You are currently viewing සේවක ගුටි පූජාවලටත් වර්ජනේ කරන රේල්ලුව..!

සේවක ගුටි පූජාවලටත් වර්ජනේ කරන රේල්ලුව..!

-කේ. සංජීව-

වෘත්තීය සමිති අරගල කරන්නේ, වැඩ වර්ජනයන් දියත්කරන්නේ තම සේවකයන්ගේ හෝ රටේ හෝ පොදු යහපතටය. එහෙත් පසුගිය ඔක්තෝම්බර් 04 දා දහවල් වෙනවිට ලංකා දුම්රිය නියාමකයන් සංවිධානය වී ලංකා දුම්රිය සේවය කොටඋඩ යැව්වේ, තනිකරම පුද්ගලික කාරණාවක් මුල් කරගෙන ය.

කතාව මේකය, දුම්රිය සහකාර නියාමක චානක කරුණාරත්න දුම්වැටියක් පානය කරමින් කොළඹ දෙමටගොඩ මාලිගාවත්තේ දුම්රිය අංගනය වෙත පිවිස ඇත්තේ පසුගිය 04 දා උදෑසන 10ට විතරය. එම අවස්ථාවේ ආරක්ෂක රාජකාරිය කළ දුම්රිය ආරක්ෂක හමුදාවේ සැරයන් ඩී නීලන් දුම්පානයට විරුද්ධවී ඇත. එම විරුද්ධත්වයෙන් පසුව ඇතිවූ කතාබහේදී අනන්‍යතාවය තහවුරු කරන්න යැයි ආරක්ෂක නිළධාරියා සහකාර නියාමකයාගෙන් ඉල්ලා ඇත. එනිසා කෝපයට පත් දුම්රිය සහකාර නියාමක චානක කරුණාරත්න තම රාජකාරි හැඳුනුම්පතෙන් ආරක්ෂක රාජකාරි කළ නිළධාරියාගේ මූනට ගසා ඇත. මෙම සිදුවීම බහින්බස් වීමක් බවට පෙරළි දෙදෙනා ගුටි ඇනගෙන දෙදෙනාම පසුව රෝහල්ගත වී ඇත.

කවුරු මුලින් පහර දුන්නා දැයි සොයන්න වෙන්නේ පොලිස් පරීක්ෂණයකින් ය. නියාමකයන් කියන්නේ ආරක්ෂක නිළධාරියා ප්‍රහාරය මුලින් එල්ලකළ බවය. ආරක්ෂක නිළධාරීන් කියන්නේ සහකාර නියාමකයා මුලින් පහර දුන් බවය. නියාමකයන් තමන්ට දෙකේ පන්තියේ සැලකීමක් හැමදාම ලැබෙනවා යැයි කියන විට ආරක්ෂකයන් කියන්නේ හැමදාම නියාමකයන් ඔලුව උදුම්මවාගෙන රාජකාරි කරන බවය. තමන්ට දෙවෙනි පන්තියේ සේවකයන්ට සේ සළකන බවය. මෙයින් පෙනෙන්නේ මේ සේවකයන් දෙකොටසේ පන්ති ඊගෝ විකාරයක් පැවතී ඇති බවය.

පසුගිය 04 දා දහවල් වනවිට හිටිඅඩියේ දුම්රිය කොට උඩ ගොස් දුම්රිය මගීන් නන්නත්තාර වුණේ මේ සිදුවීම නිසා ය. කිසිඳු පෙර දැනුන්දීමකින් තොරව සිදුකළ මෙම වැඩ වර්ජනය ගැන මාධ්‍ය වෙත අදහස් දැක්වූ දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ එම්.එස්.කේ තිලකරත්න ප්‍රකාශ කරන්නේ දෙපාර්තමේන්තුව ඇතුලතදී මෙසේ ප්‍රහාරයන්ට තම සාමාජිකයන් ලක්වීම බරපතළ තත්ත්වයක් බවයි. මෙවැනි සිද්ධීන් නැවත ඇති නොවෙන බවට දුම්රිය දෙපාර්තමේන්තුව සහතිකයක් ලබාදිය යුතු බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

මෙම අසාධාරණ වැඩ වර්ජනය නිසා පසුගිය 04 දා දුම්රිය ගමන්වාර 78ක් පමණ අවලංගු කරනු ලැබූ අතර එනිසා මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථානවලට පැමිණි මගීන් නොසන්සුන්තාවයට පත්විය. විශේෂයෙන් දෛනිකව ගමන් පහසුව සලසා ගන්නා කාර්‍යාල සේවකයන් මෙම වර්ජනය නිසා දැඩි අපහසුතාවයකට පත්ව සිටි අතර ඔවුන් කලහකාරී ලෙස හැසිරේ යැයි බියෙන් ආණ්ඩුව පොලීසිය සහ විශේෂ කාර්‍ය බලකාය සේවයට කැඳවා තිබුණි. මේ අතර කොළඹ කොටුවේ සිට මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සමහර දුම්රිය ස්ථානවල සේවය කරන දුම්රිය ස්ථානාධිපතිවරුන් තම ආරක්ෂාව වෙනුවෙන් තාවකාලිකව සේවයෙන් ඉවත්ව සිට ඇති බව ද වාර්තා වෙයි. පසුගිය 04 දා දහවල් කිසිම දැනුවත් කිරීමකින් තොරව අරඹා තිබූ මෙම වැඩවර්ජනය පසු දා එනම් 05වෙනිදා උදෑසනත් ක්‍රියාත්මක වුණ අතර මෙනිසා කාර්‍යාල සේවකයන් දැඩි දුෂ්කරතාවයකට ලක්විය.

ඔක්තෝම්බර් 05 දා හවස අපට අසන්නට ලැබුණේ මෙම අත්තොනෝමතික සහ මෝඩ විකාරසහගත වර්ජනය අතහැරි බවය. එහෙත් මේ වර්ජන ක්‍රියාමාර්ගයේ දුඟද තවමත් හමයි. රාජ්‍ය මේවා පාඩමකට ගෙන ඉදිරිමඟ හදාගත යුතු බව අප මතක් කළ යුතුය.

මෙම පහරදීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකරන බවට සහ අදාළ පුද්ගලයන්ට විනය පියවරයන් ගැනීමට එකඟවී ඇති බව වාර්තා වෙයි. මේ අතර ප්‍රවාහන අමාත්‍යාංශයේ උසස් නිළධාරියෙක් ප්‍රකාශ කළේ දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් කර තිබෙන පසුබිමක මෙවැනි වර්ජනයකට සහභාගීවූ සේවයකන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නා බවය. ක්‍රියාමාර්ග කෙසේ වෙතත් දුම්රිය මගීන් දිනෙන් දිනම පීඩාවට පත්වෙන බව කිව යුතුය. ඔවුන් දුම්රියෙන් සේවයට එන්නේ වෙන කරන්න දෙයක් නැති නිසා ය. බංකොලොත් වී හොම්බෙන් යමින් සිටින රටක මෙවැනි වැඩ වර්ජන විහිළුවක් ය.

2010-2020 අතර ගෙවුණු වසර 10ක කාලය තුළ දුම්රිය දෙපාර්තමේන්තුව ලබා තිබෙන අලාභයේ මුළු එකතුව රුපියල් බිලියන 331කි. දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් හට පඩිනඩි දීමනා ගෙවීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වැයකරන මුදල, එම දෙපාර්තමේන්තුවේ සමස්ත වියදම්වලින් 24%ක් බව කියවෙයි. මේවා මේ ඊගෝ ප්‍රශ්නවලට ගහමරාගන්නා පසුව රෝහල් ගතවී වැඩවර්ජන මෙහයවන සේවකයන් දන්නවා දැයි අපි දන්නේ නැත. එහෙත් දුම්රිය සේවකයාට කැමරම් ගසන්නට, ඕමී ගසන්නට අමතරව එකිනෙකා මරාගන්නත්, පුරවැසියා තම බදු මුදල් වැයකරන බව ලියා තැබිය යුතුය.

එන්න එන්නම වළ පල්ලට යන පොදු ප්‍රවාහන සේවාවක් වන දුම්රිය දෙපාර්තමේන්තුව මෙවැනි පිස්සු කෙළීම් නිසා ඉක්මනින්ම අවභාවයට යන බව නම් පැහැදිලිය. පාඩු ලබන මෙවැනි ආයතන විකුණා දමන්න යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කීවත් මෙවැනි ලාභ මිනිසුන් සේවය කරන සේවා ස්ථාන මිලට ගන්න ඉදිරිපත් වන්නේ මොන ආයෝජකයාද? එය බරපතළ ප්‍රශ්නයක් ය. මෙවැනි මලකඩ යකඩ ගොඩක් සල්ලිවලට ගෙන මෙවැනි සේවකයන්ගේ සේවක ආකල්ප වෙනස් කරමින් දුම්රිය දියුණු කරන්න තව කොපමණ ආයෝජනයක් කරන්න වේවිද? ප්‍රශ්නය එයයි.