You are currently viewing ඖෂධ හොරුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙයිද?

ඖෂධ හොරුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙයිද?

-කේ. සංජීව-

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධද මගඩිය නිසා ඖෂධ හොරුන් කටමුලට මාට්ටුවී හමාරය. එහෙත් ඖෂධ මාෆියාවේ අදිසි හස්තය ඔවුන් නීතියේ බලයෙන් ගලවාගැනීම සඳහා දිවා රෑ වෙහෙසෙමින් සිටියි. එහි ප්‍රතිපලයක් ලෙස මෙම බෙහෙත් මගඩියට ප්‍රධානවම වගකිවයුතු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා අත්අඩංගුවට ගැනීම රජයේ ඉහළ දේශපාලන බළධාරීන් විසින් වළකනු ලැබ ඇත.

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් (IVIG) ප්‍රතිදේහජනක ඖෂධ කොළඹ ජාතික රෝහලේ සහ මාතලේ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් කිහිප දෙනෙකුට ලබාදුන් පසු ඔවුන් එම ඖෂධවලට ප්‍රතික්‍රියා දැක්වීමත් සමග මොකද්දෝ කරුමයකට මෙම බෙහෙතේ ඇත්ත තත්ත්වය හෙළිවිය. එයට හේතුව මෙම බෙහෙත් මෙම ප්‍රතික්‍රියා දැක්වීම කරණකොටගෙන එවැනි තත්ත්වයකදී ඒ පිළිබඳව සොයාබලන කමිටුව ඉදිරියට යාමය. අදාළ ඖෂධය පරීක්ෂා කළ වෛද්‍ය කමිටුව සොයාගත්තේ මෙම ඖෂධය ප්‍රමිතියෙන් තොර ඖෂධයක් බවයි. පසුව කළ රසායනික පරීක්ෂාවකින් තහවුරුවී ඇත්තේ මෙහි මේ කියන බෙහෙත නැති බවයි.

මොකද්ද මේ වංචාව?

මානව රුධිර පට්ටිකා හරහා නිස්සාරණය කරන මෙම ඖෂධය ලබාදෙන්නේ ස්නායු ආබාධයන් සහිත පුද්ගලයන්ට සහ උපතින්ම ප්‍රතිශක්තිය අහිමි පුද්ගලයන්ට ය. එනිසාම මෙම වටිනා ඖෂධය නිෂ්පාදනය කරන්නේ බොහෝ ප්‍රමිතීන් ආරක්ෂා කරගනිමින් ඉහළ රසායනාගාර තත්ත්වයන් යටතේය. මෙම ඖෂධය නිසි ප්‍රමිතියට නිශ්පාදනය නොකළහොත් ඒ හරහා එච්අයිවී, කහ උණ වැනි රෝග ව්‍යාප්තිය සිදුවිය හැකි ය.

මෙම ඖෂධය Livealth Biopharma Pvt Ltd, India නම් ආයතනයක් නිෂ්පාදනය කළ බවටත් එම ඖෂධය Isolez Biotech Pharma AG Pvt Ltd  නම් ආයතනය ලංකාවට ආනයනය කර රෝහල් සඳහා ලබාදී ඇති බවත් මුලින් අනාවරණය විය. එහෙත් පසුව අනාවරණය වුණේ මෙය අමූලික බොරුවක් බවය. ඉන්දියාවේ මේ කියන ඖෂධ නිෂ්පාදන සමාගම ප්‍රකාශ කළේ තමන් මෙම ඖෂධය නිෂ්පාදනය නොකරන බවය.

ඉන්දියාව තුළ ඖෂධ සමාගම් දෙක තුනකට වඩා මෙම ඖෂධය නිෂ්පාදනය කරන්නේ නැත. එයට හේතුව මෙම ඖෂධය නිෂ්පාදන ක්‍රියාවලිය තුළදී රැකිය යුතු ඉහළ ප්‍රමිතියයි. එහෙත් දැන් අනාවරණය වී ඇත්තේ ලංකාව තුළම මෙම බෙහෙත නිෂ්පාදනය කර ඇති බවයි. එය ආශ්චර්‍යයක් ය. කිසිම රසායනාගාර පහසුකමක් නැති එහෙත් 2014 සිට ඖෂධ නිශ්පාදනය සඳහා අවසර ඉල්ලන බෙහෙත් හදන පිස්සුවකින් පෙළෙන ව්‍යාපාරිකයෙක් මෙම බෙහෙත කීවත් එහෙම නොවෙන යමක් නිශ්පාදනය කර එය රජයට අලවි කර ඇත.

මෙම අලවිකරණය පිටුපස අමාත්‍යවරයෙක් සිටින බව මේ පිළිබඳව උසාවියේ ඇසෙන නඩුවෙන් අපිට ඇසෙයි. එහෙත් මේවා තවමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇසෙන්නේ නැත. එය නීතිය නැමීම සඳහා හොරගල් ඇහිදීමක් දැයි අපි දන්නේ නැත.

මේකියන බොරු බෙහෙත නිශ්පාදනය සඳහා ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයෙන් රුධිරය ලබාගෙන ඇති බවත් දැන් අනාවරණය වී ඇත. ඒ අනුව එම ලබාගත් රුධිරය තමන්ගේම ක්‍රමයකට සංයෝගකර ඖෂධ මාෆියාව හරහා රෝහල් වෙත යවා ඇත. මෙම ඖෂධය ගෙන්වීමේදී අනුගමනය කර ඇති ටෙන්ඩර් පටිපාටියේ සිට රෝහල් තුළට මෙම ඖෂධය බෙදාහැරීම දක්වා සිදුවී තිබෙන ක්‍රියාවලිය සැකයන්ගෙන් බහුලය. ඒ සියලු දේ ක්‍රියාත්මක වී ඇත්තේ හොර වැඩක් සිදුකරන විට අනුගමනය කරන ක්‍රියාමාර්ග අනුගමනය කරමින් ය.

නමට ටෙන්ඩර්

මෙම ඖෂධය ලංකාවට ගෙන්වීම සඳහා මුලින්ම ටෙන්ඩර් කැඳවා ඇත්තේ, අදාළ ඖෂධය ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ගෙන එන බව කියමින් ය. එය අමූලික බොරුවක් ය. මෙම බොරුව ගොතා ඇත්තේ කැබිනට් එකට යාමෙන් වැළකෙන්නට ය. ටෙන්ඩරයේ වටිනාකම රුපියල් මිලියන 500 ඉක්මවා යනවිට එය අමාත්‍ය මණ්ඩලය වෙත යා යුතුය. එහෙත් විදෙස් ණය යෝජනා ක්‍රමයක් හරහා හෝ වෙනත් ප්‍රදානයක් හරහා එය සිදුවන්නේ නම් එම රුපියල් මිලියන 500 සීමාව රුපියල් මිලියන 1000 දක්වා වැඩිවෙයි. මේ අනුව ඉන්දියානු ණය යෝජනා ක්‍රමය අමුණා  ටෙන්ඩරය පිළිබඳ ක්‍රියාවලිය වළක්වා ඇත.

ඒ අනුව මෙම ඖෂධ වංචාව පිටුපස සිටින වංචනිකයන් මුලින්ම කර ඇත්තේ ඉන්දියානු ණය ආධාර නම් වහන්තරාව භාවිත කර, රුපියල් මිලියන 942ක් වන (IVIG කුප්පි 22500ක් සඳහා ඇමරිකානු ඩොලර් 2,925,000.00) මෙම ගනුදෙනුව අමාත්‍ය මණ්ඩලය වෙත යාම වැළැක්වීමයි. මෙම ඖෂධ ගෙන්වීමට ඉන්දියානු ණය ආධාර සම්බන්ධ නැති බව ඔප්පුවන්නේ මෙම ගනුදෙනුවට අදාළ පළමු ගෙවීම ලෙස රුපියල් මිලියන 40ක මුදලක් කිසිදු සොයාබැලීමකින් තොරව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකර ඇති නිසාය. ඉන්දියානු ණය ආධාර යටතේ මෙම බෙහෙත ගෙන්නුවානම් එතනදී ගනුදෙනු පියවන ක්‍රමය වෙනස් ය. ඒ සඳහා ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයද මැදිහත් වෙයි. නමුත් මෙහිදී එවැනි මැදිහත්වීමක් සිදුව නැත.

මෙලෙස ටෙන්ඩර් දැමූ පසුව ඉදිරිපත්වෙන ලංසු පරීක්ෂා කිරීම සහ තාක්ෂණිකව එය ඇගයීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික ඇගයීම් කමිටුවක් විසින් සිදුකරන අතර එම කමිටුව තුළ මෙම ඖෂධය පිළිබඳව දන්නා කිසි කෙනෙක් සිට නැත. ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් හෝ රුධිරය පිළිබඳ විශේෂඥයෙක් මෙම කමිටුව තුළ සිටිය යුතු වුණත් මෙම අවස්ථාවේදී එසේ දැනුම තිබෙන කිසිම නිලධාරියෙක් මෙහි සිට නැත. මෙම ඖෂධයට අදාළ දැනුම තිබෙන පුද්ගලයෙක් මෙම කමිටුවට පත් නොකළේ ඇයි? එයට හේතුව දන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ය. එසේ සිටියා නම් මෙම ඖෂධය ඉන්දියාවෙන් ගෙන්වා මෙහි අසුරා බෙදාහරිනවා යැයි ප්‍රකාශ වීම ප්‍රශ්නයක් බවද, ඉන්දියාවේ මේ කියන ඖෂධ සමාගම මෙම ඖෂධය නිෂ්පාදනය නොකරන බවද තාක්ෂණික කමිටුව සොයාගන්නවා ඇත. එය එසේ වුණා නම් බෙහෙත් හොරුන්ට මේ හොරකම මෙසේ කරන්නට ලැබෙන්නේ නැත.

නියාමන බොරුව

ඖෂධ නියාමන අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යාංශය, පසුගිය කාලයේ දිගටම ප්‍රකාශ කළේ, මෙම ඖෂධය රජයේ රෝහල්වෙත පැමිණ ඇත්තේ ව්‍යාජ ලේඛන හරහා බවය. ලියාපදිංචිය නැති ආයතනයකට උනත් හදිස්සි මිලදී ගැනීම් යටතේ ඖෂධ ගෙන්වීමට කිසිදු බාධාවක් ක්‍රියාත්මක නොවුණ පසුගිය කාලයේ (කෙහෙළියගෙ කාලේ) මේ කියන සමාගම ව්‍යාජ ලේඛනයන් හැදුවේ ඇයි? ඇත්තටම නම් පසුගිය කාලයේ ඖෂධ ගෙන්වන ලද ක්‍රම ගැන සිතන විට මෙම සමාගමට ව්‍යාජ ලේඛනයන් සෑදීම සඳහා අවශ්‍යතාවක් තිබීම පුදුමයට කරුණක් ය. ඔවුන් අඩුව තිබියදී අත පුච්චාගෙන ඇත. ඒ ඇයි?

ටෙන්ඩර් කැඳවීමේදී එම ටෙන්ඩර් මණ්ඩලයේ ප්‍රධානියා සේ කටයුතු කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ය. ඔහු මෙම ඖෂධය ගෙන්වීම සඳහා මෙන්ම ටෙන්ඩරය සඳහා ද නිසි අනුමැතිය ලබාදී ඇත. අනෙක් පැත්තෙන් මෙම සමාගම පරීක්ෂණයක් සඳහා යැයි කියමින් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයෙන් රුධිර ප්ලස්මාව ලීටර් 2000ක් ඉල්ලා සිටින විට එය සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් අනුමත කරගෙන පැමිණෙන්න යැයි හරවා යවන විට ඊට අනුමැති ලබාදෙන්නේ ද මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාමය.

ඊටත් එහාට ගිහිං මේ ලේකම්වරයා රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට කෝල් කරමින් මෙම රුධිර ප්ලස්මා තොගය ලබාදෙන්නට බලපෑම් කර ඇත. ඒ සියල්ල සීඅයිඩී පරීක්ෂණ ක්‍රියාවලිය තුළදී අනාවරණය වී ඇතැත්, ලේකම්වරයා තවමත් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ඉදිරියට කරගෙන යන්නට සීඅයිඩීය සමත් නැත. ඒ ඇයි?

රුධිර පාරවිලයන මධ්‍යස්ථානයෙන් මෙම සමාගමෙන් පරීක්ෂණය කුමක්දැයි ඇසූ විට සමාගම ප්‍රකාශ කර ඇත්තේ තමන් දැනට සොයාගෙන නැති රුධිර පලස්මාවල අඩංගුවිය හැකි නව ප්‍රෝටීන වර්ගයන් සොයාගැනීම සඳහා පරීක්ෂණ කරන බවය. මේ සමාගම මෙසේ ප්‍රකාශ කරනවිට ඒ සඳහා මෙම සමාගමට තිබෙන සුදුසුමක් මොනවාදැයි ප්‍රශ්න කරන්නට සෞඛ්‍ය අමාත්‍යාංශයට මොළය තිබෙන එක් නිලධාරියෙක් සිට නැත.

මෙවැනි පරීක්ෂණයක් කරන්න පරීක්ෂණාගාර තත්ත්වයන් මෙම සමාගමට නැති බව මේ සෞඛ්‍ය ලේකම්වරයා මෙන්ම  අනෙකුත් සෞඛ්‍ය බළධාරීනුත් නොදන්නවා නම් ඔවුන් වහාම සේවයෙන් පහ කළ යුතුය. ඒ මන්ද මෙය සාමාන්‍ය දැනුමට අදාළ ප්‍රශ්නයක් නිසා ය. කෙසේ හෝ අවසානයේ රුධිර ප්ලස්මාව ලීටර් 150ක් අදාළ සමාගමට ලබාදී ඇත. එම ප්‍රමානය මෙම ඖෂධ තොගය සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් නැත. අවසානයේ සමාගම තමන්ගේම ක්‍රමයකට අමුතු බෙහෙතක් හදා එය රජයට අලවි කර ඇත. හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාම ප්‍රකාශ කරන ආකාරයට සේලයින් වගේ යමක් රජයට දී සල්ලි අරගෙන ඇත. දැන් ප්‍රශ්නය මෙම සල්ලි ගියේ කොහේද යන්නයි.

පිටුපස කවුද?

මෙම ඖෂධ මගඩිය පිළිබඳව පරීක්ෂණ සිදුකරමින් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය ඔක්තෝබර් මස 30 දා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එවක ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සැපයුම් අංශය) වෛද්‍ය කපිල වික්‍රමනායක යන උසස් රාජ්‍ය නිළධාරීන් දෙදෙනා සහ මෙම කූඨ ඖෂධ සමාගමේ හිමිකරු බව කියන ‘අරුණ දීප්ති‘ හෙවත් සුගත් ජනක ප්‍රනාන්දු රටින් පිටව යාහැකි බැවින් ඔවුන්ගේ ගුවන් ගමන් තහනම් කරන ලෙස ඉල්ලා සිටියේ ය.

ඉන්පසු නොවැම්බර් 01 දා සුගත් ජනක ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නට සීඅයිඩීය කටයුතු කළේය. ඒ අනුව අධිකරණය ඔහු පසුගිය 15 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර පසුගිය නොවැම්බර් 16 දින නැවත නඩුව කැඳවූ අතර ඒ අනුව අධිකරණය මෙම පුද්ගලයා නොවැම්බර් 29 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන්නට කටයුතු කර ඇත.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය දා පැය හයකට වඩා වැඩි කාලයක් ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර එහිදී ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය කරන තොරතුරු ඕනෑවටත් වඩා තිබී ඇත. එහෙත් ඉහළ බලපෑම් නිසා ඔහු අත්අඩංගුවට ගෙන නැත. මේ ආකාරයටම පසුගිය දා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාගෙන් ද සීඅයිඩීය ප්‍රශ්න කර ඇත.

සීඅයිඩී පරීක්ෂණ ඉදිරියට ක්‍රියාත්මක වෙමින් යන අතරතුර හිටපු ප්‍රධාන විධායක නිළධාරියා තමන්ගේ කාර්යාලයට පැමිණ ලිපි ලේඛන තොගයක් කපා විනාශ කර පොලිතින් බෑග්වලට දමා ඇත. ඒ පිළිබඳව එම අවස්ථාවේම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිළධාරීන් සීඅයිඩියේ ඉහළ නිළධාරීන් දැනුවත් කරන්නට කටයුතු කළද සීඅයිඩීය නිසි ක්‍රියාමාර්ග ගෙන නැත. දේවල් සිදුවන්නේ මෙසේය. ඖෂධ මාෆියාවේ දොරවල් ඕපන්වී ඇත. එහෙත් පරීක්ෂණ අංශවලට එහි ඇතුලට යෑමේ උවමනාවක් නැත.

හාස්‍යයට කරුණ වන්නේ පසුගිය දා පැවති ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමේදී මෙම ලිපි ලේඛන තමන් විසින් විනාශ කළ බව විජිත් ගුණසේකර මහතා පිළිගෙන තිබීමය. ඔහු එම ක්‍රියාව පැහැදිලි කර ඇත්තේ ධුරයෙන් සමුගෙන යනවිට කරනු ලබන සාමාන්‍ය දෙයක් ලෙසය. එය සාමාන්‍ය දෙයක් නම් හවස හයට පමණ පැමිණ ලිපි ලේඛන විනාශ කරන්නට තරම් හදිස්සියක් ඇයි? සෙවිය යුතුය.

වෛද්‍ය විජිත් ගුණසේකර යනු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පත් කිරීමක් ය. ඔහුට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ප්‍රසම්පාදන) ලෙස පත් කළ සමන් රත්නායක මහතාද පසුගිය කාලයේ සිදුවූ හදිස්සි ඖෂධ මිලදී ගැනීම් පිටුපස සිටින තවත් ප්‍රමුඛ පෙලේ නිලධාරියෙක් ය. හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙම නිළධාරියා උඩින් ගෙනවිත් අලුත් තනතුරක් හදා එයට ඔහු පාත් කළේ ඇයි? මේවා සීඅයිඩීය සෙවිය යුතුය.

හදිසි මිලදී ගැනීම් වසංගතය

විදෙස් සංචිත නොමැතිව ඩොලර් අර්බුදයක් ඇතිවූ විට ඖෂධ හිඟයක් ඇතිවිය. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම හදිසි මිලදී ගැනීම් වසංගතය සෞඛ්‍ය අමාත්‍යාංශයට බෝවී ඇත. ඩොලර් අර්බුදය සමනය වුණත් තවමත් මෙම හදිසි මිලදී ගැනීම් සිදුවෙමින් තිබීම මේ හරහා ලොකු ගැහිල්ලක් සිදුවෙන බවට හොඳම ඉඟියක් ය. සමහර හදිසි මිලදී ගැනීම් ඇණවුම් කළ පසුව ලැබී ඇත්තේ මාස හතරක් පහක් ගිය පසුව ය. එය බලන්ගියාම පුදුම හදිස්සියක් ය.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා වූ පසුව ඖෂධ මිලදී ගැනීම්වලට අදාළව ටෙන්ඩර් පටිපාටිය ක්‍රියාත්මක වුණත් ඒ බොහෝ අවස්ථාවල වැඩියෙන් ලංසු තැබූ සමාගම්වලට අදාළ ටෙන්ඩරය හිමිව ඇත. එවැනි අවස්ථාවලදී අඩුම ලංසුව ඉදිරිපත් කළ සමාගම් තමන්ට ටෙන්ඩරය හිමි නොවීම පිළිබඳව අභියාචනය කළ විට සෞඛ්‍ය අමාත්‍යාංශය කර ඇත්තේ වහාම අදාළ ටෙන්ඩරය අවලංගු කර හදිසි මිලදී ගැනීමක් ලෙස වැඩි මිලක් ලංසු තැබූ සමාගමටම අදාළ ඖෂධය ගෙන්වීම සඳහා අවසර ලබාදීමය. කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගේ කාලයේ සිදුවුණ මෙම ඖෂධ ගනුදෙනු පිළිබඳව වෝහාරික විගණනයක් සිදුවිය යුතු බව අප අවධාරණය කරන්නේ මෙන්න මේ පසුබිම තුළය.

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධය රෝහල්වලට බෙදාහැරීම තුළද සිදුව ඇත්තේ ද මෙවැනි මගඩියක් ය. මෙම ඖෂධය මෙරටට මීට ප්‍රථම ආනයනය කළ ලියාපදිංචි ඖෂධ සමාගම් රට තුළ සිටින තත්ත්වයක් තුළ මෙම සමාගමට හදිසි මිලදී ගැනීමක් යැයි ප්‍රකාශ කරමින් අවසර ලබාදුන්නේ ඇයි? ප්‍රශ්නය මෙයයි. මෙම ඖෂධ සමාගම බෙහෙත් හදන්නට අවසර ඉල්ලා ඇත්තේ 2014 තරම් ඈතක සිට බව වාර්තා වෙයි.

ඖෂධ නිෂ්පාදනයට අවසර ඉල්ලා සිටියත් මෙම පුද්ගලයා ඒ සඳහා අවශ්‍ය තත්ත්වයන් කිසිදාක සම්පූර්ණ කරගෙන නැත. එම කරුණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් රාජ්‍ය නිළධාරීන් නොදැන සිටියා යැයි කිව නොහැකිය. ඒ මන්ද මේ සමාගම විසින් ගෙන්වනු ලැබූ තවත් ඖෂධයක් පිළිබඳව ප්‍රශ්නයක් ඇත. එය පිළිකා රෝග සඳහා ලබාදෙන මිල අධික ඖෂධයක් බව වාර්තා වෙයි. එම ඖෂධය රෝහල් භාවිතයෙන් ඉවත් කර ඇතත්, ඒ පිළිබඳව කිසිදු තොරතුරක් හෙළි නොකර ඉන්න සෞඛ්‍ය අමාත්‍යාංශය පරිස්සම් ය.

අප අසන්නේ එම ඖෂධය කුමක්ද? කොතරම් ප්‍රමාණයක් මේ සමාගමෙන් ලබාගත්තාද? ඒ සඳහා මෙම සමාගමට කොපමණ මුදලක් ගෙවා ඇතිද? යන්නයි. දැනට ක්‍රියාත්මක සීඅයිඩී පරීක්ෂණය තුළද මෙම ඖෂධය පිළිබඳව පරීක්ෂා කිරීමක් සිදුනොවෙන බව වාර්තා වෙයි.

රෝහල් සඳහා ලබාදුන් හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධයේ එම ඖෂධයේ තිබිය යුතු සංඝටක නැති බව පරීක්‍ෂණ හරහා ඔප්පුවී තිබෙන පසුබිමක Isolez Biotech Pharma AG Pvt Ltd නම් මෙම කූඨ සමාගමෙන් පිළිකා සඳහා ලබාගත් ඖෂධයේත් එම නියමිත සංඝටක නොතිබෙන්නට තිබෙන ඉඩ බෙහෙවින් වැඩිය. එනිසා වහාම මෙම ඖෂධය පිළිබඳවත් එහි ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ අදාළ මුදල් ගෙවීම් ක්‍රියාවලිය පිළිබඳවත් සොයා බැලිය යුතුය.