You are currently viewing පොල්ල වරද්දා ගත් රොෂාන් රණසිංහ..!

පොල්ල වරද්දා ගත් රොෂාන් රණසිංහ..!

-කේ. සංජීව-

නයාට ගහන්න පෙර පොල්ල වරද්දා නොගනින්න තදින් සිතට ගතයුතු බවට වෙන කියමනක් අපේ ජනවහරේ ඇත. රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ධුරයෙන් ඉවත්කළ බවට ප්‍රකාශ වීමත් සමග මෙම ලියුම්කරුට මෙම කියමන සිහියට නැඟුණි. කෙසේ හෝ ක්‍රිකට් අවුල, අරගලය අවසානයේ ක්‍රීඩා අමාත්‍යවරයාට ගෙදර යන්නට කටයුතු සලසා ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය නොවැම්බර් 27 දා හවස කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ ලිපියකින් කියවුණේ රොෂාන් රණසිංහ මහතා අදාළ අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන්නට කටයුතු කළ බවය. මේ අනුව දැන් ක්‍රිකට් අවුල තවත් වේදිකාවක් වෙත ප්‍රවේශ වී ඇත.

මෙම ඉවත් කිරීමට සමගාමීව පසුගිය නොවැම්බර් 27 දා පාර්ලිමේන්තුවේ නැවත විශේෂ ප්‍රකාශයක් කළ හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා තමන්ට ජීවිත තර්ජන ඇතැයිද තමන්ව කොටුකර ගැනීම සඳහා ඉහළ දේශපාලන අණින් පොලීසිය නොයේක් දේ සිදුකරමින් ඇතැයිද ප්‍රකාශ කළේය.

මේ සිදුවෙන දේ දෙස බලාසිටින මධ්‍යස්ථ කියවන්නෙකුට සිතිය හැකි මූලික සිතුවිල්ල වන්නේ ක්‍රිකට් සල්ලිවලට අමාත්‍යවරුන් වෙනස් කරන්නට පවා පුලුවන් නේද යන්නයි. ශ්‍රී ලංකා ක්‍රිකට් යනු සල්ලි නිධියක් ය. එම සල්ලි නිධිය පසුගිය කාලයේ පරිහරණය කර ඇත්තේ කෙසේද යන්න රජයේ විගණකාධිපති සිය විගණන වාර්තාව මගින් ප්‍රකාශයට පත් කර ඇත. කවුරු කෙසේ කීවත් රටට ලැබිය යුතු විශාල ධනයක් සුළු කණ්ඩායමක් අතට පත්වී ඇත. ක්‍රීඩා සංගම් නීතිය අනුව එය සාමාන්‍ය දෙයක් විය හැකිය. එහෙත් විගණකාධිපති ඉදිරිපත් කළ වාර්තාව කිසිවෙකුට මඟහැර යා නොහැකිය.

වංචාවෙන්, දූෂණයෙන්, තොර ලංකාවක් හදන්නට කවුරු හෝ උත්සාහය ගන්නවානම් ඔහුට මෙම වාර්තාව මඟහැර කටයුතු කරන්නට නොහැකිය. අනෙක් පැත්තෙන් පසුගිය දා මුලු පාර්ලිමේන්තුවම අත් ඔසවා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරීන් වහාම ඉවත් කළ යුතු බවය. ජනාධිපතිවරයාගේ මෙම ඉවත් කිරීම මඟින් එම පාර්ලිමේන්තු ඒකමතික තීන්දුවට පයින් ගසා ඇත.

මෙම පාර්ලිමේන්තු විවාදය යනවිට මෙම ලියුම්කරු ලීවේ මේ හරහා ජනාධිපතිවරයා ටයිම් අවුට් වෙයිද යන්නයි. දැන් පෙනෙන්නේ ජනාධිපතිවරයා පසුපස පාදයට පැමිණ කාලය හොඳින් මැන හයේ පහරක් එල්ලකර ඇති බවය. මෙම පහර හයේ පහරක් වෙයිද එසේ නැතිනම් එය හතරේ සීමාව අභියසදී උඩපන්දුවක් සේ විරුද්ධ පක්ෂය විසින් ඩැහැ ගනීද යන්න තවමත් කියන්නට කල් මදිය. එහෙත් මේ හරහා ජනාධිපතිවරයා පොහොට්ටුවටද තමන්ට පාඩමක් උගන්වන්නට ආ විපක්ෂයටද එක විට ප්‍රහාරයක් එල්ල කර ඇත.

අනෙක් පැත්තෙන් මේ ඉවත් කිරීම හරහා මේ ටික කාලයේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලා සිටින්න යැයි පොහොට්ටුවේ ප්‍රබලයින්ට ජනාධිපතිවරයා සන් කර ඇත. මෙම ක්‍රිකට් හුටපටයේදී පොහොට්ටුවේ ප්‍රබලයන් බොහෝ දෙනෙකුට අල්ලා නොතිබුණේ ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානියාගේ කෙරුවාවය. විරෝධය පැමිණියේ ඒ වෙනුවෙන් ය. මෙම ඉවත් කිරීම හරහා ජනාධිපතිවරයා ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානියා ආරක්ෂා කරගන්නට කටයුතු කර ඇත. ඒ අනුව දැන් පොහොට්ටුව කරන්නේ කුමක්ද? පසුගිය නොවැම්බර් 27 දා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව තුළ හැසිරුණ ආකාරයෙන් නම් පෙනුනේ රොෂාන් රණසිංහගේ ඉවත් කිරීම පිළිබඳව තමන්ට කරන්නට කිසිවක් නැති බවය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 23 දා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ පත්කිරීම් සඳහා තමන් ව්‍යවස්ථා සභාව වෙත යවන නම් අනුමත කිරීම පමා කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන බවය. මෙම ප්‍රකාශයත් සමග මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය වෙනස් කළ යුතුයැයි පාර්ලිමේන්තුව ඒකමතිකව අනුමතකර තිබෙන පසුබිමක ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය වෙනස් කිරීමට පෙරමුණ ගත් ක්‍රීඩා අමාත්‍යවරයා එම ධුරයෙන් ඉවත් කිරීම පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක් කිරීමක් ය. අනෙක් පැත්තෙන් එය විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර යම් ගැටුමකට අවකාශය විවර කිරීමක් ය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයා සූදානම් වෙනවා යැයි එජාපය දෙසින් ආරංචි මවන අතරම මෙවැනි දේවල් සිදුවීම, සමහරවිට පොහොට්ටු දේශපාලනයට ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය වන්නට බැරිනැත.

එලබෙන 2024 වර්ෂය යනු ලංකාවේ දේශපාලනයට තීරණාත්මක අවුරුද්දක් ය. මේ අවුරුද්ද තුළ ක්‍රිකට් සල්ලි කොහේ යයිද? එයත් බෙහෙවින් වැදගත් ය. එයත් සිතෙහි තබාගෙන ක්‍රිකට් හරහා උණුසුම් වෙන 2024 ගැන සිතිය යුතුය.