You are currently viewing ඖෂධ ජාවාරමටත් කූඨ ලේඛන සෙල්ලම ඇවිත්ද?

ඖෂධ ජාවාරමටත් කූඨ ලේඛන සෙල්ලම ඇවිත්ද?

කේ. සංජීව

‘ශ‍්‍රී ලංකාවට ගෙන්වනු ලබන සියලූම ඖෂධ, ඖෂධ උපකරණ, සීමාස්ථ නිශ්පාදන සහ විලවුන් වර්ග ලියාපදිංචි කටයුතු සහ නියාමනය කෙරෙන එකම ආයතනය ජාතික ඖෂධ නියාමන අධිකාරියයි‘. මේ 2023 ඔක්තෝම්බර් මස 03 වෙනිදා ජාතික ඖෂධ නියාමන අධිකාරිය මාධ්‍ය වෙත නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දෙවෙනි ඡේදය ආරම්භ කරන ආකාරය යි.

මෙය කියවන අසන අයට හිතෙන්නේ මේ කියන ආයතනය මේ කියන නියාමනය ටක්කෙටම සිදුකරගෙන යනු ඇති බවයි. එහෙත් මේ මාධ්‍ය නිවේදනයේම පහළට යනවිට පෙනෙන්නේ රාජ්‍යයේ අවුල ය. රාජ්‍ය යාන්ත්‍රනයේ කොටස් වැඩකරන ආකාරය ගැනය.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය මෙම මාධ්‍ය නිවේදනය මාධ්‍ය වෙත ඉදිරිපත් කරන්නේ ඇයි? ඔවුන් මේ හරහා රටට හෙළිකරන්නේ ලංකාව තුළ ඖෂධ නියාමනය යකාටම ගොස් ඇති බවය. තම ආයතනය යක්ෂයාට බිලිව ඇති බවය. ඉතිං මේ යක්ෂ කතාව ඔබ ඇසිය යුතුමය.

මාතලේ දිස්ත්‍රික් මහ රෝහලෙන් පසුගිය 2023.09.16 සහ 20 යන දින දෙක තුළ සහ කොළඹ ජාතික රෝහලෙන් පසුගිය 2023.08.22 යන දින තුළ ආසාත්මිකතාවයන්වලට ලක්වූ රෝගීන් පිළිබඳව වාර්තා වුණ අතර ඔවුන් ආසාත්මිකතාවයට ගොදුරු වූවේ කුමන ඖෂධය භාවිතා කිරීම නිසා දැයි සොයා බලනවිට ඖෂධ මාෆියාවේ තවත් බරපතළ අන්තයක් හෙළිදරව් වී ඇත. මෙන්න මේ හෙළිදරව්ව රටට කීම සඳහා මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර ඇත.

මෙම ආසාත්මිකතාවයන්ට හේතුව කුමක්ද? මේ ආසාත්මිකතාවය පිළිබඳව සොයා බලනවිට ආනාවරණය වන්නේ  human immunoglobulin iv 5gm නම් ඖෂධය මෙම අසාත්මිකතාවයට හේතුව බවයි.  මෙම ඖෂධය ලංකාවට ආනයනය කළේ කවුරුන්ද? මෙම මාධ්‍ය නිවේදනය හරහා ඖෂධ නියාමන අධිකාරිය රටට කියන්නේ, මෙම ඖෂධය  රටට ගෙන්වා ඇත්තේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියෙන් තොරව ව්‍යාජ ලිපි ලේඛන භාවිතාකර බවය.

Isolaz Biotech Pharma Ag Ltd, 251A, Baseline Road, Seeduva සහ කොළඹ 05 යන ප්‍රදේශවල පිහිටුවා තිබුණා යැයි කියන මෙම සමාගම මෙම ඖෂධය ලංකාවට ගෙන්වා ඇත. එහෙත් දැන් එම ලිපිනයන්වල අදාළ සමාගම නැත. අදාළ සමාගමේ වෙබ් අඩවියද වසාදමා ඇත.

මේ කියන සමාගම පිළිබඳව සඳහන් කරමින් නිවේදනය හරහා ඖෂධ නියාමන අධිකාරිය දැන් කියන්නේ අදාළ ආයතනය විසින් කූඨ ලේඛන මාර්ගයෙන් මෙම ඖෂධය ගෙන්වා ඇති බවය. ඖෂධ නියාමන අධිකාරිය මෙසේ කීවත් මේ සම්බන්ධයෙන් සංසරණය වෙන තවත් ලිපි කීපයක් නිසා මෙය ආණ්ඩුවට සම්බන්ධ ඖෂධ මාෆියාකරුවන්ගේ හත්පොලේ ගා ගැනීමක් බව සිතිය හැකිය. ඒ සඳහා තොරතුරු එමටය.

human immunoglobulin iv 5gm යනු වෛද්‍යවරුන් ප්‍රකාශ කරන ආකාරයට මිනිස් රුධිරය මාර්ගයෙන් නිස්සාරණය කරන විශේෂ බෙහෙත් වර්ගයක් ය.

‘මෙම බෙහෙත වැඩිපුරම දෙන්නේ හදිස්සි, භයානක සහ දරුණු ස්නායු ආබාධ සහිත පුද්ගයන්ට. මේක හරියට දෙන්න බැරිවුණොත් ඒක විශාල ප්‍රශ්නයක්. භයානක අතුරු ආබාධ ඇති වෙන්න පුලූවන්. මෙම ඖෂධය නැති අවස්ථාවක ඒ දරුණු රෝගයෙන් රෝගියා මැරෙන්නත් පුලුවන්. මේ බෙහෙත හැදුවේ කොහොමද කියලා මුලූ ක්‍රියාවලියම බලලා තමයි අපි මේ ඖෂධය භාවිතා කරන්නේ‘

මේ අදහස් දැක්වීම කරන්නේ ස්නායු රෝග පිළිබඳ විශේඥ වෛද්‍ය ප්‍රියාරා රත්නායක ය. ඇය ස්නායු විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති ය. මෙම වෛද්‍යවරියන්ට දැන් තමන් රෝහල්වල භාවිතා කරන බෙහෙත්වල ගුණ අගුණ සහ ඒවා භාවිතා කරන්නේ කෙසේද, ඒවා රට තුළට ගෙන්විය යුත්තේ කෙසේද, යන්න ගැන පවා මාධ්‍ය හමු තබමින් ප්‍රකාශ නිකුත් කරන්නට සිදුව ඇත. අහෝ නිදහස් සෞඛ්‍ය සේවයට ගිය කලක්..!

ලියාපදිංචිය අතහැරීම
ඖෂධ නියාමන අධිකාරියට අනුව යම් ඖෂධයක් පිළිබඳව ප්‍රශ්නගත තත්ත්වයක් උදාවූ විට ඔවුන් මුලින්ම කරන්නේ එම ඖෂධය ගෙන්වීම සිදුකළ ආයතනය ඒ සඳහා භාවිතා කළ ලියාපදිංචිය හෝ ලියාපදිංචිය අතහැරීමේ සහතිකය නැතිනම් waiver of registration වැනි දෑ පරීක්ෂා කිරීම ය.

ලියාපදිංචිය අතහැරීමේ සහතිකය යන්නෙන් අදහස් කරන්නේ ඖෂධ නියාමන අධිකාරී පනතෙන් හදිස්සි අවශ්‍යතා සඳහා ඖෂධ ගෙන්වීමේදී ලියාපදිංචි නොකර නමුත් සෞඛ්‍ය අමාත්‍යවරයා හෝ අමාත්‍යාංශයේ ලිඛිත ඉල්ලීම මත ඖෂධ ගෙන්වීමට දෙන අවසර පත්‍රයයි.

මෙන්න මේ කරුණු සනාථ කිරීම සඳහා ඉහත ප්‍රශ්නගත ඖෂධයට කිසිදු ලියවිල්ලක් නැති බව ඖෂධ නියාමන අධිකාරිය ප්‍රකාශ කරන අතරම අදාළ ප්‍රශ්නගත ඖෂධය ගෙන්වීම සඳහා භාවිතා කර තිබෙනවා යැයි කියන ලියාපදිංචිය අතහැරිමේ අවසර පත්‍රය ද ව්‍යාජ එකක් බව එම අධිකාරියේ අදහසයි.

මේ කියන කතාව සත්‍යක් නම් තත්ත්වය බරපතළය. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල යටතේ ඖෂධ මාෆියාව උඩ ගිය තරමක් මෙයින් පෙනෙයි. ඒ අනුව ඖෂධ නියාමන අධිකාරිය කියන කතාව මෙසේ සරළ කළ හැකිය. ‘කූඨ ලේඛන භාවිතාකර රජයේ රෝහල්වලට ඖෂධ එනවා, ඒවාට අපිට කරන්න දෙයක් නෑ‘.

මේ කියන ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී වෛද්‍ය විජිත් ගුණසේකර සිනාසෙමින් මාධ්‍ය හමු තමබමින් හරි සතුටින් සොනසින් ප්‍රකාශ නිකුත් කරමින් මෙම ප්‍රශ්නය සුළුවට තකන බව පෙනෙයි. රෝගියෙකුගේ ජීවිතයක් ජීවත් වෙනවාද මැරෙනවාද කියා තීරණය කරන ඖෂධදයක් හොර පාරෙන් රජයේ වියදමෙන් රෝහල්වලට එනවා නම් ඖෂධ නියාමන අධිකාරිය සිනාසෙමින් මාධ්‍ය සාකච්ඡා තබනවාට වඩා කළ යුත්තේ හඬමින් තමන් දරණ තනතුරුවලින් ඉල්ලා අස්වීමය.

මෙම ඖෂධය නිශ්පාදනය කළා යැයි කියනු ලබන Livealth BioPharma Pvt’ Ltd’ ඉන්දියානු ඖෂධ නිශ්පාදන සමාගමෙන් මේ ගැන ඇසූවිට විට ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ තමන් මෙම ඖෂධය නිශ්පාදනය නොකරන බවය. මාෆියාවේ තරම දැන් ඔබට පෙනී යා යුතුය.

කූඨ ලේඛන
ඉඩම් විකිණීමේ සිට අලි ඇතුන් විකිණීම දක්වා පරාසයක නීති විරෝධි ගනුදෙනු නීත්‍යානුකූල කිරීම සඳහා හොර ලියවිලි හදන රටක දැන් ඖෂධ ජාවාරමුන්ද කූඨ ලේඛන හරහා ඖෂධ ජාවාරමට බැස ඇත යන්න දැනනගන්නට ලැබීම ලංකා රාජ්‍යයේ කුණු වීමේ පරිමාව පෙන්වයි. මෙම නව තත්ත්වය යටතේ මිනිස් ජීවිතයට කුමක් සිදුවිය හැකිද?

human immunoglobulin iv 5gm නම් ඖෂධය ඉන්දියානු ණය ආධාර යටතේ ගෙන්වීම සඳහා 251ඒ, බේස්ලයින් පාර සීදුව යන ලිපිනයේ Isolaz Biotech Pharma Ag Ltd යන ආයතනයට 06.01.2023 දින සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලිපියක් යොමුකර ඇත. එහි සඳහන් වන්නේ මෙම ඖෂධය ගෙන්වීම සඳහා අදාළ ටෙන්ඩරයට මෙම ආයතනය තෝරාගත් බවය. ඒ අනුව ඒ සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිළ කටයුතු කරන ලෙස දන්වා ඇත. මෙම ලිපියේ ඉහළ සඳහන්ව ඇත්තේ වහාම ඇනවුම් කරන්න යන්න යි. 11.01.2023 යන දිනය යොදමින් ශ‍්‍රී ලංකා වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් මෙම ලිපියට සිය අත්සන යොදා ඇති අතර Urgent important යන මුද්‍රා දෙකද මෙම ලිපියට තබා ඇත. 11.01.2023 දිනය සමග ඉහත නම සඳහන් සැපයුම් අංශයේම නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙකුගේ මුද්‍රාවද එහි තබා ඇත.

මෙම ලිපිය කුමක්ද? මෙම ලිපිය පිළිබඳව ජාතික ඖෂධ නියාමන අධිකාරිය කියන්නේ කුමක්ද? මේ අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිළධාරියා වන වෛද්‍ය විජිත් ගුණසේකර 17.02.2023 දින WOR – waiver of registration  යටතේ මෙම ප්‍රශ්නගත ඖෂධය ගෙන්වීම සඳහා යොමුකළ තවත් ලිපියක් හමුවෙයි. මේ ලිපි සියල්ල කූඨ ලේඛනයන් ද? එහෙමත් නැතිනම් කට්ටිය එකතුවී ගහපු ගේමක් මෙසේ මාධ්‍ය ඉදිරියට පැමිණ ඇත්ද?

මාතර මහ රෝහලේ රෝගීන්ට නිකුත් කළ ප්‍රශ්න ගත තවත් පිළිකා ඖෂධයක් ද මෙම ආයතනය විසින්ම ගෙන්වා ඇති බව දැන් හෙළිවී ඇත. එම බෙහෙත් ගෙනත් තිබෙන්නේත් කූඨ ලෙඛනයන් හරහාද? රජය මේ පිළිබඳව සත්‍ය ජනතාවට හෙළිකළ යුතුය. අනෙක් පැත්තෙන් මෙම ඖෂධ සමාගම 2021 වර්ෂයේදීද රජයේ රෝහල් සඳහා ඖෂධ සම්පාදනය කර ඇත.

බෙහෙත් නිශ්පාදනය සඳහා මේ කියන සමාගම යහපාලනය පැවති කාලයේදී ද කීප සැරයක්ම අවසර ඉල්ලා ඇතැයිද ඒ කිසිම අවස්ථාවක බළධාරීන් ඉල්ලා තිබෙන තත්ත්වයන් පෙන්වීමට අපොහොසත් වීම නිසා මෙම පුද්ගලයාට ඖෂධ නිශ්පාදනය සඳහා අවසර ලබා නොදුන් බවද යහපාලනය කාලේ සෞඛ්‍ය අමාත්‍යවරයා සේ කටයුතු කළ රාජිත සේනාරත්න මහතා මෙම ලියුම්කරුට ප්‍රකාශ කළේය. දැන් තිබෙන ගැටලුව එකල දෙන්නට බැහැ යැයි කියූ ලයිසම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසුව ලබා දුන්නා ද යන්න යි.

ඖෂධ නියාමන අධිකාරියේ අටුවා ටීකා කතා මොනවා වුණත් 2023.01.13 දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ‘අංශය හදිස්සියි වහාම ගේන්න’ යැයි කියමින් මෙම ඖෂධය ගෙන්වීමට අවසර ලබාදී ඇත. ඒ ඖෂධ නියාමන අධිකාරියේ කිසිදු මැදහත්වීමකින් තොරවය. එහෙත් වහාම ගෙන්වන්න කියූ ඖෂධය ලංකාවට ගෙන්වා ඇත්තේ 2023.05.20 ය. හදිස්සියක මහත..!

මෙම කතා අසනවිට මේ ලියුම්කරුට සිහිවෙන්නේ ගලේ පැහැරු බළලාගේ කතාවය. කොහොම නමුත් මෙහි ඇත්ත නැත්ත සීඅයිඩීය සාධාරණ සහ විනිවිද පෙනෙන පරීක්ෂණයක් හරහා සොයා ගත යුතුය.

දැන් මෙම ඖෂධ ඒකක 22500ක් ලංකාවට ගෙනවිත් රෝහල් සඳහා බෙදාහැර අවසන් ය. එම ඖෂධ තොගය ලංකාවේ මිනිසුන් මාස 05ක කාලයක් භාවිතා කර ඇත. මේවා බරපතළ තත්ත්වයන් ය. අනෙක් පැත්තෙන් මෙම ගනුදෙනුවේ වටිනාකම ඇමරිකානු ඩොලර් 2,925,000ක් ය. එය රුපියලට හැරවූ විට එහි වටිනාකම රුපියල් 942,873,750.00ක් ය. ඉතිරි බෙහෙත් තොගය රෝහල්වලින් ඉවත් කරන්නට කටයුතු කළ බව කියවෙයි. තත්ත්වය එසේනම් රජයට මේ හරහා සිදුවෙන පාඩුව කොපමණ මුදල්කද? එය අයකරගන්නේ කාගෙන්ද?

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මේ ගැන මාධ්‍යට කියන්නේ කුමක්ද? ඔහු කියන්නේ මේ කියන සමාගමට ගෙවන්නට ඇති මුදල රුපියල් මිලියන 130ක් බවය. එයින් තවමත් ගෙවා ඇත්තේ රුපියල් මිලියන 40ක් පමණක් බවය. ඉතිරිය ගෙවීම නතර කර ඇති බවය. අපට තිබෙන්නේ සිනාසෙන්නට ය.