You are currently viewing හොඳම දේ දරුවන්ට දෙන්න කතාකරන රටක දර්ශාන්ගේ මරණය

හොඳම දේ දරුවන්ට දෙන්න කතාකරන රටක දර්ශාන්ගේ මරණය

-කේ. සංජීව-

‘පුතාගේ නම කාර්තකේසු නාරායන ආනන්ද දේව දර්ශාන්. මගේ පුතා ළමා නිවාසේ මැරිලා ඉන්නවා කියලා දැනගත්ත ගමන් මම නිවාසෙට ගියා. මම යනකොට දරුවා සෙල් එකේ බිම වැටිලා හිටියා. සොකෝ නිලධාරීන් හතරවටේ පොටෝ ගහගහා හිටියා විතරයි. ඒ වෙලාවේ කවුරු හරි ඥාතීන් ඉන්නවා නම් ඇවිත් දරුවාගේ සිරුර පැදුරෙන් දාන්න කිව්වා. කවුරුත් එන්න එපා කියලා මම ගියා. මම ගිහිං අල්ලලා දාන වෙලාවේ දරුවාගෙ කකුලේ ලොකු තුවාල තිබුණා මම දැක්කා. මම කෑගැහුවා තුවාල තියෙනවා ඇවිත් බලන්න කියලා, එතකොට තමයි එළියට ගිය සොකෝ එකේ නිලධාරීන් ඇවිත් බැලුවේ.

මම කියනකම් කවුරුත් මේක ගණන් ගත්තේ නෑ. කකුලේ තුවාල බෙල්ලේ තුවාල තිබුණා. ඒ තුවාල කූඹි කාලා තිබුණා, ඒත් පොලීසියේ නිලධාරීන් ළමා නිවාසේ නිලධාරීන් කවුරුත් මේක ගණන් අරගෙන තිබුණේ නෑ. ත්‍රිකුණාමලයේ පුලේන්ද්‍රන් පුලේසී කියන කාන්තාව (වයස 28යි) ඇය තමයි මගේ දරුවාට මේ අපරාදේ කරලා තියෙන්නේ. එතන හිටපු අය එක එක කතා කිව්වා. පුතාට පිස්සු කිව්වා. පොලීසියේ කසුන් කියලා මහත්තයෙක් හිටියේ. මම කිව්වා කකුලේ කොන්දේ තුවාල තියෙනවා සර්, තුවාල කූඹිත් කාලා සර්, මේක බලන්න කියලා. එතකොට සර් කිව්වා එහෙනම් මේක මරණ පරීක්ෂණයට අම්පාරට යවන්නම් කියලා.

අම්පාරේ පෝස්මෝටම් එකෙන් පස්සේ, සර් මට කාමරේට එන්න කියලා කිව්වා, ඇත්ත කතාව ගහලා මරලා කියලා. ඊට පස්සේ මගේ පුතාගේ මිනිය මට භාරගන්න කිව්වා. ළමා ආරක්ෂණේ කවුරුත් හිටියේ නෑ. අපි ගැන මොකවත් බැලුවේ නෑ. ඊට පස්සේ දවස් පහක් තියන්න ඕනෑ කියලා සමගි මල් ශාලාවට දීලා එම්බාම් කරලා අම්පාරේ ඉඳලා මම මඩකලපුවට මිනිය ගෙනාවා. රජයෙන් කියලා කිසිම දෙයක් නෑ. පස්සේ තුන්වෙනිදා හවස භූමදාන කළා. ළමා ආරක්ෂණ අධිකාරියේ ශිවකුමාර්, ෆීල්ඩ් ඔෆිෂර් වධරාජන්, මඩකලපුවට ඉන්න කෙනා චන්ද්‍රකාන්තන් මේ කවුරුත් ආවේ නෑ. (ආනන්ද දේවගේ උච්චාරණය අනුව) කෝල් කළා කිසි කෙනෙක් පෝන් ඉස්සුවේ නෑ. හරි රජයෙන් වැරැද්දක් වුණා කියමු, ඒත් ඇවිත් කතාකරන්න ඕනෑ නේද? කිසිම කෙනෙක් ආවේ නෑ, කතාකරන්නවත්. මගේ දරුවට කොසුමිටකින්, විකට් පොලුවලින් සහ යකඩ පොල්ලකින් ගහලා තියෙනවා කියලා තමයි මට දැනගන්න ලැබුණේ.’

මඩකලපුව කොකුවිල් ප්‍රදේශයේ පදිංචි කාර්තේසු නාරායන් ආනන්ද දේව පසුගිය දෙසැම්බර් 08 දා බොහෝදුර ගෙවා කොළඹ පැමිණියේ මෙම කතාව ඔබට කියන්නට ය. රාජ්‍යයේ මැදිහත් වීමෙන් මරාදමනු ලැබූ තම 14 වයස් දරුවා ගැන හඬ නඟන්නය. යුක්තිය සාධාරණය දුප්පතුන් වන තමන්ට සහ තම පවුලට දුරස්ථබව කියන්නටය. යුක්තිය ඉල්ලා සාධාරණත්වය ඉල්ලා මාධ්‍ය අවධානය ලබන්නට ය. බලවතුන්ට ධනවතුන්ට දෛනිකව නීතිය නැමෙන රටක මේ කතාව පුරවැසි ඔබ යම්තාක් දුරක් ඇදගෙන දුවනු ලැබුවහොත් යුක්තිය ඉටුවෙනු ඇත. නැත්තං මේ ඝාතනයත් ළමා නිවාසයක රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවූ තවත් මිනීමැරුමක් පමණක් වෙනු ඇත.

පසුගිය දෙසැම්බර් 13 දා මෙම ලියුම්කරු පරිවාස හා ළමා රක්ෂණ අධිකාරියේ ඉහළම නිළධාරියෙකු අමතා මේ පිළිබඳව කරුණු විමසුවේය. එහිදී ඔහු ප්‍රකාශ කළේ මෙම සිද්ධියට සම්බන්ධ කල්මුණේ ස්ලාමාබාද් ළමා නිවාසයේ, සිදුවීමට සම්බන්ධ යැයි කියන සේවිකාවගේ සේවය මේ වන විට අත්හිටුවා ඇති බවය. ඊට අමතරව ඇය රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් එම නිලධාරියා ප්‍රකාශ කළේය. ඔහු එහිදී ප්‍රකාශ කළේ නැගෙනහිර පළාත තුළ පිහිටි ළමා නිවාස තුළින් මෙවැනි පහරදීම් දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට සාපේක්ෂව වැඩි වශයෙන් වාර්තා වෙන බවය. අඩු හෝ වැඩි කුමක් වුණත් ලංකාවේ ළමා නිවාස තුළ තවමත් දරුවන් බරපතළ ලෙස ලිංගික අපයෝජනවලට වධහිංසා පැමිණවීම්වලට පමණක් නොව දූෂණ සහ ඝාතනවලට පවා ලක්වෙන බවට මෙම සිදුවීම හොඳම නිදර්ශනයක් ය.

ගණ දෙවියන්ගේ සල්ලි බලේ

මඩකලපුව යනු දුප්පතුන් වැඩියෙන් ජීවත්වෙන ප්‍රදේශයක් ය. මෙම ආර්ථික අර්බුදයත් සමග යුද්ධයට පසුව යාන්තම් හිස එසවූ මඩකලපුව නැවත කබලෙන් ළිපට වැටී ඇත. පශ්චාත් යුද කිලිනොච්චිය, මුලතිව් මෙන්ම මඩකලපුවේ දරුවන්ද ළමා ශ්‍රමිකයන් විදිහට තම පවුල්වලට ආර්ථික ශක්තියක් වෙමින් තිබෙන්නේ විශාල පරිමාණවය. ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් පිහිටුවා තිබෙන ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ඒ පිළිබඳව දන්නවාද කියන්නට අප දන්නේ නැත. නීතියට අනුවම යම් යම් රැකියා අවස්ථා කිරීමට ළමුන්ට ඉඩ හළ යුතු බවට යම් සංවාදයක් ද පසුගිය කාලයේ සමාජයේ පැවතුණි. ඒ එමගින් ළමුන්ගේ පාසල් ගමන නතරවීම වැළැක්වීම සඳහාය. එහෙත් අදාළ ආයතනයන් සාධනීයව එම සංවාද වෙත පිවිසියේ නැත.

ආනන්ද දේවගේ කතාවට අනුව පිරිමි දරුවන් තුන් දෙනෙක් සහ ගැහැනු දරුවන් දෙදෙනෙකු ලෙස ඔහුට දරුවන් පස් දෙනෙකි. ඔහු රැකියාව කරන්නේ ගල් කොරියකය. එයින් උපදවන සල්ලිය ලෙවකන්නවත් මදිය. බිරිඳ අසනීපයෙන් ය. මේ හේතුව නිසාම ආනන්ද දේවගේ දරුශාන් හයේ පන්තියෙන් පස්සේ පාසල් යන්නේ නැත. මේ දාහතර අවුරුදු වයස් පොඩි එකා ඉන්පසුව ආනන්ද දේවගේ පවුලට ශක්තියක් වෙන්නට කියා වැඩට යන්නේ දෙවියන් ළඟටය.

ගෙදරට එහායින් කිලෝමීටරයක් විතර දුරින් පිහිටි මඩකලපුව කොකුවිල් පත්තිනි දේවාලය මේ කුඩා පිරිමියාගේ දෛනික රැකියා ස්ථානය වෙන අතර ඊට යාබදව තිබෙන තවත් දෙවොලකින් මාරයා පැමිණ ඇත. දරුශාන් රැකියාව කරන පත්තිනි කෝවිලට ටිකක් එහායින් ගණ දෙවි කෝවිලක් ඇත. පසුගිය නොවැම්බර් 16 දවසේ මේ කෝවිලේ පූසාරියා කියන්නේ, තමන් දෙවියන් යදින්න හොලවන සීනුව සහ කපුරු ඔබන පිත්තල භාජනය කවුරු හෝ සොරකම් කර ඇති බවය.

අවසානයේ මේ සොරකමේ චෝදනාව බැරවෙන්නේ මේ දරුවාට සහ ඔහු වැඩකළ කෝවිලේ පූසාරියාට ය.  ඒ අනුව මේ දෙදෙනා කොකුවිල් පොලීසිය විසින් නොවැම්බර් 16 දා අත්අඩංගුවට ගෙන ඇත. එහෙත් පොලීසිය කියන්නේ තමන් අත්අඩංගුවට නොගත් බවය. අනෙක් කෝවිලේ පිරිස මොවුන් ගෙනත් දුන් බවය. කතාව මෙහෙම ප්‍රබන්ධකරණය වුණත් ආනන්ද දේව කියන්නේ තම දරුවාගේ අතට සහ පූසාරියාගේ අතට එක විට එකම මාංචු කූට්ටම දමා රඳවන්න පොලීසිය කටයුතු කර ඇති බවය.

බාල වයස්කරුවෙක් සොරකමකට චෝදනා ලැබූ පමණින් මෙසේ අත්අඩංගුවට ගෙන රඳවන්න පුළුවන්ද? ඒ සඳහා තිබෙන ක්‍රමවේදය කුමක්ද? සෑම පොලීසියකම දරුවන්ට අදාළ රාජකාරියේ යොදවන්නට ළමා ආරක්ෂණ අධිකාරියට අනුයුක්ත පොලිස් නිලධාරීන් යොදවා සිටින්නේ කුමකටද? පොලිස් දෙපාර්තමේන්තුව මේ පිළිබඳව අදහස් දැක්විය යුතුය.

මඩකලපුව කොකුවිල් පොලීසිය පැත්තෙන් ඇසෙන කතාවට අනුව නම් කොකුවිල් පොලීසියද පත්තිනි දෙවියන් අතහැර ගණ දෙවියන් සරණ ගිය පොලීසියක් ය. සෙනසුරු දසාව පැමිණි විට ගණදෙවියන්ද බටකොළ කාපු බව කොකුවිල් පොලීසියේ ඕඅයිසී මහතා දන්නේ නැති වෙන්නට පුළුවන් ය. කෙසේ හෝ ගණදෙවි බලය සහ අනුහස නිසා ගණදෙවියන්ගේ සොලවන සීනුව වෙනුවෙන් මේ කුඩා දරුවා සහ පූසාරියා මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්නට පොලීසිය කටයුතු කර ඇත. එය නීතිය බව කාටවුණත් කිව හැකිය. එහෙත් ඕනෑම විදිහකට නීතිය නැවෙන නවන රටේ මේ දරුවා මරු කටට යැවුණේ ගණ දෙවි කෝවිලේ සල්ලි බලය නිසා බව ඇසෙන කතාවය.

දිගින් දිගටම වධහිංසනය

මෙම දෙවියන්ගේ සීනුව නිසා නොවැමබර් 17 දවසේ උසාවි යන්නට වෙන මේ කුඩා දරුවාට මඩකලපුව මහේස්ත්‍රාත් නියෝගයෙන් ඊළඟට යන්නට සිදුවන්නේ ළමා නිවාසයටය. මේ දරුවා පරිවාස සහ ළමා රක්ෂක දෙපාර්මේන්තුවේ රඳවන්න යැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කරන්නට ඇත්තේ, දරුවා පාසල් නොයන නිසා වන්නට පුළුවන් ය. අඩු වයසින් රැකියාවකට යන නිසා වන්නටත් පුළුවන් ය. දරුවාට මෙතනින් මතු හෝ හොඳ ජීවිතයක් උරුම කිරීම මහේස්ත්‍රාත්වරයාගේ අරමුණ සහ බලාපොරොත්තුව වන්නට ඇත. එහෙත් අවසානයේ රජයේ භාරයට පත් වෙන දරුවා ගිහිං අතාරින්නේ මරු තුරුලකටය.

දැනගන්නට තිබෙන ලෙස කල්මුණේ ස්ලාමාබාද් ළමා නිවාසය දරුවන්ට සාමාන්‍යයෙන් හිරිහැර කරන තැනක් ය. හිංසනය මුදාහැර බයකර දරුවන් යහමඟට ගන්නට පුළුවන් කියා සිතන පාලකයින් සිටින තැනක් ය. කොහොමත් බොහෝමයක් ළමා නිවාසවල තත්ත්වය මෙයම බව කිවයුතුය. ස්ලාමාබාද් පාලිකාව පොඩ්ඩක් සීමාව ඉක්මවා කටයුතු කර ඇති බව ළමා ආරක්ෂණ අධිකාරිය දැන් සිතනවා වන්නට බැරි නැත. නෝ ගුටි කියලා සමාජයේ නවීන මතයක් තිබුණත් මෙම නිවෙස්න තුළ වැඩකරන පාලකයින් තවමත් හිතන්නේ හැදිගාන හොද්ද රස බවය. ස්ලාමාබාද් ළමා නිවාසයේ සේවිකාව කොසු මිටෙන් හොද්ද හැදිගා රස මදිවේයැයි සිතා විකට් කූරකින්ද හැඳිගා ඇත. දැන් ඇය කූරු ගනිමින් වුවත් හිතනවා ඇත්තේ බලයෙන් සහ නිලධාරීවාදයෙන් මේ ගැටලුවට විසඳුමක් සොයාගෙන නීතියෙන් පැන කිසිදෙයක් සිදුනොවුණ ගානට නැවත සමාජයට එන්නට ය.

මෙම දරුවා මියගොස් සිටි ස්ථානය පරීක්ෂා කළ සොකෝ නිලධාරීන්ගේ චර්යාව කියන්නේ එසේ නීතිය නැවිය හැකි බවය. ගුටි කා තැලුම් සීරුම් වෙව්ලුම් සමගින් නින්දට ගිය මේ අසරණ දරුවා රැයක් පුරා මාරයා සමග සටන් කරන්නට ඇත. එහෙත් කිසිවෙක් මේ ළමා නිවාසයේ සේවකයින් එයට සංවේදී වී නැත. ගොළු දරුවෙක් නොවෙන මෙම දරුවාට මේසා දරුණු අන්දමින් පහර දෙන විට වළක්වන්නට එකෙක් සිට නැත. අනෙක් පැත්තෙන් තුවාල සීරීම්වල රාත්‍රියට තෙල් අතුරන්නට හෝ සහකම්පනයක් තියෙන එකෙක් මේ ළමා නිවාසයේ සිට නැත. අප කතාවට කියන්නේ දරුවන් මල් වගේ කියා ය. මල් වතු බලාගන්නට යක්ෂයන් යක්ෂණියන් යොදාගෙන ඇතිබව දර්ශාන්ගේ කතාවය. එනිසා මේ ඝාතනය රාජ්‍යයේ ඝාතනයක් සේ සඳහන් කළාට අසාධාරණයක් නැත.

මෙම දරුවාගේ ඝාතනයට, මෙම දරුවා මඩකලපුව උසාවියෙන් තම භාරයට ගත් මඩකලපුව පරිවාස සහ ළමාරක්ෂණ අධිකාරියේ දිස්ත්‍රික් භාර නිලධාරියා වන සිවකුමාරන් වගකිව යුතුය. අනෙක් පැත්තෙන් මෙම දරුවාට දරුණු ලෙස පහරදුන් දිනයේදී සහ ඊට පසු දා මෙම ළමා නිවාසයේ රාජකාරි කළ සියලු රාජ්‍ය නිලධාරීන් මේ දරුවාගේ මරණයට වගකිව යුතුය. ඔවුන් සියල්ලන්ම මේ ඝාතනයට දැනුවත්ව හෝ නොදැනුවත්ව අනුබලය සහ අනුග්‍රහය ලබාදී ඇත. එනිසා මේ සියලු නිළධාරීන්ට නීතිය තදින් ක්‍රියාත්මක විය යුතුය. තවමත් අත්අඩංගුවට ගෙන සිටින්නේ මෙම පහරදීම සිදුකළා යැයි කියන සේවිකාව පමණය. මේ අනුව කල්මුණේ ස්ලාමාබාද් ළමා නිවාසයේ ප්‍රධාන පාලිකාව ඇතුළු සියල්ලන්ටම විරුද්ධව මේ මනුෂ්‍ය ඝාතනයට අදාළව නීතිය ක්‍රියාත්මක විය යුතුය.