You are currently viewing ගෙදර යන ගමන් එන්න ගුටි දෙන්න..!

ගෙදර යන ගමන් එන්න ගුටි දෙන්න..!

-කේ. සංජීව-

සුපිරි වෙළඳසැල් ජාලයට අයත් බොරැල්ල කොටාපාරේ වෙළඳසැලකදී පසුගිය 22 දා තරුණියකට එහි කාර්‍ය මණ්ඩලය අමානුෂික ලෙස පහරදෙන දර්ශන අන්තර්ගත සීසීටීවී වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධියට පත්වී ඇත. සමාජ මාධ්‍ය නිසා විශාල කතාබහක් මේ පිළිබඳව ඇතිවුණ අතර මේ වන විට මෙම පහර දීමට අදාළව එම වෙළඳසැල තුළ සේවය කළ සේවිකාවන් හතර දෙනෙක් සහ සේවකයන් තුන් දෙනෙක් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කර නීතිමය කටයුතු අරඹා ඇත.

මේ පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසන්නේ පහර කෑමට ලක්වූ කාන්තාව මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින අයෙක් බවය. ඇය මෙවැනි සුපිරි වෙළඳසැල් තුළින් භාණ්ඩ සොරකම් කිරීම පුරුද්දක් ලෙස කරගෙන ගොස් ඇති බව ද එහෙත් පහර දීමට අයිතියක් නැති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරයි.  

මීට ප්‍රථම වෙනත් සුපිරි වෙළදසැල් ජාලයක් අලවි සැලක දී ද මෙවැනි ම සිදුවීමක් සිදු වුණ අතර එහි දී ද එම සිදුවීම මෙවැනි ම කතාබහක් සාකච්ඡාවක් සහ විරුද්ධත්වය ප්‍රකාශ කිරීමක් සමාජ මාධ්‍ය තුළ වාර්තා විය. මෙම තත්ත්වය ලංකාවට අලුත් දෙයක් නොවන බව අපි සැවොම දනිමු. ගමේ පෙට්ටි කඩේ සිට සුපිරි වෙළඳසැල දක්වා මෙවැනි සිදුවීම් අනන්තවත් සංඛ්‍යාවක් දෛනිකව සිදුවෙමින් තිබෙයි.

පාරිභෝගිකයා යනු රජෙක් බව අලෙවිකරණයේ දී පිළිගැනීම ය. දියුණු රටවල පාරිභෝගිකයා රජෙක් ලෙස පිළිගන්නා බව අප අසා දැක ඇත. එවැනි රටවල් තුළ එසේ වන්නේත් ලංකාව තුළ එසේ නොවන්නේත් ඇයි? ප්‍රධාන ම හේතුව කිසිම දේකට නීතියක් පාලනයක් සිස්ටම් එකක් නොමැතිකමය. පාරිභෝගිකයන් සුරක්ෂා කරන්නට නීති අණපනත් තිබුණත් ඒවා ක්‍රියාත්මක වන්නේ නැත. ක්‍රියාත්මක වුණත් එය ක්‍රියාත්මක වන්නේ වෙළෙන්ඳාගේ පැත්තේ සිට මිසක් පාරිභෝගිකයාගේ පැත්තේ සිට නොවේ. එයට හේතුව මුදල් සහ ව්‍යාපාර සතු දේශපාලන බලයයි.

අනෙක් පැත්තෙන් ලංකාවේ පාරිභෝගිකයාට අලෙවිකරණය ගැන හෝ විකිණීම පිළිබඳ අදහසක් නැත. අලෙවිකරණයේදී ප්‍රධාන වන්නේ පාරිභෝගිකයා තෘප්තිමත් කිරීමය. එහෙත් විකිණීමේදී එය එසේ නැත. ප්‍රශ්නය වන්නේ ගමේ පෙට්ටි කඩේට බඩු විකිණිය හැකිවුණත් නගරයේ සුපිරි වෙළඳසැල් ජාලයකට එය එසේ කළ නොහැකි බව අපට නොතේරීම ය. සුපිරි වෙළඳසැල් ජාලයක් කළ යුත්තේ අලෙවිකරණ යයි. එහිදී පාරිභෝගිකයා සතුටු කිරීම තෘප්තිමත් බව වෙත ගෙන යාම කළ යුතුය. එහෙත් කිසිඳු දෙයකට සංස්කෘතියක් නැති රටක් ලෙස ලංකාවේ පාරිභෝගිකයා වෙළඳපොළ තුළ අසරණයෙකු බවට පත්වී ඇත. ඔහුට ගුටිකන්නට බැනුම් අහන්නට වධහිංසනයට ලක්වන්නට අවමන් සහගත හැසිරීම්වලට ලක්වීමට සිදුව ඇත.

පොදු ප්‍රවාහන සේවය මෙයට හොඳම නිදර්ශන යයි. බස් එකට නඟින්න මොහොතකට කලින් සිට බස් රථයෙන් බසින තුරු පාරිභෝගික අයිතීන් කෙළසන තත්ත්වයක් සංස්කෘතියක් පොදු ප්‍රවාහන සේවය තුළ පවතී. බස් රථයේ අධික ශබ්දයකින් දමාගෙන යන කැසට් යන්ත්‍රයේ හඬ අඩු කරන්න යැයි ඉල්ලූවිට බොහෝ බස් රථ කොන්දොස්තරවරුන්ගෙන් පාරිභෝගිකයාට ලැබෙන්නේ අවමන් සහගත ප්‍රකාශ පමණි. සමහර විටෙක ගුටි කන්නට ද සමහර විට ගමනාන්තයට ප්‍රථම බස් රථයෙන් බැස යන්නට ද ඔහුට සිදුවෙනු ඇත. සමහර බස් රථ රියදුරන් නොසැලකිල්ලෙන් රිය ධාවනය කර පාරිභෝගිකයාගේ ජීවත්වීමේ අයිතිය ද උදුරා ගන්නා අවස්ථා ලංකාව තුළ අඩුවක් නැතිව වාර්තා වෙයි. මෙම සිදුවීම් වාර්ෂිකව ඉහළ යනවා මිසක් අඩු වෙනවා කියා දෙයක් නැත. එයින් පෙනෙන්නේ පවත්නා ක්‍රමයෙහි වෙනසක් සිදු නොවන බවයි.

පසුගිය කාලයේ අප බොහෝ දෙනෙක් පාරිභෝගිකයන් නොදැනුවත්ව පිළිකාකාරක විෂ පොල් තෙල් පරිභෝජනය කරන්නට තරම් වාසනාවන්තයන් වුණෙමු. එකම පොල් තෙල් බෝතලයෙන් කෙටිකෑම ජාති කීප සැරයක් බදින වෙළෙන්ඳෝ අපි අනන්තවත් දෛනිකව දකිමු. එහෙත් පාරිභෝගිකයන් ලෙස අපි මේ කිසි දෙයකට විරුද්ධව පෙනී සිටිනවාද? කතා කරනවාද? නැත.

එක පැත්තකින් රාජ්‍ය ඔහේ බලාගෙන සිටින අතර රාජ්‍ය ආයතන මගින්ද පාරිභෝගිකයාට ලැබෙන්නේ ප්‍රශස්ථ සේවාවක් නොවන බව අප කවුරුත් දනිමු. ලංකාවේ පුද්ගලික අංශ කියාත් වැඩි වෙනසක් නැත. ලංකාවේ පුද්ගලික අංශයටද දියුණු පාරිභෝගික අයිතීන් සුරක්ෂිත වෙළඳපොළ ක්‍රමයක් ස්ථාපිත කරන්නට අදහසක් නැත.


බොරැල්ල කොටාපාරේ සුපිරි වෙළඳසැලේ සිදුවුණ මෙම සිදුවීමෙන් පෙනෙන්නේ පාරිභෝගිකයා සමග ගනුදෙනු කරන්නේ කෙසේද පාරිභෝගිකයා තෘප්තිමත් වෙන ආකාරයට කටයුතු කරන්නේ කෙසේද යන්න ගැන මූලික සිද්ධාන්ත ටිකවත් මේ සේවක සේවිකාවන්ට කියාදී නොතිබුණු බවයි.


දිඟු ඉතිහාසයකට උරුමකම් කියන වෙළඳ ආයතනයක් මෙලෙස ළඳරු හැසිරීම් පෙන්වීම අප තේරුන් ගත යුතුව ඇත්තේ අප රටක් වශයෙන් ගිලී වෙළී සිටින අඳුරේ තරම ලෙසය. මූලිකම දේ ලෙස නීතියේ පාලනය රට තුළ තහවුරු කළ යුතුය. එය එසේ නොකරන තාක් අප මේ කතාකරන සියල්ල ගඟට කපන ඉනි මෙන් ය.