කේ. සංජීව
පහුගිය 26 වෙනිදා මුහුනු පොතට එබීගෙන ඉන්නකොට එකපාරටම මුහුනට වැදුන වීඩියෝ කෑල්ලක් ඔලුවට පොඩි පහරක් එල්ල කළා. ඒ වීඩියෝවේ තිබුණේ මඩකලපුව මංගලාරාමයේ වැඩවසන අම්පිටියේ සුමන රතන හිමියන් උසස් පොලිස් නිළධාරියෙක් සමග වලියක පැටලුන සෙයියාවක්. තව ටිකක් එහාට බලනකොට තමයි තේරුණේ හාමුදුරුවෝ මූලික වෙලා ජනාවාසකරණය කරපු දිවුලපතාන කියන ගමේ, හාමුදුරුවෝම හදපු පන්සලේ බුදු පිළිමය ඊට කළින් දවසේ රාත්‍රියේ අතුරුදන් කරලා කියන එක.
දැන් හාමුදුරුවෝ මේ ගමට ඇතුල් වෙන්න හදනවා මේ පිළිමයට මොකද වුණේ කියලා බලන්න. ඒත් හාමුදුරුවන්ට දිවුලපතානට යන්න දෙන්න බැහැ කියලා පොලිස් ස්ථානාධිපතිවරයා කියනවා. හාමුදුරුවෝ අහනවා කවුද ඒ නියෝගය කළේ කියලා. පොලිස් ස්ථානාධිපතිවරයාගේ උත්තරය වෙන්නේ පොලිස්පතිගේ නියෝගයක් තිබෙනවා හාමුදුරුවන්ට ගමට යන්න දෙන්න බෑ කියලා.
ලෝක යුද්ධයකින් පස්සේ හාමුදුරුවෝ ගමට යනවා. ඒ යන්න කළින් හාමුදුරුවෝ අතුරුදන් බුදු පිළිමය ගැන පොලිසියේ මේ ලොකු මහත්තයාගෙන් කරුණු අහනවා. ඔහු ඊට දෙන උත්තර අපිට තවත් කතාවක් කියනවා. ඒ කතාව තමයි, අතුරුදන් පිළිමයේ තතු විත්ති මේ ආරක්ෂක අංශ දන්නවා කියන දේ. මේ පිළිමය නිසා ජාතිවාදී කලබල ඇතිවෙයි කියලා ජනාධිපතිවරයා හිතනවා නම් ඔහුට ශක්තිය තියෙන්න ඕනෑ ඒක ප්‍රසිද්ධියේ කියලා, පිළිමය දහවලක ගලවගෙන යන්න කියලා බළධාරීන්ට කියන්න.
නැගෙනහිර හිටපු ආණ්ඩුකාරතුමිය වෙන අනුරාධා යහම්පත් මහත්මිය ඒ තනතුරේ ඉන්න කාලේ, ඇයත් ඉන්න පෙරහැරකින් තමයි මේ පිළිමය මඩකලපුවේ අලුතින් ජනාවාස කරපු මේ ගමට ගෙනත් තියෙන්නේ. එහෙම පිළිමයක් මෙහෙම අතුරුදන් කිරීම ජාතිවාදී ආතතීන් නැවත ඇති වෙන්න හේතුවක් වෙන්න පුලුවන්. ඒනිසා රාජ්‍යයකට මෙහෙම පණු කරඳ න්‍යායෙන් හැම ප්‍රශ්නයකටම උත්තර සොයන්න බැරි බව දැනගන්න ඕනෑ. අනෙක් පැත්තෙන් මේ අතුරුදන් කිරීම හරහා බලාපොරොත්තුවෙන්නේ බෞද්ධයා අවුස්සා ගැනීමද? ඒ පිළිබඳව විශේෂයෙන් බෞද්ධ පුරවැසියන් කල්පනා කරන්න අවශ්‍යයි.
සිදුවීම
පසුගිය ඔක්තෝම්බර් 19 වෙනිදා උදෑසන තමයි මේ කියන පොලිස් ස්ථානාධිපති සහ විහාරාධිපති හිමියන් අතර ගැටුම සිදුවෙන්නේ. හාමුදුරුවෝ කියන විදිහට ඊට කලින් දවසේ 18 වෙනිදා රාත්‍රියේ තමයි බුදු පිළිමය අතුරුදන් වෙලා තිබෙන්නේ. හාමුදුරුවෝ අවසානයේ ගමට ගිහිං ගමේ මිනිස්සු රැස් කරලා කියන්නේ මේ බුදු පිළිමය අතුරුදන් වුණ එකට තමන්ට මඩකලපුව පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්‍යම් ශානක්‍යන් සැකයි කියලා. මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීම බරපතළ තත්ත්වයක්. ඒ වගේම මෙවැනි ප්‍රකාශයකට අවශ්‍ය පසුබිම හදපු එකත් බරපතළ තත්ත්වයක්. හාමුදුරුවෝ මාධ්‍ය ඉස්සරහා තියාගෙන මෙන්න මෙහෙම කියනවා.
‘මේ ඉඩම් ප්‍රශ්නය ගැන රාසමානික්‍යම් මන්ත්‍රී පාර්ලිමේන්තුවේ පෙරළි පෙරළි කතා කරනවා, හැබැයි කවුරුවත් අපේ කෙනෙක් මේ ගැන කතා කළේ නෑ. අපිට ඒ ගැන දුකයි. රාසමානික්‍යම් මන්ත්‍රීතුමා අපිට ඇතුලට එන්න දෙන්න එපා, වාහනවලට ඇතුලට එන්න දෙන්න එපා කියලා පහුගිය 17 වෙනිදා පාර්ලිමේන්තුවේ කතාකරලා කිව්වා.
ඒක කියන්න හේතුව තමයි පහුගිය ඉරිදා දවසේ (17 දිනට කලින් ඉරිදා දින ) රාසමානික්‍යම්, දිසාපති ඇතුලු පිරිසක් ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිතුමා මුණ ගැහිලා, මේ ගැන සාකච්ඡා කරලා තියෙනවා. එතනදි තමයි ජනාධිපතිතුමා පොලිස්පතිතුමාට නියෝගයක් කරලා තියෙන්නේ බැරියර් දාලා මේ ගම අස්සට භික්ෂූන් වහන්සේලා එන එක වළක්වන්න කියලා. ඒ අස්සේ ඊයේ රෑ කවුරුහරි බුදු පිළිමය අරගෙන ගිහිං තියෙනවා. ගෙනිච්චේ කවුද කියලා තවමත් හොයාගන්න නෑ. අපි සැකකරනවා රාසමානික්‍යම් මේක අතුරුදන් කළා කියලා‘
හාමුදුරුවන්ගේ මේ චෝදනාව ගැන මම මන්ත්‍රීවරයාගෙන් කරුණු විමසුවා. ඔහුට ඒ ගැන තිබුණේ මෙහෙම අදහසක්.
‘මේක සිංහල ජනතාව අස්සේ මට තියෙන ප්‍රසාදය නැති කරන්න කරන කුමන්ත්‍රනයක්. මම මේකට කිසිම සම්බන්ධයක් නෑ. අනික මේ රටේ බුද්ධි අංශයක් තියෙනවා, මේ හැමතැනකම හමුදාව පොලීසිය ඉන්නවා, ඉතිං හොයලා බලන්න බුදු පිළිමයට මොකද්ද වුණේ කියලා‘
ඇත්තටම මඩකලපුවේ මොකද්ද මේ වෙන්නේ? මම මේ ප්‍රශ්නයේ අගමුල ලෙහාගන්න උත්සාහ කළා.
‘මෙතන තියෙන්නේ හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් ඇති කරපු ප්‍රශ්නයක්. 1980 විතර යුද්ධෙන් අවතැන් වෙලා ගම් දාලා ගිය දිවලපතාන කියන ගමේ අය තමයි මෙතනට පදිංචියට ඇවිත් තිබෙනවා කියලා කියන්නේ. ඇත්තටම මේ ස්ථානය දිවුලපතාන කියන ඒ පැරණි ගම තිබුණ තැන නෙවෙයි. ඒ ගම තිබුණ තැන දැන් මහා කැලයක් තියෙන්නේ. එතන අල්ලගෙන සුද්ද කරගත්තා නම් ඒක අපිට ප්‍රශ්නයක් නෑ. මෙයාලා දිවුලපතාන කියලා අල්ලගෙන ඉන්නේ අපේ මිනිස්සුන් කාලයක් තිස්සේ හරක්ට තණ කොළ කැව්ව තණ පිට්ටනිය.
අනික අපිට සිංහල ජනතාව එක්ක ජාතිවාදි ප්‍රශ්නයක් නෑ. මේ කියන තැන සිංහල මිනිස්සු ගෙනල්ලා පදිංචි කරපු එක තමයි අපිට තියෙන ගැටලුව. මෙතන හරක් ලක්ෂ 06කට විතර තණ කොළ කවන තැනක්. මිනිස්සු මෙතනට හැමදාම හරක් දක්කන්නේ නෑ. ගොවිතැන් කරන කාලෙට විතරයි මෙතනට හරක් ගෙනල්ලා ඇරලන්නේ. මිනිස්සු ඇත්තටම හරක් කොච්චර ඉන්නවද කියලා කියන්නෙත් නෑ. ඒකට හේතුව තමයි සමෘද්ධිය වගේ රජයේ සහනාධාර කපාදායි කියන බය. ඒ නිසා මෙතන විශාල ප්‍රශ්නයක් තියෙනවා’
දැන් අපිට පුලුවන් මේ ගම්දනව්වල අතීතය හරහා රවුමක් යන්න. ඒ හරහා මේ ප්‍රශ්නය දකින්න
මයිලත්තමඩු අතීතය
මයිලත්තමඩු කියලා කියන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයේ, කෝරලෙයි පත්තු දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුඩිම්බිමෛයි ග්‍රාම නිළධාරි කොට්ඨාශයට වගේම එරාවුර්පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, ඊරනයිකුලම් ග්‍රාම නිළධාරි කොට්ඨාශයට කියන ග්‍රාමසේවක කලාප දෙකටම අහුවෙන ප්‍රදේශයක්.
මඩකලපුවේ මිනිස්සු කියන විදිහට ඔවුන් මෙහේට හරක් දක්කන්නේ අවුරුදු 60කට එහා ඈතක ඉදලා. ඇත්තටම මේ ප්‍රදේශයේ ජීවත්වෙන කිරි ගොවීන්ට අවශ්‍ය තණකොල ලබා ගන්න මේ ප්‍රදේශය නීත්‍යානුකූලව වෙන් කරලා තියෙනවා. ඒ බොහොම කාලෙකට කලින්. හැබැයි ඒ තීන්දු කිසිවක් හරි හැටි ක්‍රියාත්මක නොවෙන එක තමයි මෙතන ප්‍රශ්නය. ක්‍රියාත්මක වෙන්නේ පාතලයේ නීතිය විතරයි. නීතියේ පාලනය රාජ්‍යයෙන් ගිලිහිලා ගියාම මෙහෙම ප්‍රශ්න ඇතිවෙන එක සාමාන්‍ය දෙයක්.
ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ තණ බිමට දිගේලි කරන හරකුන් ගාන ලක්ෂ 06 කිව්වත් ගොවියෝ කියන්නේ හෙක්ටයාර් 8242ක් අස්සේ හරක් 35000ක් දිගේලි කරනවා කියලා. කොහොම වුණත් මේ සංඛ්‍යා ගත්තත් ඒක විශාල ප්‍රමානයක්. නොසලකා හරින්න අමාරු දෙයක්.
චෙංගලඩි, කොම්මන්තුරෙයි, වන්දාරුමුලෙයි, මාවඩිවෙම්බු, චිත්තණ්ඩි, මුරුක්කොටන්චේනෙයි, වන්දිවෙල, කොරකල්මඩු, කිරාන්, කින්නයඩි, සහ කරුවාකේනි කියන ගම්වල ජීවත් වෙන කිරි ගොවීන් 9000කට වැඩි ප්‍රමාණයක් මේ කිරි හරක් නිසා ජීවත් වෙනවා. කුලී කම්කරුවන් 3000ක් මේ කර්මාන්තය එක්ක ජීවත් වෙනවා. දිනකට කිරි ලීටර් 3000කට වඩා මේ බිමෙන් දෝවනය කරගන්න, මේ මිනිස්සු ධෛරය සම්පන්න වෙලා. ඒත් මේ ජීවත්වීමේ ආසාවට ඛේදවාචකය එන්නේ යුද්ධය අවසන් වෙලා 2011දි විතර.
අවිදිමත් සහ ආතතිගත ජනාවාසකරණය
2011 දී තමයි මුලින්ම අරලගංවිල, පොළොන්නරුව, දෙහිඅත්තකණ්ඩිය, මහඔය වගේ පැතිවලින් සිංහල ජනතාව ගෙනල්ලා මේ බිමට වීසි කරන්නේ. ඇත්තටම වට්ටක්කා ඇට වගේ වීසි කරලා පුලුවන්නම් පැලවෙයන් කියලා, ඒක තමයි කතාව..! මේ මිනිස්සු ගොඩක් දෙනෙක්ට මුල් ගම්බිම්වල ගෙවල් දොරවල් තියෙනවා කියලත් කියනවා. ඒ කතාව ඇත්ත වෙන්නත් පුලුවන්, මොකද 2016 යහපාලනය කාලේ මේ ප්‍රශ්නය ආවාම එදා පාලකයෝ අනවසර පදිංචිකරුවන් සෑහෙන ප්‍රමානයක් ඉවත්කරලා මේ තණබිම නිදහස් කරලා දීලා තිබෙනවා.
නැවත මේ ප්‍රශ්නය මතුපිටට එන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වෙලා අනුරාධා යහම්පත් මැතිනිය නැගෙනහිර ආණ්ඩුකාරවරිය වුණාට පස්සේ. ඇත්තටම වතුර නැති කාන්තාර වගේ ඉඩම්වලට මිනිස්සු මෙහෙම ගෙනත් අතාරින්නේ දේශපාලන උවමනාවට. මහවැලියට මෙහෙම ඉඩම් තිබුණා කියලා ඉබාගාතේ මිනිස්සු ගෙනල්ලා පදිංචි කළාම මෙහෙම ප්‍රශ්න ඇතිවෙන එක පොදු තත්ත්වය. වැලිඔයත් මේ ප්‍රශ්නයම තිබෙනවා. වව්නියාව නාමල් ගමත් මේ ප්‍රශ්නයම තිබෙනවා.
මේ ගිනි ඇවිලෙන්නේ පොළොන්නරුව අරලගංවිල මඩකලපුව මායිමක. මඩකලපුව ත්‍රීකුණාමල මාර්ගයේ ඉදලා කිලෝමීටර් 30ක් විතර ඇතුලක. ඒත් මේක ලංකාවටම බලපාන ප්‍රශ්නයක් විදිහට උඩු දුවන්න දෙන ස්වරූපයක් තමයි පේන්න තියෙන්නේ. ගැටලුවට විසඳුම රාත්‍රියේ ගිහිං බුදු පිළිමය වාෂ්ප කරන එක නෙවෙයි. විසඳුම තියෙන්නේ සාකච්ඡාවෙන් සංහිදියාවෙන් මේ ප්‍රශ්නය කතා කරලා අවතැන් මිනිස්සු ඉන්නවා නම් ඔවුන්ට ප්‍රශ්න නැති ඉසව්වකින් ඉඩම් දීලා, මේ බිම කිරි ගොවියන්ට නිදහස් කරන එක.
ප්‍රශ්නය විසඳන්නේ කොහොමද?
දේශපාලකයෝ එකතුවෙලා තමයි මේ ප්‍රශ්නය නිර්මානය කරලා තිබෙන්නේ, හැබැයි දැන් මේකෙන් දුක් විඳින්නේ අසරණ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව. ඒනිසා මෙතන ඉඩම් නැතිව ගෙවල් නැතිව ඇවිත් පදිංචි වෙලා ඉන්නවා නම් පිරිසක් ඔවුන් උදුරලා වීසි කරලා මේ ප්‍රශ්නය විසඳන්න බෑ. ඔවුන්ට වෙන හොඳ තැනකින් ඉඩම් ලබාදිය යුතුයි. මෙතන මහවැලි ඉඩම් හෙක්ටයාර් 21000ක් තණ බිමකට වෙන් කළා කියලා දෙමළ මිනිස්සු කියනවා. ඔවුන්ට ඒ ඉඩම් නීත්‍යානුකූලව වෙන් කරලා දෙන්න අවශ්‍යයි.
මේ මිනිස්සු පහුගිය දවසක උපවාසයක් පටන් අරගෙන කිව්වේ 2009 ජුනි 08 දවසේ මඩකලපුව දිස්ත්‍රික් ජ්‍යේෂඨ මිනුම් අධිකරි සකස් කරපු පිඹුරට අයිති ප්‍රදේශය, තෘණ භූමියක් විදිහට ප්‍රකාශය කරන්න කියලා. එහෙමත් බැරිනම් 2011 ජුනි 05 දින හෙක්ටයාර 28034ක මේ භූමිය තෘණ භූමියක් විදිහට ප්‍රකාශ කරන්න කියලා පාර්ලිමේන්තුවේදී ඉල්ලුවාම ඒකට ප්‍රත්චාරයක් විදිහට හෙක්ටයාර 15035ක තෘණ භූමියක් දෙන්න ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යංශය පාර්ලිමේන්තුවේදී අනුමැතිය දීලා තිබෙනවා. උපවාස කරන කිරි ගොවීන් කියන්නේ ඒක වහාම ක්‍රියාත්මක කරන්න කියලා.
මේ වගේ සාධාරණ දුක්ගැනවිල්ලක් මඩකලපුවේ දෙමළ මුස්ලිම් ජනතාවට තිබෙනවා. ඒ ප්‍රශ්නය එලබෙන ජනාධිපතිවරණයක් ඉලක්ක කරගෙන ජාතිවාදී ගැටුමක් කරන්න අපි ඉඩ නොදිය යුතුයි. මහ රෑ උස්සන අතුරුදන් කරන පිළිම වගේ දේවල් පිටුපස්සේ සැඟවෙලා තියෙන කළු යථාර්ථය අපි තේරුන් ගන්න අවශ්‍යයි. හමුදාව පොලීසිය වටේට මුරකාවල් දාගෙන මුරකරන ගමකින් බුදු පිළිමයක් අතුරුදන් වෙන්න නම් ඒකට රාජ්‍යයේ අනුග්‍රහය තිබෙන්න ඕනෑ. ඒනිසා ජාතිවාදය නැවත පතුරෝලා තාවකාලිකව ප්‍රශ්න සමහන් කරන්න කවුරුහරි උත්සාහ කරනවා නම් පුරවැසියාගේ වගකීම තමයි එම උත්සාහයන් පරදවන එක. ඒක කළ යුතුමයි.
අනෙක් පැත්තෙන් රාජ්‍යයට, ඉඩම් ප්‍රතිපත්තියක්, ජනාවාස ප්‍රතිපත්තියක්, ජාතික උරුමයන් සංරක්ෂණය පිළිබඳ ප්‍රතිපත්තියක්, අවශ්‍යයි. මේවගේ යාන්ත්‍රනයන් නැතිව ඉබාගාතේ තවදුරටත් රටක් විදිහට පවතින්න බැහැ කියන දේ තමයි මේ ප්‍රශ්න අපිට පෙන්වන යථාර්ථය.
මෙම ලිපිය සඳහා අදහස් ලබාගැනීමට සුමන රතන හිමියන් සහ අනුරාධා යහම්පත් මහත්මිය දූරකථනය හරහා සම්බන්ධ කරගන්නට උත්සාහ කළද එය අසාර්ථක වුණා.
#AnuradhaYahampath #AmpitiyaSumanaRatana #Batticaloa #Mailattamadu #Rasamanikyam