-කේ. සංජීව-
ආණ්ඩුවට සම්බන්ධ ප්‍රබල දේශපාලකයෙකු සහ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ කුප්‍රකට සහෝදරයෙකු මූලිකව සිදුකරගෙන යනු ලබන එතනෝල් ජාවාරමක තතුවිත්ති හෙළිදරව් වෙමින් තිබෙයි. මෙම ක්‍රිකට් සහෝදරයා එතනෝල් ලංකාවට ආනයනය කරන බවත් මෙම දේශපාලකයා එම එතනෝල් බෝතල් කර ව්‍යාජ ස්ටිකර් අලවා වෙළඳපොළට මුදාහරින බවටත් කරුණු වාර්තා වෙයි. මෙම කරුණු හෙළිවෙන්නේ පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි කාරක සභාවේ නියෝග නිසා ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්නා පසුබිමකය.
පසුගිය අගෝස්තු 10 දා පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි කාරක සභාව හමුවේ ව්‍යාජ ස්ටිකර් සිදුවීම අනාවරණය වීමෙන් පසුව ඒ පිළිබඳව වැටලීම් සිදුකරන්න යැයි එම සභාව සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇති අතර ඒ අනුව කළ මූලික වටයේ වැටලීම්වලින් ව්‍යාජ ස්ටිකර් යෙදු මත්පැන් බෝතල් 98,000ක් පමණ අත්අඩංගුවට ගන්නට හැකිවී ඇත. මෙම අත්අඩංගුවට ගත් ව්‍යාජ ලේබල් යෙදූ මත්පැන් බෝතල් තොගයෙන් බහුතරයක් මෙන්ඩිස් සමාගම සතු මත්පැන් බෝතල් වෙන අතර එහි වයඹ ඩිස්ටලරීස් සමාගමේ මත්පැන් බෝතල්ද ඇති බව වාර්තා වෙයි.
මෙම ව්‍යාජ ස්ටිකර් කතාව පසුපස හඹාගෙන යෑමේදී පෙනෙන්නේ කසිප්පු බෝතල්වලට පුරවා සුප්‍රකට වෙළඳනාමය යටතේම ව්‍යාජ ස්ටිකර් අලවා අලෙවි කරන අලෙවි ජාලයක් ද රට තුළ සක්‍රිය බවය. මේ අනුව පසුගිය දා ගම්පහ දොම්පේ ප්‍රදේශයේදී එවැනි අරක්කු කර්මාන්ත ශාලාවක් වටලන්නට සුරාබදු දෙපාර්තමේන්තුවට හැකිවී ඇත. එම කම්හල සැනටයිසර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් බවත් රෝයල් සිලෝන් ඩිස්ටලරීස් නම් ආයතනයකට අයත් බවත් දැනගන්නට ලැබේ.
තවදුරටත් මෙම ආයතනය පිළිබඳව සොයාගෙන යාමේදී අනාවරණය වන්නේ මෙය වයඹ ඩිස්ටලරීස් ආයතනයේම තවත් ආයතනයක් හෝ නම වෙනස් කිරීමක් බවය. මෙම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය වැටලීමත් සමග එහි සිටි සේවකයන් 14 දෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇත. ප්‍රශ්නය වන්නේ දෛනික පඩියට වැඩ කළ වතුකරයෙන් පැමිණි දෙමළ තරුණ ශ්‍රමිකයන් මෙසේ අත්අඩංගුවට ගත්තත් ඔවුන් සේවයේ යෙදවූ මහා පරිමාණ එතනෝල් වෙළෙන්දන් තවමත් නිදහසේ තම ජාවාරම් කරගෙන යාමය. මෙම ව්‍යාජ ස්ටිකර් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හට මෙම පාර්ලිමේන්තු කාරක සභාවම පැමිණිලි කර ඇති පසුබිමක එම දෙපාර්තමේන්තුව පරීක්ෂණ නොකර මඟහරින තත්ත්වය තුළ මෙම කසිප්පු ජාවාරම පිළිබඳ ඇත්ත තත්ත්වය එළියට නොඑනු ඇත.
ගම් දනව් වල ගංගා අයිනේ කැලෑවල කසිප්පු පෙරෙණ දුප්පතුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරයට දක්කමින් නීතිය අකුරට ක්‍රියාත්මක කරන පොලීසිය මහාපරිමාන කසිප්පු ව්‍යාපාරිකයන්ට සලකන්නේ මෙසේ ය. මේ නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක වෙන ආකාරය යි.
මෙම ව්‍යාජ ස්ටිකර් මත්පැන් ජාවාරමෙන් රජයට වාර්ෂිකව බිලියන 150ක පමණ මුදලක් අහිමිවී ඇති බව දැනගන්නට ලැබෙන අතර අනෙක් පැත්තෙන් මෙම සමාගම් බදු ගෙවීම පැහැරහැරීම නිසා රුපියල් බිලියන 07ක පමණ මුදලක් සුරාබදු දෙපාර්තමේන්තුවට ලැබී නැත. ඒ අනුව බදු නොගෙවන ලද සමාගම්වල බලපත්‍රය අහෝසි කිරීම සඳහා ක්‍රම සහ විධි කාරකසභාව උපදෙස් නිකුත් කර ඇති අතර එම උපදෙස් ක්‍රියාත්මක කරන්නට මුදල් අමාත්‍යාංශය තීරණය කිරීමත් සමග ඩබ්ලිව් එම් මෙන්ඩිස්, රන්දෙණිගල සහ වයඹ ඩිස්ටිලරීස් ඇතුළු සමාගම් 5ක බලපත්‍ර අහෝසි කරන්නට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කළ අතර ඒ අනුව මෙන්ඩිස් සමාගම බදු ගෙවා ඇතැයි කරුණු වාර්තා වෙයි.
මෙම නව පාර්ලිමේන්තු මැදිහත්වීමත් සමග පාරම්පරිකව බදු පැහැරහැරි සමාගම් දැන් බදු ගෙවාදැමීම ගැන කල්පනා කරමින් සිටින බව පෙනෙයි. ඒ අනුව 2023 වර්ෂයට අදාළව මත්පැන් නිෂ්පාදන සමාගම් 04ක් රුපියල් මිලියන 1014 ක් බදු වශයෙන් ගෙවිය යුතු බවත් එම කෝටි සීයකට ආසන්න මුදල වාරික 09ක් මගින් ගෙවන්නට සුරාබදු දෙපාර්තමේන්තුව සමග එකඟතාවකට පැමිණ ඇති බවත් කරුණු වාර්තා වෙයි. ඒ අනුව එම මුදලේ මුල් වාරිකය ලෙස රුපියල් කෝටි 10කට ආසන්න මුදලක් දැනටමත් ගෙවා ඇත. එහෙත් එක් කුප්‍රකට සමාගමක් අධිකරණය ඉදිරියට ගොස් බලපත්‍රය අවලංගු කිරීමට විරුද්ධව වාරණයක් ලබාගෙන ඇත.
මේ අනුව මෙන්ඩිස් සමාගම, ෆින්ලන්ඩ්, සිනජි, රන්දෙණිගල යන මත් පැන් නිශ්පාදන සමාගම් නැතිනම් නිශ්පාදනාගාර පිළිවෙලින් 2023.10.31 දිනට ගෙවිය යුතු හිඟ බදු මුදල් වල එකතුව ආසන්න වශයෙන් රුපියල් 1,255,030,568.51 මුදලක් ය. මෙයින් 2023.11.06 දිනයේදී රුපියල් 198,306,714.68ක මුදලක් ගෙවා ඇති බවද සුරාබදු දෙපාර්තමේන්තුව දෙසින් එන වාර්තා සනාථ කරයි. මෙයින් පෙනෙන්නේ රජයේ අකාර්‍යක්ෂම බදු ප්‍රතිපත්තියයි. රාජ්‍යයක් බදු අයකරන්නේ නම් එය සැමට සාධාරණ ලෙස අය කරගත යුතුය.
මේ අතර 2023 වර්ෂයට කලින් 2004 වර්ෂය දක්වා අයවිය යුතු බදු මුදල් රුපියල් මිලියන 5657 ක් අයවන්නට තිබෙන අතර සුරාබදු දෙපාර්තමේන්තුව එම බදු අයකරගෙන නැත. බලපත්‍ර අහෝසි කරන්නට කටයුතු කරද නැත. මෙවර බලපත්‍ර අහෝසිය සිදුව ඇත්තේ ඉහත නම සඳහන් පාර්ලිමේන්තු කාරක සභාවේ ක්‍රියාකාරීත්වය නිසා ය. ඒ අනුව මෙම කෝටි 565ක බදු මුදල අයකරගන්නේ කවදාද? මේ අතර වාර්තා වන්නේ මෙම විශාල බදු පොලු තබනු ලැබූ අයතන අතරින් ආයතන දෙකක් මේ වනවිට වසාදමා ඇති බවය.
වයඹ ස්ප්‍රීතු සමාගම සහ Globe Blenders යන නම්වලින් හඳුන්වන මෙම සමාගම් දෙක රුපියල් කෝටි 140ක මුදලක් රජයට ගෙවිය යුතුව ඇත. මේ වනවිට මෙම සමාගම් ක්‍රියාත්මක නොවුණත් මෙම සමාගම්වල අයිතිකරුවන් කවුරුන්ද යන්න පොදු සමාජය පවා දන්නා පසුබිමක ඔවුන්ගෙන් මෙම හිඟ බදු මුදල් අයකර ගන්නට කටයුතු කළ යුතුය. රාජ්‍යයේ මුදල් පාලනය පිළිබඳ අයිතිය තිබෙන පාර්ලිමේන්තුව සහ එහි කාරක සභා මේ වෙනුවෙන් අවංකවම කැපවිය යුතුය.