You are currently viewing වරාය නගරය, චීනය, ඉන්දියාව සහ අපි

වරාය නගරය, චීනය, ඉන්දියාව සහ අපි

-කේ. සංජීව-

කොළඹ වරාය නගරය ආයෝජකයන් ආකර්ෂනය කරගනිමින් සිටින බව වාර්තා වෙයි. පසුගිය දා වරාය නගරය  ප්‍රවර්ධනය කිරිමේ උත්සවයක් ඩුබායි හීදි පැවැත්වුණි. ‘දැන් කොළඹ වරාය නගරයෙහි ආයෝජනය කිරීමට කාලයයි’ එහි තේමාව විය. ආයෝජකයන් සඳහා පමණක් වෙන්වුණ මෙම උත්සවය බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීම විශේෂිතය.

එහිදී ඔහු චීනය සහ කොළඹ වරාය නගරය අතර ඇති සම්බන්ධය ගැන මෙසේ අදහස් දැක්වීය-

‘අද මාධ්‍යයෙන් කියවෙන්නේ මේ සියල්ල චීනය සතු බව, චීනය මගින් පවත්වාගෙන යන බව, චීනය විසින් පාලනය කරන බව, ඒ අනුව ශ්‍රී ලංකාවට බරපතළ අත්වැරැද්දක් සිදුවී ඇති බවට වන වැරදි මතය තමයි මේ මගින් පැතිරෙන්නේ, මෙය නිවැරදි කළ යුතුයි. ඇත්තෙන්ම ඔබ නිවැරදිව කරුණු සොයා බැලුවොත් ඔබට පෙනීයාවී සැබැවින්ම එය ශ්‍රී ලංකාව සතුවන බව. ශ්‍රී ලංකාව විසින් සකස් කරන ලද නීතී රෙගුලාසි යටතේ පාලනය වන බව. මෙහි චීනය ආයෝජනයක් සිදුකර තිබෙනවා. එය සත්‍යයක්. එය සිදුවුණේ මුහුද ගොඩකර වරාය නගරය ඉදිකිරීම අත්‍යාවශ්‍ය කාරණයක් වන නිසා. දැන් අනෙකුත් පාර්ශ්වයන්ට තිබෙන්නේ චීනයට සමගාමීව ආයෝජන සිදුකර මේ ව්‍යාපෘතියේ සාර්ථකත්වය අත්විඳීමට උත්සාහ කිරීමයි. ඒ සඳහා අවශ්‍ය නීතී රෙගුලාසි ශ්‍රී ලංකා රජය සකස්කර තිබෙනවා. එම නීතී වෙනත් කිසිවෙකු සකස්කළ ඒවා නෙවෙයි. කොළඹ වරාය නගරය තවදුරටත් ශ්‍රී ලංකාවේ ස්වෛරී භූමි භාගයක්. චීන සමාගම එහි කොටසක් කල් බදු ක්‍රමයට ලබාගෙන තිබෙනවා. එම භූමියත් නැවත සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවට හිමිවනවා ඇති‘

මෙම හමුව බටහිර ආයෝජකයන් ඉලක්ක කරගත් ආකර්ශනීය වැඩසටහනක් බව පැහැදිලිය. එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ලබුවාන්, සිංගප්පූරුව සහ මොරිෂස් වැනි වෙනත් රටවල සුවිශේෂ ආර්ථික කලාපයන් ආදර්ශයට ගනිමින් ඉදිකර සංවර්ධනය කරමින් තිබෙන මෙම භූමියට ලංකාව තුළ ආර්ථික පුනර්ජනනයක් සිදු කළ හැකිද? වර්තමාන ප්‍රශ්නය එයයි.

යලි පුබුදමු ශ්‍ර්‍ර්‍රී ලංකා

2002 දී එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව ඉදිරිපත් කළ ‘යලි පුබුදමු ශ්‍රී ලංකා‘ වැඩ සටහන තුළින් වරාය නගරයක මූලික සංකල්පය ඉදිරිපත් කළ අතර පසුව මහින්ද රාජපක්ෂ රජය පැවති අවධියේ සී.සී ආයතනය මෙහි මූලික යෝජනාව ඉදිරිපත් කළේය.

ඒ අනුව යමින් 2014 වර්ෂය අවසාන‍යේදී වරාය නගරයේ වැඩ ඇරඹීය. 2015 යහපාලනය පැමිණි පසු මෙහි මූලික සැළසුම් වෙනස් වෙමින් වඩා තිරසර සහ ශ්‍රී ලංකාවට වැඩි වාසි අත්පත් කරදෙමින් සෛරීත්වයද ආරක්ෂා වෙමින් නව තත්ත්වයක් ‍යටතේ ප්‍රතිසැළසුම්කරණය විය. ඒ සඳහා එවක මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ප්‍රමුඛ කාර්‍යයක් ඉටුකළ බව කිවයුතුය.

කොළඹ වරාය නගරය නිදහස් බදු ප්‍රතිපත්තියක් මත පිහිටන බදු පාරාදීසයක් නැතිනම් ‘ටැක්ස් හෙවන්‘ යනුවෙන් හඳුනාගන්නා ව්‍යාපාරික දිවයිනක් ලෙස නැතිනම් මූල්‍ය නගරයක් ලෙස සංවර්ධනය කිරීම මෙම යෝධ සංවර්ධනයේ මූලික අරමුණයි. එහි මූලික පියවරක් ලෙස 2018 වර්ෂය වනවිට CHEC සමාගම ඩොලර් බිලියනයක ආයෝජනයක් සඳහා එකඟතාවය පළකරනු ලැබීය. එහෙත් 2019 සිදුවූ බල පෙරළිය සමග එම ආයෝජන අවස්ථා තවදුරටත් ප්‍රමාද විය. එය එසේ නොවුණානම් මෙම යෝධ සංවර්ධනයේ පළප්‍රයෝජන මේවනවිටත් අපහට ලබාගන්නට ඉඩ තිබුණි.

නෙදර්ලන්තය, සිංගප්පූරුව, අයර්ලන්තය, එක්සත් රාජධානිය, ලක්සම්බර්, හොංකොං, කේමන් අයිලන්ඩ්, බර්මියුඩා, බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ්, ස්විස්, එක්සත් අරාබි එමීර් රාජ්‍ය වැනි රාජ්‍යයන් මෙම නව ‘ටැක්ස් හෙවන්‘ සංකල්පය ඔස්සේ යමින් තම රටේ ආර්ථිකයට මෙවැනි මූල්‍ය කලාපයන් හරහා විශාල දායකත්වයක් ලබාගනිමින් සිටියි. ලොවපුරා සංසරණය වන කළු සල්ලි සුදු කිරීමේ තත්ත්වයක් මෙහි තිබුණත් මේ බොහෝ රාජ්‍යයන් එම ආර්ථික මූලෝපාය තම රාජ්‍යයන්ගේ ආර්ථික දියුණුව සඳහා භාවිතා කරමින් සිටියි. ඉහත නාමාවලියේ සමහර රාජ්‍යයන් පූර්ණ ලෙසම දුවන්නේ මෙම නව ආර්ථික උපායමාර්ගයට පිංසිදුවන්නට ය. කොළඹ වරාය නගරයද මෙම ආකෘතිය ඔස්සේ නියමිත ක්‍රමයට ගොඩනගාගතහොත් සහ එය නිසි කළමනාකරණයක් ඔස්සේ පාලනය කළහොත් එහි අනුහසින් රටේ සමස්ථ ආර්ථිකය නඟාසිටුවිය හැකිය.

දැන් තත්ත්වය

අංක 2299/46 දරන අති විශේෂ ගැසට් පත්‍රය 2022 සැප්තැම්බර් මාසයේ දී ප්‍රකාශයට පත්කළ අතර එමගින් කොළඹ වරාය නගරයේ විශේෂ ආර්ථික කලාපය තුළ බලයලත් තැනැත්තන් ලියාපදිංචි කිරීම, බලපත්‍රකරණය, බලය පැවරීම සහ සෙසු අවසරයන් ලබාදීම සම්බන්ධ රෙගුලාසි ප්‍රකාශයට පත්කළේය.

මෙම වරාය නගර විශේෂ ආර්ථික කලාපය තුළ අදාළ ආයතන ලියාපදිංචි කිරීම සහ එම බලපත්‍රයන්ට අදාළ ගාස්තු පිළිබඳ රෙගුලාසි 2022 සැප්තැම්බර් මාසයේ අංක 2299/47 දරන ගැසට් පත්‍රයෙහි පළකර ඇත. මීට අමතරව මේ වනවිට අක්වෙරළ සමාගම් ලියාපදිංචි කිරීමේ රෙගුලාසි අන්තර්ගත ගැසට් පත්‍රයද 2306/54 අංකය යටතේ මෙම මාසයේ මුලදී ප්‍රකාශයට පත්විය.

මෙයින් පෙනෙන්නේ මේ වනවිට ආයෝජකයන් සඳහා වරාය නගර භූමිය විවෘත බවය. කොළඹ වරාය නගරය විශේෂ ආර්ථික කලාපයේ ඉඩම් කොටස් 74 ක් අතරින් කොටස් 64 ක් සම්බන්ධ කටයුතු සම්පූර්ණ වී ඇති බව තහවුරු කරන තාක්ෂණික සහතිකද මෙම වරාය නගරයට අදාළව ස්ථාපනය කර තිබෙන කොමිසමට ලැබී ඇති බව දැනගන්නට ලැබෙයි. ඒ අනුව දැන් ඉක්මනින් ආයෝජකයන් සොයා යා යුතුය. පෙට්ටිකඩ ක්‍රමය පසෙකලා දියුණු මූල්‍ය නගරයක් නිර්මානය කරගැනීමට අදාළ බළධාරීන් කටයුතු කළ යුතුය. ඒ සඳහා සහචර වළල්ලට ප්‍රතිලාභ ලබාදීම පසෙකලා විනිවිද පෙනෙන ක්‍රමයක් අදාළ කරගත යුතුය.

2022 වර්ෂය අවසන් වනවිට කොළඹ වරාය නගරය විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත යටතේ මුදල් අමාත්‍යාංශය බංකු 7ක් සඳහා බලපත්‍ර නිකුත් කර තිබුණ අතර එම ප්‍රමානය මේවනවිට තවත් ඉහළ ගොස් ඇති බවට සැක නැත. මෙයින් පෙනෙන්නේ බැංකු සහ මූල්‍ය ආයතනයන් මෙම නව ව්‍යාපාරික කලාපය පිළිබඳව තම උනන්දුව දල්වාගෙන සිටින ආකාරයයි. එම ව්‍යාපාරික ආයතනයන් මෙම බිමේ බදු සහන රටේ සාමාන්‍ය බදු ගෙවීම්වලින් පැනයාම සඳහා භාවිතා කරන්නට තිබෙන ඉඩකඩ වසාදමන්නට නීති අනපනත් නිර්මානය කරන ප්‍රතිපත්ති සම්පාදකයන් කල්පනා කළ යුතුය. මෙම මූල්‍ය ආයතනයන්ට අමතරව වාණිජ, සෞඛ්‍ය, අධ්‍යාපන, විනෝදාස්වාද සහ ජීවන රටා වැනි බොහෝ ක්ෂේත්‍රවල ආයෝජනයන් මෙහි සිදුවන්නට නියමිතය.

මෙම ආයෝජනයන් සම්පූර්ණ වී කොළඹ වරාය නගරය හුස්ම ගන්නට පටන්ගත් විට ප්‍රයිස් වෝටර් හවුස් කූපර්ස් අධ්‍යයනය කියන්නේ මෙම ස්ථානයෙන් රැකියා ලක්ෂ 2ක් පමණ බිහිවෙනු ඇති බවය. එම ප්‍රමානය එම සංඛ්‍යාවලට වඩා ඉහළ ගියොත් මිසක් පහළ යාමක් නැත. මෙම දත්ත සහ සමීක්ෂණවලට අනුව මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට සැලකිය යුතු දායකත්වයක් දැක්විය හැකි ආර්ථික මර්මස්ථානයක් ය. එහෙත් වර්තමාන රාජ්‍යකරණයේ බූවල්ලාගේ ග්‍රහනයට මෙම සුවිශේෂ ආර්ථික කලාපයත් හසුවුණොත් අපේක්ෂිත ප්‍රතිපල ලබාගත හැකි නොවෙනු ඇත.

දැනට කොළඹ වරාය නගරයේ ක්‍රියාකාරීව සිටින ව්‍යාපාරික සමාගම් 10, එම ව්‍යාපාරික කටයුතු සඳහා ගිවිසුම් ගතවීම ගැටලුකාරී බව පසුගිය දා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. මෙම සමාගම් ගිවිසුම් ගතවීමේදී ක්‍රම 3ක් අනුගමනය කර ඇත. වරාය නගරය සකස් කිරීමට පෙර, වරාය නගරය සකස්කරන කාල සීමාව තුළ සහ වරාය නගරය සකස් කිරීමෙන් පසු ලෙස මෙම සමාගම් ගිවිසුම් ගතවීම සිදුව ඇත. මෙම ගිවිසුම් ගතවීම් කිසියම් නීතිමය පදනමක් යටතේ එක් ක්‍රමවේදයක් අනුව සිදුවී නැත. මෙම සමාගම් සියල්ලෙහිම අයිතිය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සමීපතමයන්ට හිමි බව අනාවරණය වී ඇති තවත් වැදගත් කරුණක් ය. එයින් කියවෙන්නේ මෙම සුවිශේෂ ආර්ථික කලාපයත් අර මුලින් කී බූවල්ලාට හසුව ඇති බවය. එය තවදුරටත් එසේ පැවතියහොත් මෙම ආර්ථික මර්මස්ථානයෙන් අප බලාපොරොත්තුවන දේ අපහට ළඟා කරගන්නට නොහැකිවනු ඇත.

ලංකා ආයෝජනයේ වටිනාකම

බොහෝ දෙනෙක් මෙම වරාය නගරය චීනයේ වැඩක් බව ප්‍රකාශ කළත් ශ්‍රී ලංකාවද දැනට ඩොලර් බිලියනයකට වැඩි මුදලක් මෙහි ආයෝජනය කර ඇති බව සඳහන් කළ යුතුය. ලංකා විදුලිබල මණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලය, වැනි මණ්ඩල හරහා ද, අප ජලය, වැසිකිළි, කැසිකිළි පද්ධති වැනි යටිතල පහසුකම් ගොඩනැගීම හරහා ද ඉඟුරුකඩේ හන්දියේ සිට නිර්මිත මාර්ගය හරහා ද ලංකාව සිය පුරවැසියන්ගේ බදු මුදල් මෙම ස්ථානයේ ආයෝජනය කර ඇත. එනිසා මෙය ආරක්ෂා කරගැනීම මෙන්ම මෙය තවදුරටත් දියුණු කරගනිමින් අපේක්ෂිත ඉලක්ක හඹාගෙන යාම කළ යුතුය. ඒ හරහා ලංකාවේ ආර්ථිකය දියුණු කරගත යුතුය. රැකියා අවස්ථා තවතවත් ඇති කරගත යුතුය.

ආයෝජන මාර්ග වැදගත්කමක් සහිත ප්‍රාථමික (කුඩා) ව්‍යාපාර  සහ ආයෝජන මාර්ග වැදගත්කමක් ඇති ද්විතියික ව්‍යාපාර ලෙස කොළඹ වරාය නගරය සිය ස්ථානයේ ව්‍යාපාරයන්, කොටස් දෙකකට වර්ග කර ඇත. මෙහිදී කුඩා ව්‍යාපාර සංවර්ධනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 100ක් වටිනා භූමි පැවරුමක් හෝ ඩොලර් මිලියන 25ක භෞතික, සමාජ යටිතල පහසුකම් ඇතුළත් බව දැනගන්නට ලැබෙයි.

මෙහිදී ආදායම, රැකියා උත්පාදනය, අපේක්ෂිත ව්‍යවසාය වර්ධනය, ශ්‍රී ලංකාවේ සමාජ සංවර්ධනය ඉහළ නැංවීමට සහ කොළඹ වරාය නගරය තුළ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයක් නිර්මාණය කිරීම සඳහා දක්වන දායකත්වය වැනි කරුණු සැලකිල්ලට ගනිමින් විශාල බදු සහන පිරිනමා ඇත. එම බදු සහන මතින් ගොඩනැගෙන කොළඹ වරාය නගරය හරහා ලංකාවේම ආර්ථිකය උඩට ඔසවා ගැනීමට රාජ්‍ය පාලනය සහ ප්‍රතිපත්ති සම්පාදකයන් කැපවී කටයුතු කළ යුතුය. පුරවැසියා ද මෙම නව මූල්‍ය නගරය සහ එහි සිදුවන කටයුතු පිළිබඳව නිරන්තරව අවධානයෙන් සිටිය යුතුය.

කොළඹ වරාය නගරයේ ආගමන විගමන කටයුතු සහ වීසා විධිවිධානයන් පිළිබඳව වරාය නගර කොමිසම සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව එක් වී වීසා කාණ්ඩ 3 ක් හඳුන්වා දී  ඇත. එම කාණ්ඩ වන්නේ, ආයෝජක වීසා (වසර 10 ක්), රැකියා වීසා (වසර 5 ක් – රැකියා ගිවිසුම අනුව වෙනස් වේ) සහ  නේවාසික වීසා (කුලී ගිවිසුම අනුව) යන කාණ්ඩ තුනයි.

මෙහිදී කොළඹ වරාය නගර වීසා ක්‍රමය මගින් බිරිඳ/සැමියා, දරුවන් සහ සහය කාර්ය මණ්ඩලය සඳහා වීසා හිමි වීම වැනි අමතර ප්‍රතිලාභද ලැබෙන අතර, ප්‍රධාන වීසා අයදුම්කරු යටතේ එම ප්‍රතිලාභ ලබාගත හැකි අතර විදේශ ආයෝජකයන්ට පමණක් විවෘත මෙම වීසා සඳහා ගාස්තුව, එක් අයදුම්කරුවෙකු සඳහා වසරකට ඇමරිකානු ඩොලර් 200 ක් වන දැනගන්නට ලැබෙයි. මෙයින්ද රටට යම් ආදායමක් ලබාගත හැකිය.

දකුණු ආසියාවට තවමත් මෙවැනි මූල්‍ය නගරයක් නැති පසුබිම තුළ සහ ඉන්දියාවේ ආර්ථිකය වේගයෙන් ප්‍රසාරණය වන පසුබිම තුළ, මෙම නගරය සඳහා ඉන්දු චීන මැදිහත්වීම පළදායක ලෙස යොදාගැනීමට අප සමත් වෙතොත් මෙම මූල්‍ය නගරයට ලංකාවම ගොඩදාන්නට ශක්තියක් ඇත. ඒ සඳහා ප්‍රතිපත්ති සම්පාදකයන් තියුණු බුද්ධියකින් සහ දුරදක්නා නුවනකින් කටයුතු කළ යුතුය. නීතියේ පාලනය නිසි ලෙස පවත්වාගෙන යා යුතුය. වංචාව දූෂණය සහ අල්ලසට තිබෙන ඉඩ අහෝසි කළ යුතුය. විනිවිද පෙනෙන සුළු වැඩපිළිවෙලක් හරහා ආයෝජකයන් ගෙන්වා ගතයුතුය. එය එසේ නොවුණහොත් කොළඹ වරාය නගරය චීන කොලනියක් වනවාට වඩා දෙයක් නොවෙනු ඇත.