You are currently viewing පොලීසිය රම්සි රාසික්ගේ මූලික අයිතීන් බිඳදමා ඇත..!

පොලීසිය රම්සි රාසික්ගේ මූලික අයිතීන් බිඳදමා ඇත..!

-කේ. සංජීව-

පසුගිය නොවැම්බර් 14 දා ශ්‍රේෂ්ඨාධිකරණ විශිෂ්ට නඩු තීන්දුවක් දුන්නේය. අයිසීසීපීආර් පනත අවභාවිතා කරමින් අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් වන රම්සි ‍රාසික් මහතාගේ මූලික අයිතීන් කඩවී ඇති බව එහිදී එම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගත්තේය.

ඒ අනුව එම අධිකරණය මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ (SCFR 135/20) වගඋත්තරකරුවන් වූ පොලිස් නිලධාරින් දෙදෙනකු, මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳව වගකිව යුතුයැයි තීරණය කළ අතර ඒ අනුව ඔවුන්ට තම පෞද්ගලික මුදලින් රම්සි රාසික් මහතා හට රුපියල් 30,000 බැගින් වන්දි ගෙවිය යුතු බව නියෝග කළේය. මෙම වන්දි මුදලට අමතරව රජය විසින් රම්සි රාසික් මහතා හට තවත් රුපියල් ලක්ෂ 10ක් ගෙවිය යුතුය, ඒ මූලික අයිතීන් කඩවීමට වන්දි වශයෙන් ය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ බුවනෙක අලුවිහාරේ ඉදිරියේ මෙම මූලික අයිතිවාසිකම් පිළිබඳ නඩු විභාගය පැවති අතර එහි තීන්දුව විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් ප්‍රකාශයට පත් කළේය. මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයා දැනුවත් කළේ නඩු තීන්දුවේ අන්තර්ගත වැදගත් කරුණු පිළිබඳව මාසයක කාලයක් තුළ පොලිස් නිලධාරීන් දැනුවත් කොට ඒවා තදින්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට, ඔහු කැඳවා උපදෙස් දෙන ලෙසය. මෙය අයිසීසීපීආර් ක්‍රියාත්මක කිරීමේ අනාගතය සම්බන්ධයෙන් බෙහෙවින් වැදගත් නඩු තීන්දුවක් වන්නේ මෙන්න මේ පසුබිම තුළය.

පසුගිය 2020 වර්ෂයේ අප්‍රේල් 9 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රම්සි රාසික් මහතා අත්අඩංගුවට ගෙන ඉන් අනතුරුව අයිසීසීපීආර් පනත සහ පරිගණක අපරාධ පනත යටතේ වැරදි කර ඇති බවට චෝදනා ගොනුකරමින් අධිකරණයට කරුණු වාර්තා කළ අතර ඒ අනුව රම්සි රාසික් මහතා හට 2020 සැප්තැම්බර් 17 දක්වා රක්ෂිත බන්ධනාගාරයේ සිරගතව සිටින්නට සිදුවිය.

මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරන්නේ කිසිදු සාධාරණ සාක්‍ෂියක් නොමැතිව රම්සි රසික් මහතා අත්අඩංගුවට ගැනීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති බී.එම්.එස්.කේ. සේනාරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට අධ්‍යක්ෂ ඩබ්ලිව්. තිලකරත්න වගකිවයුතු බවය.

මේ කියන තිලකරත්න නම් නිළධාරියා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු සීඅයිඩීයට එවනු ලැබූ අධ්‍යක්ෂකවරයා ය. ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙයවනු ලැබුවේ දේශපාලන තීන්දු තීරණ මත බව, එවක පැහැදිලිව පෙනුන කරුණක් විය. මෙම නඩු තීන්දුවෙන් එම නිරීක්ෂණය සත්‍ය බව ඔප්පුවී ඇත.

රම්සි රාසික් මහතා 2020 වසරේ අප්‍රේල් මස 02 වනදා ප්‍රශ්නගත ෆේස්බුක් සටහන තබා ඇත්තේ, කොවිඩ් වසංගත සමයේ මුස්ලිම් ජාතිකයන් හේතුවෙන් එම වසංගතය පැතිරී යන බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙනි. මෙහිදී රම්සි රාසික් එම පෝස්ටුව මාර්ගයෙක් ඉල්ලා සිටින්නේ මුස්ලිම් ජනතාව තමන්ට එල්ලවෙන චෝදනා සහ අපහාස පිළිබඳව මතවාදී අරගලයක් කළ යුතු බවය. එම මතවාදී අරගලය එහිදී ඔහු හඳුන්වන්නේ ‘අයිඩියොලොජිකල් ජිහාඩ්’ එකක් ලෙසය.

මෙන්න මේ ප්‍රකාශය අල්ලාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රම්සි රාසික් මහතා අත්අඩංගුවට ගනු ලබන්නේ ආගමික වෛරයක් ඇති කොට ආගමික අසමගියක් නිර්මාණය කළ බවට චෝදනා කරමින් ය. ඒ අනුව රම්සි රාසික් මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන අතර එහිදී අධිකරණය නියෝග කරන්නේ රම්සි රාසික් මහතා රක්ෂිත බන්ධනාගාර ගතකළ යුතු බවටය. මෙම නඩු තීන්දුව මෙම මූලික සිදුවීම බරපතළ ලෙස සලකාබලා ඇත.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් මූලික විරෝධතා ගොනුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති බී.එම්.එස්.කේ. සේනාරත්න ප්‍රකාශ කර ඇත්තේ මෙම සැකකරු පළකළ ෆේස්බුක් සටහනක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලැබුණ තොරතුරකට අනුව විමර්ෂනයක් සිදුකළ බවටත් එහිදී මෙම ෆේස්බුක් සටහන 75 දෙනෙකු විසින් බෙදාහැර ඇති බවටත් තවත් 495 දෙනෙකු එහි අදහස් සහ තම මත පළකර ඇති බවටත් ය. ඒ අනුව ආගමික වෛරයක් සහ ආගමික නොසන්සුන්තාවයක් ඇති කිරීමට පෙත්සම්කරු ක්‍රියාකර ඇති බවත් ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය, 2007 අංක 56 දරන එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනතේ 3(1) වගන්තිය ඇතුළත්ව පරිගණක අපරාධ පනත යනාදි නීති යටතේ පෙත්සම්කරු අත්අඩංගුවට ගත් බවත් ය.

මෙම අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව සහ මෙහිදී සිදුවඇති දේ පිළිබඳව තම නිරීක්ෂණ ඉදිරිපත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ තම නඩු තීන්දුව හරහා ප්‍රකාශ කරන්නේ ඉස්ලාමයට එරෙහිව නැගෙන මතවාද පරාජය කළ යුතු බවට පෙත්සම්කරු තම ෆේස්බුක් සටහනේ සඳහන් කර තිබෙන්නේ පෑන සහ පරිගණක යතුරු පුවරුව යොදාගෙන බවත්, ඒ අනුව පොලිසීය ගොඩනගන ‘ජිහාඩ් සන්නද්ධ අරගලයේ’ තර්කය බිඳ වැටෙන බවත් ය. ඒ අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත 3(1) වගන්තිය වැරදි ලෙස අර්ථකථනය කරමින් සිදුකර ඇති බවට පෙනී යන බවත් නඩු තීන්දුව සඳහන් කරයි.

මෙහිදී ගරු අධිකරණය තවදුරටත් ප්‍රකාශ කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)අ ව්‍යවස්ථාව යටතේ භාෂණය හා ප්‍රකාශනය මූලික අයිතිවාසිකමක් වශයෙන් පිළිගෙනඇති බවත් ඒ අනුව එම අයිතිවාසිකම භුක්ති විදීම සඳහා වර්තමානයේ ඩිජිටල් වේදිකාද පුද්ගලයින් භාවිත කරනු ඇති බවත්, ඒ අනුව අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඩිජිටල් අවකාශයන් තුළ දැඩි විප්ලවයකට භාජනය වී තිබෙන මේ කාල වකවානුව තුළ මෙම සිදුවීම හරහා පෙත්සම්කරු සන්නද්ධ අරගලයකට කැඳවීමක් සිදුකර ඇතැයි යනුවෙන් පොලීසිය සඳහන් කරන කරුණ පිළිගත නොහැකි බවත් ය.

මෙහිදී රම්සි රාසික් මහතා අත්අඩංගුවට ගැනීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කළ බී වාර්තාව පිළිබඳව නිරීක්ෂණ ඉදිරිපත් කරන අධිකරණය එහි අන්තර්ගත කරුණු මගින් මහේස්ත්‍රාත්වරයා නොමඟ යැවීමට පොලීසිය ක්‍රියා කර තිබෙන බව ප්‍රකාශ කරයි. මේ අනුව අත්අඩංගුවට ගැනීමට කලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගන්නට කටයුතු කර නැති බවත් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 115(1) වන වගන්ති යටතේ මෙම සැකකරු සම්බන්ධයෙන් විධිමත් වාර්තාවක් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමටවත් මෙම නිලධාරියා කටයුතු කර නැති බවත් මෙහිදී ගරු අධිකරණය නිරීක්ෂණය කර ඇත. එම නිරීක්ෂණ අනුව යමින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරන්නේ මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙම පොලිස් නිළධාරීන් මූලික වශයෙන් වගකිව යුතු බවය.

ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයටපත් කර තිබෙන මෙම නඩු තීන්දුව සෑම පොලිස් නිළධාරියෙක්ම කියවා තේරුන් ගත යුතුය. විශේෂයෙන් පොලිස් ස්ථානාධිපතිවරුන් සහ ඉහළ පොලිස් නිළධාරීන් මෙම නඩු තීන්දුව නැවත නැවතත් කියවා තේරුන් ගත යුතුය. දේශපාලන උවමනාවන් මත හෝ පුද්ගලික එදිරිවාදීකමක් මත කිසිවෙක් පැමිණිල්ලක් දැමූ පමණින් ඊට අදාළ චෝදනාලාභියා අත්අඩංගුවට ගත හැකිද? ඒ සඳහා අසීසීපීආර් පනත භාවිතා කළ හැකිද? උසස් පොලිස් නිළධාරීන් ගැඹුරින් මේ පිළිබඳව කල්පනා කළ යුතුය.

රම්සි රාසික් මහතා අත්අඩංගුවට ගත් සහ රක්ෂිත බන්ධනාගාර ගත කළ නඩුකරය අවසන් වුණේ නඩුව ඉදිරියට ගෙන යාමට කරුණු නැති බව නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කිරීමත් සමගය. ඒ අනුව පෙනෙන්නේ දේශපාලන එදිරිවාදිකමකට හෝ ඔහුගේ ජාතිය පිළිබඳ ප්‍රශ්නයකට හෝ රම්සි රාසික් මහතාට රක්ෂිත බන්ධනාගාර ගතකිරීම නම් දඬුවම ලබාදෙන්නට පොලීසිය කටයුතු කර ඇති බවය. මෙය දරුණු තත්ත්වයක් ය. අධිකරණය මෙම නඩු තීන්දුව මගින් අවධාරණය කරන්නේ පොලීසිය මෙම ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යාම නවතාදැමිය යුතු බවය. ඒ අනුව මෙම නඩු තීන්දුව ඓතිහාසිකය.