You are currently viewing රතු බිල් වැඩි වෙන විදුලිය…!

රතු බිල් වැඩි වෙන විදුලිය…!

-කේ. සංජීව-

2023 වර්ෂයේ ජනවාරි සිට ඔක්තෝම්බර් මාසය දක්වා කාලය තුළ විදුලි බිල නොගෙවා හැරීම නිසා විදුලිය විසන්ඳි කර ඇති ප්‍රමානයන් මෙසේය. ජනවාරි මාසය – 45029, පෙබරවාරි – 42694, මාර්තු – 58438, අප්‍රේල් – 36719, මැයි – 74232, ජුනි – 89623, ජූලි – 118481, අගෝස්තු – 120474, සැප්තැම්බර් – 96439, ඔක්තොම්බර් – 106106. මෙම සංඛ්‍යා දත්ත කියන කතාව කුමක්ද? මෙයින් කියවෙන්නේ නිරන්තරව අසීමිතව වැඩි කරමින් සිටින විදුලි බිල ගෙවාදමන්නට සාමාන්‍ය මිනිසුන්ට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවය. උදාවෙමින් ඇති බවය.

ලංකා විදුලි බල මණ්ඩලය පසුගිය ඔක්තෝබර් මාසයේ රුපියල් බිලියන 20ක් ලාභයක් උපයා ඇති බව වාර්තා වෙන අතර එම පසුබිම තුළද පසුගිය දා 18%කින් විදුලි බිල වැඩි කිරීමට ආණ්ඩුව කටයුතු කරනු ලැබුණි. මෙම වර්ෂය තුළ නැවත විදුලි බිල වැඩි නොකරන බව ආණ්ඩුව සහ අමාත්‍යවරයා ප්‍රකාශ කළත් තව මාස දෙකක කාලයක් තුළ කුමක් සිදුවෙනු ඇතිදැයි සිතාගත නොහැකිය.

මෙහිදී වැදගත් කතාව වන්නේ මෙසේ දිගින් දිගමට ආණ්ඩුව විදුලිය ගාස්තු වැඩි කරමින් සිටින්නේ පුරෝකථනයන් පාදක කරගනිමින් බවය. ඔක්තෝම්බර් මාසයේ පුරෝකථනයන් සහ ඇත්ත විදුලිය නිෂ්පාදනය දෙස බැලීමෙන් පෙනෙන්නේ ඔක්තෝම්බර් මාසය තුළ විදුලි බල මණ්ඩලය මෙම පුරෝකථනයන් පිහිටෙන් ජනතාවට මායාවන් පෙන්වා විශාල ලාභයක් බලාගෙන ඇති බවයි. ඉදිරියේදී විදුලි බල මණ්ඩලය විකුණා දැමීම සඳහා මෙසේ ලාභය පෙන්වීම අත්‍යාවශ්‍ය තත්ත්වයක් විය හැකිය. එහෙත් එමගින් දුප්පත් ජනතාව තවදුරටත් සමාජ හිනිපෙතේ පහළට තල්ලු කරමින් සිටීම බරපතළය.

ලංකා විදුලි බල මණ්ඩලයයේ පුරෝකථනයන් හරිනම් පහුගිය ඔක්තෝම්බර් මාසයේ එම මණ්ඩලය විදුලිය ගිගාවොට් පැය 1303ක් නිෂ්පාදනය කළ යුතුය. එහෙත් ඔවුන් එම මාසයේ නිපදවා ඇති විදුලිය ප්‍රමානය ගිගාවොට් පැය 1265ක් ය. ඒ අනුව පුරෝකථනයට අඩුවෙන් විදුලිය නිපදවා ඇති බව ඔබට පැහැදිලි විය යුතුය. අනෙක් පැත්තෙන් පුරෝකථනයට අනුව ප්‍රධාන ජල විදුලි බලාගාරවලින් 33%ක විදුලියක් නිෂ්පාදනය කිරීමට පුරෝකථනය කර තිබුණත් ජල විදුලි බලාගාර හරහා ඊට වඩා ධාරිතාවයකින් විදුලිය නිපදවා ඇත.

ඒ අනුව 43%ක විදුලි බලයක් නිෂ්පාදනය කර ඇත්තේ ජල විදුලි බලාගාර උපයෝගී කරගෙන ය. ඒ අනුව පුරෝකථනයන් හරහා ලංකා විදුලි බල මණ්ඩලය ලබාගෙන තිබෙන ලාභය පිළිබඳ කතාව ඔබට වැටෙහෙන්නට ඕනෑ ය. ගල් අගුරු තාප බලාගාරයන් හරහා විදුලිය නිපදවන්නේ නම් විශාල පිරි වැයක් දරන්නට සිදුවෙන අතර පුරෝකථනයට අනුව 38%ක් ගල් අගුරු තාප බලාගාර හරහා විදුලිය නිෂ්පාදනය කරන්න ලංවීම පුරෝකථනය කළත් ඒ හරහා නිෂ්පාදනය කළ ප්‍රමානය 28%ක් ය.

පුනර්ජනනීය ප්‍රභවයන් හරහා විදුලිය 24%ක් නිෂ්පාදනය කරන්නට අදහස් කළත් එම ප්‍රමානය ද 22%ක් බව වාර්තා වෙන පසුබිම තුළ ජල විදුලිය කොතරම් සක්‍රීයතාවයකින් වැඩ කර ඇත්දැයි ඔබට පැහැදිලි විය යුතුය. ජල විදුලිය යනු ලාභදායීම බලශක්ති මූලාශ්‍රය වන පසුබිමක ජනතාවට දෙන විදුලිය ඒකකය තාප විදුලි ඒකකයකට සාපේක්ෂව ගණන් බැලීම අතිශ්‍ය අසාධාරණයක් ය. එහෙත් ලංවීම දිගින් දිගටම කරමින් සිටින්නේ එයයි.

පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ප්‍රධාන ජල බලාගාර හරහා විදුලිය ගිගාවොට් පැය 432ක් නිපදවන බවට ගණන් හැදුවත් එම ප්‍රමානය වැඩි කර ගිගාවොට් පැය 548ක් දක්වා ටර්බයින් කරකවා ඇත. ගල් අඟුරු හරහා විදුලිය ගිගාවොට් පැය 494ක් හදන්නට ලංවීම පුරෝකථනය කළත් ඔවුන් ඇත්තටම ගල් අඟුරු බලයෙන් ටර්බයින් කරකවා ඇත්තේ ගිගාවොට් පැය 356ක විදුලියක් ලබා ගන්නට ය.

ඩීසල් බලාගාරවල තත්ත්වයත් සුළං බලාගාරවල තත්ත්වයත් මෙයමය. ඒ සියල්ල හරහා පුරෝකථනය කළ වියදමට වඩා අඩු වියදමකින් විදුලිය නිෂ්පාදනය කරන්නට ලංවීම සමත්ව ඇත. ඒ අනුව හරි නම් ඔක්තෝම්බර් මාසයේ හරි විදිහට ගණන් හැදුවේ නම් විදුලි ඒකකයක සමස්ථ පිරිවැය සටහන් වී ඇත්තේ රුපියල් 17.82ක මුදලක් ලෙසය. නමුත් ඔක්තෝබර් මිල සංශෝධනයේදී එම වැඩි කිරීම්වලට අදාළ විදුලි ඒකකයක සාමාන්‍ය අගය සේ සලකා ඇත්තේ රුපියල් 50.11ක මුදලකි. මේ සියලු දේවල් හරහා පසුගිය ඔක්තෝබර් මාසයේදී ලංකා විදුලි බල මණ්ඩලය ලබා ඇතැයි කියන ලාභය රුපියල් මිලියන 19,168.99කි.

මේ අනුව අප යෝජනා කළ යුතුවන්නේ බලාගාර හරහා නිෂ්පාදනය කරන ඇත්ත විදුලිය ප්‍රමානයත් සමග ගණන් බැලෙන සීමිත ලාභයක් සමග ඉදිරියට යන මිල සූත්‍රයක් ය. ජල විදුලිය වැඩි පුර භාවිතා කරන කාලයන් සඳහා ඒ සහනය ජනතාවට ලබාදිය යුතුය. ජලය යනු අපි සැමට එක සේ අයිති සම්පතක් ය. එනිසා එය වැඩිපුර භාවිතා කරමින් උපරීම කාර්‍යක්ෂමතාවයකින් විදුලි නිෂ්පාදනය කරන කාලයන් සඳහා ඒ සහනය ජනතාවට ලබාදිය යුතුය.

අනෙක් පැත්තෙන් අධික මිලක් ගෙවා පද්ධතියට එකතුකරන ඩීසල් බලාගාරයන් නිෂ්පාදනය කරන විදුලිය අඩුවෙන්ම ලබාගැනීම වෙනුවෙන් මහජන උපයෝගීතා කොමිසම මෙන්ම විදුලි බල මණ්ඩලය ද සැළසුම් සකස් කළ යුතුය. එහෙත් සිදුවන්නේ සරළව සියලුම නොහැකියාවන් ජනතාවගේ පිටමත තැබීමය. අධික බදු බරත් සමග එලබෙන දෙසැම්බරය වනවිට පවුල් කීයකගේ විදුලිය සිඳලන්නට ලංවීමට සිද්ධවේදැයි කියන්නට බැරිය. නමුත් එය ලක්ෂය ඉක්මවා ගිය ගණනක් බව නම් පුරෝකථනය කළ හැකිය.

තොරතුරු – නිව්ස්ෆර්ස්ට් / අනිද්දා

#Ceylon Electricity Board #Electricity Bills #Sri Lanka #Hydro Power