You are currently viewing පොලීසිය තවමත් පාඩමක් ඉගනගෙන නැත..!

පොලීසිය තවමත් පාඩමක් ඉගනගෙන නැත..!

-කේ. සංජීව-

රත්ගම මංජුල අසේල කුමාර සහ රසීන් චින්තක 2019.01.23 දින පැහැරගෙන ගොස් ඝාතනය කර මේ වනවිට බොහෝ කාලයක් ගතවී ඇත. මෙම ඝාතනය පිළිබඳ පරීක්ෂණ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ෂකයන් සොයාගත්තේ මෙම ඝාතනය සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ප්‍රමුඛ පොලිස් නිළධාරීන් 14 දෙනෙක් හවුල් බවය. පරීක්ෂණ එතනින් එහාට ගියේ නැත.

පොලිස් වධහිංසා නිසා ඝාතනයට ලක්වුණේ රත්ගම මෙම තරුණයන් දෙදෙනා පමණක් නොවෙන බව කිවයුතුය. 2002 වසරේදී වත්තල පොලිසිය අත්අඩංගුවට ගත් ජෙරාඩ් පෙරේරාගේ ඝාතනය, බදුල්ල කන්දකැටිය සඳුන් මාලිංගගේ ඝාතනය, අඟුලාන දිනේෂ් තරංග ප්‍රනාන්දු සහ ධනුෂ්ක උදයකාන්ත අපොන්සු ඝාතනය, ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ඝාතනය, ආදී සිදුවීම් රැසක් පොලීසිය වධහිංසා පමුණුවා ඝාතනය කළ සිදුවීම් ලෙස හෝ පොලිස් වධහිංසා නිසා මරණයට පත්වීම් ලෙස හැඳින්විය හැකිය.

මෙම ලිස්ටෙක තවත් දිගු බවද මතක තබාගත යුතුය. මෙම පොලිස් ඝාතන ලැයිස්තුවට අලුතින් ඝාතනයක් එකතුවී ඇත. ඒ යාපනයේ වඩුක්කෝඩෙයි සිත්තන්කේණී ගම්මානයේ පදිංචිව සිටි 27 හැවිරිදි නාගරාසා ඇලෙක්ස්ගේ ඝාතනයයි.

ඇලෙක්ස් අත්අඩංගුවට ගැනීම

නාගරාසා ඇලෙක්ස් සහ ඔහුගේ මිතුරෙක් බව කියන පුද්ගලයෙක් පසුගිය නොවැම්බර් 08 වෙනිදා වඩුක්කෝඩෙයි පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නේ සොරකමකට සැකයැයි ප්‍රකාශ කරමින්ය. එහෙත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම ලියුම්කරු සමග ප්‍රකාශ කළේ මෙම සැකකරු පසුගිය නොවැම්බර් 11 වෙනිදා අත්අඩංගුවට ගෙන 12 දා අධිකරණයට ඉදිරිපත්කර ඇති බවය.

නමුත් නාගරාසා ඇලෙක්ස් ගේ පාර්ශවය ප්‍රකාශ කරන්නේ නාගරාසා ඇලෙක්ස් සහ ඔහුගේ යාළුවා පසුගිය 08 දා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පොලීසිය තුළ රඳවාගෙන සිටි බවය. ඒ අනුව නොවැම්බර් 10 දා නාගරාසා ඇලෙක්ස්ගේ මව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ යාපනය කාර්යාලයට ගොස් තම පුතා පොලීසිය විසින් අත්අඩංගුවටගෙන රඳවාගෙන සිටින බවට පැමිණිල්ලක් සිදුකර ඇත. මෙම පැමිණිල්ලට පසුව පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගත් බවට ප්‍රකාශ කර මල්ලාහම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි දැනගන්නට ලැබෙයි.

මල්ලාහම් මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරු බන්ධනාගාරගත කරන ලෙස නියෝගකර ඇති අතර පසුව නාගරාසා ඇලෙක්ස් යාපනය බන්ධනාගාරය ඇතුල් කර ඇත. බන්ධනාගාරයේදී ඔහුට පැමිණි අසනීප තත්ත්වය නිසා ඔහු යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කරන්නට කටයුතු කළ අතර එහිදී ඔහුගේ ඥාතීන් පැමිණ සුවදුක් විමසා ඇත. මෙලෙස රෝහලේ නේවාසිකව සිටින අතරතුර ඔහු බැලීමට රෝහලට පැමිණි පවුලේ ඥාතියකු හට නාගරාසා ඇලෙක්ස් තමන් පොලීසිය තුලදී වධහිංසනයන්වලට මුහුණ දුන් ආකාරය විස්තර කර ඇත. එම ඥාතියා ඇලෙක්ස්ගේ මෙම ප්‍රකාශය වීඩියෝ ගතකර ඇත. මේවනවිට එය මාධ්‍යටද නිකුත්වී ඇත.

මරණාසන්න ප්‍රකාශය

‘පොලිසිය සැකයි කියලා අරන් ගිහින් ගැහුවා. හොරකම් කරලා කියලා ගැහුවා. පිටි පස්සේ ගැටගහලා මූණ රෙදි කෑල්ලකින් වහලා වතුර වක්කර, වක්කර ගැහුවා. පොඩ්ඩයි කන්න දුන්නේ. එක ලණුවකින් ගැට ගහලා ගැහුවා. අහ, අහා ගැහුවා. මම නෑ කිව්වා. බෑගයකට පෙට්‍රල් තවරලා ඒක දාලා ගැහුවා. මට සිහිනැති වුණා. අත්දෙකම උස්සන්න බෑ. මුලින්ම කෑම දුන්නේනෑ. පහුවදා කෑම දිලා කාමරේට අරන් ගිහිල්ලා මුකුත් කියන්න එපා කියලා කිව්වා. ඊළඟ දවසේ මට තර්ජන කරා’

මෙලෙස ප්‍රකාශ කළ නාගරාසා රෝහලේ සිට නැවත යාපනේ බන්ධනාගාරයට යැවෙන අතර එහිදී නැවතත් ඔහුට අසනීප වී ඇත. ඒ අනුව ඔහු නැවත බන්ධනාගාරයේ සිට යාපනේ ශික්ෂණ රෝහල වෙත රැගෙන එමින් සිටියදී පසුගිය 19වන ඉරිදා මියගොස් ඇති බව ප්‍රකාශ වෙයි.

මහේස්ත්‍රාත් ඒ. ඒ ආනන්දරාජා යටතේ අධිකරණ වෛද්‍ය නිලධාරි විසින් නාගරාසාගේ මරණය පිළිබඳ මරණ පරීක්ෂණය සිදුකර ඇති අතර පසුගිය නොවැම්බර් 20 වෙනිදා යාපනය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ උරුතිරපසුපති මයෝරතන් මරණ පරීක්ෂණ වාර්තාව ප්‍රකාශයට පත්කරමින් ප්‍රකාශ කර ඇත.

මියගිය අයගේ කොන්දේ පිටුපස, ඉහළ අත් පා, යටි පාද දෙකෙහි විවිධ ස්ථානවල තුවාල (සීරීම් සහ තැලීම්) පවතින බව නිරීක්ෂණය කළ බව ප්‍රකාශ කරන මරණ පරීක්ෂණ වාර්තාව වකුගඩුවලට හා තවත් අභ්‍යන්තර අවයවවලට හානි සිදුවීම නිසා මෙම මරණය සිදුවී ඇති බවටද සඳහන් කරයි.

මෙම මරණ පරීක්ෂණ වාර්තාවේ කරුණු ඇලෙක්ස්ගේ මරණාසන්න ප්‍රකාශය සමග සසඳා බලනවිට පෙනෙන්නේ පොලීසිය මෙම සැකකරුට වධහිංසා පමුණුවා ඇති බව සත්‍යක් බවය. මේ පිළිබඳව මෙම ලියුම්කරු පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතාගෙන් කරුණු විමසූ අතර එහිදී ඔහු ප්‍රකාශ කළේ නාගරාසා අත්අඩංගුවට ගන්නට කටයුතු කළ පොලිස් නිළධාරීන් හතර දෙනා යාපනයට මාරුකර යවා ඔවුන් පිළිබඳව කන්කසන්තුරේ දිසාව භාර සහකාර පොලිස් අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණයක් සිදුකරගෙන යන බවය.

පොලීසිය මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ නොවැම්බර් 08 දා බවත් එහෙත් ඒ පිළිබඳව පොලීසිය සටහන් නොයොදා ඉන්නට කටයුතු කර ඇති බවත් ප්‍රකාශ වීම සත්‍යක්දැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසූවිට ඔහු ප්‍රකාශ කළේ එය සත්‍යක් නම් ඒ පිළිබඳව මෙම විමර්ෂනයේදී කරුණු අනාවරණය වෙනු ඇති බවය.

යාපනේ නොසන්සුන්

පොලිස් පහරදීම සහ වධහිංසා පැමිණවීම නිසා මරණයට පත්වූ නාගරාසා ඇලෙක්ස්ගේ අවසන් කටයුතු පසුගිය 21 දා ඉලවාලෙයි වෙල්ලාවෙලි සුසන භුමියේ දී සිදුකළ අතර ඊට සමගාමීව ප්‍රදේශවාසීන් නාගරාසාට සාධාරණය ඉල්ලා උද්ඝෝෂණයේ ද නිරතවිය.

මෙම මරණය පිළිබඳව නිවේදනයක් නිකුත් කරන දෙමළ ජාතික සංධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ සරවනභවන් මහතා ප්‍රකාශ කරන්නේ නාගරාසා ඇලෙක්ස් පොලිස් අත්අඩංගුවේදී වධ හිංසාවට ලක්ව මියගිය බවට කිසිදු සැකයක් නැතිබවය. මෙම මරණය පිළිබඳව යාපනය හිටපු නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් ද නිවේදනයක් නිකුත්කර අවධාරණය කරඇත්තේ මෙම පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුලු මෙම වධහිංසා සිදුවීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවය.

මේ පිළිබඳව කතාකරන යාපනයේ මාධ්‍යවේදීන් ප්‍රකාශ කරන්නේ පොලිස් නිළධාරීන් ස්ථාන මාරු කිරීමෙන් හෝ උසස් පොලිස් නිළධාරීන් අනුයුක්ත කර පරීක්ෂණ මණ්ඩල නිර්මානය කිරීමෙන් හෝ නාගරාසාට සාධාරණය ඉටුනොවෙන බවය. වහාම මෙම පොලිස් නිළධාරීන් අත්අඩංගුවට ගන්නට කටයුතු කළ යුතුබව බොහෝ දෙනෙකුගේ මතය වී ඇත.  සිද්ධියට සම්බන්ධ පොලිස් නිළධාරීන් අත්අඩංගුවට ගන්නේ නැතිදැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් ලියුම්කරු විමසූවිට ඔහු ප්‍රකාශ කළේ ක්‍රියාත්මක විමර්ෂනයේදී අනාවරණය වන කරුණු අනුව අවශ්‍ය දේ සිදුවනු ඇති බවය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එසේ කීවත් ශ්‍රී ලංකාවේ පොලීසිය වැඩකරන ආකාරය දෙස බලනවිට පෙනෙන්නේ නාගරාසාට යුක්තිය හිමිවීම සැකසහිත බවය.

#Sri Lanka Police #Jaffna