You are currently viewing යුක්තිය සාධාරණය දුරයි..!

යුක්තිය සාධාරණය දුරයි..!

කේ. සංජීව

හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාට සති තුනක සේවා දිගුවක් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ආවරණ අනුමැතියට යටත්ව ලබාදෙන්නට තීරණය කළත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ජනාධිපතිවරයා ලබාදෙන සේවා දිගුවට එකඟ නැති බව වාර්තා වෙයි. මෙයින් පෙනෙන්නේ නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක කරමින් සමාජය මත නීතිය බලාත්මක කරන්නට පිහිටුවා තිබෙන ආයතනය සඳහා ප්‍රධානියෙක් පත් කරන්නට රාජ්‍යය අසමත්වී තිබෙන ආකාරය යි. මීළඟ පොලිස්පති ලෙස පත් කිරීම සඳහා හොඳ කල්කිරියාවක් සහිත ජේෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් සොයාගැනීම අසීරු බව මේ අනුව දැනගන්න ලැබෙයි. මෙයින් පෙනෙන්නේ පොලිස් සේවාවට ගොස් තිබෙන කල දවස ය.

මේ තත්ත්වය තුළ පොලීසිය පිළිබඳව ජනතාව තුළ තිබෙන්නේ නොපහන් හැඟීමක් ය. පොලීසිය අන්ත දූෂිත බව සමාජයේ අද පොදු පිළිගැනීම වී හමාරය. පසුගිය දා මොනරාගල මාලිගාවිල අසරණ ගොවි මහතෙක් ප්‍රකාශ කළේ ප්‍රදේශයේ ක්‍රියාත්මක මහා පරිමාන මැණික් පතලක් නිසා තම ගම්වැසියන්ට නොයෙක් හිරිහැර විඳින්නට සිදුව ඇති බවයි. එහෙත් මේ හිරිහැර විඳුමට රාජ්‍යයෙන් විසඳුමක් නැත. විසඳුමක් ඉල්ලා හඬ නැඟුවොත් සිදුවිය හැක්කේ කුමක්ද?

මෙම මැණික් නිධියේ කැනීම් සඳහා ගල් බෝර අධිකව භාවිතා කරමින් තිබෙන පසුබිමක තමන් ඇතුලු ගමේ බොහෝ දෙනෙක් අධික කම්පනය නිසා නිවෙස් ඉරිතලා යන බවට හඬ නැඟූවත් එයට පොලීසිය ඇතුලු බළධාරීන්ගෙන් ලැබෙන ප්‍රතිචාරය තාඩන පීඩනයට ලක්කිරීම බව පැවසේ. මෙම ලියුම්කරු මෙම පතල පිළිබඳව මෙන්නම මේ ගමේ පීඩනයට පත් මිනිසුන් පිළිබඳව ද සොයා බැලුවේ ය. එහිදී හමුවුණ ඩී.ජී. ජයසේකර ගොවි මහතා තමන්ට සිදුවූ අසාධාරණය පිළිබඳව කරුණු කීවේ මෙසේ ය.

‘මගේ පුතාගේ හොඳට හදලා තිබුණ ගෙදර මේ මැණික් පතලේ ගල් බෝර දැමිල්ල නිසා ඉරි ගිහිං. පළඳු ස්ථාන 87ක් තියෙනවා. මගේ පුතාගේ ගෙදර විතරක් නෙවෙයි ගොඩක් ගෙවල් ඉරිතලලා. ඒත් පතල් අයිතිකාරයාට සහ පොලීසියට බය නිසා මිනිස්සු මේ අසාධාරණයට විරුද්ධව කතා කරන්නේ නෑ. මම බලාගෙන ඉන්න බැරි තැන පුතාගේ ගෙදරට වෙලා තියෙන හානිය ගැන කියලා, ඔක්කම්පිටිය පොලීසියේ පැමිණිල්ලක් දැම්මා. අන්තිමට මම කප්පන් ගන්න හැදුවා කියලා, මාව දවස් 14කට රිමාන්ඩ් කළා. ශරීර ඇප රුපියල් ලක්ෂ 05ක් තියලා තමයි ගෙදර ආවේ. මගේ පුතා ඇක්සිඩන්ට් එකක් වෙලා එක තැන ඉන්නේ. මම දරු මුණුපුරෝ 07 දෙනෙක් නඩත්තු කරන අහිංසක මනුස්සයෙක්’

මේ ගොවි මහතා වගේ ගමේ කිසිවෙක් මේ අසාධාරණයට විරුද්ධව හඬ නඟන්නට මනාප නැත. එයට හේතුව ප්‍රදේශයේ පන්සල පවා සම්බන්ධ මේ ජාවාරමුන්ගෙන් තමන්ට තම පවුලේ අයට හිරිහැර වෙයි ද කියන සැකය යි. ප්‍රදේශයේ ජනමාධ්‍යවේදියෙක් මේ පිළිබඳව මේ ලියුම්කරු හා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මාළිගාවිල විහාරයට මේ පතලේ හිමිකරුවන් මුදලින් ආධාර උපකාර කරමින් සිටින නිසා තමන් මේ තත්ත්වය පිළිබඳව දැනගත්තත් ඊට මැදහත් වන්නට කල්පනා නොකළ බවය.

අසරණ මනුස්සයෙක් බොරු චෝදනා දමා බන්ධනාගාර ගත කළ බවත් මෙනිසා තමන්ට රටේ නීතිය පිළිබඳව විශ්වාසයක් නැති බවත් ප්‍රකාශ කළ එම ජනමාධ්‍යවේදියා එනිසා ප්‍රසිද්ධියේ මේවා ගැන හඬ නැඟීමෙන් පළක් නැති බව ප්‍රකාශ කළේය. ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ මෙම ස්ථානයෙන් ඒකනයිට් නම් මැණික් වර්ගය හමුවෙන බව දැනගන්නට ලැබෙන බවය. එම මැණික් නිධිය ගල් බෝර දමමින් කැනීම් කරන බවය. ට්‍රක් රථවල පටවා ප්‍රවාහනය කරන බවද, රුසියාවට අපනයනය කරන බව දැනගන්නට ලැබෙන බවද ඔහු ප්‍රකාශ කරයි.

මතබේදයට තුඩුදුන් මෙම මැණික් නිධිය සහිත භූමිය බලපත්‍ර ඉඩමක් ය. එහි මුල් බලපත්‍ර අයිතිය මාළිගාවිල පැලැස්ස ග්‍රාමයේ එච්.බී.එම් පියසේන සතු ය. පසුව මෙම ඉඩම ඔහු කොළඹ වටරැක පදිංචි චූලා වික්‍රමරත්නට විකුණා ඇත. දැන් පතල් නිධිය කැනීම් සිදු කරන්නේ මොහු ය.

මේ පිළිබඳව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාන් ද සිල්වා මහතා ගෙන් මේ ලියුම්කරු කරුණු විමසූ අතර ඔහු එම අධිකාරියේ මොනරාගල ප්‍රාදේශීය කළමනාකරු වන ප්‍රදීප් කිනිගම මහතා සහ මොනරාගල සහකාර කැනීම් ඉන්ජිනේරු තුෂිත බණ්ඩාර මහතා තොරතුරු ලබාදීම සඳහා සම්බන්ධ කළේය.

ඔවුන් දෙදෙනාම සනාථ කළේ යාන්ත්‍රික කැනීම් සඳහා (බැකෝ පතල්) මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මෙම ඉඩමේ අයිතිකරුට අවසර පත්‍රයක් ලබාදී ඇති බවය. මෙහි මැණික් කැනීමේදී වෙඩි පිපිරවීම නිසා නිවාස වලට හානි වෙන බවට පැමිණිල්ලක් ලැබී ඇති බව ද ඔවුන් පිළිගනියි.

මෙහිදී ප්‍රාදේශීය කළමනාකරු ප්‍රදීප් කිනිගම මහතා විශේෂයෙන් ප්‍රකාශ කළේ මේ කියන හානිය පරීක්ෂා කිරීමට තම ආයතනයට තාක්ෂණික හැකියාවක් නැති බවය. එය සිදුකළ යුත්තේ භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කැනීම් කාර්‍යංශය බව ය. මෙම ස්ථාන‍යේ පවතින්නේ ඒකනයිට් නිධියක් ද නැතිනම් සාමාන්‍ය මැණික් ඉල්ලම් නිධියක් දැයි මේ ලියුම්කරු මොවුන් දෙදෙනාගෙන්ම ප්‍රශ්න කළ විට ඒ සඳහා ඔවුන් දෙදෙනාටම නිසි පිළිතුරක් නොමැති විය.

යාන්ත්‍රික පතලක් සඳහා අවසර ලබා දෙන්නට අයකරනු ලබන රජයේ ගාස්තුව රුපියල් 8000ක් වැනි සොච්චම් මුදලක් ය. මෙම ස්ථානයේ පවතින්නේ ඒකනයිට් නිධියක් නම් එය සාමාන්‍ය මැණික් කැනීම් බලපත්‍රයක් හරහා කැනීම සිදුකළ නොහැකිය. එය එසේ කරනවා නම් එහි පාඩුව රාජ්‍යයටය. එවැනි නිධියක අයිතිය රටටමය. එය පුද්ගලික දේපලක් වන්නට විදිහක් නැත. එහෙත් දැන් සිදුවන්නේ නිළධාරීන්ගේ අතයට ගනුදෙනු හරහා ඇත්ත යට ගසා වැඩේ කරගෙන යාමය.

බැකෝ පතල් සඳහා අයකරනු ලබන පරීක්ෂණ ගාස්තු සොච්චම් මුදලක් වෙන පසුබිමක සහ හරි හැටි මැණික් වෙන්දේසි සිදුනොවෙන පසුබිමක ඊට අදාළ නියමිත බදු මුදල් (2.5%) රජයට නොඑන බව අප කවුරුත් දනී. මෙවැනි පසුබිමක මෙවැනි පතල් කර්මාන්තයක් සිදුකරන්නේ මැණික් පතල් මාෆියාවක් පවත්වාගෙන යාමය. එවැනි මාෆියාවක් සඳහා පොලීසියේ, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සහ භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කැනීම් කාර්‍යංශයේ සහාය අවැසිය.

මෙම පතල් ප්‍රශ්නය පිළිබඳව බුත්තල ප්‍රදේශීය ලේකම් ආර්.එම්.ආර්.එස් තිලකරත්න මහතාගෙන් කරුණු විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ මුලින් ලයිසන් ලබා දීමේදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය තම නිර්දේශ ලබා ගැණීමට කටයුතු කළත් පසුව එසේ නොකළ බවය. තමන් මෙම පතල් කැනීම නතර කිරීම සඳහා මැණික් හා ස්වර්ණාභර අධිකාරියට උපදෙස් ලබා දුන්නත් එය සිදුවී නැති බවද ඔහු ප්‍රකාශ කරයි. රාජ්‍ය යාන්ත්‍රනය වැඩ කරන්නේ මෙසේය. ගෙවල් ඉරිතලාගොස් ඒවා පොළවට පාත්වුණ දාට මේ අසරණ ගොවියන්ට කාගේ පිහිටද?

කැනීම් කටයුතු සඳහා වෙඩි බෙහෙත් භාවිතා කිරීමට වෙඩි බෙහෙත් පාලකතුමාගේ අවසරය ද ලබාගෙන ඇත. ඒ බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සනාථ කරයි. දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේදී පවා මෙම පතල පිළිබඳව සාකච්ඡා වී ඇත. එහෙත් තවමත් මෙම ගෙවල්වලට සිදුවී තිබෙන හානිය පිළිබඳව කරුණු සෙවීමට අදාළ රාජ්‍ය ආයතනය පැමිණ නැත. මේ පිළිබඳව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කැනීම් කාර්‍යංශයේ පතල් සුරක්ෂිතතා ඒකකයේ අධ්‍යක්ෂ කේ.වී ජගත් මහතාගෙන් මේ ලියුම්කරු විමසූ විට ඔහු එහෙම පතලක් තිබෙනවා කියා හෝ දන්නේ නැත.  

තමන්ට සිදුවුණ අසාධාරණය පිළිබඳව ඩී.ජී ජයසේකර මහතා 2023.08.21 දා ජනාධිපති ලේකම් කාර්‍යාලය වෙත යවනු ලැබූ ලිපිය අදාළ ඉදිරි කටයුතු සඳහා ජනාධිපති ජේෂ්ඨ සහකාර ලේකම් සුනෙත් ලෝචන මහතා විසින් භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කැනීම් කාර්‍යංශය වෙත යොමුකර ඇත. මේ ලියුම්කරු එම ලිපිය ගැන විමසීමේදී කේ.වී ජගත් මහතා ප්‍රකාශ කළේ එවැනි ලිපියක් ගැන තමන් දන්නේ නැති බවය. පුලුවන් නම් මෙම ලිපියේ කොපියක් එවන ලෙස මේ රාජ්‍ය නිළධාරියා මේ ලියුම්කරුගෙන් ඉල්ලීමක්ද කළේය. ඔන්න අපේ රාජ්‍යය සේවය..! මැණික් සල්ලි රාජ්‍ය සේවය අන්ධ කරන්නේ මෙසේ ය.

බොරු චෝදනාවන් දමා ඩී.ජේ. ජයසේකර මහතා දින 14කට රක්ෂිත බන්ධනාගාර ගත කිරීම පිළිබඳව ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපති සුමුදු ප්‍රසන්න මහතාගෙන් මේ ලියුම්කරු කරුණු විමසුවේය. මේ ඒ සඳහා ඔහු ලබාදුන් පිළිතුරයි.

‘ඔය කියන පුද්ගලයා පතල අයිතිකාරයා ගෙන් ලක්ෂ 25ක් ඉල්ලලා තියෙනවා දෙපාරක්. තුන්වෙනි පාර තර්ජනය කරලා ඉල්ලුවාට පස්සේ ඒ අය සාක්ෂිත් එක්කම පොලීසියේ පැමිණිල්ලක් දැම්මා. මම ඉතිං කළේ පැමිණිල්ල විභාග කරලා අධිකරණයට ඉදිරිපත් කිරීම. මම වෙන දෙයක් කළේ නෑ. ඔය කියන පුද්ගලයා මේ පතල නිසා ගෙදරට හානි වුණා කියලා පැමිණිල්ල දැම්මාම මම ගිහිං බැලුවා. හුළං ඉරි ගිහිං තියෙනවා එච්චරයි, වෙන හානියක් වෙලා නෑ. අනික මේ පතල් කැනීමට අවශ්‍ය නීතිමය තත්ත්වයන් සේරම සපුරලා තමයි තියෙන්නේ. ඉතිං එතනින් එහාට මට කරන්න දෙයක් නෑ. දැන් ඉතිං මේ පුද්ගලයා මම ග්‍රාමසේවක අපි හැවෝම මේ පතල් පොළෙන් සල්ලි ගන්නවා කියලා කතාවක් පතුරලා තියෙනවා. ජනාධිපති කාර්‍යාලයට වගේ හැම තැනටම මේ ගැන ලියලා තියෙනවා ඒත් ඉතිං මොකවත් කරගන්න බැරිවුණාම දැන් මීඩියාවලට දීලා තියෙනවා. ඔය මනුස්සයාට ගමෙන් වත් තමන්ගේ සහායට දහ දෙනෙක් හොයාගන්න බෑ. ගමේ පන්සලට සහ ගොඩක් දෙනෙක්ට මේ පතල් අයිතිකාරයා සෑහෙන්න උදව් කරලා තියෙනවා. මේ මනුස්සයා උනත් හොඳින් ඉල්ලුවානම් උදව් කරයි’.

නීතිය බලාත්මක කරන්නට රාජ්‍ය පත්කර යවා සිටින ප්‍රදේශයේ ප්‍රධානම පොලිස් නිළධාරියා මෙසේ කියන්නේ නම් අප තවදුරත් කුමක් කරන්නද?