You are currently viewing ගාසා රෝහල් පිපිරීම ඊශ්‍රායලය ආපසු හරවයිද?

ගාසා රෝහල් පිපිරීම ඊශ්‍රායලය ආපසු හරවයිද?

කේ. සංජීව

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න් සුවිශේෂ මැදපෙරදිග සංචාරය අරඹන විටම ගාසා හි අල්-අහ්ලි අරාබි බැප්ටිස්ට් රෝහලට එල්ල වූ ඊශ්‍රායෙල් ගුවන් ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයන් 500 දෙනෙකු මිය ගිය බව මාධ්‍ය වාර්තා කරයි. විශාල පිරිසක් මෙම ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති අතර මෙම ලිපිය ලියන මොහොත වන විටත් ගොඩනැගිලි සුන් අතර සිරවූ පුද්ගලයින් සොයා ගැනීම සඳහා මෙහෙයුම් සිදුවෙමින් තිබෙන බව මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරය පිළිබඳව අදහස් දක්වමින් ඊශ්‍රායෙල හමුදාව ප්‍රකාශ කරන්නේ ඉස්ලාමීය ජිහාඩ් පලස්තීන සටන්කාමීන් විසින් එල්ල කරන ලද රොකට් ප්‍රහාරයක් වැරදි ඒ හරහා මෙම රෝහල් විනාශය සිදුවී ඇති බවය. ඊශ්‍රායෙල හමුදාව කරනු ලබන මෙම ප්‍රකාශය පලස්තීනයේ ඉස්ලාමීය ජිහාඩ් සටන්කාමීන් තරයේ ප්‍රතික්ෂේප කර ඇත.

කෙසේ වුණත් මෙම ප්‍රහාරය සමග ඇතිවුණ නව තත්ත්වය හමුවේ තමන් එක්සත් ජනපද රාජ්‍ය නායකයා හමුවන්නට ජෝර්දානයට නොයන බව පලස්තීන අධිකාරියේ සභාපති මහමුද් අබ්බාස් ප්‍රකාශ කර ඇතැයි රොයිටර් වාර්තා කරයි. එහිදී පලස්තීන නායකයා ප්‍රකාශ කර ඇත්තේ ගාසා තීරයේ අල්-අහ්ලි අරාබි බැප්ටිස්ට් රෝහල ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ලකිරීම දරාගත නොහැකි බිහිසුණු යුද සමූල ඝාතනයක් බව ය.

මෙම ප්‍රකාශයත් සමග ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න් සහ ඊජීප්තු, ජෝර්දාන් සහ පලස්තීන නායකයන් අතර ජෝර්දානයේ අම්මාන් නගරයේ පවත්වන්නට සැළසුම්කර තිබුණ විශේෂ සමුළුව අවලංගු කර ඇත.

ඒ අනුව ජනාධිපති ජෝ බයිඩ්න් මෙම සංචාරය අතරතුරදී ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ ආරක්ෂක මණ්ඩලය පමණක් හමුවෙනු ඇත. මේ අතර එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය රිෂි සුනක් ද එලබෙන බ්‍රහස්පතින්දා (19) ඊශ්‍රායල සංචාරයක නිරතවන බව වාර්තා වෙයි.

ඊශ්‍රායලය වෙත පියාසර කරමින් සිටින අතරතුර රෝහලට එල්ලවූ ප්‍රහාරය හමුවේ ප්‍රකාශයක් නිකුත් කරන ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන් මෙම පුවත දැනගත් පසු කෝපයටත් වේදනාවටත් පත්වූ බවය. මෙම සමුළුව ගැන ප්‍රකාශයක් නිකුත් කරන ජෝර්දානයේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය අයිමන් සෆාඩි ප්‍රකාශ කරන්නේ යුද්ධය නැවැත්වීම හැර, වෙන කිසිවක් ගැන දැන් කතා කිරීමෙන් පලක් නැති බවය.

රෝහලට එල්ලවූ ප්‍රහාරයෙන් පසුව එම රෝහලේ වෛද්‍යවරුන් මාධ්‍ය හමුවක් පවත්වා ඇති අතර එහිදී මෙම ප්‍රහාරයෙන් ඝාතනයට ලක්වූ මිනිසුන්ගේ මළ සිරුරු මාධ්‍යට දැකගන්නට හැකිවිය. මෙම ප්‍රහාරයත් සමග මේවනවිට අරාබි රටවල් අතර මහජන උද්ඝෝෂණ රැල්ලක් ව්‍යාප්ත වෙමින් ඇත.

මේ අනුව ලෙබනනය, තුර්කිය, ජෝර්දානය, ඉරාකය, ඉරානය හරහා මෙම විරෝධතා සුළි සුළඟ හමායමින් තිබෙයි. මේ අතර සිරියාවේ ඩමස්කස් හි ඉරාන තානාපති කාර්යාලය අරාබි බසින් ‘කාලය අවසන්’ යනුවෙන් එක්ස් සමාජ මාධ්‍ය ජාලය හරහා නිවේදනයක් නිකුත් කර ඇත. එයින් මෙම ප්‍රහාරය පිළිබඳව ඉරානයේ අදහස එළියට එයි.

මෙම ප්‍රහාරය පිළිබඳව එක්ස් සමාජ මාධ්‍ය ජාලය හරහා ප්‍රකාශයක් නිකුත් කරන එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ප්‍රකාශ කරන්නේ තමන් භීතියට පත් වූ බවය. තමන් විපතට පත්වූවන් සමග බව ප්‍රකාශ කරන එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා රෝහල් සහ වෛද්‍ය නිළධාරීන් ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ ආරක්ෂා කළ යුතු යැයි ප්‍රකාශ කර ඇත.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න් හදිස්සියේ ඊශ්‍රායලය වෙත සහ ජෝර්දානය වෙත යන්නට තීරණය කළේ ඊශ්‍රායලය භූමිය හරහා සංග්‍රාමයක් දියත් කරන්නට සූදානම් වීම පිළිබඳව සාකච්ඡා කරන්නට සහ මෙම යුද්ධයේ ප්‍රථිපලයක් ලෙස ගොඩනැගෙමින් තිබෙන බටහිරට විරුද්ධ නව අරාබි පෙරමුණ ගොඩනැගීම ව්‍යර්ථ කරන්නට ය. එහෙත් මෙම රෝහල් ප්‍රහාරය නිසා ඒ සියලු සැළසුම් ආපසු හරවන්නට එක්සත් ජනපදයට සිදුව ඇතැයි බටහිර මාධ්‍යම වාර්තා කරයි.

රුසියාවද මෙම ප්‍රහාරය ඊශ්‍රායලය එල්ලකරනු ලැබූ ගුවන් ප්‍රහාරයක් බව පිළිගන්නා බව ප්‍රකාශ කර ඇත. මේ අනුව රුසියාව සහ ඉරානය කේන්ද්‍රගත කරගනිමින් නව අරාබි උතුරු අප්‍රිකා කලාපීය සහයෝගීතා පෙරමුනක් නිරමානය වෙමින් ඇත. මෙය ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලාපොරොත්තු නොවුණ දෙයක් වන අතර මෙම රෝහලට එල්ලවූ ගුවන් ප්‍රහාරයෙන් පසුව මැදපෙරදිග කලාපයේ පැතිර යමින් තිබෙන මහජන විරෝධතා රැල්ල නිසා මැදපෙරදිග ඇමරිකානු හිතවාදී රාජ්‍යයන්ටද පලස්තීනයට සහාය දෙන ස්ථාවරයකට මාරුවෙන්නට සිද්ධවෙනු ඇත.

ඒ අනුව ඊශ්‍රායලය සැළසුම් කරමින් සිටින ගොඩබිම් සංග්‍රාමයට අවස්ථාව උදා නොවන්නට බොහෝදුරට ඉඩ ඇත. ඒ අනුව ඊශ්‍රායලයට ඔවුන් පසුගිය කාලයේදී සක්‍රීය කළ නව යුදෙව් ජනපදකරණය ද නවතා දමන්නට සිදුවෙනු ඇත. ඊට අමතරව මුස්ලිම්වරුන් ජෙරුසලමේ අල්-හරාම් අල්-ෂරීෆ් ලෙස හැඳින්වෙන අල්-අක්සා මුස්ලිම් පල්ලි සංකීර්ණය නැතිනම් යුදෙව්වන් ටෙම්පල් මවුන්ට් ලෙස හඳුන්වන යුදෙව් ආගමේ ශුද්ධස්ථානය පිළිබඳ ප්‍රශ්නයද ඊශ්‍රායලයට අවාසි සහගතව විසඳෙන්නට බොහෝදුරට ඉඩ ඇත.