You are currently viewing ජනාධිපතිවරයා ටයිම් අවුට් වෙයිද?

ජනාධිපතිවරයා ටයිම් අවුට් වෙයිද?

-කේ. සංජීව-

පසුගිය දා ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව හා බංගලිදේශය අතර තරඟයේදී ඇන්ජලෝ මැතිව්ස් දැවීගියේ ටයිම් අවුට් වූ නිසා ය. එනම් පිතිකරණය සඳහා සීමා ඉරට පැමිණියත් නියමිත කාලය තුළ සීමාවට පැමිණීම සළකුණු නොකළ නිසා ඔහුට දැවී ගිය ක්‍රීඩකයෙක් සේ ක්‍රීඩාගාරයට යන්නට විය. පසුගිය දා ක්‍රීඩා අමාත්‍ය රොශාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය තාවකාලිකව අත්හිටුවා එහි පරිපාලනය අන්තර් පාලනයකට පැවරීය. මෙහිදී ජනාධිපතිවරයා දැඩි ස්ථාවරයක සිට අමාත්‍යවරයාගේ ස්ථාවරයට විරුද්ධව කටයුතු කරන බවක් පෙනුනි. පසුව එම ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපයට විරුද්ධව පොහොට්ටුව පාර්ශවයෙන් යම් යම් ක්‍රියාමාර්ග ගැනුන අතර ජනාධිපතිවරයා පසුපස පාදයට ගොස් තම සීමාව ලකුණු කරනවාද නැද්ද යන්න සිතමින් සිටින බව පෙනෙයි. මෙම නව තත්ත්වය තුළ ජනාධිපතිවරයාත් දැවී ගිය ක්‍රීඩකයෙක් බවට පත්වෙයිද?

දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත්කිරීම යන මැයෙන් විපක්ෂය සහ ආණ්ඩු පක්ෂය එක්ව පසුගිය 9දා පාර්ලිමේන්තුව වෙත ගෙන එන ලද යෝජනාව ඒකමතිකව සම්මත වූ අතර එම යෝජනා සම්මතය සැලකිය හැක්කේ ජනාධිපතිවරයාට දාපු පොඩි තට්ටුවක් ලෙසය. මෙම ලියුම්කරු එක අමාත්‍යවරයෙක් සමග කතා කළ අවස්ථාවේ ඔහු ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවට පැමිණි මෙම යෝජනාව, ජනාධිපතිවරයා සමග සිටින තමන් වැනි පොහොට්ටු අමාත්‍යවරුන්ද සලිත කළ බවය.

ෂම්මි සිල්වාගේ නායකත්වයෙන් යුතු වර්තමාන ක්‍රිකට් පරිපාලනය එම පරිපාලන කටයුතුවලින් ඉවත් කර අන්තර් පාලක මණ්ඩලයක් හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ කටයුතු කළ අතර එම ගැසට් පත්‍රය නිකුත්වූ වහාම ජනාධිපති ලේකම් කාර්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ මෙම අන්තර්පාලනය පත් කිරීම පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කර නැති බවය.

පසුගිය 06දා මෙම ගැසට් නිවේදනය පිළිබඳව දැනගත් වහාම ජනාධිපතිවරයාද ක්‍රීඩා අමාත්‍යවරයා අමතමින් කරුණු විමසා ඇති අතර පසුව එදින හවස පැවති කැබිනට් රැස්වීමේදී මේ පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයාට දොස් නඟා, පසුව මෙම නව කමිටුව පිළිබඳව සොයා බැලීම සඳහා අමාත්‍ය අනු කමිටුවක් පත් කරන්නට ද කටයුතු කර ඇත. මෙයින් පෙනුනේ ජනාධිපතිවරයා මෙම නව පත් කිරීම පිළිබඳව කල්පනා කළ ආකාරයයි.

ක්‍රිකට් අවුල මෙසේ තවතවත් වර්ධනය වනවිට නව කමිටුව පත් කිරීම පිළිබඳව ජනාධිපතිවරයාගේ කැමැත්තක් නැතිබව තවදුරටත් ප්‍රදර්ශනය වූ අතර ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ප්‍රමුඛ ජනාධිපතිවරයාට සමීප පුද්ගලයින්ද ෂම්මි සිල්වා මහතා ගේ ක්‍රිකට් පරිපාලනය සමග සිටින බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි.

තත්ත්වය මෙසේ තිබියදී අභියාචනාධිකරණය මෙම අතුරුපාලක මණ්ඩලයේ ක්‍රියාත්මක වීම වළකාලමින් අතුරු තහනමක් පැනවීය. මෙම අධිකරණ ක්‍රියාවලියේදී එයට මැදිහත් වන්නැයි නීතිපතිවරයාගෙන් ක්‍රීඩා අමාත්‍යවරයා ඉල්ලා සිටියත් නීතිපතිවරයාද එය මඟහැර කටයුතු කර ඇත. එයින්ද පෙනෙන්නේ ජනාධිපතිවරයා අමාත්‍යවරයාගේ තීරණයට ප්‍රතිචාරය දැක්වූ ආකාරයයි. මෙම තත්ත්වය තුළ ජනාධිපතිවරයාට සහ ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානියා ඇතුලු එජාපයෙන් ඇවිත් ආණ්ඩුව තුළ කටයුතු කරන කණ්ඩායමට විරුද්ධව මේ හරහා රතු එළියක් දැල්විය යුතුයැයි පොහොට්ටුවේ කණ්ඩායමක් කල්පනා කළ බවක් ඊටපසු සිදුවුණ සිදුවීම් ජාලය හරහා පෙනෙයි.

ඒ සමග ඇතිවූ තත්ත්වයෙන් පසුව පසුගිය 8දා ක්‍රීඩා අමාත්‍යවරයා මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළ අතර එම ප්‍රකාශයද ආණ්ඩුවේ සිටින ප්‍රබල අමාත්‍යවරයෙක් ලියාදුන් එකක් බව වාර්තා වෙයි. එම විශේෂ ප්‍රකාශයෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා මෙන්ම ජනාධිපතිවරයාට සමීප පුද්ගලයින්ද විවේචනයට ලක් කළ අතර එම ප්‍රකාශයෙන් පසුව ඇතිවූ නව තත්ත්වය සමග විපක්ෂ නායකවරයා මේ පිළිබඳව විවාදයක් ඉල්ලා සිටි අතර පසුව පැවති පක්ෂ නායක රැස්වීමේදී ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය එකතුව මෙම විවාදය පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුව වෙත ගෙන එන්නට කැමති බව ප්‍රකාශ විය.

‘දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත්කිරීම‘ යන මැයෙන් විපක්ෂය විසින් ගෙන එන්නට සූදානම් වූ මෙම යෝජනාව ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය ඒකාබද්ධව ගෙන එන යෝජනාවක් බවට පත්කිරීම ජනාධිපතිවරයාට පොහොට්ටුව කළ පුංචි අනතුරු ඇඟවීමක් බව පෙනෙයි. සීතල යුද්ධය තවමත් අවසන් නැත. මේවනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සීලයෙන් තාවකාලිකව නෙරපාහරින්නට කටයුතු සිදුවී හමාරය. ඒ අනුව එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම් සිදුවීමට නියමිතය. මෙම නව හැඩගැස්ම අයවැය සඳහා කෙසේ බලපානු ඇතිද? මෙම ප්‍රශ්නයට ලැබෙන විසඳුම ආණ්ඩුවේ සහ ජනාධිපතිවරයාගේ අනාගතය තීන්දු කරනු ඇත.