You are currently viewing පොලිස්පති ධුරය යනු කුමක්ද?

පොලිස්පති ධුරය යනු කුමක්ද?

කේ. සංජීව

පොලිස්පති ධුරය යනු කුමක්ද යන්න පිළිබඳව ප්‍රශස්ථ සාකච්ඡාවක් සඳහා හොඳම අවස්ථාව එළඹී ඇත. ඒ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත වැඩබලන පොලිස්පති ධුරය පිරිනමන්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කිරීම නිසාය. ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රමය දෙස බලන විට පොලීසියේ රාජකාරිය වන්නේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම මෙන්ම නීතියේ පාලනය සමාජය මත පවත්වාගෙන යාමය. සැමට සාධාරණව නීතිය ක්‍රියාත්මක කිරීම මෙන්ම පුරවැසියා නීතීන්වලට ගෞරවය දක්වමින් ජීවත්වෙනවාද යන්න නියාමනය කිරීම පොලීසියේ වගකීම වෙයි. අනෙක් පැත්තෙන් පුරවැසියාගේ සුරක්ෂිතතාවය ඔහුගේ පුද්ගලික සහ සමාජීය නිදහස තහවුරු කිරීමද පොලීසිය සතු වගකීමක් ය.

මෙවැනි වගකීම් සම්භාරයක් සහිත පොලීසියේ ප්‍රධානියා ලෙස පත්විය යුත්තේ කුමන වර්ගයේ පුද්ගලයෙක් ද යන්න කතිකාවක් සමාජය මත පැවතිය යුතුය. එයට හේතුව ලාංකේය සමාජය මෙන්න පොලීසිය ද ආයතනයක් ලෙස බිඳවැටී තිබෙන බැවින් ය. මෙන්න මේ තත්ත්වය තුළ වර්තමානයේ ලංකාවේ රාජ්‍යයකරණයේ ප්‍රධාන අවයවයක් වන පොලීසියට උරුමකර තිබෙන තත්ත්වය තුළ තබා දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පත්වීම දෙස බැලිය යුතුය.  

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබුණේ පසුගිය මාර්තු මස 25 වනදාය. එහෙත් ජනාධිපතිවරයා ඔහුට මාස 3ක සේවා දිගුවක් ලබාදෙන්නට කටයුතු කළ අතර එම සේවා දිගුව සේවා දිගු මාලයක් වූ අතර වාර්තා ගත හතරවෙනි සේවා දිගුවට පසුව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පති ලෙස මාස තුනක කාලයක් සඳහා පත් කරන්නට ජනාධිපතිවරයා කටයුතු කළේය.

මෙම නව පොලිස්පති ගැබ් කාලයේදී නව පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කළ යුතු බවට ජනාධිපතිවරයාට ඒත්තු ගැන්වීමට මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස්, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන වැනි විශාල පිරිසක් කටයුතු කර ඇත. එම උත්සාහයට සමගාමීව කාදිනල් හිමිපානන්, සිවිල් සංවිධාන සහ පුද්ගලයන් විශාල ප්‍රමාණයක් ඊට විරුද්ධව සිට ගනිමින් ඒ මහතා පොලිස්පති ධුරයට පත් නොකළ යුතුයැයි ජනාධිපතිවරයාට බලකර කියාසිටියහ. ඔහුහු එහිදී ප්‍රධාන වශයෙන් කීවෝ චෝදනා තිබෙන පුද්ගලයෙකු පොලිස්පති ධුරයට පත් කිරීමෙන් වළකින්නැයි යන්න ය. එම ඉල්ලීම් ඝෝෂාව නිසා ඒ මහතා පොලිස්පති කිරීම තාවකාලිකව හකුලා ගන්නට ආණ්ඩුවට සිදුවිය.

එහෙත් අවසානයේ පසුගිය 29 දා ඔහු වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත් කරන්නට ජනාධිපතිවරයා කටයුතු කරනු ලැබීය.

ඉතිහාසයේ ප්‍රථම වතාවට චෝදනා විශාල ප්‍රමාණයක් තිබෙන උසස් පොලිස් නිලධාරියෙකු මෙන්ම පසුගිය අරගලය අවස්ථාවේ ජනතා ප්‍රහාරයට ලක්වූ පොලිස් නිලධාරියෙකු වැඩබලන පොලිස්පතිවරයා බවට පත්වී ඇත. 1971 ඉපදුණු දේශබන්දු තෙන්නකෝන් මහතා හට 2031 වර්ෂය තෙක් සක්‍රිය පොලිස් සේවයේ කටයුතු කළ හැකිය. ඒ අනුව ඔහු බොහෝදුරට මෙම තත්ත්වය තුළ නිත්‍ය පොලිස්පතිවරයා බවට පත්වන්නට තිබෙන ඉඩකඩ වැඩිය. අඩුම වශයෙන් ජනාධිපති වික්‍රමසිංහ මහතාගේ ඉතිරි ධුර කාලය තුළ හෝ ඔහු වැඩබලන පොලිස්පතිවරයා සේ කටයුතු කරනු ඇත.

දේශබන්දු මහතාට තිබෙන චෝදනා මොනවාද?

වැඩබලන පොලිස්පතිවරයාට විරුද්ධව නැගෙන ප්‍රධාන චෝදනාව වන්නේ, ඔහු දැනුවත් කර තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා කටයුතු නොකළ බවය. පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාවේ සිංහල පරිවර්තනයේ 350 වෙනි පිටුවේ ඔහු පිළිබඳව මෙසේ සඳහන් වෙයි. ‘ඔහු හුදෙක් පණිවිඩකරුවෙක් ලෙස පමණක් කටයුතු කර ඇති අතර ඔහුගේ රාජකාරිය ඉටුකිරීමට අපොහොසත් විය. ඒ අනුව ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බව පරීක්ෂණ කොමිසම තීරණය කරයි‘

2019 අප්‍රේල් 11 දින එවක බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, තමන් යටතේ සිටි බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ, කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජී.ඕ. පෙරේරා යන අයට සහරාන් ඇතුළු තව්හිත් ජමාත් ත්‍රස්තවාදී සංවිධානයෙන් කතෝලික පල්ලි ඉලක්ක කරගනිමින් ප්‍රහාර මාලාවක් එල්ලවි හැකියැයි අනතුරු අඟවා, ක්‍රියාත්මක වන්නට නියෝග හතරක් ලබාදී ඇත. එහෙත් ඔහු එහිදී එම ලිපිය තම පහළ නිලධාරීන්ට යැවීම පමණක් සිද්ධ කර ඇත. මෙය බරපතළ රාජකාරි පැහැරහැරීමක් ය. ඔහු මෙහිදී හරිහැටි ක්‍රියාත්මක වූවානම් කටුවාපිටිය පල්ලිය තුළ බෝම්බය පුපුරායාම නිසා සිදුවූ ඛේදවාචකය සිදු නොවන්නට ඉඩ තිබුණි.

මේ පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය එස්.අයි.යූ 108/2019 යටතේ රාජකාරිය පැහැර හැරීම පිළිබඳව විමර්ශනයක් සිදුකර ඇත. ඒ අනුව එම විමර්ශනයේදී දේශබන්දු තෙන්නකෝන් මහතා වැරදිකරුවෙකු බවට තීරණය කර චෝදනා පත්‍රයක් ලබාදීමට නිර්දේශ නිකුත් කර ඇත. පසුව මෙම චෝදනා පත්‍රය මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයට ගියත් එතැනින් එහාට එය ක්‍රියාත්මක වී නැත.

පසුගිය 2022 ජූලි 09 වෙනිදා ජනාධිපති මන්දිරයට ඇතුල් වූ අරගලකරුවන් සොයාගත් මුදල් රුපියල් ලක්ෂ 178.5ක මුදල එම අරගලකරුවන් කොටුව පොලීසියට භාර දෙන්නට කටයුතු කළ අවස්ථාවේදී කොටුව පොලීසියේ ස්ථානාධිපතිවරයාට දූරකථනයෙන් අමතන දේශබන්දු තෙන්නකෝන් මහතා එම මුදල් මහජන ආරක්ෂාව භාර අමාත්‍ය ටිරාන් අලස්ට ගෙනිහින් දෙන්න යැයි ප්‍රකාශ කර ඇත. එම අවස්ථාවේදී ඒ පිළිබඳව කොටුව පොලීසියේ ස්ථානාධිපතිවරයා රාජකාරි සටහන් යොදා ඇති අතර පසුව එම සිදුවීම අධිකරණයට ද වාර්තා කරනු ලැබීය.

එම සිදුවීම පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදුකරන පොලිස් විශේෂ විමර්ශන ඒකකය එහි වාර්තාව පොලිස්පතිවරයා වෙත යවමින් චෝදනාපත්‍රයක් ලබාදෙන්න යැයි නිර්දේශ නිකුත් කර ඇත. මෙම විශේෂ විමර්ශනය යන කාලය තුළදී එම ඒකකයේ අධ්‍යක්ෂකවරයා සේ කටයුතු කළ වික්‍රමසිංහ මහතා අපගේ කතානායකයා තර්ජනය කර ඇත. තමාට එල්ල වූ තර්ජනයක් ගැන අධිකරණයට, වින්දිතයන් ආරක්ෂා කිරීමේ දෙපාර්තමේන්තුවට සහ පොලිස්පතිවරයාට කරුණු වාර්තා කරන්නට වික්‍රමසිංහ උසස් පොලිස් නිළධාරියා කටයුතු කර ඇත. එම තත්ත්වය තුළ එම තර්ජනය පිළිබඳව එස්.අයි.යූ 340/2022 යටතේ විමර්ශනයක් සිදුකර ඊට අදාළව චෝදනා පත්‍රයක් ලබාදෙන ලෙස පොලිස්පතිවරයාට නිර්දේශ නිකුත් කර ඇත.

ඉන්පසුව, සීඅයිඩීයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර මහතාට වින්දිතයන් ආරක්ෂා කිරීමේ දෙපාර්තමේන්තුව ආරක්ෂාව ලබාදෙන්න යැයි නියෝග කර තිබියදී, එම නියෝග පැහැර හැරි බවට දේශබන්දු තෙන්නකෝන් මහතාට චෝදනා එල්ලවෙන අතර ඒ පිළිබඳවද විශේෂ විමර්ශනයක් එස්.අයි.යූ 575/2022 යටතේ සිදුකර චෝදනා පත්‍රයක් ලබාදෙන්නට යැයි නිර්දේශ නිකුත් කර ඇත.

පුදුමයට කරුණ වන්නේ මේ කිසිදු අවස්ථාවක එකුදු නිර්දේශයක් හෝ ක්‍රියාත්මක වී නොතිබීමය. වැඩබලන පොලිස්පතිවරයාට ඉහළ දේශපාලන බලාධිකාරියේ සහාය උපරිමයෙන් ලැබෙන බවට හොඳම නිදර්ශනය මෙය බව ප්‍රකාශ කළ හැකිය. මෙම තත්ත්වය තුළ බොහෝ දෙනෙක් ප්‍රශ්න කරන්නේ රාජ්‍ය බිඳවැටී තිබෙන මෙවැනි කාලයක මෙවැනි පත් කිරීමක් මගින් රාජ්‍ය තවත් අවුලෙන් අවුලට යාහැකි බවය.

පොලීසිය හරි මඟට ගන්නට නම් චෝදනාවන් නැති නඩු නැති සුපිළිපන්න උසස් නිළධාරියෙක් මෙම තනතුරට පත්විය යුතුය. එය එසේ නොවෙන තාක් පොලීසිය හෝ මේ රටේ රාජ්‍යකරණය හරි මඟට ගන්නට නොහැකිවෙනු ඇත. පොලිස්පති ධුරයට සුදුසුකම් සපුරා සිටින ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරාවලියේ ඉහළින්ම සිටින තිදෙනාටම පාස්කු ප්‍රහාරය වළක්වා නොගැණීම පිළිබඳව වූ බරපතළ චෝදනාව තිබෙන විට ඒ අතරින් තුන්වෙන්නාට වැඩබලන පොලිස්පති ධුරය ලබාදීම පොලීසියේ උසස් නිළධාරීන් අතර තවත් ප්‍රශ්නයක් නිර්මානය කිරීමක් වන්නට පුලුවන් ය. මෙම ධූරාවලියේ හතරවැනි ස්ථානයේ සිටින ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම පොලිස්පති ධුරයට සලකා නොබැලුවේ ඇයි? යන්න මෙහිදී උසස් පොලිස් නිළධාරීන්ට ප්‍රශ්නයක් වන්නට පුලුවන් ය. මෙම තත්ත්වය් තුළ පොලීසිය තව තවත් පිරිහුනු රාජ්‍ය ආයතනයක් ලෙස පල්ලමට වැටෙනු ඇත.