You are currently viewing ඩයනාගේ මන්ත්‍රී ධුරය අහෝසි විය යුතුයි – විනිසුරු M.A.R. මරික්කාර්

ඩයනාගේ මන්ත්‍රී ධුරය අහෝසි විය යුතුයි – විනිසුරු M.A.R. මරික්කාර්

-කේ. සංජීව-

සංචාරක කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය බල රහිත කිරීමට ක්වෝ වොරන්ටෝ ආඥාවක් නිකුත් කරන්නයැයි ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ සමාජ ක්‍රියාකාරික ඕෂල හේරත් මහතා ගොනුකර තිබුණු පෙත්සම පසුගිය ඔක්තෝබර් 31දා ඉවත දමන්නට එම පෙත්සම විභාග කළ තිදෙනෙක්ගෙන් යුතු විනිසුරු මඩුල්ලෙන් දෙදෙනෙක් තීරණය කර තිබුණි.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මෙම පෙත්සම ඉවත දමන්නට තීරණය කර තිබුණ අතර ඒ අනුව බහුතරයේ තීන්දුව ක්‍රියාත්මක වෙනු ඇත. මෙහි වැදගත් කාරණය බහුතරයේ තීන්දුව නොව මෙහි අනෙකුත් විනිසුරුවරයා වන විනිසුරු එම්.ඒ.ආර්. මරික්කාර් මහතාගේ තීරණයයි.

සුළුතරයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මරික්කාර් විනිසුරුවරයා ප්‍රකාශ කර තිබුණේ ඩයනා ගමගේ මන්ත්‍රීවරිය තමන් ශ්‍රී ලාංකිකයෙකු බවට ඔප්පුකරන්නට අසමත්වී ඇති බවයි. ඒ අනුව එම විනිසුරුවරයා තම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ඩයනා ගමගේගේ මන්ත්‍රී ධුරය අහෝසි විය යුතු බවය. මෙහිදී මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මරික්කාර් විනිසුරුවරයා අවධාරණය කරන්නේ ඩයනා ගමගේ ගේ අවංකභාවය, සුපිළිපන්බව, විනිවිදභාවය, වගවීම ප්‍රශ්න සහගත බවය.

බහුතරයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ප්‍රකාශ කර ඇත්තේ පෙත්සම්කරු වගඋත්තරකාර ඩයනා ගමගේ වෙත එල්ල කරන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු අධිකරණය හමුවට ඉදිරිපත් කර නැති බවය.

මහජන සුභසාධන නඩුකරයක් ලෙස මෙම පෙත්සම ඉදිරිපත් කළ බව පෙත්සම්කරු පවසන බවත්, මහජන සුභ සාධනය සඳහා නඩු ඉදිරිපත් කිරීමේ දී එහි පිටුපස සැඟවුණු දේශපාලන න්‍යායපත්‍ර තිබිය නොහැකි බවත්, එවැනි නඩුකරවලින් සදාචාර විරෝධී ලෙස ලාභ ප්‍රයෝජන අපේක්ෂා නොකළ යුතු බවත්, සද්භාවයකින් යුතුව කරුණු ඉදිරිපත් කළ යුතු බවත් මෙහිදී බහුතරයේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ප්‍රකාශ කරන සභාපති විනිසුරුවරයා ඩයනා ගමගේ මන්ත්‍රීවරිය අපකීර්තියට පත් කිරීම සහ ද්වේෂසහගත ලෙස ඇයගේ හොඳ නම පළුදු කිරීමේ අරමුණින් සිය පෞද්ගලික න්‍යායපත්‍රය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පෙත්සම්කරු මෙය ඉදිරිපත් කර තිබෙන බවද එය අධිකරණයෙන් සහනයක් ලබාගැනීමට සුදුසුකමක් නොවන බවද ප්‍රකාශ කර ඇත (බීබීසී සිංහල).

මෙහිදී වැදගත් වන්නේ සුළුතරයේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මරික්කාර් විනිසුරුවරයා ගන්නා ස්ථාවරයයි. එය ලංකාවේ නීතියේ පාලනය සහ වගවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් බොහෝ වැදගත් ය.

මෙම පෙත්සම හරහා ඕෂල හේරත් මහතා ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසියෙක් බව අවධාරණය කර ඇති අතර එහිදී ඔහු ඩයනා ගමගේ මන්ත්‍රීවරිය අංක 094425352 සහ 521398876 දරන බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍ර ලාභියෙක් බව ප්‍රකාශ කර ඇත. මෙම ගමන් බලපත්‍ර දෙක භාවිතා කරමින් ඇය බොහෝ වාරයක් ලංකාවට පැමිණ ඇති බව ප්‍රකාශ කර ඇත.

පසුව ඩයනා ගමගේ මහත්මිය අංක 6553 යුතු උප්පැන්න සහතිකයක් සහ අංක 658534300 යුතු හැඳුනුම්පතක් භාවිත කරමින් ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇත. එහි අංකය 5091386 යයි. මෙහිදී ඇය ලංකා රාජ්‍ය නිකුත් කරනු ලබන ගමන් බලපත්‍රයක් ලබාගෙන තිබෙන්නේ ඇගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හෙළි නොකරමින් ය.

ඉන්පසු ඩයනා ගමගේ මහත්මිය අංක 4683 දරන උප්පැන්න සහතිකයක් භාවිත කරමින් අංක OL5654794 දරන නිල විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇත. මෙම නිල විදෙස් ගමන් බලපත්‍රය ලබාගැනීම සඳහා ඇය භාවිතා කර ඇති අංක 4683 උප්පැන්න සහතිකය සහ අංක 6553 දරන උප්පැන්න සහතිකය එකිනෙකට පරස්පර බව අනාවරණය වී ඇති අතර එම තත්ත්වයන් ගෙන හැර දක්වමින් පැමිණිල්ලේ නීතීඥයන් අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ මෙය කූඨ ලේඛන සෑදීමක් බවය.  

මෙහි තිබෙන පුදුමය නම් අංක 6553 දරන උප්පැන්න සහතිකයේ සඳහන් කොට්ඨාසය ඇත්ත වශයෙන් නොපවතින එකක් වීමය. අංක 4683 උප්පැන්න සහතිකයේ සඳහන් නම 2003 සිට 2014 දක්වා කිහිප වතාවක් වෙනස් කර ඇති බවද මෙහෙදී අනාවරණය වී ඇත.

මේ බොහෝ කරුණු අනාවරණය වී ඇත්තේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක බී48037/01/2021 දරන නඩු වාර්තාවෙන් ය. 2023 අප්‍රේල් 04 දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ලබා දුන් නියෝගයක් අනුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සේවිකාවක වන හංසිකා මිහිරි කුමාරසිංහ මහත්මියගෙන් ප්‍රකාශයන් සටහන් කරගෙන ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ, ඩයනා ගමගේ මහත්මිය 094425352, 521398876 යන අංක සහිත බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍ර දෙකක් භාවිත කරමින් 2014.10.05 සහ 2015.07.16 යන දින දෙක තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවය.

එහිදී ඇය ශ්‍රී ලංකා වීසා ලබා ගෙන ඇත. ඒ අනුව ඇය N5091386, OL5654794 අංක සහිත ලංකා ගමන් බලපත්‍ර දෙක ලබාගැනීමට ප්‍රථම බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍ර භාවිතා කර ඇති බව මෙහිදී අනාවරණය වී ඇත.

මේ සියලු තොරතුරු සලකා බලමින් ඒවා පිළිබඳව සිය නිරීක්ෂණයන් තබමින් විනිසුරු මරික්කාර් මහතා ප්‍රකාශ කරන්නේ මෙවැනි ක්වෝ වොරන්ටෝ පෙත්සමක් සලකා බැලීමේදී ඩයනා ගමගේ මහත්මිය විසින් තම නිර්වද්‍යතාවය ඔප්පු කිරීම සඳහා කරුණු ඉදිරිපත් කළ යුතු බවය.

‘මෙය ක්වෝ වොරන්ටෝ රිට් අයැදුම්පත්‍රයකි. රිට් අයැදුම්පතකදී පාර්ශ්වයක් විසින් ඉදිරිපත් කරන ලද, නීත්‍යනුකූලව වලංගු ලියවිල්ලක් සලකා නොබැලීමට ප්‍රතිපාදන නොමැත. මෙම ආඥාව සඳහා වන විධිවිධාන ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 වැනි වගන්තිය මගින් පාලනය වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනයක් යටතේ ලබා දී ඇති බලය කිසිදු සාමාන්‍ය නීතියේ ප්‍රතිපාදනයකට යටපත් කළ නොහැක. එබැවින් අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ පවතින විධිවිධාන සලකා බැලීමට අධිකරණයට බැඳීමක් නොමැත’ – (අනිද්දා-2023-11-05), ලෙස විනිසුරු මරික්කාර් මහතා සිය තීන්දුව තුළ සටහන් කර ඇතැයි අනිද්දා පුවත්පත වාර්තා කරයි.

ඩයනා ගමගේ මහත්මිය ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා වීසා ලබා ගැනීම සඳහා බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍ර අංක 094425352 සහ 521398876 භාවිත කළ බව පිළිගෙන ඇති බවත්, මේ නිසා මෙම තැනැත්තිය ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවන බවට වූ පෙත්සම්කරුගේ තර්කය බැලු බැල්මට සනාථ කිරීම උදෙසා සාක්ෂි පවතින බවත් ප්‍රකාශ කරන මරික්කාර් විනිසුරුවරයා ප්‍රකාශ කරන්නේ අදාළ ලේඛනයක් පරිශීලනයෙන් පෙනෙන්නේ ඇය ද්විත්ව පුරවැසිභාවය හෝ ලබාගෙන නොමැති බව ය.

මේ අනුව ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අත්හැර නැතිබවට පෙත්සම්කරු නඟන තර්කය සනාථ කිරීම සඳහා පෙත්සම්කරු විසින් සාක්‍ෂි ඉදිරිපත් කර ඇති බව තමන්ගේ අදහස යැයි සුළුතරයේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මරික්කාර් විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත.

පුද්ගලයෙක් ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වීමට නම්, ඔහු ලංකාවේ පුරවැසියෙකු විය යුතු බවත් එය අභියෝගයකට ලක්වුණ අවස්ථාවකදී තමන් ලංකාවේ පුරවැසියෙක් බව පෙන්වීමට උත්සාහ කළ යුතු බවත් ප්‍රකාශ කරන විනිසුරුවරයා ඩයනා ගමගේ මහත්මිය එවැනි උත්සාහයක් නොගත් බවට ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු යනු මහජනයාගේ නියෝජිතයාය. මන්ත්‍රීවරුන් නියෝජනය කරන්නේ ජනතාවයි. එහිදී එම නියෝජනය සඳහා ප්‍රතිලාභ, දීමනා, විශ්‍රාම වැටුප් ගෙවනු ලබන්නේ බදු ගෙවන ජනතාවය. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මහජනතාවට විනිවිදභාවයෙන් කටයුතු කළ යුතු බවත් ඔහු හෝ ඇය තම අනන්‍යතාව නොසඟවා එය අනාවරණය වීමට ඉඩහල යුතු බවත් මරික්කාර් විනිසුරුවරයා සිය සුළුතර තීන්දුවෙන් අවධාරණයට ලක්කර ඇත. මෙය ඉතාමත් වැදගත් ය.

මෙවැනි බොහෝ කරුණු සඳහන් කරමින් ද ජස්ටිස් බීපී බැනර්ජි විසින් රචිත ‘රිට් ඔෆ් රිමීඩීස්’ නම් ග්‍රන්ථය වැනි ග්‍රන්ථයන් පිළිබඳව සඳහන් කරමින් ද ඩිලාන් පෙරේරා එරෙහිව රාජිත සේනාරත්න නඩුව, ගීතා කුමාරසිංහගේ පුරවැසිභාවය අභියෝගයට ලක් කළ නඩුව ආදී බොහෝ නඩු තීන්දු ගෙන හැර දක්වමින් ද තම තීන්දුව ප්‍රකාශ කරන මරික්කාර් විනිසුරුවරයා ප්‍රකාශ කරන්නේ තමන්ට අභියාචනාධිකරණයේ සභාපතිවරයාගේ සොයාගැනීම් සමඟ එකඟ විය නොහැකි බවය.

ඒ අනුව ඔහු තව දුරටත් ප්‍රකාශ කරන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මියට එම ධුරයේ කටයුතු කිරීමට බලයක් නොමැති බවය. එය අහෝසි කළ යුතු බවය.

මෙය සුළුතරයේ නඩු තීන්දුව වුණත් මෙය වැදගත් නඩු තීන්දුවක් ය. ගීතා කුමාරසිංහ මහත්මියට මෙවැනිම අවස්ථාවකදී තම මන්ත්‍රී ධුරය අහෝසි වුණ අතර ඩයනා ගමගේගේ මන්ත්‍රී ධුරය බහුතරයේ තීන්දුවත් සමග සුරක්ෂිත වී ඇත. 

#Diana Gamage #Oshala Herath