You are currently viewing එපා වාහෙට හොදි බෙදීමේ ආරක්ෂාව සහ ශානි අබේසේකර ගේ ජීවිතය…!!

එපා වාහෙට හොදි බෙදීමේ ආරක්ෂාව සහ ශානි අබේසේකර ගේ ජීවිතය…!!

-කේ. සංජීව-

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර රිය අනතුරකට ලක්කොට ඝාතනය කිරීම සඳහා කිසියම් පාර්ශවයක් විසින් කුමන්ත්‍රණයක් දියත්කර ඇතැයි බුද්ධි අංශ මඟින් තොරතුරු හෙළිකර ඇතිබව පසුගිය දෙසැම්බර් 4දා නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය. එය ශානි අබේසේකර මහතා ඝාතනය කිරීම සඳහා කිසියම් පිරිසක් කුමන්ත්‍රණයක සිටින බවට රාජ්‍යය පිළිගත්තා වැනි ප්‍රකාශයක් ය. රජයේ නීතිපතිවරයාට තමා යටතේ සිටින නිළධාරියෙක් හරහා මෙම ප්‍රකාශය කරන්නට සිදුවුණේ ඇයි?

තමන්ට  ජීවිත තර්ජනයක් ඇති බවද එනිසා තමන්ට ලබාදෙමින් තිබුණ ආරක්ෂාව නැවත ලබාදෙන්නයැයි පොලිස්පතිවරයා ප්‍රමුඛ වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශානි අබේසේකර අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ රිට් පෙත්සමක් පසුගිය දෙසැම්බර් 04 දා විභාගයට ගත් අවස්ථාවේ ඉහත මරණ තර්ජනය පිළිබඳව අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා යි.

ඉලංගකෝන් බලහත්කාරයෙන් දුන් ආරක්ෂාව..

ශානි අබේසේකර මහතා 2015 අගෝස්තු මාසයේ දවසක එවක පොලිස්පති එන්.කේ ඉලංගකෝන් පොලිස් මූලස්ථානයේ තම කාර්‍යාලයට කැඳවා ප්‍රකාශ කරන්නේ, ඔහුට මර්ණ තර්ජනයක් ඇතිබවට සඳහන් එන්අයිබී වාර්තාවක් තමන්හට ලැබී ඇති බවය. එනිසා කැටවලමුල්ල පොලිස් ක්වාටස්වලට යන්නට සූදානම් වන ලෙසය. එහෙත් ශානි අබේසේකර එම අවස්ථාවේ තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවන් පැමිණේයැයි ප්‍රකාශ කරමින් එවක පොලිස්පතිවරයාගේ එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇත.

 එවක පොලිස්පතිවරයාගේ කැඳවීමෙන් එම ස්ථානයට ඒ වේලාවේ පැමිණ ඇති එවක විශේෂ කාර්‍යබලකායේ අණදෙන නිළධාරියා සේ කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරා ඉහත සඳහන් බුද්ධි අංශ වාර්තාව කියවා ප්‍රකාශ කර ඇත්තේ එම ලියවිල්ලට අනුව ශානි අබේසේකරගේ ආරක්ෂාව සඳහා බැකප් රථයක් පමණක් ප්‍රමානවත් නැති බවයි.  ඔහු ජීවත්වෙන නිවසටද ආරක්ෂාව දියයුතු බව ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.

තට්ටු නිවාසයක ජීවත්වෙන ශානි අබේසේකර එම අවස්ථාවේදීම එම යෝජනතාව ප්‍රතික්ෂේප කර එම ප්‍රතික්ෂේපයට හේතු දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ තමන් ජීවත්වෙන නිවාස පද්ධතිය වෙත පොලිස් ආරක්ෂාව ලබාදෙන්නට කටයුතු කළහොත්, එය අසල්වැසියන්ට කරදරයක් වනු ඇති බවය.

එවක පොලිස්පතිවරයා එම කරුණු සියල්ල සලකා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සකසා ඇත. ඒ අනුව අවසානයේ විශේෂ කාර්‍ය බලකායේ බුද්ධි නිළධාරීන් පස්දෙනෙක්, ජීප් රථ දෙකක් සහ යතුරු පැදියක් ශානි අබේසේකරගේ ආරක්ෂාව සඳහා යොදවා ඇත.

එහෙත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම ධුරයට පත්වූ වහාම තම ප්‍රථම රාජකාරිය ලෙස එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සේ කටයුතු කළ මෙම කෘතහස්ත රාජ්‍ය සේවකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයේ සිට දකුණු පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර ලෙස මාරුකර හැරීම කළේය.

2019 නොවැම්බර් 11 දා ක්‍රියාත්මක වූ එවක ජනාධිපතිවරයාගේ මෙම තීරණය සමග ශානි අබේසේකරගේ ආරක්ෂාව ඉවත් කරන අතර ඉන්පසුව බොරු චෝදනා එල්ලකරමින් 2020 ජනවාරි 07 දින ශානි අබේසේකරගේ පොලිස් සේවය තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරනු ලබයි. 

මෙම සේවය අත්හිටුවීම සඳහා රංජන් රාමනායකගේ හඬපට සිදුවීම යොදාගත්තද පසුව පොලීසිය විසින්ම ඒ පිළිබඳව කළ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ එම හඬපට ස්ථාන බොහෝ ගණනකින් කපා පූට්ටුකර ශානි අබේසේකර මහතා කොටුකරගැනීමේ අරමුණෙන්ම සංස්කරණය කර ඇති බවය. ඒ අනුව ඒ ඔස්සේ ශානී අබේසේකරහට චෝදනා එල්ලකළ නොහැකි බවද එම විමර්ෂන කණ්ඩායමේ මතය වී ඇත.

විශේෂ අංකයකින් ඇමතුමක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2020 ජනවාරි 07 දා ශානි අබේසේකරගේ පොලිස් සේවය අත්හිටවූ පසුව එදිනම රාත්‍රී 11.23ට ශානි අබේසේකරගේ පුද්ගලික ජංගම දූරකථනයට 501 විශේෂ දූරකථන අංකයකින් ඇමතුමක් පැමිණෙන අතර එම ඇමතුම ඔස්සේ ශානිව අමතන නන්නාඳුනන පුද්ගලයෙක් ඔහුට මරණ තර්ජනයන් සිදුකර ඇත.

‘අපි බලාගෙන හිටියේ උබ රණවිරුවන්ට කරපු දේ. දැන් උබට මේ වෙච්ච දේ ගැන අපිට තියෙන්නේ පුදුම සන්තෝෂයක්. දැනගනින් පරයා තොට යහතින් ඉන්න දෙන්නේ නෑ. අපි තොට දැන්ම මොකවත් කරන්නේ නෑ. තොගේ ගෑනියි දරුවෝ දෙන්නයි මරලා, තොගේ කරපිටින් ඒ මිනීතුන ඇදලා තමයි තොට වැඩේ දෙන්නේ’ 

මෙසේ  මරණ තර්ජනයන් එල්ල කළ මෙම විශේෂ දූරකථන ඇමතුම සහ ඊට අදාළ අංකය පිළිබඳව ශානි අබේසේකර මහතා 2021 ජනවාරි 08 දා පෝද්දල පොලීසියට, එවක පොලිස්පති සීඩී වික්‍රමරත්න සහ මානවහිමිකම් කොමිසමට ලිඛිතව පැමිණිලි සිදුකර ඇත.

මෙහිදී මානවහිමිකම් කොමිෂන් සභාව තමන් වෙත පැමිණි මෙම පැමිණිල්ල අපරාධයක, වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වු ජාතික අධිකාරිය වෙත යොමුකර ඇත. එහි ප්‍රථිපලයක් ලෙස මේ පිළිබඳව සොයා බලන එම අධිකාරිය එම දිනයේදී පැය 23.23ට 501 නම් සුවිශේෂ දූරකථන අංකයක් වෙතින් ශානි අබේසේකරගේ ජංගම දූරකථනය වෙත ඇමතුමක් ලැබී ඇතැයි තහවුරු කරගෙන ඇත. 

ඉන්පසුව මෙම අංකය කාට නිකුත් කළ අංකයක් දැයි සොයාගන්නට දූරකථන නියාමන කොමිසම (ටීආර්සී) වෙත දැනුන් දුන්නත් තවමත් එම අංකය පිළිබඳ වැඩි විස්තරයක් නැත. මෙයින් පෙනෙන්නේ කුමක්ද? මෙවැනි නම්බර් නිකුත් කරනු ලබන්නේ සුවිශේෂ ආයතනයන් සහ පුද්ගලයන් වෙනුවෙන් ය. එහෙත් තවමත් ඒ පිළිබඳව තොරතුරු සොයාගන්නට නොහැකිවී ඇත. ඇත්තටම මෙතන තිබෙන්නේ නොහැකියාවද එසේත් නැත්තං ඉහළ අණක් යටතේ නොසොයා ඉන්නවාද යන්නයි.

මෙම සිදුවීමෙන් පසුව අපරාධයක, වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සදහා වු ජාතික අධිකාරිය ශානි අබේසේකර හට පවතින තර්ජනයන් පිළිබඳව තර්ජන තක්සේරු වාර්තාවක් කැඳවන අතර එම වාර්තාවෙන් පසුව එවක පොලිස්පති සීඩී වික්‍රමරත්න වෙත වාර්තාවක් යොමුකරමින් එම අධිකාරිය අවධාරණය කර ඇත්තේ ශානි අබේසේකරගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් සුදුසු ආරක්ෂාවක් ලබාදෙන ලෙසය. 

එම ඉල්ලීම එවක පොලිස්පතිවරයා විසින් බස්නාහිර පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමුකර ඇත. ඒ බොරැල්ල පොලිස් ස්ථානය වෙතින් හෝ වෙනත් බස්නාහිර පළාතේ පොලිස් ස්ථානයක් වෙතින් ශානි අබේසේකර වෙත ආරක්ෂාව ලබාදෙන්න යැයි කියමින් ය. එහෙත් එවක බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වර්තමනයේ වැඩබලන පොලිස්පතිවරයා මෙම ආරක්ෂාව ලබාදීම නොයේක් හේතු දක්වමින් ප්‍රමාද කර ඇත.

නොන්ඩිගහන ආරක්ෂාව

‘2015 අංක 04 දරණ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත’ යටතේ එම අධිකාරිය කරනු ලබන යම් නියම කිරීමක් ඉටු කිරීම යම් රාජ්‍ය නිළධාරියෙක් පැහැරහරී නම් එම ක්‍රියාව අධිකරණයට එරෙහිව සිදුකරනු ලැබූ අපහාසයක් සේ සැලකා එම අධිකාරියට එම තැනැත්තාට විරුද්ධව ක්‍රියාමර්ග ගත හැකිය. එහෙත් එම අධිකාරියේ සභාපති ජනාධිපති නීතීඥ සුහද ගම්ලත් මහතා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට හෝ පොලිස්පතිවරයාට විරුද්ධව එම ක්‍රියාමාර්ගය ගෙන නැත.

මෙම තත්ත්වය මත තමන්ට සුදුසු ආරක්ෂාවක් ලබාදෙන්න යැයි නියෝගයක් ලබාගැනීම සඳහා ශානි අබේසේකර   430/2021 රිට් පෙත්සමක් ගොනුකර ඇත. එම රිට් පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගත් පසුගිය දෙසැම්බර් 04 දා නීතිපති දෙපාර්තමේන්තුව නව තර්ජන තක්සේරුව මෙසේ අධිකරණයට ඉදිරිපත් කරන විට ශානි අබේසේකර වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු අනාවරණය කරමින් ප්‍රකාශ කර ඇත්තේ පැරණි යතුරුපැදියක් හා පොලිස් නිලධාරීන් තුන්දෙනෙකු පමණක් ඔහුගේ ආරක්ෂාව සඳහා යොදවා ඇති බවය. පෙත්සම්කරුට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදෙන ලෙස වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය විසින් පොලිස්පති වෙත නියෝගයක් නිකුත් කර තිබුණත් එය මේ දක්වා ඉටුවී නොමැති බවත් ජනාධිපති නීතීඥවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත. 

වින්දිතයන් ආරක්ෂා කිරීමේ අධිකාරිය වෙතින් ලබාදී ඇති මෙම නව ආරක්ෂාව පිළිබඳව මෙම ලියුම්කරු සොයාබැලීමේදී අනාවරණය වුණේ කිලෝමීටර් පහක් පමණ නොනවත්වා ධාවනය වනවිට රත්වීම නිසා නතරවෙන යතුරු පැදියක් සහ පොලිස් නිළධාරීන් දෙදෙනෙක් ඔහු ගමනක් යනවිට ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති බවය. මෙය එපා වාහෙට හොදි බෙදීමේ ආරක්ෂාවක් නොවන්නේද?.

තත්ත්වය මෙය වුණත් කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කිරීම වෙනුවෙන් එලබෙන දෙසැම්බර් 14 වෙනිදා නැවත මෙම පෙත්සම කැඳවන්නට නියෝග නිකුත් කර ඇත. දැන් ලෙඩා මළත් බඩ සුද්දය.

ශානිට මෙහෙම වුණේ ඇයි?

කීර්තිමත් පොලිස් ඉතිහාසයකට උරුමකම් කියන ශානි අබේසේකර එකවරම වින්දිතයෙක් වුණේ ඇයි? සොයා බැලිය යුතුය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, සිය ධුරයට පැමිණි පසුව ‘දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම’ නමින් හරි අපූර්ව කොමිසමක් ස්ථාපනය කරන්නට කටයුතු කළේය. සමහරු මෙම කොමිසමට ‘පිස්සු පූසා කොමිසම’ නමින් නමක් ද පඨබැඳ තිබුණි. මෙම කොමිසම හරි අපූර්ව ආකාරයෙන් කටයුතු කරමින් ලෝක ඉතිහාසයේ පළමු වතාවට සමහර අපරාධ නඩු අධිකරණය තුළ විභාගයට ගනිමින් තිබෙන අවස්ථාවේම එහි විමර්ෂකයන්ට විරුද්ධව නඩු අසන්නට විය. ඒ අර අපරාධ නඩුවල චූදිතයන්ගේ පැමිණිලි මත ක්‍රියාකරමින් ය. මේ අනුව ශානි අබේසේකර මහතාටද මෙම කොමිසම හමුවේ පැමිණිලි 26ක් වෙනුවෙන් පෙනීසිටින්නට සිදුවී ඇත.

මෙම වාත කිරීමට අමතරව පොලිස් දෙපාර්තමේන්තුව ඇතුලෙන්ම සිදුවූ නිර්නාමික පෙත්සම් ගැහිල්ලේ ප්‍රතිපල ලෙස ශානි අබේසේකර ගෙන් පොලිස් විශේෂ ඒකකය නිර්නාමික පෙත්සම් 20කට වැඩි ප්‍රමානයක් පිළිබඳව කට උත්තර ලබාගෙන ඇත. 

මීට අවුරුදු 10කට ප්‍රථම මාතර මහාධිකරණයේ ටී56 වර්ගයේ ගිනි අවියක් සොයාගැනීම පිළිබඳ නඩුවකට අදාළව, ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීම, වැනි චෝදනා බොහෝ ප්‍රමානයක් පිළිබඳව නිර්නාමික පෙත්සම් ඒ අතර තිබී ඇත.

මේ කිසි දේකින් කොටු කර ගැනීමට නොහැකිවුණ තැන මොහොමඩ් සියාම් නම් ව්‍යාපාරිකයෙකු පැහැර ගෙන ගොස් ඝාතන කිරීමේ සිද්ධියට අදාළ නඩුවේදී හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු පිරිසට එරෙහිව ව්‍යාජ සාක්ෂි සැකසූ බවට චෝදනා කරමින් 2020 වසරේ ජුලි මස 31 වෙනිදා කොළඹ අපරාධ කොට්ඨාශය ශානි අබේසේකර අත්අඩංගුවට ගනු ලැබීය. මෙනිසා මාස 10යි දින 08ක් ශානි අබේසේකර හට බන්ධනාගාර ගතව සිටීමට සිදුවිය. මෙහිදී කොවිඩ් ආසාධනය වීම, හදවත් රෝගයක් ඇතිවීම වැනි බොහෝ දුෂ්කර තත්ත්වයන්ට මුහුණ දෙන්නට ඔහුට සිදුවිය. 

පසුව 2021 වසරේ ඔක්තෝම්බර් මස 16 වැනිදා අභියාචනාධිකරණයේ තීන්දුවක් අනුව ඇප නියම කරනු ලැබීය. පසුව නිතිපතිවරයා ලිඛිතව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබුණේ මෙම නඩුවේ සැකකරුවන් තිදෙනා නිදහස් කරන ලෙසය. ඒ නඩුව පවත්වාගෙන යාම සඳහා කිසිදු සාධාරණ සාක්ෂියක් හෝ හේතුවක් නැති නිසාය.

මෙහිදී අභියාචනාධිකරණය පෙන්වා දී තිබුණේ මෙම අත්අඩංගුවට ගැනීම අදාළ පැමිණිල්ල, චෝදනාවක් පවත්වාගෙන යන්නට ප්‍රමානවත් තරම් සාධාරණ සාක්ෂියක් හෝ කරුණක් නොමැතිව මිනීමැරුමකට වරදකාරයා වුණ පුද්ගලයෙකුගේ උවමනාව අනුව ඔහුගේ සහායකයන් එකතුව කුමන්ත්‍රනකාරී සිතුවිල්ලක් අනුව පසු අවස්ථාවක කරපු පැමිණිල්ලක් බව ‍ය. 

අභියාචනාධිකරණය එසේ කීවත් නීතිපතිවරයා මෙම සිදුවීමට අදාළ සැකකරුවන් නිදහස් කරන්න යැයි ප්‍රකාශ කරන තෙක් වාර 27ක් පමණ කට උත්තර ගැනීම සඳහා ශානි අබේසේකර කොළඹ අපරාධ කොට්ඨාශය වෙත ගෙන්වා ඇත. මේ සියලු දේවල් සිදුකර ඇත්තේ පළිගැනීමේ අරමුණෙන් බව පැහැදිලිය.

මෙම පළිගැනීම් ක්‍රියාවලිය මෙසේ යන අතර වයස සම්පූර්ණ වීම නිසා ශානි අබේසේකර පොලිස් සේවයෙන් විශ්‍රාම ගත් අතර එහෙත් ඔහුට විශ්‍රාම වැටුප් ලබාදෙන්නට බළධාරීන් කටයුතු කළේ නැත. ශානි අබේසේකර හට තමන්ට හිමි විශ්‍රාම වැටුප ලබාගන්නට නඩු මඟට බසින්නට සිදුවූ අතර AA 23/ 2021 NBC යන නඩුවේ ප්‍රතිපලයක් ලෙස මෑතකදී ඔහුට විශ්‍රාම වැටුප් හිමිකම ලැබී  ඇත.

පොලිස් නිළධාරීන්ට එල්ලවෙන ප්‍රධානම චෝදනා අතර පගා ගැහීම සහ සැකකරුවන්ට විරුද්ධව වධහිංසනය පැමිණවීම ප්‍රධානය. එහෙත් ශානි අබේසේකරට විරුද්ධව එවැනි කිසිදු පැමිණිල්ලක් නැත. ඔහුට චෝදනා එල්ලවන්නේ සීඅයිඩීය භාරයේ සිටි සැකකරුවන් හට හොඳින් සැලකීම පිළිබඳව ය.

අඟුලාන පොලිසියේ හිටපු ස්ථානාධිපති ටී ඩී. නිව්ටන් ඇතුලු තවත් පොලිස් නිළධාරීන් තිදෙනෙක් හට මරණ දණ්ඬනය හිමිවූ අඟුලාන ද්විත්ව ඝාතනය පිළිබඳ පරීක්ෂණ, හිටපු ජේෂඨ නියෝජ්‍ය පොලිස්පති වාස්ගුණවර්ධන හට මරණ දණ්ඬනය හිමිවූ මොහොමඩ් සියාම් ඝාතනය පිළිබඳ පරීක්ෂණය, අනුරාධපුර පොලිස් කොට්ඨාශයේ තිරප්පනේ පොලිස් වසමේ තිරප්පනේ තුරුවිල මාර්ගයේ සෙලෙස්තිමඩු කැලෑ පෙදෙසකදී ඝාතනයට ලක්වූ එස්.එෆ් බංඩාගේ එම ඝාතනය පිළිබඳ පරීක්ෂණය, ගාල්ල රත්ගම ප්‍රදේශයේ තරුණයන් දෙදෙනෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට අදාළ පරීක්ෂණ වැනි පොලිස් නිළධාරීන් චෝදනාවල ලක්වූ බොහෝ සීඅයිඩී පරීක්ෂණ මෙහෙයවීම නිසා පොලීසිය ඇතුලත උසස් පොලිස් නිළධාරීන් බොහෝ ප්‍රමානයක් ශානි අබේසේකර සමග සිටින්නේ අමනාපයෙන් ය. ඒ සියලු දේවල්වලට හේතුව, ශානි නීතිය හරියට තරාතිරම නොබලා ක්‍රියාවේ යෙදවීමය.

මරාදමන්නට අවශ්‍ය කාටද?

දැන් අප සොයා බැලිය යුත්තේ ඇත්තටම ශානි අබේසේකර මරාදමන්නට අවශ්‍ය වී ඇත්තේ කාටද යන්නයි. ඒ මන්ද නීතිපති දෙපාර්තමේන්තුව මරණ තර්ජනයන් පිළිබඳ කතාව අධිකරණය ඉදිරියේ දිගහැරියද ශානි අබේසේකර මරන්නට කුමන්ත්‍රනය කරන්නේ කවුද යන්න හෙළි නොකිරීම නිසා ය.

ශානි අබේසේකර හට පොලිස් සේවය තහනම් කළ දා රාත්‍රියේ දූරකථනයෙන් මරණ තර්ජනය කළ පුද්ගලයා කවුද යන්න තවමත් සොයාගෙන නැති පසුබිමක ඔහුට මරණ තර්ජනය එන්නේ කොහි සිටද යන්න පිළිබඳව සිතා බැලීමට කාට හෝ උවමනා නම් මේ ලියුම්කරුට ඒ සඳහා මෙසේ උපකාර කළ හැකිය.

ශානි අබේසේකරගේ මඟපෙන්වීම ඔස්සේ ක්‍රියාත්මක වූ සීඅයිඩීය, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ හැරගෙන ගොස් අතුරුදන් කිරීමට අදාළ සිදුවීම පිළිබඳ පරීක්ෂණ සිදුකර යුධ හමුදා බුද්ධි අංශයේ හිටපු ප්‍රධානියෙක් වන ෂම්මි කුමාරරත්න මහතා ඇතුලු බුද්ධි නිළධාරීන් 10 දෙනෙකුට පමණ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් (ට්‍රයල් ඇට් බාර්) ඉදිරියේ සහ හෝමාගම මහාධිකරණයේ නඩු පැවරන්නට කටයුතු කළේය. මෙය ශානි අබේසේකර මරා දමන්නට කුමන්ත්‍රනය කිරීම සඳහා හේතුවක්ද? අප දන්නේ නැත.

ළමයින් ඇතුලුව පුද්ගලයින් 11 දෙනෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිදුවීමකට අදාළව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුලු නාවික බුද්ධි නිළධාරීන් 14 දෙනෙකුට පමණ නඩු පවරා ඇත. රතුපස්වල වෙඩි තැබීමේ සිදුවීමට අදාළව යුද්ධ හමුදාවේ මේජර් ජනරාල්වරයෙක් ඇතුලු පිරිසකට ගම්පහා ට්‍රයල් ඇට් බාර් හි නඩු පැවරීමට කටයුතු කර ඇත. 

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධහිංසා පැමිණවීමට අදාළ සිදුවීමට එරෙහිව මේජර් ජනරාල් අමල් කරුණාසේන මහතා ඇතුලු යුද්ධ හමුදා බුද්ධි නිළධාරීන් 12 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇත. මේ සියලු පරීක්ෂණ සාර්ථකව මෙහෙයවා ඇත්තේ ශානි අබේසේකර මහතා වන අතර ඔහු මරාදමන්නට කුමන්ත්‍රනය කරන්නට මෙය හේතුවක් විය හැකිද? අප දන්නේ නැත.

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළව මේජර් ජනරාල් අමල් කරුණාසේන සහ තවත් උසස් බුද්ධි නිළධාරීන්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇත. රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට අදාළව නාවික හමුදා නිළධාරීන්ගෙන් ප්‍රශ්න කර ඇත. 

තවත් විමර්ෂන බොහෝ ප්‍රමානයක් අවසන් කර වාස් ගුණවර්ධන වැනි චූදිතයන් 30කට පමණ මරණ දඬුවමෙන් දඬුවම් කරන්නට අවශ්‍ය අපරාධ පරීක්ෂණ සාර්ථකව අවසන් කරන්නට නායකත්වය ලබාදී ඇත.

මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතා හට පහරදීම වධහිංසා පැමිණවීමට අදාළව වර්තමාන වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් කට උත්තර ලබාගෙන ඇත.

පාස්කු ප්‍රහාරයට ප්‍රථම සහ පසුව සිදුවුණේ කුමක්ද යන්න ශානි අබේසේකර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් SCFR 64/2022 හෙළි කිරීම, ආදී මේ සියලු දේවල් ශානි අබේසේකර මරාදමන්නට කුමන්ත්‍රනය කරන්නට තරම් හේතුවක් ද? අප දන්නේ නැත. අවශ්‍ය කෙනෙකුට අවශ්‍ය නම් මේ පිළිබඳව සොයා බැලිය හැකිය.

කෙසේ වුණත් කිව යුතුව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ පසුව තවමත් දිගින් දිගටම ශානි අබේසේකරට විරුද්ධව පළිගැනීම් මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් ඇති බවය. ඒ ඔහු පරීක්ෂණ ගණනාවක් සාර්ථකව ක්‍රියාත්මක කළ නිසා බවනම් පැහැදිලිය. වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේදීද තවමත් එම පළිගැනීම් ක්‍රියාවලිය සක්‍රීය මට්ටමක පවතින බව කිවයුතුය. 

තමන්ට සිදුවූ අසාධාරණයන්ට විරුද්ධව ශානි අබේසේකර විසින් මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් සහ වන්දි නඩු 15ක් පමණ ගොනු කර ඇත. පළිගැනීම් ක්‍රියාවලියට තවත් නීදර්ශනයන් අවශ්‍යද?…

නීතියේ පාලනය උපරීමයෙන් පවත්වාගෙන යාමට සහ නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස් නිළධාරීන් අවංකව කැපවීම මේ කාලයේ දුර්ලභ දෙයක් වන පසුබිමක ශානි අබේසේකර මහතාට විරුද්ධව සිදුවන මෙම පළිගැනීම් ක්‍රියාවලිය රාජ්‍යයට එහි නීතියේ පැවැත්මට විරුද්ධව සිදුවන ක්‍රියාවලියක් බව අප තේරුන් ගත යුතුය.