You are currently viewing ඉක්මන් පාර්ලිමේන්තු මැතිවරණයක් සහ දක්ෂිණාංශික දේශපාලනයේ අනාගත ඉරණම..!

ඉක්මන් පාර්ලිමේන්තු මැතිවරණයක් සහ දක්ෂිණාංශික දේශපාලනයේ අනාගත ඉරණම..!

කේ. සංජීව

දැනට තිබෙන තත්ත්වය අනුව සහ අවසන් බුද්ධි වාර්තාවන්ට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තිබෙන ජනතා කැමැත්ත එන්න එන්නම පහත යමින් තිබෙන බව වාර්තා වෙයි. නැඟඑන ආර්ථික ගැටලු, විදුලි බිල ඉහළ යාම, වැට් බදු සංශෝධනය සමග තවත් ඉහළ යාවියැයි සිතන බඩු මිල, වැනි තත්ත්වයන් නිසා ඉදිරි 2024 වර්ෂය තුළත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ජනතා ප්‍රසාදය ලැබෙන තත්ත්වයක් පෙනෙන්නට නැත. 

ජනතා වෛරය 

අනෙක් පැත්තෙන් ජනතා වෛරය තවදුරටත් ඉහළ යමින් තිබෙයි. ක්‍රිකට් අර්බුදය තුළ බහුතර ජනමතය සිටගත්තේ හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සමගය. ඒ ජනතා වෛරය වැඩකරන විදිහය. ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ප්‍රමුඛ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සමීපව වැඩකරණු ලබන බොහෝ දෙනෙක් පිළිබඳව ජනතා කැමැත්තක් නැත. 

මෙම තත්ත්වය තුළ  ජනාධිපතිවරණයක් පවත්වා එයට තරඟ කර ජයග්‍රහණය කිරීම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ලේසි නැත. ඒ අනුව ජනාධිපතිවරණයක් කැඳවීම සියතින් ගෙලසිඳ ගැනීමක් වැනිය. 

සමීප වළල්ලේ මතය

මෙම දේශපාලන වාතාවරණය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් සහ සමීප වළල්ලේ මතය වී ඇතැයි වාර්තා වාර්තා වන්නේ මුලින් පාර්ලිමේන්තු මැතිවරණයකට යායුතු බවය. එය නුවනැති දේශපාලන ගණන් හැදීමක් බව මගේ මතයයි. එයින් පළමුව ජනාධිපතිවරයාට තිබෙන ජනතා මනාපයේ ස්වරූපය දැනගැනීමට හැකිවනු ඇත. 

අනෙක් පැත්තෙන් පොහොට්ටු එජාප සන්ධානයක් හරහා හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර, වජිර අබේවර්ධන, සාගල රත්නායක, අඛිල විරාජ් කාරියවසම්, නවීන් දිසානායක, රවී කරුණානායක, සමන් රත්නප්‍රිය වැනි දැනට රනිල් වික්‍රමසිංහ මහතා සමග සිටින එජාප ප්‍රබලයන්ට පොහොට්ටු ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගොස් රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩයාමක් ලෙස පවතින්නට හැකිවෙනු ඇත. එමගින් ජනාධිපතිවරයාට දැනට තිබෙන බලය තව ටිකක් වැඩිවෙනු ඇතැයි ගණන් හැදිය හැකිය. මේ සරළ කාරණාවලට අමතරව තවත් සංක්‍රීර්ණ කරුණුකාරණා ගොන්නක් මේ තුළ තිබෙන බව මේ ලියුම්කරුට පෙනෙයි. ඒ මොනවාද? 

කවුද අගමැති…

මුලින් පාර්ලිමේන්තු මැතිවරණයක් තැබීම තුළ සිංහල ඡන්ද, කණ්ඩායම් තුනක් වෙත බෙදී යනු ඇත. දැනට පෙනෙන්නට තිබෙන දේශපාලන යථාර්ථයට අනුව ජාතික ජන බලවේගය එහි විශාල කොටසකට හිමිකම් කියනු ඇත. ඉතිරිය සමගි ජන බලවේගය සහ පොහොට්ටුව අතරේ බෙදී යනු ඇත. 

මෙම පොහොට්ටුවට ලැබෙන ජනතා මනාපයෙන් විශාල කොටසක් රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් පිරිස පාර්ලිමේන්තුට එවාගන්නට භාවිතා කරන්නට පුලුවන් ය. එය මුලින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමෙන් රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙන ප්‍රධානම වාසිය වනු ඇත. 

මේවනවිට සජබ මන්ත්‍රී කණ්ඩායමේ සිටිමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මලික් සමරවික්‍රම මහතා හරහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ගනුදෙනු කරමින් සිටින සජබ මන්ත්‍රීවරුන් ප්‍රමානය සැලකිය යුතු කණ්ඩායමක් බව ප්‍රකාශ වෙයි. ඔවුන් මුලින් ජනාධිපතිවරයාට සහාය දී ඔහු සමග එකතුවන්නට හිතුවත් එලබෙන පාර්ලිමේන්තු මැතිවරණයකදී, ජනතාව ඔවුන් ප්‍රතික්ෂේප කරාවිය යන බිය නිසා, ඔවුන් කෙළින්ම සහාය දෙන්නට තවමත් බය බව පෙනෙයි. 

එම කණ්ඩායමද මුලින් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වනවාට මනාප වනු ඇත. ඒ එම පාර්ලිමේන්තු මැතිවරණයෙන් සජබ හරහා පාර්ලිමේන්තු පැමිණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දෑත් ශක්තිමත් කරන්නට ඔහුගේ අලි-පොහොට්ටු  සන්ධානය වෙත එකතුවෙන්නට හැකිවනු ඇති නිසාය.

කවුද දක්ෂිණාංශයේ නායකයා?

මෙහි ඇති වැදගත්ම කාරණය මෙම පාර්ලිමේන්තු මැතිවරණයෙන් විශාල ආසන සංඛ්‍යාවක් රැගෙන පාර්ලිමේන්තු පැමිණෙනු ඇතැයි සිතිය හැකි ජවිපේ ප්‍රමුඛ ජාතික ජනබලවේගයට විරුද්ධව ආණ්ඩුවක් පිහිටුවන්නට නම් සජිත් ප්‍රේමදාස මහතාගේ සජබ කණ්ඩායමට මේ මැතිවරණයෙන් පසුව අලි-පොහොට්ටු සන්ධානය සමග එකතුවීමට සිදුවීමය. 

එය එසේ නොවුණහොත් කිසිවෙකුට බහුතරයේ ආණ්ඩුවක් පිහිටවීමට  නොහැකිවනු ඇත. එම තත්ත්වය රටතුළ විශාල දේශපාලන අස්ථාවරත්වයක් ඇති කරනු ඇත. එම අස්ථාවරත්වයේ වාසිය ද යන්නේ ජනාධිපතිවරයාට ය. 

එහිදී ඔහුට සජිත් ප්‍රේමදාස මහතාට අගමැතිවන්න යැයි ආරාධනා කරන්නට අවස්ථාව උදාවෙනු ඇත. එය ජනාධිපතිවරයාගේ සහ ඔහුට සමීප දේශපාලන වළල්ලේ අනාගතයට සුබවනු නියතය. මෙම අවස්ථාවේදී ද සජිත් ප්‍රේමදාස මහතා අගමැති ධුරය ප්‍රතික්ෂේප කළොත් රට අස්ථාවර වීම වළක්වන්නට යැයි කියමින් සජබේ සිටින රනිල් හිතවාදී මන්ත්‍රීවරුන්ට ඉබ්බා දියට දැම්මා සේ රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිහිනා යාමට අවස්ථාව උදාවෙනු ඇත. 

එය එසේ වුණහොත් ඒ හරහා ජනාධිපති වික්‍රමසිංහ මහතාට ජාතික ජන බලවේගයට විරුද්ධ දක්ෂිණාංශික කඳවුරේ කොඩිය කූඨ උපායමාර්ගක් හරහා උදුරාගන්නට හැකිවෙනු ඇත. එය ලංකාවේ ඉදිරි දශකයේ දේශපාලන හැඩය තීරණය කරන තත්ත්වයක් බවට පත්විය හැකිය. 

මෙම නව පාර්ලිමේන්තුව තුළ ජාතික ජන බලවේගයට විපක්ෂ නායකත්වය ලැබෙනු ඇත. ඒ අනුව පාර්ලිමේන්තුවේ විපක්ෂය බවට පත්වන (වාමාංශික) ජාතික ජන බලවේගයට විරුද්ධව (දක්ෂිණාංශික) ජන බලවේගයක් නිර්මානය කිරීමේ අවශ්‍යතාවයක් පැනනගිනු ඇත. 

එහිදී එම නව ජන බලවේගයට නායකත්වය දෙන්නේ කවුද? වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද? සජිත් ප්‍රේමදාස ද? පාඨලී චම්පික රණවකද? එම නායකයෙක් සෙවීමේ මොහොතේදී වර්තමාන විධායක ජනාධිපති යන කාරණය කිසිවෙකුට බැහැර කළ නොහැකි යථාර්ථයක් විය හැකිය.

එනිසා මෙම නව දේශපාලන තත්ත්වය තුළ දාම් ක්‍රීඩකයෙක් නොවී චෙස් ක්‍රීඩකයෙක් වන පුද්ගලයාට දකුණේ කොඩි ය අතට ගන්නට හැකියාව ලැබෙනු ඇත. යම් හෙයකින් රනිල් වික්‍රමසිංහ මහතා ඉක්මන් පාර්ලිමේන්තු මැතිවරණයකට ගියහොත් සජිත් ප්‍රේමදාස, පාඨලී චම්පික රණවක, ජී එල් පීරිස්, වැනි නායකයන් ගන්නා දේශපාලන තීන්දු තීරණ මත තවදුරටත් ලංකාවේ දේශපාලනය තුළ දක්ෂිණාංශය තවදුරටත් පවතිනවාද යන ඉරණම තීරණය වෙනු ඇත.