දිය බ්‍ර්තාන්‍ය පවුම් මිලියන 19.2කට සීමා කර ඇත. දැන් ඔබට සිදුව ඇති දේ තේරෙනවා ඇතැයි සිතමින් මේ ලියුම්කරු ප්‍රශ්න කරන්නේ, මේ සිදුවීම් දාමය උඩ මෙම දේශීයව වන්දිය ගෙවීමේ සිදුවීම තැබුව හොත් කුමක් පෙනේද යන්නයි.

මේ නැවේ හිමිකරු ලංකාවේ පුද්ගලයෙක් නොවෙන පසුබිමක, මේ නැවේ රක්ෂණකරුවන් ලංකාවේ නොවෙන පසුබිමක, මෙම ගෙවීම අභ්‍යන්තරව ලැබුණේ කෙසේද? එය එසේ වන්නට නම් මේ කියන විදෙස් පාර්ශවයන් මෙම මුදල් කවුරු හෝ දේශීය එජන්තයෙක්ට එවා තිබෙන්නට ඕනෑය. එහෙම එවා ඇත්නම් ඒ පුද්ගලයා කවුද? සමාගමක් නම් එම සමාගම කුමක්ද? වහාම සොයා බලා පුරවැසියන් දැනුවත් කරන්නට ආදාළ අංශ කටයුතු කළ යුතුය. ඩේසි ආච්චිගේ මැණික් මල්ල වගේ සිදුවීමක් මේ තුළ සිදුවිය නොහැකිය. කළු සල්ලි සුදු කිරීමක් මේ තුළ සිදුවිය නොහැකිය. එනිසා රාජ්‍ය මේ පිළිබඳව වහාම සොයාබලා විනිවිදභාවයකින් කටයුතු කළ යුතුය.