You are currently viewing බල්ලන් නාවන්න ගෙනියනවා වගේ, මෙය කළ හැකිද?

බල්ලන් නාවන්න ගෙනියනවා වගේ, මෙය කළ හැකිද?

– කේ. සංජීව –

ශ්‍රී ලංකාව බංකොළොත් වී ඇති බව අමුතුවෙන් කියන්න දෙයක් නැතිය. මේ තත්ත්වයට හේතුව ආර්ථික කළමනාකරණයෙහි දුර්වලත්වයද? එහෙමත් නැතිනම් මේ ගැටලුව පිටුපස තිබෙන්නේ දේශපාලන ප්‍රශ්නයක් ද? මෙම ප්‍රශ්නය නැවත අපට වරනැඟිය හැකිය. අයිඑම්එෆ් දෙවන වාරිකය ප්‍රමාද වන බව ප්‍රකාශ වෙයි. එයට හේතුව කුමක්ද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අපහට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමට අදාළ පළමු සමාලෝචනය පසුගිය සැප්තැම්බර් 14 දා ලංකාව වෙත පැමිණි එම ආයතනයේ නියෝජිතයින් විසින් ආරම්භ කරණු ලැබූ අතර සති දෙකක කාලයට පසුව ඔවුන් ලංකාව පිළිබඳව Diagnostic Report එකක් එහෙමත් නැතිනම් විමර්ෂණ වාර්තාවක් ප්‍රකාශයට පත් කළේය.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල මේ ආකාර වාර්තාවක් ආසියානු රටකට සම්පාදනය කළ පළවෙනි අවස්ථාව මෙය වන පසුබිමක, ඇයි එවැනි දෙයක් කරන්නට අයිඑම්එෆ් සිතුවේ?. එයට හේතුව 17 වෙනි වතාවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත පැමිණි අපහට 18 වතාවෙත් එන එක කජ්ජක් නොවෙන බව ඔවුන් සහසුද්දෙන්ම දන්න නිසා ය. මේ අනුව පෙනෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වාරයේදී නම් ටිකක් නොව බොහෝමයක් සැලකිලිමත් වෙලා ඇති බවය.

ලංකාවට මේ ණය පහසුකමේ දෙවෙනි වාරිකයට යන්න නම්, මෙන්න මේ වැඩ කරන්න ඕනෑ කියලා, ඔවුන් අපිට වැඩ සීයක ලිස්ටෙකක් දුන් බව ඔබට අමතක වන්නට විදිහක් නැත. වෙරිටර් රීසර්ච් ආයතනය පෙන්වලා දෙන ආකාරයට පහුගිය අගෝස්තු 31 දා වෙනවිට මේ වැඩ කන්දෙන් වැඩ 38ක් පමණක් අවසන් කරගන්නට අපට හැකිවී ඇත. ඒ ඉබි ගමනට පිං සිද්ධ වන්නට අවසානයේ දෙවෙනි වාරිකය කල් ගියා ය. වාරිකය ලැබෙන්න පුලුවන් බවත් එහෙත් බල්ලෝ නාවන්න අරගෙන යනවා වගේ යන මේ ගමන නිසා, මෙම අයිඑම්එෆ් වැඩසටහනට කොතරම් කාලයක් අල්ලාගෙන සිටින්නට හැකිවේදැයි දන්නේ දෙවියන් පමණය.

ආණ්ඩුව පැත්තෙන් වගේම ජනාධිපතිවරයාට සමීප දේශපාලන ක්ෂේත්‍රයේ ඉහළ ඉන්න අය කියන්නේ ලබන අවුරුද්දේ ඡන්දයක් එන නිසා අයිඑම්එෆ් කියන ඒවා කරන්න අමාරුයි කියන එක ය. ඊට විකල්ප විදිහට ඔවුන් හිතන්නේ මොකක් හරි ගැටටිකක් ගහගෙන තාවකාලිකව තුවාලේ බැන්ඩේච් කරගෙන ඉස්සරහට යන එක හොඳයි කියලා ය.

මෙන්න මේ තත්ත්වය  තුළ පසුගිය දවසක පාර්ලිමේන්තුවේදී ආචාර්‍ය හර්ෂ ද සිල්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන නවතම යහපාලන සහ වංචා සහ දූෂණය වැලැක්වීමේ වාර්තාව පිළිබඳව විශේෂ හෙළි කිරීමක් කළේ ය. ඔහු ඒ කතාවෙදි කීවේ අයිඑම්එෆ් ලබාදී තිබෙන නිර්දේශ 16ක් අප ක්‍රියාත්මක කරන ආකාරය අනුව මෙම වැඩසටහනේ අනාගතය තීරණය වෙනු ඇති බවය.

මොනවද මේ නිර්දේශ දහසය? කියා කියවා බලන්න. ලංකාවට, වැටී සිටින මේ වළෙන් ගොඩට එන්නට නම් මේවා කළ යුතුමය. එය රටේ දේශපාලන ඉදිරි දර්ශනය පිළිබඳ ලිට්මස් පරීක්ෂාවක් වනු ඇත.

01. 2023 නොවැම්බර් වනවිට ස්වාධීන දූෂණ විරෝධී උපදේශකයින්ගෙන් සැදුම්ලත් උපදේශන කමිටුවක් පිහිටුවීම.

02. දූෂණ විරෝධී නීතියට අනුව ජනාධිපති, අගමැති, ඇමති සහ අමාත්‍යවරුන් ඇතුලුව ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ගේ වත්කම් ප්‍රකාශ තෝරාගත් වෙබ් අඩවියක 2024 ජූලි වනවිට ප්‍රසිද්ධ කිරීම.

03. අපරාධ නීතියේ ප්‍රතිපාදන බලාත්මක කිරීම.

04. ජාතික විගණන පනත සංශෝධනය කිරීම.

05. සමාගම් පනතට ප්‍රකාරව අවශ්‍ය ප්‍රතිලාභ තොරතුරු සහ මහජන ප්‍රතිලාභ හිමිකාරීත්ව ලයිස්තුවක් සකස් කිරීම සඳහා නීති අවසන් කර ක්‍රියාත්මක කිරීම.

06. ජාත්‍යන්තර යහ ක්‍රමවේද ඇතුළත් ජාතික ප්‍රසම්පාදන නීතියක් 2024 දෙසැම්බර් වනවිට ක්‍රියාත්මක කිරීම.

07. තරගකාරී ටෙන්ඩර් ප්‍රසම්පාදන ගිවිසුම් වර්ධනය කරගැනීම පිළිබදව වාර්තාවක් 2024 දෙසැම්බර් වනවිට වෙබ් අඩවියක පළ කිරීම.

08. 2024 මාර්තු මාසයේ සිට රුපියල් බිලියනයකට වැඩි සියළුම රජයේ ප්‍රසම්පාදන ගිවිසුම්, ආයෝජන මණ්ඩලය යටතේ බදු විරාම හිමිවූ සියළුම සමාගම්වල නම්, බදු විරාම මගින් අහිමිවූ බදු ප්‍රමාණය, සුඛෝපභෝගී වාහන ආනයනය කිරීමේදී ආයතන වලට ලැබුණු බදු සහන වෙබ් අඩවියක ප්‍රසිද්ධ කිරීම.  මෙම තොරතුරු මාස 06 කට වතාවක් යාවත්කාලීන කළ යුතු බව.

09. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තියක් සකස් කිරීම.

10. විනිවිද භාවයක් ඇතිවන තුරු උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ අයදුම්පත් අත්හිටුවීම හෝ නතර කිරීම.

11. නිසි පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව අමාත්‍යවරයාට බදු හඳුන්වාදීම වැළැක්වීම සඳහා බදු නීතිය සංශෝධනය කිරීම.

12. ආදායම් රැස්කරන සෑම දෙපාර්තමේන්තුවකම වංචා දූෂණ වැලැක්වීම සඳහා ඒවා තුළ කෙටි කාලීන දූෂණ විරෝධී ක්‍රියා මාර්ග ගැනීම.

13. සේවක අර්ථ සාධක අරමුදල මහ බැංකුවේ සෘජු කළමනාකාරීත්වයෙන් ගලවා ගැනීම සඳහා කැබිනට් යෝජනාවක් 2024 ජුනි වන විට ඉදිරිපත් කිරීම.
14. බැංකු අංශයේ  සහ මූල්‍ය අංශයේ අධීක්ෂණය සඳහා වන නීති සහ රෙගුලාසි තර කිරීම.

15. 2024 දෙසැම්බර් වන විට, අන්තර්ජාල ඩිජිටල් ඉඩම් ගොනුවක් විවෘත කිරීම සහ එම තොරතුරු වෙබ් අඩවියක පළ කිරීම.

16. අධිකරණ සේවා කොමිසමේ ධාරිතාවය වර්ධනය කිරීම සඳහා එහි සම්පත් හා කුසලතා පුළුල් කිරීම වෙනුවෙන් සැලසුමක් සකස් කර ක්‍රියාත්මක කිරීම.

ආචාර්‍ය හර්ෂ ද සිල්වා සඳහන් කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉල්ලා සිටිනු ලබන මේ දේවල් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහ ඔහුගේ පාලන තන්ත්‍රයට ඉටුකළ හැකිද? මේ බොහෝ දේ දේශපාලන ප්‍රතිපත්තිය සහ ඉදිරි දර්ශනය මත පදනම් වන දේවල් ය. මෙම නිර්දේශ ඉටු කරවාගැනීම තවදුරටත් බල්ලන් නාවන්න රැගෙන යනවා වැනි තත්ත්වයක් වීමේ කතාව කුමක්ද? එයින් කියන්නේ ලංකා රාජ්‍යය වෙළාගත් දේශපාලන ප්‍රශ්නයේ තරමය. දේශපාලන බලය ගැන පමණක් සිතන නායකයෙක්ට සහ එවැනි ආණ්ඩුවකට මෙවැනි ප්‍රතිසංස්කරණ කළ හැකි බව සිතිය නොහැකිය.

මුලින්ම අප වැටී සිටින වළේ තරම තේරුන් ගත් රාජ්‍ය නායකත්වයක් අවශ්‍යය. ආණ්ඩුවක් අවශ්‍ය. එවැනි පාලන තන්ත්‍රයකට පමණක් මේ ගැටලු විසඳිය හැකිවනු ඇත. මුලින්ම අප අවංක විය යුතුය. පිළිලය සම්පූර්ණයෙන්ම ඉවත්කරනවාද නැතිනම් ගැලවිජ්ජාවට පිළිලයේ පොතු ගලවනවාද යන්න අප විසින් තීරණය කළ යුතුය. පිළිලය සම්පූර්ණයෙන්ම ඉවත් කර අලුත් දේශපාලන සංස්කෘතියක් මතින් ඉදිරියට යනවා හැර වෙන විකල්පයක් නැත.

තොරතුරු – Colombo Telegraph