You are currently viewing සහචරවාදයේ අඳුරු සෙවනැලි සහ ශ්‍රී ලංකා ක්‍රිකට්

සහචරවාදයේ අඳුරු සෙවනැලි සහ ශ්‍රී ලංකා ක්‍රිකට්

-කේ. සංජීව-

ශ්‍රී ලංකා ක්‍රිකට් යනු පුද්ගලික ආයතනයක් බව පසුගිය දවසක මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් එහි සභාපති ෂම්මි සිල්වා ප්‍රකාශ කළේය. එහි ගොස් සිටි මාධ්‍යවේදීන් කිසිවෙක් ‘එහෙනම් මහත්තයෝ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමත් පුද්ගලික එකක් දැයි’ විමසුවේ නැත. ශ්‍රී ලංකා ක්‍රිකට් ‍රජයේ විගණනයට යටත් නැති බව එහි සභාපති ෂම්මි සිල්වා කටහැකර කමට කීවත් දැන් එම ප්‍රකාශ බොරුවක් වී ඇත. එයට හේතුව රජයේ විගණකාධිපතිවරයා, 2022 ඔස්ට්‍රේලියාවේ පැවති ටී-20 ලෝක කුසලාන තරඟාවලිය ආශ්‍රිතව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය විගණනයට යටත් කර එහි විගණන වාර්තාව පාර්ලිමේන්තුවට යවා ඇති නිසා ය.

1993 අංක 47 දරණ පනතින් සංශෝධිත 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතට අනුව ලියාපදිංචි කර ඇති ඕනෑම ක්‍රීඩා සංගමයක් රජයේ විගණකාධිපතිවරයාට යටත් බව එම විගණන වාර්තාවේ මුලටම ලියා ඇත. මෙම විගණන වාර්තාවෙන් හෙළිවෙන කරුණු ප්‍රකාශ කරන්නේ කුමක්ද? මෙයින් ප්‍රකාශ වන්නේ ලංකාව තුළ පිළිකාවක් සේ වර්ධනය වී තිබෙන සහචරවාදය තවදුරටත් උඩුදුවා ක්‍රිකට් ආයතනයත් බිල්ලට ගෙන ඇති වගය.

ශ්‍රී ලංකා ක්‍රිකට් යනු මිනිසුන් මිලියන ගණනින් බලාසිටින ආයතනයක් ය. මිනිසුන්ගේ සතුට සදන ආයතනයක් ය. එය පුද්ගලික දේපලක් හෝ පුද්ගලික ආයතනයක් කියා කිසිවෙක්ට කිව නොහැකිය. 1996 ලෝක කුසලානය ජයග්‍රහනය කළ පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් යනු ධන උල්පතක් ය. මේ උල්පතින් සල්ලි ගලාගෙන එන්නේ මිලියන් බිලියන් ගණන් වලින් ය. දිනුවා හෝ පැරදුනා හෝ විශාල මුදල් කන්දක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ගලාඑමින් තිබෙයි. එම මුදල් රාජ්‍ය මැදහත්ව නිසි ආකාරයෙන් කළමනාකරණය කළා නම් අනෙකුත් ක්‍රීඩාද ක්‍රිකට් සල්ලිවලින් ගොඩදමා ගන්නට බැරිකමක් නැත. අනෙක් පැත්තෙන් අධ්‍යාපනය සෞඛ්‍ය වැනි සේවාවන්ද මෙම ක්‍රිකට් සල්ලිවලින් දියුණු කරන්නට හැකිය. එහෙත් අද සිදුවන්නේ කුමක්ද? අද සිදුවන්නේ පුද්ගලයින් කණ්ඩායමක් එකට එකතුවී මෙම මුදල් තම පුද්ගලික සුඛවිහරණය වෙනුවෙන් අවභාවිතා කිරීමය. එම අවභාවිතාවේ කතාවේ එක කොටසක් මෙම විගණන වාර්තාව හරහා හෙළිවී ඇත.

මෙම විගණනයේ කරුණු ලසන්ත රුහුණගේ විසින් පසුගිය 2023.10.01 වෙනි දින ‘අනිද්දා පුවත්පතට’ සවිස්තරව වාර්තා කර තිබුණ අතර එම කරුණු තුළින් එළියට එන සත්‍ය පිළිබඳව අප සාකච්ඡා කළ යුතුය. ශ්‍රී ලංකා ක්‍රිකට් යනු එහි තාවකාලික පරිපාලකයන්ගේ බූදලක් නොවන බව මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ලැබෙන සල්ලි ලංකාවේ පුරවැසියන්ට ලැබෙන සල්ලි ලෙස ගණන් ගත යුතු බව අවධාරණය කළ යුතුය.

ඔස්ට්‍රේලියාවේ පැවති මෙම තරඟාවලිය නැරඹීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයන් 11 දෙනෙක් ද එම ආයතනයට සම්බන්ධ පුද්ගලයින් 09ක් ද එම ආයතනයට කිසිඳු බැඳීමක් නැති බාහිර පුද්ගලයන් 36 දෙනෙක් ද ඇතුලත්ව පුද්ගලයන් 56 දෙනෙකු වෙනුවෙන් වීසා ලබාගන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්‍යාලය වෙත ඉල්ලීම් ලිපි ඉදිරිපත් කර තිබුණ බව මෙම වාර්තාව හරහා රජයේ විගණකාධිපතිවරයා අනාවරණය කර ඇත. මෙසේ වීසා ලබාගෙන ඕස්ට්‍රේලියාව බලා ගිය සමහර පුද්ගලයන් මෙම විගණන විමර්ෂණය සිදුවෙන අවධිය වනවිටත් ලංකාවට පැමිණ නැති බව වාර්තාව ප්‍රකාශ කරයි.

මෙම විගණන වාර්තාවට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වාගේ පවුලේ ඥාතීන් හා හිතවතුන් 21 දෙනෙක් ද උප සභාපති ජයන්ත ධර්මදාසගේ හිතවතුන් දෙදෙනෙක් ද ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයන් 8 දෙනෙකුගේ බිරින්ඳෑවරුන් සහ පවුලේ සාමාජිකයන් 9 දෙනෙක් ද වෙනත් පුද්ගලයන් 11 දෙනෙක් සහ ඔවුන්ගේ බිරින්ඳෑවරුන් 2ක් වෙනුවෙන්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්‍යාලයට වීසා සඳහා ලිපි ඉදිරිපත් කර ඇත.

මේ අනුව වාර්තාව හෙළිකරන කරුණු වලට අනුව ෂම්මි සිල්වා විසින් ඔහුගේ බිරිඳට බිරිඳගේ සොහොයුරාට බිරිඳගේ මවට සහ තවත් 18 දෙනෙකුට වීසා ඉල්ලීම් සිදුකර ඇත. නම් ගම් සහිතව මේ පිළිබඳව විගණන වාර්තාව කරුණු දක්වන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ජයන්ත ධර්මදාසගේ හිතවතුන් දෙදෙනාගේ නම් ද ඒ අතර වෙයි. එයින් එක නමක් පිළිබඳව පසුගිය කාලයේ විශාල ආන්දෝළනයක් සමාජ මාධ්‍ය තුළ ඇති වුණ බව මෙය කියවන්නාට අමතක වන්නට විදිහක් නැත.

මෙම සංචාරය සඳහා පුද්ගලයන් 23 දෙනෙක් තරඟ නැරඹීම සඳහා යවනු ලැබ ඇත්තේ ‘exclusive procurement’ ලෙස සලකමින් ය. එහෙත් මෙම වාර්තාව කියා සිටින්නේ මෙම පිරිසට ඕසට්‍රේලියාව බලා තරඟ නැරඹීම සඳහා යාමට මාස කීපයකට කළින් විධායක කමිටු අනුමැතිය ලැබී තිබුණ බැවින් තරඟකාරී මිල කැඳවීමක් සිදුකළ හැකිව තිබුණ බවය. එහෙත් එය එසේ සිදුව නැත. අනෙක් පැත්තෙන් විගණනය හා ඉදිරිපත් කර තිබුණ විද්‍යුත් ටිකට් පත් සහ ගුවන් ගමන් සඳහා මුදල් ගෙවීම් සිදුකළ වවුචර් පත්හි අන්තර්ගත තොරතුරු නොසැසඳෙන අවස්ථා තිබුණ බව විගණන වාර්තාව නිරීක්ෂණය කර ඇත.

2022 වර්ෂයේ මාර්තු මස සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එහි විධායක කමිටු සාමාජිකයන්ට, කළමනාකරණ කාර්‍ය මණ්ඩලයට සහ අනෙකුත් කාර්‍ය මණ්ඩලයන් සඳහා ගෙවනු ලබන දෛනික ගුවන් ගමන් දීමනාව විධායක කමිටු සාමාජිකයන් සඳහා ඩොලර් 700ක් ලෙස 75%කින් ද කළමනාකරණ කාර්‍ය මණ්ඩලය සඳහා ඩොලර් 600ක් ලෙස 71%කින්ද අනෙකුත් කාර්‍ය මණ්ඩලය සඳහා ඩොලර් 475ක් ලෙස 46%කින් ද වැඩිකරගෙන ඇත. මේ අතර විධායක කමිටු සාමාජිකයෙක් විදෙස් ගමනක් යනවිට විනෝද වීමේ ගාස්තුව ලෙස ගෙවනු ලැබූ විනෝද දීමනාව ඩොලර් 1000ක මුදල ඩොලර් 2000ක් දක්වා වැඩි කරගෙන ඇත. මෙයින් පෙනෙන්නේ ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා තම හිතවතුන්ට බෙදන ගමන් තමන්ටද ලොකු ලොකු කුට්ටි බෙදාගත් ආකාරයයි. එක සහචරවාදයේ ලක්ෂණයක් ය.

ඕස්ට්‍රේලියාවේ පැවති මෙම ක්‍රිකට් තරඟාවලි කාලය තුළ ෂම්මි සිල්වා වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් 12,264,416ක මුදලක් වියදම් කර ඇති අතර එම මුදලින් රුපියල් 767550ක මුදලක් ඔහු ආපසු ගෙවා ඇති බව විගණන වාර්තාවේ සඳහන් වෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා වෙනුවෙන් රුපියල් 5,444,681ක මුදලක් වැයකර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, උප සභාපති ජයන්ත ධර්මදාස වෙනුවෙන් රුපියල් 5,198,500ක මුදලක් වැය කර ඇත.

උප සභාපති රවීන් වික්‍රමරත්න වෙනුවෙන් 4,749,500ක මුදලක් වැය කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමසිංහ වෙනුවෙන් රුපියල් 4,812,285ක් වැය කර ඇති අතර එම මුදලින් 528,049ක මුදලක් ලසන්ත වික්‍රමසිංහ ආපසු ගෙවා ඇත. මෙම තරඟාවලියට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ලැබුණ ප්‍රවේශපත්‍රවලට සිදුවුණ දේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් මුදල් වියදම් කර ලබාගත් ප්‍රවේශපත්‍ර වලට සිදුවුණ දේ පිළිබඳවද මෙම වාර්තාවට කරුණු අන්තර්ගත අතර එම කරුණු කියවීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් වෙලාගත් සහචරවාදයේ තරම සිතාගැනීමට අපහසු නැත. මෙසේ විශාල මුදල් කන්දක් තම පුද්ගලික මුදල් සේ සලකා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සහ එම කමිටුවට හිතවත් නිළධාරීන් බෙදාහදාගෙන විනෝද සවාරියක් ගොස් පැමිණ ඇත.

එසේ පැමිණි පසුව තවත් අසීමිත මුදල් කන්දක් වැයකර ඇත්තේ අධිකරණ කටයුතු වෙනුවෙන් ය. මෙම ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය විමර්ශනය කිරීම සඳහා ක්‍රීඩා ඇමතිවරයා පත්කළ කමිටුව ඉදිරිපත් කළ වාර්තාව පදනම් කරගනිමින් අමාත්‍යවරයා ක්‍රිකට් ආයතනයේ විධායක සභාව විසුරුවා හැරීම වැළැක්වීම සඳහා අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීමට අභියාචනාධිකරණයේ නඩු පැවරීම සඳහා නීතීඥයන් සඳහා රුපියල් මිලියන 11.5ක මුදලක් 2023 පෙබරවාරි 03 දා ගෙවා ඇත. මේ අනුව 2023 වර්ෂයේ මුල් මාස කීපය තුළ සේවාවන් සඳහා ගෙවා තිබුණ රුපියල් මිලියන 28.7ක මුදලින් 80%ක් එනම් රුපියල් මිලියන 23.1ක් ගෙවා ඇත්තේ ක්‍රීඩා ඇමතිවරයා සහ අනෙකුත් රාජ්‍ය නිළධාරීන් පාර්ශවකරුවන් කරමින් අතුරු තහනම් නියෝග ලබාගැනීම සඳහා බව මෙම විගණන වාර්තාව සඳහන් කරයි.

මෙයින් පෙනෙන්නේ තාවකාලිකව ඡන්දයෙන් පත්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා ඇතුලු විධායක කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් තමන්ගේ පුද්ගලික ධනය සේ සලකන ආකාරයයි. වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආගාධයට ගමන් කරමින් තිබිමේ කතාවේ එක් හේතුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙළාගත් මෙම සහචරවාදය බව බයක් නැතිවම ප්‍රකාශ කළ හැකිය. සුදුස්සාට සුදුසු තැන නොදීමත් අසාර්ථකත්වයට දිගින් දිගටම පත්වෙන තැනත්තන් දිගින් දිගටම කණ්ඩායම තුළ තබාගැනීමත් මෙහි ප්‍රතිපලයක් ය. අනෙක් පැත්තෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වාගේ ක්‍රිකට් මුදල් පරිපාලනයේ තරම මෙය නම් ඔහුගේ අනෙකුත් පරිපාලන දක්ෂතා ගැන අප කුමක් කතා කරන්නද?

විගණකාධිපති තමන්ගේ විගණන වාර්තාවන් යොමුකරන්නේ පාර්ලිමේන්තුව වෙතය. අපි ආඩම්භරයෙන් ප්‍රකාශ කරන්නේ රාජ්‍යයේ මුදල් පරිපාලනයේ සියලු වඟකීම් තිබෙන්නේ පාර්ලිමේන්තුව සතුව බවය. දැන් අපිට බලාගෙන සිටින්නට වෙන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මෙම ක්‍රිකට් විරුවන්ට විරුද්ධව කරන්නේ කුමක්ද කියා ය. සමහරවිට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව පාර්ලිමේන්තුවට විරුද්ධවත් අධිකරණය හමුවට යන්නට පුලුවන් ය. ඒ තරමට මෙම ආයතනය සතුව මුදල් ඇත. ෂම්මි සිල්වා ප්‍රමුඛ විධායක සභාවට තිබෙන්නේ අතදිගහැර වියදම් කිරීම පමණය.