You are currently viewing මාලිම්බඩ මිනිස්සු ජලජ ජීවීන් කළ ලවන බාධකය..!

මාලිම්බඩ මිනිස්සු ජලජ ජීවීන් කළ ලවන බාධකය..!

-කේ. සංජීව-

මේ සතියේ අවසන් දවස් දෙක මේ ගෙවෙන්නේ දවස් දෙකම මාතර දිස්ත්‍රික්කයේ පාසල්වලට නිමාඩුවක් දීලා. මොකද්ද හේතුව? හේතුව තමයි කාලගුණය. ඉතිං මේ කාලගුණ හුටපටය මොකද්ද කියලා බලන්න මාතර අතුලසේන මහත්තයාට කතා කළා.

‘තිහ ගොඩ කියන්නේ මොකද්ද? ගොඩවල් තිහක් කියන එක. ඇත්තටම තිහගොඩ කියන එකේ තේරුම තමයි දූපත් තිහක් කියන එක. අද මේ දූපත් යාකරලා පාරවල් හදලා තියෙනවා. නමුත් අතීතයේ මේවා දූපත්. ඔන්න දැන් දවස් හයක් විතර මේ පාරවල් සේරම යටවෙලා. දැන් තමයි නියම දූපත් ටික මතුවෙලා තියෙන්නේ.’ මාතර ගංවතුර කතාව අපි පටන් ගත්තේ මෙහෙම.

නාඳුගලට උඩින් යයි ද?

‘මේ උදේ මට ආරංචි වුණ විදිහට නම් නාඳුගල ගල් වේල්ලට උඩින් වතුර දාන්න තව මීටරයක් විතර තමයි තියෙන්නේ එහෙම වුණොත් මාතර නගරය වුණත් යටවෙන්න පුලුවන්’ අතුලසේන මහත්තයා මෙහෙම කිව්වට මේ ලිපිය ලියන ඔක්තෝම්බර් 05 උදෑසන හය වෙනකොට මාතර, අකුරැස්ස, තිහගොඩ, මාලිම්බොඩ, අතුරලිය, කඹුරුපිටිය, මුලටියන වගේ ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශ ජලයෙන් යටවෙලා. මේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාශවලට තමයි වැඩිම බලපෑම තියෙන්නේ. 

ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අලුත්ම වාර්තාවට අනුව මාතර කලාපයේ විතරක් පවුල් 784ක පුද්ගලයන් 3528ක් බලපෑමට ලක්වෙලා තියෙනවා. තිහගොඩ පවුල් 193ක පුද්ගලයෝ 725ක්, අකුරැස්සේ පවුල් 193ක පුද්ගලයෝ 801ක්, මාලිම්බඩ පවුල් 183ක පුද්ගලයෝ 700ක් ගංවතුරෙන් බලපෑමට ලක්වෙලා. මෙහෙම ගත්තාම මාතර දිස්ත්‍රික්කයේ පවුල් 2113ක පුද්ගලයන් 8591ක් අපදාවට ලක්වෙලා තියෙනවා.

මෙතන තියෙන සුවිශේෂම කරුණ තමයි මාතර, තිහගොඩ, මාලිම්බඩ, අකුරැස්ස, කඹුරුපිටිය කියන ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශවල සමහර ප්‍රදේශ සතියක් විතර තවමත් ජලයෙන් යටව තිබීම. ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව දෛනික දත්ත වාර්තාව ඉදිරිපත් කරන කොට ගංවතුර පටන්ගත්ත දවස විදිහට ඔහු සඳහන් කරන්නේ පසුගිය සැප්තැම්බර් මාසේ 28 වෙනිදා. එහෙත් මාලිම්බඩ ප්‍රදේශයේ මිනිස්සු මාධ්‍ය ඉස්සරහට ඇවිත් කියන්නේ මාලිම්බඩ මහා විද්‍යාලය මේ වෙනකොට මාසයක් විතර වහලා දාලා කියලා, මේ ගංවතුර ප්‍රශ්නය නිසා.

කොහොම වුණත් ග්‍රාමසේවක වසම් 65ක පුද්ගලයන් 15000ක් විතර දැන් සතියක් තිස්සේ ගංවතුරෙන් පීඩාවට පත්වෙලා ඉන්නවා කියලා තමයි ප්‍රදේශයේ ජනතාව අපිට කියන්නේ. මේකට හේතුව මොකද්ද? දවස් හයක් ගෙවල් යට වෙලා හරි ගෙවල්වලට ප්‍රවේශ මාර්ග නැති වෙලා හරි නම් ඒක ලේසියට ගන්න පුලුවන් දෙයක් ද? ළමයි ඉන්නවා කාන්තාවන් ඉන්නවා ගැබිණි මව්වරුන් ඉන්නවා වයසක උදවිය ඉන්නවා මේ අය මේ දුෂ්කර තත්ත්වය අස්සේ ජීවත් වෙන්නේ කොහොමද? ඇයි බළධාරීන් මේවා ගානකට නොගන්නේ?

ලවන බාධකය

උග්‍ර ගංවතුර පීඩාවකට ලක්වෙලා ඉන්න මාලිම්බඩ ජනතාව නම් කියන්නේ මේකට හේතුව අවිදිමත් විදිහට හදපු ලවන බාධයක කියලා. මාතර සහ හම්බන්තොට ප්‍රදේශවල පානීය ජලයට ලවණ ජලය මුසුවීම වළක්වන්න තමයි මේක ලවන බාධකය නිර්මානය කරලා තියෙන්නේ. මාතර පිලදූව සහ උස්සන්ගොඩ අතර නිර්මානය කරන්න සැලසුම් කරපු මේ ලවන බාධක යෝජනාව එන්නේ 2003 අවුරුදේ. 2012 අවුරුද්දේ පටන් අරගෙන නැවති නැවති තිබිලා, චමල් රාජපක්ෂ වාරිමාර්ග අමාත්‍යවරයා විදිහට ඉන්න කාලේ 2022 වැඩ අවසන් කරලා තිබෙනවා.

මාතර ජල සම්පාදන ක්‍රමයේ සිව්වෙනි අදියරට වෙන් වුණ රුපියල් මිලියන 18208 ක මුදල් ප්‍රතිපාදන වලින් තමයි මේක හදලා තියෙන්නේ. ඉදිකරමින් පවතින ලවන බාධකය නිසා වගා හානි වෙනවද? මේක ඉදිකිරීමෙන් පස්සේ ගංවතුර ඇතිවෙන්න පුලුවන්ද වගේ කරුණු ගැන සාකච්ඡාවක් 2022.03.04 මාතර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල ශ්‍රවනාගාරයේ තිබිලා තියෙනවා, චමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. එතනදී මේ හැම කරුණක්ම සාකච්ඡා කරලා ඒවා වැළකෙන විදිහට තමයි මේක හදනවා කියලා ජනතාවට පොරොන්දු වෙලා තියෙන්නේ. ඒත් අන්තිමේ වෙලා තියෙන්නේ මොකද්ද?

ගඟ අවහිර කරලා

මාලිම්බඩ, තිහගොඩ වගේ ගංවතුරෙන් පීඩාවට පත්වෙලා ඉන්න ජනතාව කියන්නේ මේ බාධකය හරහා ගඟ වහලා කියලා. ගඟේ පැත්තක් අවහිර කරලා කියලා. ඔවුන් ඉල්ලන්නේ ඒ බාධාව අයින් කරලා ගංවතුර බැහැලා යන්න ඉඩ හදලා දෙන්න කියලා. පසුගිය ඔක්තෝම්බර් 04 මාතර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයට යන මේ මිනිස්සු ඉල්ලන්නේ ඒක. ඒ වෙලාවේ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ නිළධාරීන් කියන්නේ මේක කරන්න බෑ මේකට ජල සම්පාදන මණ්ඩලය විරුද්ධයි කියලා.

ජල සම්පාදන මණ්ඩලය කියන්නේ පානීය ජලය භාවිතා කරන ලක්ෂ 05ක ජනතාවට මේක කළොත් විශාල ප්‍රශ්නයක් ඇති වෙයි කියලා. මේ විදිහට නිළධාරීන් එහෙට මෙහෙට බෝලේ පාස් කරමින් ඉන්නවා. වැස්ස තවමත් ඇද හැලෙනවා. මේ මිනිස්සුන්ගේ හෙට දවස ගැන දන්නේ දෙයියෝ තමයි. දෙයියෝ වැස්ස නවත්තලා වතුර ටික බස්සලා දෙනකම් මාතර මිනිස්සුන්ට ඉන්න වෙන්නේ ජලජ ජීවීන් විදිහට.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගිය ඔක්තෝම්බර් 04 මේ ප්‍රශ්නය ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් යොමුකරමින් ප්‍රකාශයක් කරනවා. ඔහු කියන්නේ අවිදිමත්ව ඉදිකරපු මේ ලවන බාධකය නිසා නිල්වලා ගඟේ හරස්කඩක් දැඩි ලෙස අවහිර වෙලා කියලා. මේ නිසා කිරලකැලේ, කඩවැද්දුව හා කද්දුව කියන වාරිමාර්ග ව්‍යාපාර වගේම, මාතර නගරයත් අනාරක්ෂිත තත්ත්වයට පත්වෙලා කියලා ඔහු කියනවා.

Collapsible Gate

වතුර බහින්නේ නැති නිසා මේ වෙනකොට කුඹුරු අක්කර 12000ක් විනාශ වෙලා කියලා තමයි විපක්ෂ නායකවරයා කියන්නේ. ලවන බාධක ව්‍යාපාති වාර්තාව අනුව Collapsible Gate දැමීමට යෝජනා වුවත්, අමාත්‍යාංශ දෙකක ලේකම්වරු දෙදෙනකු එකට එකතු වෙලා Collapsible Gate දැමීම අවශ්‍ය නොවන බවට තීන්දු කරලා තිබෙනවා. මේ නිසා මේ වෙනකොට පිටපිට කන්න 10ක් ගොවීන්ගේ වගාවන් හානිවෙලා තිබෙනවා. හැබැයි වන්දියක්වත් දීලා නෑ.

මේක ඉතාමත් බරපතළ තත්ත්වයක්. පාරිසරික ඇගයුම් වාර්තාවන් හෝ ගංවතුර අවධානම් තත්ත්ව වාර්තාවන් හෝ කිසිදෙයක් නැතිව විද්‍යාවත් අමතක කරලා, සල්ලි සාක්කුවලට ඔබාගන්න නිළධාරීන් සහ දේශපාලකයන් එකතුවෙලා ගහපු තවත් ගේමක් විදිහට තමයි මේ ලවන බාධකය හඳුන්වන්න වෙන්නේ. දැන් මේ ගංවතුර ප්‍රශ්නයට විසඳුම විදිහට ඉංජිනේරුවන් කරන යෝජනාව බාධකයේ කොටසක් කපා ඉවත් කිරීම. ඒකට විශාල මුදලක් වැයවෙන්න පුලුවන්. මේවගේ අසාර්ථක වැඩ කරලා සල්ලි සාක්කුවට දාගත්ත මිනිස්සු හොයලා දඬුවම් දිය යුතු නැද්ද?

එක දිගට වහින මේ වැස්ස මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට විතරක් නෙවෙයි බලපෑම් කරලා තියෙන්නෙ. අඩු වැඩි වශයෙන් මුලු දිවයිනටම මේ අයහපත් කාලගුණ තත්ත්වය නිසා උරුම විපත්තිදායක තත්ත්වය උදාවෙලා. රත්නපුර, ගාල්ල, මාතර, කෑගල්ල වගේ දිස්ත්‍රික්වලට නාය යාම් අනතුරු ඇගවීම් නිවේදන පවා නිකුත් කරලා තිබෙනවා. කළු ගඟ, කැලණි ගඟ, ගිං ගඟ, ජල මට්ටමත් ඉහළ යමිනුයි තිබෙන්නේ. මේ තත්ත්වය අස්සේ ඔක්තෝම්බර් 05 වෙනිදා උදේ හය වෙනකොට පවුල් 12120ක පුරවැසියෝ 48821ක් ආපදාවට ලක්වෙලා තිබෙනවා. මේ නිසා නිවාස 686කට අර්ධ හානී වෙලා තියෙනවා. වැස්ස නතර කරන්න බෑ හැබැයි මොළෙන් වැඩ කළොත් හානිය අවම කරගන්න පුලුවන්.