You are currently viewing ගෝලිය ප්‍රශ්නයකට දේශීය උත්තර සෙවීම..!

ගෝලිය ප්‍රශ්නයකට දේශීය උත්තර සෙවීම..!

-කේ. සංජීව-

‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂි භාවය පිළිබඳ පනත් කෙටුම්පත’ යනුවෙන් අන්තර් ජාලය සම්බන්ධ නීති පැනවීම සඳහා මේවනවිට මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයාගේ නියමයෙන් පනත් කෙටුම්පතක් ගැසට්කර ඇත. මෙම පනත් කෙටුම්පත එලබෙන අගහරුවාද එනම් ඔක්තෝම්බර් 3 දා පාර්ලිමේන්තුවේ සභාගත කරන්නට නියමිත අතර ඒ අනුව ජනතාවට මේ පනතට යම් විරෝධතාවයක් තිබෙන්නේ නම් ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යෑමට සති දෙකක කාලයක් ලැබෙනු ඇත.

අප මේ ගෙවාදමමින් සිටින මොහොත සමාජ මාධ්‍යයේ මොහොත ය. සියල්ල සිදුවන්නේ ගෝලීය අවකාශයක් තුළය. සීමිත තොරතුරු සීමිත මාධ්‍යයන් ඔස්සේ ජනතාව වෙත පැමිණි යුගය අවසන්ව, අසීමිත තොරතුරු අසිමිත මාධ්‍යය අවකාශයන් හරහා සන්තතික දහරාවක් ලෙස අපහට ලැබෙමින් තිබෙයි. දැන් අපි සැවොම මාධ්‍යවේදීන් වී සිටියි. අපි සැවොම තොරතුරු වාහකයන් වී සිටිමු. මෙම නව තත්ත්වය හරහා ප්‍රජාතන්ත්‍රවාදය ද නව ස්වරූපයක් වෙත රූපාන්ත්‍රනය වී ඇත. පුරවැසියා මෙන්ම නියෝජිතයාද එක විට මෙම මාධ්‍ය ප්‍රවාහය තුළ විමර්ෂනයට සහ නියාමනයට ලක්වෙමින් සිටියි.

මෙම නව තත්ත්වය තුළ ලෝකයේ බොහෝ රාජ්‍යයන් සමාජ මාධ්‍ය භාවිතාවන් නියාමනය සඳහා උනන්දු වෙමින් සිටියි. ආචාර්‍ය රංග කලංසූරිය පසුගිය දා ජනරජ පෙරමුණ සංවිධානය කළ මෙම පනත පිළිබඳ වූ සංවාදයකදී ප්‍රකාශ කළේ, මේවනවිට ලෝකයේ රටවල් 75ක් නීතීන් 115ක් මේ සඳහා කරළියට ගෙනවිත් ඇති බවය. එහෙත් මෙම නීතීන් අතරින් සාර්ථකත්වයට පැමිණ ඇත්තේ අතේ ඇගිලි ගණනටත් අඩු ප්‍රමානයක් බව ප්‍රකාශ කරන ආචාර්‍ය රංග ඒ සාර්ථක වූ රටවල් උතුරු අර්ධගෝලයේ රටවල් බවද අවධාරණය කරයි. ජර්මනිය සහ යුරෝපා සංගමය මෑතක සම්මත කරගත් නීතීන් යම් සාර්ථකත්වයක් අත් කරගෙන ඇති බව ද එහෙත් ලෝකම මේ කේෂ්ත්‍රය සම්බන්ධයෙන් ආඳුනික බව මතක තබා ගත යුතු යැයි ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

මෙම තත්ත්වය තුළ ලෝකයේ බොහෝ රටවල් උත්සාහ කරමින් තිබෙන්නේ තම රටේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී හර පද්ධතියට ප්‍රශ්නයක් නොවෙන ආකාරයට මේ ගැටලුව විසඳා ගන්නට ය. එහෙත් එය තවමත් උත්සාහයක් පමණය. මෙම නියාමනය හරහා බොහෝ රටවල් කරන්නට තටමන්නේ මහජන පරිමණ්ඩලයට මැදිහත්වීමය. එහෙත් පාලකයන් හිතනා ආකාරයට එය ලේසි නැත.

සිංගප්පුරුවෙන් ආපු පනත

ලංකාව සම්මත කරගන්නට තටමන මේ පනත කොහෙන් ගෙනා එකක් ද? දැනගන්නට ලැබෙන විදිහට මේ පනත හරහා අපි ආදර්ශයට ගන්නේ සිංගප්පූරුව සමාජ මාධ්‍ය නියාමනය සඳහා පනවා තිබෙන නීතියයි. මේ පනතේ ඉතිහාසය ගැන ආචාර්‍ය රංග කලංසූරිය ප්‍රකාශ කළේ මෙවැනි අදහසක් ය.

‘සිංගප්පූරුව කියන්නේ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබෙන රටක් නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් බැලුවොත් රටවල් 180ක් අතරින් සිංගප්පූරුව ඉන්නේ 129 වැනි ස්ථානයේ. සිංගප්පූරුව අපි නිදහස් මාධ්‍ය තිබෙන රටක් විදිහට පිළිගන්නේ නෑ. සිංගප්පූරුව මේ නියාමනය ගැන සාකච්ඡාව පටන් ගත්තේ 2018 අවුරුද්දේ. 2019 මුල වෙනකොට සිංගප්පූරුව නීතිය සම්මත කරගත්තා. එහේ අධිකරණ ඇමතියි ඒ කාලේ මෙහේ හිටපු අධිකරණ ඇමති අලි සබ්‍රි මහත්තයා‍යි හොඳ යාළුවෝ, එතුමාට ඉතිං මේකේ බ්ලූ ප්‍රින්ට් එකක් හම්බවුණා. අද මේ ඇවිත් තියෙන්නේ රිවයිස් වුණ බ්ලූ ප්‍රින්ට් එකක්.

2018 යහපාලන ආණ්ඩුව කාලෙත් මේ නියාමන ප්‍රෙසර් එක ආණ්ඩුවට තිබ්බා. ඒත් අතගහන්න ගියේ නෑ. ඇත්තටම දිගන ඇටෑක් එක වෙලාවේ තමයි මේක මුලින්ම ආවේ, එතකොට මම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක. අපි සෝෂල් මීඩියා දවස් 06ක් බ්ලොක් කළා. 2019 ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති වුණ ගමන් මේක ආයෙත් කරළියට ආවා. වෛරී ප්‍රකාශවලට විරුද්ධව තමයි මුලින්ම මේක ආවේ.

2020 අවුරුද්දේ පළවෙනි කෙටුම්පත ආවට පස්සේ අපි අලි සබ්‍රි ඇමතිතුමා හම්බවෙලා කිව්වා පොඩ්ඩක් ඉන්න කියලා. මොකද අපි ඒ වෙනකොට සිංගප්පූරුවේ Asia Internet Coalition එකත් එක්ක කතා කරමින් හිටියේ, නවසීලන්තය සම්මත කරගත්ත ස්ව-නියාමන කෝඩ් එක ගැන. ඒ වෙනකොට ටික් ටොක් ඇතුලුව සමාගම් සියල්ලම වගේ නවසීලන්තය කේන්ද්‍රගත Harmful අන්තර්ගතයන් නියාමනය කරන්න, නවසීලන්තයත් එක්ක එකඟවෙලා හිටියේ. මේක ආණ්ඩුව, සිවිල් සමාජය සහ සමාගම් අතර කෙරෙන දෙයක්. අපි මෙහේ මේක කරන්න තමයි උත්සාහ කළේ. ඇත්තටම අලි සබ්‍රි අධිකරණ ඇමතිවරයා වගේම, ඒ කාලේ ජනමාධ්‍ය ඇමති විදිහට හිටපු ඩලස් අලහප්පෙරුම ඇමතිතුමාත් මේකට කැමති වුණා. මේ ගැන සාකච්ඡා අරගලය කාලේ වගේම ඊටපස්සෙත් ගියා. ඒත් ගූගල් ආයතනය නිසා ඒ සාකච්ඡා ක්‍රියාවට නඟාගන්න අපිට බැරිවුණා. ඊටපස්සේ තමයි දැන් මේ පනත ඇවිත් තිබෙන්නේ.’

මේ කතාවෙන් අපිට පෙනෙන්නේ අපිට තවමත් වෙනත් කවුළුවක් මේ වෙනුවෙන් ඕපන් වෙලා තිබෙනවා කියන දේ. අන්තර්ජාලය යම් නියාමනයකට යටත් කළ යුතු බව කතා දෙකක් නැහැ. නමුත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අප වෙත ලබාදී තිබෙන භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය වැනි මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරක්ෂිත කරන නීතියක් විය යුතුයි. අනෙක් පැත්තෙන් එය ලෝකය එක්ක යන දෙයක් විය යුතුයි. ගූගල්, මෙටා, එක්ස් වගේ සමාගම් අපිට අලුත්කඩේ උසාවියට ගෙන්නන්න පුලුවන් කියලා හිතාගෙන නීති හදනවානම්, ඒක කාලය මුදල් වගේම ශ්‍රමයත් අපතේ යැවීමක්. අනෙක් පැත්තෙන් මේ කරන සෙල්ලම නිසා රටට විශාල ධනයක් අහිමිවෙනවා විතරක් නෙවෙයි මීට පසුව කිසිඳු නීතියක් විරෝධයකින් තොරව ගෙනල්ලා සම්මත කරගන්න බැරිවෙන තත්ත්වයක් මේ හරහා නිර්මානය වෙන්න පුලුවන්.

පකිස්තාන ආදර්ශය

‘පහුගිය කාලේ පකිස්තානේ මේවගේ නීතියක් සම්මත කරගන්න ගියාම, ගූගල් මෙටා වගේ ආයතන කිව්වේ ඔයාලා නීති ගේන්න අපි ගලවගෙන යනවා යන්න කියලා, අනෙක් පැත්තෙන් අපි දන්නවා මැයි 09 සිදුවීමට පස්සේ අගෝස්තු 09ය සිදුවීම් සිද්ධවෙනකොට ලංකාවේ ආණ්ඩුව ෆේස්බුක් එකෙන් ඉල්ලුවා ලයිව් දෙන එක අවහිර කරන්න කියලා. ෆේස්බුක් එක එතකොට ආණ්ඩුවෙන් ඇහුවේ මැයි 09 ලයිව් දෙන්න හොඳ නම් ඇයි අගෝස්තු 09 දෙන්න හොඳ නැත්තේ කියලා. මේක භාෂණයේ නිදහස අහිමි කිරීමක් විදිහට සලකලා ෆේස්බුක් එක ආණ්ඩුවේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. මෙන්න මේක තමයි ඇත්ත තත්ත්වය’ ආචාර්‍ය රංග කලංසූරිය පෙන්වන සත්‍ය තත්ත්වය මඟහැර අපිට ගමනක් නෑ. එය ආණ්ඩුව තේරුන් ගත යුතුය.

අද ලෝකය, අන්තර්ජාලය වෙනම මාධ්‍ය අවකාශයක් විදිහට පිළිගන්නා පසුබිමක සහ එය ප්‍රජාතන්ත්‍රවාදයේ පස්වෙනි කුලුන ලෙස පිළිගන්නා පසුබිමක මහජන පරිමණ්ඩලය පාලනය කිරීමේ අරමුණෙන් මෙවැනි පුලුල් නීති පැනවීම පිළිගන්නට නොහැකි බව කිව යුතුය. මෙම නව පනතින් හඳුන්වා දෙන සත්‍ය සෙවීමේ කොමිසම විහිළුවකින් එහා ගොස් විකාරයක් බව බැලූ බැල්මට පෙනෙයි. ජනාධිපතිවරයා විසින් නම් කරනු ලබන සාමාජිකයන් පස් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමකට සත්‍ය කුමක්දැයි තීරණය කළ හැකිද? අනෙක යම් දෙයක් සත්‍යක් බව තීරණය කරන්නට මෙම පනතින් යෝජනා කරන නිර්නායක කුමක්ද? සත්‍ය යනු කුමක්ද? එයට මෙම පනතින් දෙන පිළිතුර කුමක්ද? මට සත්‍යක් සේ පෙනෙන දෙයක් ඔබට සත්‍යක් නොවිය හැකිය. කොමිසමට සත්‍යක් සේ පෙනෙන දෙයක් පුරවැසියාට එසේ පෙනෙන්නේ නැතිවන්නට පුලුවන් ය. එවිට මේ පනතේ තිබෙන දඬුවම් ඔහුට ලබාදෙන්නේ කෙසේද?

සාපරාදී අපහාස නීතිය සහ තුන්හවුල් යාන්ත්‍රනය

මෙනිසා මේ පනත බොහෝ දෙනෙක්ට අනුව සාපරාදී අපහාස නීතිය නැවත වෙනත් වටයකින් කරළිය වෙත ඔසවා තැබීමක් ය. මේ පනත කියවන්නාට එය බැහැර කළ නොහැකි සත්‍යක් ය. fake profile ගැන සහ Whistleblower සංකල්පය ගැන මේ පනත හිතන ආකරාය ළාමයක. ළඳරුය. බිලියන 03කට අධික ෆේස්බුක් ගිණුම් සහ පිටු අතරින් කොතරම් සංඛ්‍යාවක් ව්‍යාජ ගිණුම් වන්නට පුලුවන්ද? මෙටා ආයතනය fake profile අයින් කරන්නට සිය කැමැත්ත ලබාදෙයි ද? මෙවැනි නීති ලියන උදවියට මේවා කල්පනා වෙන්නේ නැතිද?

child sexual exploitation and abuse, bullying or harassment, hate speech, incitement of violence, violent or graphic content, misinformation, disinformation වැනි අන්තර්ගතයන් දැනටත් යම් ආකාරයකට ඒ ඒ අවකාශයන් තුළින් නියාමනය කරන (රිපෝට් කළ පසු) පසුබිමක එම තත්ත්වය වර්ධනය කරගන්නේ කෙසේද යන්න පිළිබඳව ආණ්ඩුව කල්පනා කරන්නේ නම් එය යහපත් ය. සමාජ මාධ්‍ය අවකාශයන් (මෙටා, ගූගල් වැනි), භාවිතා කරන්නන් සහ ආණ්ඩුව එකතුවුණ තුන්හවුල් යාන්ත්‍රනයක් මෙම නියාමනය සඳහා සකසා ගැනීම අප වැනි රටකට උචිතම ක්‍රමය විය හැකිය. ආචාර්‍ය රංග කලංසූරිය ප්‍රකාශ කරන නවසීලන්ත ක්‍රමය කොතෙක් දුරට සාර්ථක වේද යන්න කාලය පිළිබඳ ප්‍රශ්නයක් ය. එවැනි දෙයක් අවශ්‍ය නම් අපටත් අත්හදා බැලිය හැකිය.

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) වගන්තිය කියවා බලන්න එහි වාර්ගික හා ආගමික සහජීවනය හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද, අධිකරණයට අපහාස කිරීම, අපහාස කිරීම හෝ වරදකට උසිගැන්වීම, සම්බන්ධයෙන් නීතියෙන් නියම කළ හැකි සීමාවන්ට යටත්ව ඕනෑම මාධ්‍යයක ප්‍රකාශනය ද ඇතුළුව භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සහතික කර ඇත. එහෙත් මේ නව නීතිය ව්‍යවස්ථාවේ මෙම 14 වගන්තිය වෙන්ම 15(2) වගන්තිය දක්වන සීමාවන්ද අතික්‍රමනය කර ඇත. එවැනි පුලුල් නීතියක් අවසානයේ පුරවැසියාගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට බලපෑම් සිදුකරනු ඇත. එය අයිසීසීපීආර් පනතට වඩා අවභාවිතා කරනු ඇත.

මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති බලතල බෙදීම පමණක් නොව, පරිපාලන නීතියේ මූලික මූලධර්ම ද උල්ලංඝනය කරන බව එය කියවන ඕනෑම කෙනෙක්ට තේරුන් යා යුතුය. එනිසා මෙම නව පනත් කෙටුම්පත හකුලාගෙන නැවත නවසීලන්තය වැනි රටක් ආදර්ශයට ගෙන අප කටයුතු කළ යුතුය. මහජන පරිමණ්ඩලය හිසරදයක් නොකරගෙන එය තවත් වර්ධනය වෙන ආකාරයේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණවලට අප ගමන් කළ යුතුය.

කළ යුත්තේ කුමක්ද?
ආචාර්‍ය රංග කලංසූරිය ප්‍රකාශ කරන ආකාරයට නවසීලන්ත ක්‍රමය ලංකාව තුළ ස්ථාපනය කිරීම අමාරු කාර්‍යයක් නෙවෙයි. මෙහිදී වෙන්නේ ගූගල්, මෙටා, එක්ස් වැනි සමාගම් 16 සමග එකඟතාවයකට එනවා ලංකාව තුළ නිර්මානය කරගන්නා ස්වාධීන කමිටුවක් හරහා ලංකාවට අදාළ Harmful අන්තර්ගතයන් නියාමනය කරන්න. මෙම නියාමන යාන්ත්‍රනය ස්ව-නියාමන යාන්ත්‍රනයක්. එය සිදුවන්නේ කමිටුවක් හරහා (කොමිෂමක් වුණත් නිර්මානය කරගත හැකියි) සිවිල් සංවිධාන නියෝජිතයන්, ආණ්ඩුවේ නියෝජිතයෙක්, පොලීසියේ නියෝජිතයෙක් ආදී වශයෙන් ස්වාධීන කමිටුවක් එහිදී නිර්මානය වෙනවා. මෙම කමිටුවේ ක්‍රියාකාරීත්වය සඳහා ලේකම් කාර්‍යාලයක් ස්ථාපනය කරන්න කටයුතු කරන අතර එම කාර්‍යාලයේ නඩත්තුව සහ පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මූල්‍ය ශක්තිය මුලින් කී සමාගම් දරණවා. ආචාර්‍ය රංග කලංසූරිය ප්‍රකාශ කරන්නේ පැවති සාකච්ඡාවන් තුළදී ඉහත සමාගම් මෙම කාර්‍යාලයේ නඩත්තුව සඳහා මූල්‍යමය දායකත්වයක් දක්වන්නට එකඟවුණ බව. මීට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානයද එයට එකඟවී තිබෙනවා.

මෙලෙස නිර්මානය කරන කමිටුවට බලය ලැබෙනවා සයිබර් අවකාශයේ සරණ ලංකාවට අදාළ අන්තර්ගතයන් තුළ තිබෙන හානිකර අන්තර්ගතයන් හඳුනාගෙන ඒවා ඉවත් කරන්න යැයි අදාළ සමාගම් දැනුවත් කරන්න. ඒ අනුව සමාගම් සමග තිබෙන එකඟතාවය නිසා ඉතාමත් ඉක්මනින් අවශ්‍ය පියවරයන් එම සමාගම් ගනු ලබනවා. එලෙස රිපෝට් කරනු ලබන කන්ටෙන් සඳහා එම සමාගම් ගනු ලැබූ පියවරයන් ගැන පසු විපරමක් කරන්නට සහ ඒ පිළිබඳව සමාගම් විමසන්න, මෙම කමිටුවට බලය ලැබෙනවා. ආචාර්‍ය රංග කලංසූරිය ප්‍රකාශ කරන ආකාරයට මේ යාන්ත්‍රනය බලගැන්වෙනවාට සමාගම් මනාපයි. මොකද මේ හරහා වෛරී ප්‍රකාශ වැනි දේවල් පාලනය කරන්න ඔවුන්ට දරන්න වෙන අමතර මහංසිය මේ හරහා මඟහරවා ගන්න ඔවුන්ට පුලුවන් වෙනවා. භාෂාව සහ සංස්කෘතිය සමග බැඳුන රටට අනන්‍ය ප්‍රශ්න ඔස්සේ නිර්මානය වුණ හානිකර විෂ අන්තර්ගතයන් මේහරහා පහසුවෙන් නියාමනය කරන්න ලැබීම එම සමාගම්වලට ලැබෙන අමතර පහසුවක්.

එනිසා ආණ්ඩුවට වහාම මෙම නියාමනය ගෙන එන්නට අවශ්‍ය නම් වහාම කළ යුතු වන්නේ මෙවැනි සහ-නියාමනයකට අවශ්‍ය පසුබිම ගොඩනැගීමය. ඒ සඳහා සිවිල් සංවිධානවලට අවශ්‍ය සහාය ලබාදීමය.